1150 x 80 px

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය: ආචාර්ය විජයදාස රාජපක්ෂට පිළිතුරක් (2)

 

(5) ආචාර්ය විජයදාස රාජපක්ෂ: 

‘‘සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ. ආර්. ජයවර්ධන පිළිවෙලින්, 1970 දී සහ 1977 දී, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් සකස් කර ගනිද්දී, ඔවුන් විදේශ විශේෂඥයන්ගේ උපදෙස් සෙව්වේ හෝ එවැනි විශේෂඥ උපදෙස් සඳහා මහජන මුදල් දසලක්ෂ ගණනින් වැය කෙළේ හෝ නැත. රට වෙනුවෙන් අවශ්‍ය කරන නීති සම්පාදනය කිරීමට නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ සාමාජිකයන් අසමත් වන්නේ නම් හෝ ඒ සඳහා ඔවුන්ට හැකියාව නැත්නම්, එවැනි පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ ඇති ප‍්‍රයෝජනය කුමක් ද?’’

 

අපේ කිසි ව්‍යවස්ථාවක්, ව්‍යවස්ථාදායකයේ මන්ත‍්‍රීවරුන් විසින් ‘කෙටුම්පත්’ කෙළේ නැත. 1946 ව්‍යස්ථා කෙටුම්පත් ඉතිහාසය ගැන කවුරුත් දනිති. ඒ ගැන මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවේ. 1972 ව්‍යවස්ථාව කෙටුම්පත් කෙළේ, නීතිඥයන්, විද්වතුන් සහ දේශපාලන විද්‍යාඥයන් ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවක් විසිනි. (මම ද එහි සාමාජිකයෙකු වීමි). අනතුරුව අමාත්‍ය අනු-කාරක සභාවක් සහ මෙහෙයුම් සහ විෂය භාර කමිටුවක් හරහා එය ව්‍යවස්ථා සම්පාදක සභාවට ඉදිරිපත් කෙරුණි. අනතුරුව එම ව්‍යවස්ථා සම්පාදක සභාව කාරක සභා එකොළහකට බෙදුණු අතර, ඒ එකිනෙක කාරක සභාව, ව්‍යවස්ථාවේ එක පරිච්ෙඡ්දය බැගින් විස්තරාත්මකව සොයා බැලූවේය. මහජනතාවගෙන් වාචික යෝජනා ලබා ගත්තේය. ඒ සියල්ලෙන් පසු, ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුව, ව්‍යවස්ථා සම්පාදක සභාවට ඉදිරිපත් කිරීම සඳහා අවසාන කෙටුම්පත සකස් කෙළේය.

1978 ව්‍යවස්ථාව කෙටුම්පත් කෙළේ ද ‘විශේෂඥයන්’ පිරිසක් විසිනි. (ඊට ගාමිණී දිසානායක සහ මාක් ප‍්‍රනාන්දු ඇතුළත් වූ බවට එකල විශ්වාසයක් විය). අනතුරුව එය, 1972 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද ජාතික රාජ්‍ය සභාවේ තේරීම් කාරක සභාවක රැස්වීම් වාරයට ඉදිරිපත් කෙරුණි. මේ තේරීම් කාරක සභාව රැස්වීම් වාර ගණනාවක් පවත්වා තිබුණු අතර, ඊට සහභාගී වූ විපක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ මෛත‍්‍රීපාල සිරිසේනගේ උපදේශකයෙකු වශයෙන් මම ද එයින් සමහර සැසිවලට සහභාගී වූයෙමි. මේ මගින් වාචික නියෝජන ලබාගෙන තිබුණු අතර, අනතුරුව කෙටුම්පත් සංශෝධන සැලකිල්ලට ගනු ලැබුණි. ඒ සංශෝධන අතර, මා විසින් සකස් කොට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ෙඡ්දයක් ද විය. කෙසේ වෙතත්, ආණ්ඩුවේ අභිප‍්‍රාය වී තිබුණේ, තේරීම් කාරක සභාව හරහා පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නොව, තේරීම් කාරක සභාවට පිටස්තරින් සකස් කරන ලද අලූත්ම ව්‍යවස්ථාවක් මගින් පවතින ව්‍යවස්ථාව අහෝසි කොට ප‍්‍රතිස්ථාපනය කිරීමට බව දැන ගැනීම අපව පුදුමයට පත්කෙළේය.

