1150 x 80 px

මාතෘකාව: පාප්වහන්සේගේ මියැන්මාර් සංචාරය | තහනම් වචනය: රොහින්ගියා (රොහින්ජා)

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මියැන්මාරයේදී සිය ආරාධිත දේශනය සිදුකළහ. ‘සියලුම වාර්ගික කණ්ඩායම්වලට ගරු කරන්න’ යනුවෙන් එහිදී උන්වහන්සේ පැවසූහ. නමුත් රොහින්ගියා හෝ රොහින්ජා යන වචනය උන් වහන්සේ කිසි විටෙක සිය මුවින් පිට නොකළ සේක!

උන්වහන්සේ රටේ සුළුතරයේ ‘නීත්‍යානුකූල පොදු යහපත” ගැන කතා කළහ. සාමය සහ මානව හිමිකම් සැවොම සඳහා බව පැවසූහ. නමුත් කිසිවිටෙක ‘රොහින්ජ්යා’ යන යෙදුම භාවිත නොකළහ. ඒ ඇයි?

අතීතයේදී උන්වහන්සේ ‘මගේ රොහින්ජ්යා සහෝදර සහෝදරියන්’ යන යෙදුම නොපැකිළව භාවිතා කර තිබේ.

සැබවින්ම රොහින්ගියානුවන් ගැන සඳහන් නොකර මියැන්මාරයේ වාර්ගික කණ්ඩායම් ගැන කතා කළ හැකිද? මෙය හරියට ‘දෙමළ’ යන වචනය පාවිච්චි නොකර ලංකාවේ වාර්ගික අර්බුදය ගැන කතා කළ හැකිද වැනි අති සරල පැනයකි.

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේට කුමක් සිදුවීද? 80 හැවිරිදි උන්වහන්සේ මේ ලෝකයේ අගතීන්ට සහ අසාධාරණයන්ට එරෙහිව නොබියව සිය හඬ අවදි කරන‘බවුන්සර්’ කෙනෙකු බව ලොවම දනියි.

ලෝක දේශපාලනයේ බලපෑම් සහගත හඬක් වශයෙන් ද උන් වහන්සේ නිසැකවම සැලකෙයි. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය හෙවත් ඇම්නේස්ටි ඉන්ටැනෂල් සංවිධානය පවා මේ සම්බන්ධයෙන් සිය කණස්සල්ල සහ විමතිය පළ කර තිබිණි. එසේ නම් මේ සිදුවුණේ කුමක්ද?

පාප්වහන්සේ පය තැබූ විට බහුතර බෞද්ධ මියැන්මාරයේ තවත් ආගමික සුළුතරයක් වන කතෝලිකයන් වෙනුවෙන් පෙනී සිටින මියැන්මාරයේ කතෝලික පල්ලිය පවසා තිබුණේ උන් වහන්සේ එම යෙදුම, එම වදන පාවිච්චි කළහොත් එය රටේ ජීවත් වන කතෝලිකයන්ට ගැටළුකාරී විය හැකි බවට ය.

පාප් වහන්සේගේ මෙම හැසිරීමට ආසන්නතම සහ නිවැරදිම හේතුව සොයාගත හැක්කේ එයට පෙර දා රඛායන් ප්‍රාන්තයේ හමුදා ලොක්කා නැටූ නාඩගම සහ දෙසූ වැදි බණ තුළිනි.

රඛායන් ප්‍රාන්තය භාර සන්නද්ධ හමුදා ප්‍රධානී හෙවත් හමුදාපති, ජනරාල් මින් අයුන්ග් හ්ලියැන්ග්, පාප්වහන්සේ සිව් දින සංචාරය සඳහා මියැන්මාරයට පය තැබූ දිනයේදීම උන් වහන්සේ හමුවීමට ගොස් ‘සිකියුරිටි බ්‍රීෆ්’ එකක් හෙවත් 'ආරක්ෂක සමාලෝචනයක්' සිදුකර තිබිණි. ප්‍රංශ පුවත් සේවාවන් ඇතුළු ජාත්‍යන්තර පුවත් සේවාවන්ගේ ශීර්ෂ පාඨ මැවූ මෙම කතාවේදී හමුදා ලොක්කා කීවේ මෙසේ ය. “මියැන්මාරයේ වාර්ගික කණ්ඩායම් අතර වෙනස්කොට සැලකීමක් නැහැ..”!! රොහින්ජ්යා යන යෙදුම භාවිතා නොකරන ලෙසට ‘අනතුරු ඇඟවීමක්’ (a warning) ඔහු විසින් පාප් වහන්සේ හට සිදුකළේ ද මෙහිදී ය.

