1150 x 80 px

දේශපාලකයින් මිස දේශපාලඥයන් නොමැති රටක්

මීට දශක හයකට පමණ පෙර උපහාසය දනවන කථා මාලවක් සම්පාදනය කළ සිසිර කුමාර මානික්ක ආරච්චි ශූරීන් විසින් සාගරයක් මැද අමන රටක් ඇත. නමින් යුතුව ග‍්‍රන්ථයක් සම්පාදනය කළේය. අමන රට අන් කිසිවක් නොව මේ පුංචි දිවයින වන අතර එවකට සිටි පාලකයින්ගේ අමනකම් ගැන අපූර්වට විස්තර කර තිබින. එදා සිටි පාලකයින්ගේ අමනකම්, මෝඩකම් උපහාසයට ලක් කර තිබින.ඒ එදාය.

අද වන විට එම අමන පරම්පරාව වඳ වී ඒ වෙනුවට දුෂ්ට පරපුරක් බිහි වී ඇත.ඒ විතරක් ද? වංචාකාරී, බොරුකාර විළිලැජ්ජා නැති රැුවටිලිකාර හොර තක්කඩි රැුලක ගොදුර බවට අහිංසක ජනයා පත්ව ඇති සැටි දිනපතා සිදුවන කියුම් කෙරුම් හැසිරීම් වලින් පැහැදිලි වෙමින් ඇත.

බොහෝ පිරිස් විසින් මෙම තක්කඩි රැුළ හඳුන්වන්නේ දේශපාලඥයන් කියා ය. මාධ්‍යවේදීන් පමණක් නොව වෙනත් දැන උගත් වෘත්තිකයින් ද ඔවුන් දේශපාලඥයන් ලෙස හැඳින්වීම දේශපාලන විද්‍යාඥයින් හට කරන අගෞරවයක් බව කිව යුතු ය. ඔහේ කියන්නන් වාලේ වචන හැසිරුව ද දේශපාලනය විද්‍යාවක් ලෙස ඉගෙන ගන්නා දරුවන් දේශපාලඥයා යන්න තක්කඩියෙක්, බොරුකාරයෙක්, වංචාකාරයෙක් ලෙස හඳුනා ගනිති. මෙවැනි පිරිසක් දේශපාලඥයන් ලෙස හුවා දැක්වීමෙන් සිදු වනුයේ සැබෑ දේශපාලඥයා හඳුනා ගැනීමට දරුවන්ට, මහජනයා හට නොහැකි වී යෑම ය.

එසේ නම් ඔවුන් හඳුනා ගන්නේ කෙසේ ද යන්න කුකුසක් කුතුහලයක් ඉතිරි වේ. සැබැවින්ම වර්තමාන කරලියේ සිටින වැඩි දෙනා දේශපාලකයින් මිස දේශපාලඥයින් නොවේ.

එසේ නම් දේශපාලකයා හා දේශපාලඥයා වෙන් වෙන්ව හඳුනා ගන්නේ කෙසේ ද? ඔවුන් හඳුනා ගැනීමට මෑතකදී අත්දකින ලද යම් යම් සිදුවීම් ඔස්සේ උත්සාහ කර බැලීම කාලෝචිත වී ඇත. එය දේශපාලන විද්‍යාව හදාරන දරුවන්ටද මෙරට සාමාන්‍ය ජනයාට ද වැදගත් වෙනු ඇත.

එක් උදාහරණයකට උතුරේ ත‍්‍රස්තවාදය අවසන් කළ ක‍්‍රියාදාමය හා ජාතික අර්බුදයක් බවට පත්ව තවමත් විසඳුම් නැති තත්ත්වය දෙස විමසා බැලීමෙන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරමු.
උතුරේ ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීමේදී මූලික කාරයභාරය පැවරුනේ යුධ විශේෂඥයින් වෙතය. ඔවුන්ගේ විශේෂඥ හැකියාව අනුව සැලසුම් සකස් කර එය ඉදිරියට ගෙනයන ලද්දේ යුධ භටයින් හා අනෙකුත් පරිවාර කණ්ඩායම් ය. එයින් පැහැදිලි කරගත යුත්තේ යුධ භටයන් සිටි පමණින් යුද්ධයක් ජයගත නොහැකි බවය. එනම් යුධ විශේෂඥ සහය අත්‍යාවශ්‍යය යන්න පැහැදිලිය.