1974 සහ 1975 යුක්ති විනිශ්චය පරිපාලනය පිළිබඳ පනත් කෙටුම්පත් කිරීමේදී, කැනඩාවේ, එක්සත් රාජධානියේ සහ ඕට්‍රේලියාවේ නීති ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවල වාර්තාවලින් සහ නිර්දේශවලින් අපි ඉමහත් ප‍්‍රයෝජන ලැබුවෙමු. ප‍්‍රිවි කවුන්සිලය වෙත අභියාචනා කිරීමේ අයිතිය අහෝසි කිරීමේ පනත මා කෙටුම්පත් කිරීමේදී, ඒ වන විටමත් එසේ කර තිබූ රටවල්වල අත්දැකීම් සහ ඒ කෙරෙහි එම රටවල් විසින් ලබා දී තිබු දායකත්වයන් මට ඉමහත් ප‍්‍රයෝජනවත් විය.

(6) ආචාර්ය විජයදාස රාජපක්ෂ:
‘‘1940 දී කොරියානු ජනතාව එම රට බෙදීමට හිතුවේවත් නැත.. එහෙත් එම රට දකුණු කොරියාව සහ උතුරු කොරියාව වශයෙන් බෙදා වෙන් කෙළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි.’’... ‘‘කොසෝවෝ ප‍්‍රදේශය සර්බියාවෙන් වෙන් කිරීමටත්, 2011 දී සුඩානය බෙදා වෙන් කිරීමටත් කටයුතු කෙළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.’’

මේ වනාහී සමකාලීන ලෝක ඉතිහාසය පිළිබඳ අති ග‍්‍රාම්‍ය ප‍්‍රකාශයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හෑල්ලූවට ලක් කිරීමත්, ශ‍්‍රී ලංකාවේ ‘අභ්‍යන්තර කටයුතුවලට’ එම සංවිධානය ඇඟිලි ගැසීමක් ගැන ගම්‍ය කිරීමත් එම ප‍්‍රකාශයේ අභිප‍්‍රාය වන බව පෙනේ. දෙවැනි ලෝක යුද්ධය අවසන් වන අවස්ථාවේ ජපානය යටත් වීමත් සමග කොරියානු අර්ධ ද්වීපය බල කලාප දෙකකට බෙදා වෙන් කෙරුණි. සෝවියට් දේශය විසින් උතුරු කොරියාව අත්පත් කරගෙන තිබුණු අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් දකුණු කොරියාව අත්පත් කරගෙන තිබුණි. ඒ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයක් තිබුණේ ද නැත. ඔටෝමන් අධිරාජ්‍ය සමයේ සිට සර්බියාවේ කොටසක් වූ කොසෝවෝ, 2008 දී සර්බියාවෙන් නිදහස් වීම ප‍්‍රකාශයට පත් කෙළේය. මේ වන විට රටවල් 111 ක් මගින් පිළිගනු ලැබ තිබුණත්, තවමත් එය එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් නොවේ. දකුණු සුඩාන ජනරජය පිහිටුවන ලද්දේ සුඩානයෙන් වෙන් වීම සඳහා පවත්වන ලද ජනමත විචාරණයකදී සියයට 83 ක ජනතාවක් ඊට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ආචාර්ය රාජපක්ෂ කියන පරිදි, එක්සත් ජාතීන්ගේ සංවිධානය සුඩානය ‘වෙන් කිරීමට’ දායක වුණේ නැත.

