1150 x 80 px

යුධ අපරාධ සහ සයනයිඩ් කුප්පියේ ජාතිවාදය

බොස්නියානු ක්‍රොයේෂියානු හමුදා නායක-යුධ අපරාධකරු ස්ලොබොදාන් ප්රාල්ජැක්, සිය දඬුවම ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව නැගී සිට, යුධ අපරාධ අධිකරණයේදීම සයනයිඩ් ද්‍රාවණයක් පානය කර සිය දිවි නසාගත්තේය.

නෙදර්ලන්තයේ හේග් නුවර යුධ අපරාධ අධිකරණ ශාලාවේදී මෙම සිද්ධිය හටගත්තේ ස්ලොබොදාන් ප්රාල්ජැක් ව 1990 දශකයේ බොස්නියාවේ සිදුකළ යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනාවලට වරදකරු බවට ප්‍රකාශ කර 20 අවුරුදු සිර දඬුවමක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ය.

ටයිකෝට් හැඳගෙන සිය තීන්දුවට ඇහුම්කන් දීමෙන් පසු ඔහු කාමල් ඇගියස් විනිසුරුට බාධා කරමින් කෝපයෙන් යුතුව මෙසේ කීවේය.

“ස්ලොබොදාන් ප්රාල්ජැක් යුධ අපරාධකරුවෙක් නෙවෙයි. මම නුඹේ තීන්දුව පිළිකුළෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා.”

එසේ කියමින් ඔහු කුඩා කුප්පියක් වැනි යමක් ගෙන එය හොඳහැටි බීවේය.

“කරුණාකරල නවත්වන්න. කරුණාකරල වාඩිවෙන්න..” එවිට විනිසුරු කීවේය.

නමුත් ප්රාල්ජැක් නැවතුණේ හෝ වාඩි වුණේ නැත.

යුධ අපරාධකරුවා පොටෑසියම් සයනයිඩ් ද්‍රාවණයක් පානය කර සියදිවි නසා ගන්නට තීරණය කර තිබුණේය.

විනිසුරුට සිදුවෙමින් පවතින දෙය ගැන හැඟීමක් තිබුණේ නැත. ඔහු නැවතත් සිය ලේඛන වෙතට නැඹුරු වී නඩු තීන්දුව වෙනත් භාෂාවකින් උච්ඡාරණය කරන්නට පටන් ගත්තේය.

තත්පර 40 ක් පමණ ගෙවුණු තැන විනිසුරු වික්ෂිප්ත වී ප්රාල්ජැක් දෙස බැලුවේ ඔහුට අමුත්තක් දැනුණු නිසා ය. ඒ සමගම භාෂා පරිවර්තිකාව ප්රාල්ජැක් පැවසූ දෙය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර අධිකරණය හමුවේ තැබුවාය. “මම වස බිව්වා...!”

රෝහලට ගෙන යාමෙන් පසු මරණ පරික්ෂණයේදී හෙළි වූයේ වස පානය කිරීමෙන් අනතුරුව ඔහුට හදිසි හෘදයාබාධයක් වැළඳුණු බවයි. මේ සිය දිවි නසාගැනීමේ සම්පූර්ණ නාටකයම සජීවී අන්දමින් රූපවාහිනී කැමරාවල ද සටහන් වී තිබුණේය.

72 හැවිරිදි ස්ලොබොදාන් ප්රාල්ජැක්ට එරෙහිව විභාග වෙමින් තිබුණේ යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ අභියාචනයයි. ඔහු පැරදී සිටියේය.

ස්ලොබොදාන් ප්රාල්ජැක් හිටපු බොස්නියා-ක්‍රොයේෂියා හමුදා නායකයා ය. ඔහුගේ දඬුවම සහ මරණය හේතුවෙන් සුදු කොඩි එසවෙන සහ දුක් ගී ගැයෙන ගම් පළාත වූ බොස්නියා හර්සගොවීනාවේ කැප්ල්ජිනා නුවර ගල්පර බහුල කඳුකරයේ මෙබඳු කියමනක් වෙයි. “මෙහෙ සරුවට ඉන්නෙ සර්පයො විතරයි... මෙහෙ සරුවට තියෙන්නෙ ගල්කැටයි, උස්තාෂයි විතරයි....” උස්තාෂා යනු දෙවන ලෝක යුධ සමයේ ක්‍රොයේෂියාවේ පැවති ෆැසිස්ට්වාදී ව්‍යාපාරයයි. එනිසා මේ පෙදෙස ජාතිකවාදයේ හදබිම වශයෙන් සැලකුණි.