ඒ වගේම මෙහිදී අප ජය ගත්තේ එහෙම නැතිනම් ආයුධ බලයෙන් යටපත් කළේ ත‍්‍රස්තවාදයයි. ත‍්‍රස්තවාදය යන්න කිසියම් හේතුවක ඵලයයි. යුධ විශේෂඥයින් හා යුධ භටයින් අනෙකුත් පරිවාර ජනයා සමගින් කිසියම් දේශපාලන හේතුවක ඵලය ජයගත් පමණින් හේතුව අහෝසි නොවන බව දේශපාලඥයන්ගේ මතය වෙයි. ඒ බව මේ මොහොතේ ද උතුරේ සිදුවීම් කියා පාමින් ඇත. එනම් කිසියම් හේතුවක් නිසා හටගත් ඵලය අහෝසි කළ ද ඵලය හට ගැනීමට මුල් වූ සමාජ ආර්ථික දේශපාලන හේතූන් වලට පිළියම් නොයොදා අර්බුදය ජයගත නොහැකි බව පැහැදිලි වේ. එයින් පැහැදිලි කරගත යුත්තේ හේතුව අහෝසි වී නොමැති විටෙක ත‍්‍රස්තවාදයේ මතුවීම ඕනෑම මොහොතක සිදුවිය හැකි බව ය.

හේතුව සෑම විටම සංකීර්ණ වන්නා සේම බොහෝ විට සැඟ වී පවතින්නකි. උතුර ජය ගත්තා යැයි දේශපාලකයින් උදම් ඇනුව ද දේශපාලඥයින්ට එය කළ නොහැකියි. එම සංකීර්ණත්වය හඳුනා ගැනීම, ඊට සුදුසු පිළියම් සෙවීම දේශපාලකයන් අතින් සිදු නොවනු ඇත. අනෙක් පැත්තෙන් හේතුව හඳුනා නොගෙන යොදන පිළියම් ද තව තවත් අර්බුද වලට මුල පිරීමක් වෙනු ඇත.

මෙහිදී ත‍්‍රස්තවාදය ජය ගැනීමට යුධ විශේෂඥයන් මුල් වූවා සේම ත‍්‍රස්තවාදයට මුල් වූ හේතුව හඳුනා ගැනිම හා පිළියම් සෙවීම දේශපාලඥයින්, දෙශපාලන විද්‍යාඥයින්ගේ සේවය අවශ්‍ය වෙනු ඇත.

ඊළඟ ගැටලූව දේශපාලකයින් හා දේශපාලන විද්‍යාඥයින් අතර වෙනස හා ඔවුන් හඳුනා ගන්නේ කෙසේ ද යන්නයි.

පළමුව දේශපාලකයා හඳුනා ගැනිම පහසු වෙනු ඇත. මෙ වන විට දේශපාලන කරළියේ මුඛවල් දෙකෙන්ම කටහ කරන්නන් පහසුවෙන් හඳුනා ගටහ හැකිය. බොරු පොරොන්දු පත‍්‍ර පෙන්වා ජනතාව රවටාගෙන බලයට එන පාඅර්ලිමේන්තුව පිරී සිටින්නේ ඔවුන්ගෙනි. උත්තරීතර යැයි ඔවුන්ම හඳුනා ගන්නාපාර්ලිමේන්තුව තුළ, රට, ජනතාඅව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා තැන ඔවුන් පිට කරන වචන, හැසිරීම්, විහිළු තහලූ වලින් පැහැදිලි වන්නේ උත්තරීතර ආයතනයද කෙලෙසා දමා තම තමන් හරසුන් බොල් බව ලෝකයා ඉදිරියේ නිර්වස්ත‍්‍ර වී සිටින සැටියකි. ඔවුන්ට උවමනා වී ඇත්තේ රටේ ස්වාධීනත්වය හො ස්වාධිපති බලය ආරක්ෂා කිරීම හෝ රටේ අනාගතය ගැන සිතීම, ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම නොව ජාතික දේපල විකුණා තාවකාලික සුඛ විහරණය සලසා ගැනීමය. ජාතික සම්පත්වලින් හැකි උපරිමය තමා සතු කර ගැනීම, තාන්න මාන්න බලාපොරොත්තු වන, ඡුන්ද දායකයා තම යටත් වැසියන් ලෙස සලකන බස් කොන්දොස්තරවරයාට මගියා කෑල්ලක් වන්නා සේම දේශපාලකයාට ද මහජනයා ඡුන්ද කෑල්ලක් වන, හොඳ පහසුකම් සලසා දීම තම පෞද්ගලික ධනයෙන් ලබා දෙන්නක් ලෙස ඒත්තු ගැන්වීම, ජාතික දේපල හිරිකිතයකින් තොරව හොරා කෑම, රාජකාරී වීසා හරහා තම පවුල් පිටින් රට සවාරි ගැසීම, අලූත්ම වර්ගයේ සුඛෝපභෝගී වාහන වෙනුවෙන් පොරකන, නොහික්මුණු බඩජාරියා අන් කිසිවෙකු නොව දේශපාලකයාය යන්න මහජනයාට හඳුනා ගත හැකිය.