(7) ආචාර්ය විජයදාස රාජපක්ෂ:
‘‘උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙසෙන ජනතාවට ස්වයං-නිර්ණ අයිතිය ලබා දෙමින්, මෙරට ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ බලතල බෙදා හැරෙන අලූත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව ඇත්තේ කාටද? බුද්ධාගමට පිරිනැමෙන ප‍්‍රමුඛ ස්ථානය ඉවත් කිරීමට අවශ්‍ය කරන්නේ කාටද? මෙහිදී පැන නගින ප‍්‍රශ්නය වන්නේ, සිංහලයන්ගේ ඡන්ද මිලියන 9.4 ක් නොසලකා හරිමින්, සුළු ජාතික ඡන්ද 2.5 ක් සතුටු කිරීම සඳහා අලූත් ව්‍යවස්ථාවක් ඇති කර ගත යුතුද යන්නයි. නීති ඇති කර ගත යුත්තේ බහුතරයේ අදහස් උදහස් අනුව ය. සුළුතරයේ අදහස් උදහස් අනුව නොවේ.’’

නීතිය ගැන මෙන්ම පැවිදි කටයුතු ගැනත් උගතෙකු වන පුද්ගලයෙකු, තමන්ගේ ප‍්‍රජාව නොවන වෙනත් ප‍්‍රජාවන් ගැන මෙතරම් හෑල්ලූවෙන් සිතීම කණගාටුවට කාරණයකි. කෙනෙකුගේ රට තුළ වෙසෙන වෙනත් ප‍්‍රජාවක් හෑල්ලූවට ලක් කිරීම, සමාජයීය වශයෙන් අතිශය පිළිකුල් සහගත ය. දේශපාලනික වශයෙන්, අතිශය ඔලමොට්ටල ය. ආර්ථික වශයෙන්ථ අතිශය ගොබ්බ ය. ‘‘විසම්මුතික ප‍්‍රකාශනයන් කලමනාකරණයේදී එවැනි එළැඹුමක් දකින්ට ලැබෙන්නේ, නූතන රාජ්‍යයේ ප‍්‍රභවය හඳුනා ගැනීමට අසමත්, එහි දර්ශනය, එහි ආයතන සහ එහි ආඥා වටහාගත නොහැකි, නියාලූ පුද්ගලයන්ගෙන් පමණි’’ යනුවෙන් එක් කීර්තිමත් නීතිවේදියෙකු කියා තිබේ. ශ‍්‍රී ලංකාවේ ශක්තිය සහ සුන්දරත්වය රැඳී පවතින්නේ එහි ඇති ඇලදොළ සහ කඳුහෙල්වල නොව, එහි වෙසෙන මිනිසුන් තුළ ය. ඒ මිනිසුන් බහු-වාර්ගික වන්නේය. බහු-ආගමික වන්නේය. බහු-භාෂාමය වන්නේය. යම් ජාතියක විචිත‍්‍රත්වය මැවෙන්නේ එයිනි.

මීට විසි එක් වසරකට පෙර, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අනුස්මරණ දේශනයේදී මා ප‍්‍රකාශ කළ යමක්, අවාසනාවකට එදා මෙන්ම අදටත් වලංගු වන නිසා, නැවත මෙහි සටහන් කිරීමට කැමැත්තෙමි: ‘‘රටක වෙසෙන ජනතාවකගේ වැඩෙන අභිලාෂයන්ට ව්‍යවස්ථා සම්පාදනය හරහා ආමන්ත‍්‍රණය කිරීමට නොහැකි වන්නේ නම්, එම ව්‍යවස්ථා සම්පාදනය අර්ථ විරහිත වන්නේය. උතුරු සහ නැගෙනහිර වෙසෙන සුළුතර ප‍්‍රජාවන් සැබෑ ස්වායත්ත භාවයක් වෙනුවෙන් නගා ඇති හඬ වේගවත් ය. පැහැදිළි ය. ඔවුන් ඉල්ලා සිටින්නේ අවකාශයයි: තමන් ද කොටසක් වන බහු-සංස්කෘතික රාජ්‍යයක් තුළ ඒ අවකාශය සඳහා ඔවුන්ට අයිතියක් තිබේ. මිනිස් පැවැත්මේ මූලික අංගය අනන්‍යතාව වන නිසා, තම තමන්ගේ අසමසම අනන්‍යතා ආරක්ෂා කෙරෙන ඒ අවකාශය ඔවුන්ට අවශ්‍ය කෙරේ. ස්වකීය භාෂා සහ ඉතිහාසයත්, ජනප‍්‍රවාද සහ කතාන්තරත්, ඔවුන් නොනසා පවත්වා ගන්නේ ඒ අවකාශය තුළයි. ප‍්‍රජාවක අනන්‍යතාව අනුලංඝනීයයි. අප කවුරුන් වන්නේ ද යන්න ප‍්‍රමාණවත් නොවේ. අප කවුරුන් වන්නේ ද යන්න පෙනෙන්ට තිබිය යුත්තේය. ඇසෙන්ට තිබිය යුත්තේය. ගෞරවයට පාත‍්‍ර විය යුත්තේය. ඒ මූලික අයිතිය, බලහත්කාරයෙන් හෝ වෙනත් ආකාරයකින් අහිමි කෙරෙන විට, ප‍්‍රජාවන් ඊට එරෙහිව අරගල කරනු ඇත. එය දිනා ගැනීම සඳහා සටන් කරනු ඇත. සුළුතර ප‍්‍රජාවක් සොයන මේ අවකාශය හෙට්ටු කළ හැක්කක් නොවේ. එබැවින් එය, ජනමත විචාරණයක් හෝ ජාතික එකඟත්වයක් හෝ සටන් විරාමයක් සමග වුව ගැට ගැසිය යුතු නැත. මේ සම්බන්ධයෙන්, නීතිය සහ සාමාන්‍ය බුද්ධියට අනුව අවශ්‍ය පියවර ගැනීම ආණ්ඩුවේ කාර්ය භාරය වන්නේය.’’