1992-95 බොස්නියානු යුද්ධයේදී යුධ අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් හේග් අධිකරණයේදී වරදකරුවන් වූ වාර්ගික ක්‍රොයේෂියානුවන් සය දෙනාගෙන් ප්රාල්ජැක් ද එක් අයෙකි. බොස්නියානු මුස්ලිම්වරුන් වාර්ගික ශෝධනයට ලක් කිරීමේ ‘හවුල් සාපරාධී ව්‍යාපාරයක” (a joint criminal enterprise) ඔහු ප්‍රධාන කොටස්කරුවෙකු වූ බව අධිකරණයේදී සනාථ විය. බොස්නියානු යුද්ධයේදී මොස්ටාර් නගරය අල්ලාගෙන එහි තිබූ 16 වන සියවසේ පාලම ද වනසා මුස්ලිම්වරුන් පවුල් පිටින් සංහාරය කිරීම ඔහු කළ අපරාධ ලැයිස්තුවේ ඉදිරියෙන්ම වෙයි. බොස්නියානු හර්සගොවීනාවේ ජනගහනයෙන් 16%ක්ම එකල සිටියේ මුස්ලිම්වරුන් ය.

එදා ප්රාල්ජැක්ලා විසින් සිදුකළ සංහාරයේ ශේෂයන් තවමත් මොස්ටාර් හි වේ. අද ද මොස්ටාර් බෙදුණු නුවරකි. බොස්නියානු මුස්ලිම්වරුන් එහි ජීවත් වන්නේ නගරයේ නැගෙනහිර කෙළවරේ ය. ඒ ප්‍රජාව අතර ප්රාල්ජැක්ලාගේ හමුදාව නිසා එකම පවුලේ 14 දෙනෙක් අහිමි වු අය, ස්නයිපර් ප්‍රහාරවලින් දෙපා අහිමි අය එමට සිටිති. මේ අතර ක්‍රොයේෂියානුවන් මොස්ටාර් නුවර ජීවත් වන්නේ බටහිර කෙළවරේ ය. ප්රාල්ජැක්ගේ සියදිවි නසාගැනීම ගැන පුවත සැළ වූ වහා මේ දෙකොටස අතර හිඩැස පිරවූයේ පොලිස් භටයන් ය. මෙම සිය දිවි නසාගැනීමේ නාටකය විසින් ක්‍රොයේෂියානුවන්ගේ පරණ තුවාළ පාරවා තිබේ.

ජිනීවා සම්මුතිය කඩකිරීම, බරපතළ ලිංගික අඩන්තේට්ටම් සහිතව වින්දිතයන් පීඩාවට ලක්කිරීම, වර්ග සංහාරය යනාදී චෝදනා නවයක් ඔහු යුධ සමයේදී කළ කී දෑ අතරට ඇතුළත් වී තිබිණි. පැරණි යුගෝස්ලෝවියාව සඳහා පිහිටවූ යුධ අපරාධ අධිකරණයට ප්රාල්ජැක් 2004 වසරේදී ස්වෙච්ඡාවෙන්ම භාර වූ අතර, 2006 වසරේ පටන් ක්‍රොයේෂියානු-බොස්නියා යුද්ධයේදී මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ අපරාධ කළ සය දෙනාගේ ලැයිස්තුවට ඔහුගේ නම ද ඇතුළත් කෙරිණි.

