1150 x 80 px

ප්‍රංශයේ ලැජ්ජාව ලංකාවට ආඩම්බරයක් ද ?

කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණේ මේ මස 25 වන දිනට ය. එනම් මීට දින කිහිපයකට පෙරය. එම දිනය සැලකිල්ලට ගනිමින් ලෝක මට්ටමේ නායකයෙක් සිදුකළ ප්‍රකාශයක් ජාත්‍යන්තර වශයෙන් ද මහත් අවධානයකට යොමුවී තිබේ. ඒ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසිනි. එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන කාන්තාවක් සෑම තෙදිනකට වරක් මරුමුවට පත්වීම පිළිබඳව ප්‍රංශය ලැජ්ජාවට පත්විය යුතු බවය. එහිදී වඩා වැදගත් වන්නේ ප්‍රංශ ජනාධිපතිවරයා ඒ සමගම සිදුකර ඇති අවධාරණයයි. එනම් සිය රටේ කාන්තාවන් මුහුණ දෙමින් සිටින ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මුණිවත රැකීමේ පිළිවෙතට නැවතීමේ තිත තැබීමේ අවස්ථාව එළැඹ ඇති බව කියා සිටීමය.

 

සාමාන්‍යයෙන් ආසියාතික, අප්‍රිකා හා ලතින් ඇමරිකානු රටවලට සාපේක්ෂව යුරෝපයේ ද, යුරෝපය තුළ ප්‍රංශයේ ද කාන්තාවන් භුක්ති විඳින නිදහස හා සමානාත්මතාවය සැලකීමේදී ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොඳුරු වන ප්‍රංශ කාන්තාවන්ට අදාළ එම දත්ත එක්තරා ආකාරයකට විමතියක් ද දනවයි. ඒ කෙසේ වෙතත් ලෝකයේ ඕනෑම රටක් මතුපිට රඳවා ගන්නා සහ යාවත්කාලීන කරන අභිමානය හා ගෞරවයට මුවා වී සමාජ අභ්‍යන්තරයේ සිදුවන, සිදුවිය හැකි අපරාධ හා අපරාධයන්ට හේතුවන සමාජ පසුගාමීත්වය මෙන්ම සමාජ පසුගාමීත්වයට ඉවහල් වන අධිපතිවාදී ආකල්ප පරාජය කිරීම සඳහා පෙරට ඒම ඉතා වැදගත් ය. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ප්‍රංශය ලබා දී ඇති වැදගත්කමේ ආදර්ශය එයයි.

දැන් අප සලකා බැලිය යුත්තේ අප උපන්, අද ජීවත්වන, කිසියම් දිනක අවසන් හුස්ම හෙලූ මොහොතක මිහිදන් වන මේ පොළොව අයත් අපගේ මව්බිම පිළිබඳවය. ඒ සඳහා වන කදිම පැතිකඩක් එක් දිනයක පළව ඇති එක් පුවත්පතක ඇතුළත් ප්‍රවෘත්ති කිහිපයක් තුළ දැකගත හැකිය. ඉන් එක් පුවතක් පළව තිබුණේ මුල් පිටුවෙහි ය. ප්‍රමුඛ වැදගත්කමක් ලබාදෙමින් අනෙක් පුවත් දෙක පළවී තිබුණේ ඇතුල් පිටුවලය. අදාළ පුවත් තුනටම ලබා දී ඇති ස්ථානීය ප්‍රමුඛත්වය වෙනස් වුවත් එම පුවත් තුනටම පසුබිම්ව තිබුණේ ස්ත්‍රීන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියාවන් ය. එහි ප්‍රථිඵලය වී ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු හා කුඩා දරුවෙකු ද ඇතුළත් පුද්ගලයන් පහකට සම්බන්ධ ඝාතනයන් ය.

එකී පුවත් තුනට අදාළ සිදුවීම් පෙළගැස්වීමේදී ඉන් එක් සිදුවීමක් වාර්තා වී තිබුණේ කතරගම මැණික්පුර ප්‍රදේශයෙන් ය. එකී පුවතට අනුව මවට අතවර කිරීමට දරණ ලද උත්සාහයක් ව්‍යර්ථ වීමෙන් පසු ඇයගේ මාස දෙකක් පමණ වූ කුඩා බිළිඳා වතුර බාල්දියකට දමා ඝාතනය කර තිබේ. දෙවැන්න වාර්තා වන්නේ දැරණියගල මාලිබොඩ ප්‍රදේශයෙනි. එහිදී කාන්තාවක් හා පුරුෂයෙක් ඝාතනය වී ඇති ආකාරය එකී පුවතට පාදක වී තිබේ. තුන්වැනි පුවත වාර්තා වන්නේ මාතර, නාවිමන ප්‍රදේශයෙනි. එකී වාර්තාවට අනුව එහිදී ඝාතනය වී ඇති දෙදරු මව ඝාතනයට ලක්ව ඇත්තේ ලිංගික වශයෙන් දූෂණයට ලක්වීමෙන් අනතුරුවය. ඒ සමගම ඇයගේ නැන්දණිය ද ඝාතනයට ලක්වී ඇති බව අදාළ පුවතෙහි වැඩිදුරටත් දැක්වේ.