දැන් ඇසිය යුතුව තිබෙන ප්‍රශ්නය, මියැන්මාරයේ වාර්ගික වෙනස්කමක් නැතිනම් මේ හැටි රොහින්ගියාවරුන් රටෙන් පළා යන්නේ මන්ද යන්නයි. නමුත් මේ යකඩ හදවත්වලට ඒ ප්‍රශ්න නෑසේ. නොඑසේ නම් මුළු ලෝකයම, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ‘මියැන්මාරයේ සිදුවන දෙය, වාර්ගික ශෝධනයට පොතේ තිබෙන උදාහරණයක් (a Text Book Example) යැයි කියා තිබියදී ද ඔවුන් මෙසේ හැසිරෙන්නේ නැත. පාප්වහන්සේ සිය ප්‍රධාන කතාව ඊයේ සවස පැවැත්වීමට පෙර මියැන්මාරයේ නිල නොලත්, එනම් ඩි ෆැක්ටෝ නායිකාව වන අවුන් සාන් සුකී ව ද මුණ ගැසී තිබූ අතර, එහිදී ඇය ද වාර්ගික වෙනස්කම් ගැන ලොරි ටෝක් දුන්නා විනා, කිසිම අවස්ථාවක මියැන්මාර් යන වචනය පාවිච්චි නොකිරීමට ප්‍රවේශම් වුණාය.

රඛායන් යනු, රොහින්ගියා හෙවත් රොහින්ජ්යා ගම්මාන දිනපතා පුළුස්සා දැමෙන, මුස්ලිම් ගැහැනුන් දූෂණය කෙරෙන, ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් හඬා වැළපෙන කදුළු ප්‍රාන්තයයි. අලුත්ම වාර්තාවලට අනුව අගෝස්තු මාසයේ සිට මේ දක්වා අසල්වැසි බංග්ලාදේශය වෙත පළා යන්නට සිදුවුණු රොහින්ගියානුවන් ගණන හයලක්ෂ විසි දහසකි.

මියැන්මාරය මේ කරන්නේ ‘එත්නික් ක්ලෙන්සින්’ ය. එදා හිට්ලර් කළේ ද ‘එත්නික් ක්ලෙන්සින්’ ය. එත්නික් ක්ලෙන්සින් යනු වර්ග ශෝධනයයි. වෙනත් ජනවර්ග අතුගා සෝදා සුද්ද කර දැමීමයි. හිට්ලර්ගේ නාසි පක්ෂයේ ප්‍රධානතම හමුදා නායකයෙකු වූ හෙන්රිච් හිම්ලර්ගේ කතාන්දරය රැගත්, 2017 වසරේදී තිරගත වූ “ද මෑන් විත් අයන් හාට්” චිත්‍රපටයේදී හිම්ලර් මෙසේ කියයි.

“යුදෙව්වො ඔක්කොම මරන්න ඕනෙ. අර්ධ යුදෙව්වො.., කාල යුදෙව්වො.., මිශ්‍ර විවාහවල යුදෙව්වො.., එකා ගානෙ මරන්න ඕනෙ. කරුණාකරල පස්වෙනි පිටුව පෙරළාගන්න මහත්වරුනි, 42 ජනවාරි පළවෙනිදා වන විට පැවති සංඛ්‍යාලේඛන අනුව පැවති තත්වය.. අපේ කාර්යභාරය.. ජර්මනිය- දාහත්දාහයි, හොලන්ඩ්-මිලියන දෙකයි, ලැට්වියාව-ලක්ෂ තුනයි, ලිතුවේනියාව - ලක්ෂ එකහමාරයි, ඔස්ට්‍රියාව-සම්පූර්ණයෙන්ම වගේ සුද්ද කරල ඉවරයි..!!”