ප්රාල්ජැක් නූගතෙක් නොවේ. සරසවි උපාධි 3 ක හිමිකරුවෙකි. ප්‍රථම උපාධියට අනුව ඔහු විදුලි ඉංජිනේරුවෙකි. දෙවන උපාධියට අනුව ඔහු දර්ශනවාදියෙක් සහ සමාජ විද්‍යාඥයෙකි. තෙවන උපාධියට අනුව ඔහු නාට්‍යකරුවෙකි. එසේම චිත්‍රපට සහ රූපවාහිනී මාලා නාටක අධ්‍යක්ෂවරයෙක් ද වේ. ව්‍යාපාරිකයෙක් මෙන්ම ලේඛයෙක් ද වේ. මේ සියලු සුදුසුකම් මධ්‍යයේ ඔහුට නොතිබුණු එක් ප්‍රධානතම සුදුසුකම වූයේ මනුෂයත්වයයි.

ආරක්ෂක ඒජන්සියක ප්‍රධානියෙකුගේ පුතෙකු වශයෙන් හැදී වැඩුණු ඔහු විනය සහ දරදඬු තීරණ සිය ජීවිතයේ ආත්මය වශයෙන් තෝරාගෙන තිබිණි. මුස්ලිම්වරුන් ඇතුළු අන්‍ය ජාතීන් ගැන කිසිදාක ඔහු තුළ මනුස්ස හැඟීමක් තිබුණේ නැත. අවසානයේ 1991 වසරේ ක්‍රොයේෂියානු නිදහස් යුද්ධයෙන් පසු ඔහුට ද යුධ උන්මාදය වැළඳුණේය. ඔහුට අසීමිත ජාතිකානුරාගය නමැති සුව කළ නොහැකි රෝගය වැළඳුණු බව ද කියන්නට පුළුවන. ඔහු අලුත පිහිටවූ ක්‍රොයේෂියානු සන්නද්ධ හමුදාවට ජනරාල්වරයෙකු වශයෙන් සේවයට එක් වුණේය. සරයේවෝ ගිවිසුමෙන් පසු ඔහු වහාම මේජර් ජනරාල් තනතුරට උසස් කෙරිණි. 1993 වසරෙන් පසු ඔහු එරට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකු වශයෙන් වැජඹුණේය. සරයෝවෝ නගරය අල්ලාගැනීමේදී වාර්ගික බොස්නියානුවන්ට සහාය පළ කිරීම පිණිස ඔහු ආයුධ පිරවූ ට්‍රක් රථයක්ම සරයේවෝ වෙත යැව්වේය.

අවසානයේ ප්රාල්ජැක් කලින් මළේය. ඔහුගේ ජීවිතය ඔහුම තීරණය කරගත්තේය. ඒ අනුව සිය දහස් ගණන් මුස්ලිම්වරුන්ගේ දිවි අහිමි කිරීමේ අපරාධයට ඔහු, නියමිත දඬුවම වින්දේ නැත. එනයින් මේ සිදුවූයේ ඒ වින්දිතයන්ට තවදුරටත් යුක්තිය අහිමි වීම ය. එනිසාම බොස්නියානු මුස්ලිම්වරුන් තුළ මේ සියදිවි නසාගැනීම හෝ නඩු තීන්දුව ගැන විශේෂ දුකක් හෝ සතුටක් නැත. ඔවුන්ගේ ජීවිතවල හිස්කම, කිසිදා පිරවිය හැකි එකක් ද නොවේ. දේශපාලකයෝ ජාතිකවාදය උඩ දමාගෙන ජන ජීවිත සමග පන්දු කෙළිති. ජාතිකවාදයට එහි කවදත් තිබෙන්නේ හොඳ මාකට් එකකි. ලංකාවේ මෙන්ම බොස්නියාවේ ද තවමත් ඡන්ද කාලයට පමණක් යුධ අපරාධ තොරොම්බල් කිරීම ඇරඹේ. නායකයන්ව යුධ අපරාධ අධිකරණයට දක්කාගෙන යන විරුද්ධ දේශපාලන බලවේග ගැන එවිට ජාත්‍යානුරාගී හඬින් සාප කෙරේ. නමුත් ඒ සියල්ලම, ජනමතය සිල්ලර කඩපොළේ විකිණීමක් බව ජනතාව නොදනිති. ඇත්තෙන්ම දුක් විඳින ජනයාට හැර අන් කිසිවෙකුට ‘වේදනාව’ මතක නැත.

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

 

Top