එබැවින්, පළාත් මට්ටමින් ආණ්ඩුකරණය පිළිබඳ මොන යම් එකඟත්වයන්ට පැමිණියත්, කේන්ද්‍රයේ බලය බෙදාහදා ගැනීමක් ද අතිශය වැදගත් වෙතැයි මට සිතේ. එය, කොළඹ වෙසෙන, දෙමළ ජනතාව නියෝජනය නොකරන, සී. කුමාරසූරියර් සහ කදිරගාමර් වැනි, තමන්ව පමණක් නියෝජනය කර ගන්නා පුද්ගලයන් ඇතුළත් කර ගැනීමෙන් කළ හැකි දෙයක් නොවේ. කේන්ද්‍රයේ බලය බෙදාහදා ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළම අඩංගු කළ යුත්තේය. මොන දේශපාලන පක්ෂයක් විසින් ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවත්, අඩු වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන සුළු ජාතික නියෝජිතයන් සංඛ්‍යාවට සමානුපාතික ප‍්‍රතිශතයක්වත්, කැබිනට් මණ්ඩලය තුළ වෙනත් වාර්ගික ප‍්‍රජාවන් නියෝජනය කෙරෙන සේ සකස් විය යුතුය. ඒ ආකාරයෙන්, සුළුතර ප‍්‍රජාවන්ට, සංකේතීය නියෝජනයක් නොව, ව්‍යවස්ථාදායකය තුළ සේම ආණ්ඩුව තුළත්, සැබෑ නියෝජනයක් ව්‍යවස්ථාවෙන්ම සහතික වනු ඇත්තේය. එවිට ප‍්‍රතිපත්ති සම්පාදනය සිදුවනු ඇත්තේ, විවිධ වාර්ගික ප‍්‍රජාවන් අතරේ ඇති වන පොදු සම්මුතියෙනි. අප රටේ පවතින බහු-සංස්කෘතිකත්වය අප භාර ගනු ලබන්නේ නම්, පිළිගනු ලබන්නේ නම් සහ එය අපට ආඩම්බරයට කාරණයක් වන්නේ නම්, අප කළ යුත්තේ එයයි. එසේ නොමැතිව, දේශපාලනික දේහයේ පිළිකාවක් සේ සලකා එය අකාමකා දැමීම නොවේ.

ආචාර්ය නිහාල් ජයවික‍්‍රම විසිනි

2017 නොවැම්බර් 17 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Constitutional Reform: A Reply to Dr. Wijayadasa Rajapakse නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය: ආචාර්ය විජයදාස රාජපක්ෂට පිළිතුරක් (1)

Top