දිනය 1942 ජනවාරි 20 වැනිදා ය. ස්ථානය ජර්මනියේ වැන්සී නුවර ය.

මෙම ලැයිස්තුව තව දිගු ය. මහත්වරුනි, සීයේ-දාහේ ගුණාකාරවලින් ඔවුන් මේ කතා කරමින් සිටියේ කජු ඇට-කොස් ඇට ගැන නොවේ. බල්ලන්-බළලුන් ගැන නොවේ. මනුස්ස ජීවිත ගැන ය. ඒ දක්වා කාලය තුළ හිට්ලර් විසින් සිදුකළ යුදෙව් ශෝධනය ගැන ය. හමුදා ඔළුවලට නොදැනුණු පණ ගැහෙන මිනිස් ජීවිත ගැන ය. එදා හිට්ලර් හෝ හිම්ලර් කළ දේ සහ, රඛායන් හමුදා ලොක්කා අද කරමින් සිටින දේ අතර මහ වෙනසක් නැත. එදා ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ‘මානුෂීය මෙහෙයුම’ යැයි ‘හඬකැවූ නාට්‍යයේ’ දී යුධ මුක්ත කලාපය හරහා ඇදී ආ සිවිල් ජීවිත වලට වෙඩි තැබූ යුධ හමුදා සහ එල්ටීටීඊ හමුදා ලොක්කන් අතර ද මහ වෙනසක් තිබුණේ නැත. වෙනසක් තිබෙනවා නම් තිබෙන්නේ ඉලක්කම් ගණන අතරේ පමණි. ඔවුන් දෙදෙනාටම සිත් පිත් නැත. ඔවුන් දෙදෙනාටම අනෙකා ගැන හැඟීමක් නැත. මේ ලෝකයේ සිටිය යුත්තේ ආර්ය ජාතිය වන තමන් පමණක් යැයි ඔවුන් දෙදෙනාම සිතයි. ඒ වෙනුවෙන් ‘සියල්ල සුද්ද කරන්නට’ මේ අය සූදානම් ය. එසේ සුද්ද කිරීමෙන් පසු තමන්ව ‘සුද්ද කරගැනීම’ ටද මේ අය එපමණටම සූදානම් ය.

මියැන්මාර ආණ්ඩුව ද මේ සුද්ද කිරීම හරහා තමන්ව සුද්ද කරගනිමින් සිටින්නේ මෙසේ ය. රජයේ ප්‍රකාශකයන්ට අනුව රඛායන් හමුදා ලොක්කාගේ අනතුරු හැඟවීම සාධාරණ ය. එයට හේතුව ‘රොහින්ගියා’ හෝ රොහින්ජා යනුවෙන් වෙනම වාර්ගික කොට්ඨාසයක පැවැත්ම ඔවුන් පිළිගන්නේ නැත. රොහින්ගාවරුන් ව ඔවුන් හඳුන්වා දෙන්නේ ‘බෙංගාලීස්’ හෙවත් ‘බංගලින්’ යනුවෙනි. ඔවුන්ගේ තර්කය, අසල්වැසි බංග්ලාදේශයෙන් ඔවුන් අතීතයේ මියැන්මාරයට සංක්‍රමණය වූ නිසා ඔවුන්ව තවදුරටත් එනමින්ම හැඳින්විය යුතු බවයි. එනිසා රටේ බහුතර මතය වී තිබෙන්නේත්, ‘ආව දිහාටම පලයව් යන්න ය. රොහින්ගියානුවන්ව මියැන්මාර හමුදාව විසින්ම බෝට්ටුවල පටවාගෙන ගොස් ‘ගිලිල මැරුණත් අපිට මොකෝ“ වැනි අදහසකින් එම බෝට්ටු බග්ලාදේශයට නුදුරු මුහුදේ අතහැර දමා එන්නේ මෙවැනි පදනමක් මත ය.