එහෙත් දේශපාලඥයා, එනම් දේශපාලන විද්‍යාඥයා විරල කොට්ඨාශයකි.ඔවුන් දේශපාලන කරලියෙන් සොයා ගැනීම අපහසුය. ඔවුන්ගේ නිහතමානීත්වය නිසාම අඳබාලයින් ගැවසෙන කරලියේ ගැවසීමට අකමැති බැවින් ඔවුන් ජනතාව අතර හෝ විදේශ රටවල හෝ අප‍්‍රසිද්ධියේ, රටේ අනාගතයේ ශෝචනීයත්වය ගැන කලකිරී කල් ගෙවනු ඇත. ඔවුන් සැබෑ ලෙසම මානවවාදී විද්‍යාඥයින් හා චින්තකයින්ය. රට මුහුණ පා ඇති අර්බුදයන් ගැන දීරඝකාලීන විසඳුම් සොයන පරාර්ථකාමී හික්මුණු පිරිසකි. ඔවුන්ගේ විරලත්වය හා දේශපාලන පාදඩ සමාජයෙන් ඈත් වී සිටීම රටේ අනාගතය තව තවත් අර්බුදයට යෑම වැළැක්විය නොහැකි වී ඇත.

ඔවුන් කරලියට ගෙන ඒමේ වැඩ සටහන් දේශපාලකයින් සතුව නොමැති බැවින් ඔවුන්ගේ සේවය රටට අහිමි වී ඇත. කිසිදු දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට අයිති නැති ස්වාධීන පුද්ගලයින් වන ඔවුන්ගෙන් ප‍්‍රයෝජන ගැනීමට සමාජය අසමත් වීමම දුර්භාග්‍යයකි.

එබැවින් රටේ අර්බුද මෝරමින් තව තවත් විදේශ අරමුදල් මත යැපෙමින් ඒවා ගෙවා ගැනීමට නොහැකිව නැවත අර්ධ යටත් විජිත බවට පත් වෙමින් සිටිනවා පමණක් නොව නැවත තවත් තරුණ ජීවිත බිලි ගැනීමට අවශ්‍ය පරිසරය සකසමින් සිටින්නෝ පාලකයින් වන තකතීරු දේශපාලකයින්ම ය.

එබැවින් දේශපාලකයින්ගේ ඉල්ලීම් හෝ ආරාධනා පසෙකට දමා දේශපාලන විද්‍යාඥයින්ගේ සේවය සමාජය ඉල්ලා සිටින වකවානුවක් බවට වර්තමානය පත්ව ඈත.
අද සිදු වී ඇත්තේ යුධ විශේෂඥයාගේ කාරයභාරය යුධ භටයාට පැවරුවාක් මෙන් දේශපාලන විද්‍යාඥයාගේ කාර්යභාරය දේශපාලකයාට පවරා දී රට විනාශය කරා ගෙන යෑමය. අනෙක් පැත්තෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ කාර්යභාරය සාත්තු සේවකයාට පවරා දී ලෙඩා මරණයට පත් කිරීමේ වෑයමක යෙදීම ය.

මෙය එනම් දේශපාලන විශේෂඥභාවයේ වැදගත්කම ඔප්පු වන තවත් පැහැදිලි උදාහරණයක් වෙයි.

උතුරේ අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දියාවේ මැදිහත් වීමෙන් අපමත පටවන ලද පළාත් සභා ක‍්‍රමය 13 වන සංශෝධනය කරපින්නා ගන්නට සිදු වූයේ කුමක් නිසා ද? ඊනියා නිදහස ලබා ගත් දා සිටම මෝරා වැඩෙමින් පැවති අරගලයක් දක්වා දිග් ගැස්සෙන තෙක් ඊට පිළියම් සෙවීමට මෙරට දේශපාලකයන්ගේ අසමත්භාවය නිසා බව පැහැදිලි වේ.බණ්ඩාරනායකගේ පෙඩරල් යෝජනාවෙන් අර්බුදය තවත් මෝරා වැඩින. අවසානයේ පිටස්තරයෙකුගේ මැදිහත් වීමෙන් ගෙනා පළාත් සභා ක‍්‍රමය ද අර්බුදයට විසඳුමක් නොවීය.