ප්‍රංශය හා සැසදීමේදී අපේ තරම තේරෙන්නේ එතැනදී ය. සාමාන්‍යයෙන් ප්‍රංශය සැලකෙන්නේ යුරෝපා මහද්වීපයෙහි ඇති විශාලතම රටවලින් එකක් ලෙසට ය. එහි ජනගහණය ලෝක ජනගහණයෙන් සියයට දශම අටයි පහක් පමණ වේ. එනම් ජනගහනයෙහි විශාලත්වය අනුව ලෝකයේ විසිදෙවන රට වන්නේ ප්‍රංශයයි. එහෙව් රටක ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දවස් තුනකට එක් කාන්තාවක් මියයද්දි ලංකාව වැනි කුඩා, ඒ සමගම සාපේක්ෂ වශයෙන් කුඩා ජනගහනයක් වෙසෙන රටක එක් දිනයක පුවත්පතක් වාර්තා කර ඇති ස්ත්‍රී ඝාතන ප්‍රමාණය තුනක් වී තිබේ. ඒ සමග බිළිඳු දරුවෙකුගේ හා තවත් එක් පුරුෂයෙකුගේ ඝාතනයන් ද ඒ සමග බැඳී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සැලකිය යුත්තේ පුහු ආඩම්බරකාර හා වාගාලංකාර යොදා හඳුන්වා දෙන්නට අප බෙහෙවින් කැමති මහා පරිමාණයේ පම්පෝරි තරමටම බරපතළ ලෙස ස්ත්‍රීන් ඝාතනයට ලක්වන රටක් ලෙසට ය. 2500 වසරක අභිමානවත් ඉතිහාසය, ධර්මද්වීපය, පෙරදිග මුතු ඇටය වැනි සාඩම්බරව උලුප්පාලන වදන් හා වැකි තුළින් රටේ පතුල වෙළාගෙන ඇති අමානුෂිකත්වය කිසිසේත්ම වසන් කළ නොහැකි බව මෙහිදී අප අවබෝධ කරගත යුතුය. අඩුම වශයෙන් තේරුම් ගැනීමට උත්සාහ කළයුතුය.

මෙකී කරුණ පිළිබඳව අවබෝධ කරගැනීමේදී අප ඉතාම මැනවින් තේරුම්ගත යුතුව ඇති කරුණක් තිබේ. සමාජය තුළ අඛන්ඩව ක්‍රියාකාරී වන මෙවැනි අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම තුළ පමණක් අවම කරගත නොහැකි බවය. ඒ සඳහා සමාජ ආකල්ප හා සමාජය තුළ මුල් බැසගෙන ඇති උත්ප්‍රේරක ද ඒ සඳහා බලවත් ලෙස හේතුවන බව අවබෝධ කරගැනීම එහිදී ඉතා වැදගත් ය. ස්ත්‍රිය කෙරෙහි දැක්විය හැකි ආධිපත්‍යය හා බලපෑම බලය හා එකිනෙකාට බැඳී ඇතැයි යන අප රට තුළ මුල්බැසගෙන ඇති ආකල්පය ද ඒ සඳහා බලපෑමක් සිදුනොකරන්නේ ද යන්න සිතා බැලිය යුතුව තිබේ. රටක් ලෙස අප මේ පිළිබඳව විවෘතව කතාබහ කළයුතුය. සියක් කාන්තාවන් දූෂණය කර ඒ බව ප්‍රිය සම්භාෂණයකින් සැමරූ දේශපාලකයන් සිටි හා ඔවුනට රැකවරණ ලබාදුන් පාලකයන් සිටි රටක සමාජ ආකල්පයන් හි ඇතිවන වෙනසකින් තොරව මෙවැනි තත්වයන් එකවර වෙසනකට බඳුන් නොවන බව ද එහිදී අප අවබෝධ කරගත යුතුය. එහෙත් ඒ සඳහා දරන උත්සාහය කිසිසේත්ම අතනොහැරිය යුතුය. ඒ සඳහා අන් සියල්ලටම පෙර ඇතිකරගත යුතුව ඇත්තේ අධිෂ්ඨානයකි. එහෙත් එය සිදුවිය යුතුව ඇත්තේ මේ රටේ සාමාන්‍ය ජනතාව අතරිනි.

සුනිල් ජයසේකර

 

Top