දැන් මේ පූර්වාදර්ශය අනුව යමින් ලංකාවේ සිටින උග්‍ර ජාතිවාදීන් හා සිංහල බෞද්ධ අන්තවාදීන්ට ද දමිල හෝ මුස්ලිම් ජන කොටස් කියා ජාතියක් ලංකාවේ නැතැයි කියා ද කියන්නට පුළුවන. මේ පූර්වාදර්ශනයට කලින් පවා අපේ ඇතැම් ‘අයියලා’ ‘දෙමළු කියන්නෙ ලංකාවෙ ජාතියක් නෙවෙයි, තමිල්නාඩුවට.. ඒ නිසා ඉන්දියාවටම පළයව්...” යනුවෙන් මොර තළන අවස්ථා ද ඉතිහාසයේ දක්නට ලැබුණු බව අමතක නොකරන්න. මේ සියල්ලන්ටම අමතක වන පොදු කාරණය වන්නේ තමන් උපන් මව් රට වෙනුවෙන් මව්බිමේ අයිතිය සෑම කෙනෙකුටම තිබෙනා බවය.!

මියැන්මාරයේදී අති උතුම් පාප්වහන්සේ මෙසේ ද කීහ. “ආගමික වෙනස්කම් බෙදීම හෝ අවිශ්වාසය සඳහා පදනමක් නොව, සමගියේ, සමාව දීමේ, අනෙකාව ඉවසීමේ සහ නැණවත් ලෙස ජාතිය ගොඩනැංවීමේ පදනමක් විය යුතුය...”

සමහරවිට, වර්ග සැතපුම් 0.17 ක් පමණක් වන ලොව කුඩාම රාජ්‍යයට, කළ හැකි දෙයක් නැතැයි මියැන්මාරයේ ‘ලොක්කන්’ සිතන්නට ඇත. ජාත්‍යන්තරයට කියන බණක් කියාගෙන මනුෂ්‍යත්වය ගැන දෙසාගෙන තමන්ගේ වැඩක් බලාගෙන සිටින ලෙස මෙවැන්නෝ නොකියා කියති. ‘රටේ ජනතාවගේ හැටි ඒ රටේ පාලකයන්ගෙන් පෙනෙන්නේ ය’යි කියමනක් තිබේ. මේ කියමනේ විලෝමය, ‘රටේ පාලකයන්ගේ හැටියෙන්, ඒ රටේ ජනතාවගේ හැටි පෙනේ’ යන්නයි. ඒ අනුව අවුන් සාන් සුකීලා මේ කරමින් සිටින්නේ රටේ ජනතාවගේ හැටි පෙන්වාදීම විය නොහැකිද? සමහරවිට, පාප්වහන්සේට ‘රොහින්ගියා නම කිව්වොත් බලාගෙනයි’ යැයි තර්ජනය කළ හමුදා ලොක්කාම, දශක ගණනක් ඇයව නිවාස අඩස්සියේ තබාගත් හමුදා ජුන්ටාවම, සුකීටත් එයම කියනවා වන්නට බැරිද? අද මේ සිටින්නේ, එකල ‘බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව’ යැයි මහත් හරසරින් හැඳින්වූ, හමුදා පාලනයේ මර්දනයට එරෙහිව සටන් කළ නිසාම නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලද අවුන් සාන් සුකී නොවන්නටත් පුළුවන. කවුද දන්නේ, සමහරවිට ඇයට සිය රට තුළ රොහින්ගියානුවන්ට සිදුවන අසාධාරණය ගැන හඬ නගන්නට පවා රටෙන් ඉඩක් නැතිවා වන්නට පුළුවන!! ඒ අර්ථයෙන් ගත් විට තවමත් ඇය සිටින්නේ නිවාස අඩස්සියේ වන්නට ද බැරි නැත!!!

මේ ලෝකයේ බෞද්ධ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන ඇතැම් රටවල් එහෙම ය. රටේ සිදුවන මහ විපත්, ‘මේව අපේ ප්‍රශ්න, අපි ඒව විසඳගන්නම්’ යැයි දේශානුරාගයෙන් ලොවට පාරම්බාන, එදා බුදුන් දවස විසාකාවට කී ලෙසින් ඇතුළේ ගිනි පිටතට නොදෙම්හ යන ‘බෞද්ධ ප්‍රතිපත්තිය’ මත ක්‍රියාකරන මේ ලෝකයේ ඇතැම් අඳබාල රටවල අද තිබෙන සැබෑ අවුල ද එය ය; එයම ය.

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

 

Top