එයින් පසුව සෑම කණ්ඩායමක්ම සර්ව පාක්ෂික සමුලූ , වටමේස සාකච්ඡා, රට සවාරිවලින් ඉතිරි වූයේ මුලදී පළාත් සභාවට විරුද්ධ වූ අය පවා එහි රස විඳිමින් තවත් බඩජාරීන් කණ්ඩායමක් නඩත්තු කිරීමට මෙරට මහජනයාට සිදු වීමය. දේශපාලකයන්ගේ විසඳුම්ය ඒ.

තවදුරටත් හොරකම් කිරීමට ලැජ්ජාවක්, භයක් නැති දෙශපාලකයින්ගේ කෙරුවාවල් එකින් එක හෙලිදරව් වෙමින් ඇත.නමුත් ඒ සියල්ලන්ම එකම පංතියේ අය බැවින් සියල්ල යටපත් කර දැමීමට ඔවුන් පසුබට නොවනු ඇත. ඒ වගේම එයින් ගැලවී රිංගා යාමට රෝම ලන්දේසි නීතියේ සිදුරු තනා ඇත.

සියලූ ජාතීන් මුහුණ දෙන ආර්ථික අර්බුදය දිනෙන් දින උග‍්‍ර වෙමින් ඇත්තේ සියවස් තුන් කාලක එපිට සිට ය. නිහහස ලබන විට ණයකාරයින් නොවූ රට අද වන විට නාස්තිකාර පුත‍්‍රයන් ලෙස භූමිය හා පොදු දේපළ විකුණා දමා නාස්තිකාර ජීවිත නඩත්තු කිරීමට ජාතික ධනය යොදවා ඇත. ඒ ඊනියා දේශපාලකයින් අර්බුදයට මුහුණ දෙන ආකාරයයි. අවසන් විග‍්‍රහයේදී මෙසේ හඳුනා ගත හැක.

දේශපාලඥයා(දේශපාලන විද්‍යාඥයා)

මානවාදී සමාජ විද්‍යාඥයින් හා චින්තකයින් ය. රටේ අර්බුද හා ජන ජීවිතයට බලපාන්නා වූ ගැටලූ කෙරෙහි දීර්ඝකාලීන හා කෙටි කාලීන විසඳුම් සොයන පරාර්ථකාමී හික්මුණු මහත්මා ගති ඇති මන උසස් වූවන් ය. චාම් සරල ජීවිත් ගෙවන ඔවුහු මානව හා පරිසර හිතවාදීන් ය. 

දේශපාලකයා
ජාතික සම්පත් වලින් උපරිමය තමා සතු කර ගැනීමට ඕනෑම තක්කඩිකමක් කිරීමට පසුබට නොවන, තාන්න මාන්න හා නොයෙකුත් වරප‍්‍රසාද හා මාධ්‍ය වල පෙනී සිටින, ඡන්ද දායකයා තමාගේ යටත් වැසියන් ලෙස සලකන, මහජන අරමුදල්වලින් ඉදිකෙරෙන පාරවල් හා ගොඩනැගිලිවලට තම නම ඇතුලත් කර ගැනීම හා තමාගේ භූදලයෙන් ලබා දෙන්නාක් මෙන් ඇඟවීම, නොහික්මුණු, බොරු කියන, විවිධ දූෂණ වල යෙදෙන ලැජ්ජා නැති තක්කඩියා ය.

එබැවින් පෙර සඳහන් කලාක් මෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන විද්‍යාඥයින්ගේ මැදිහත් වීම, ඉදිරිපත් වීම රටට අවශ්‍ය වකවානුවකි. ඊනියා දේශපාලකයින් පලවා හැර දේශපාලන විද්‍යාඥයින්ට මේ රට භාර කරීමට බුද්ධිමත් ජනතාව වහ වහා පියවර ගත යුතුව ඇත.දේශපාලකයින්ගේ සුරංගනා කථා වලින් අත් වී ඇති ඉරණම තේරුම් ගැනීමට වර්තමාන සිදුවීම් ප‍්‍රමාණවත් නොවේ ද?

සුනන්ද රත්නායක - 

Top