1150 x 80 px

මම මොන පාටද?

මගෙ තාත්ත කොකේසියානුවෙක්. ඒ කියන්නෙ සුදු ජාතිකයෙක්. මගෙ අම්මා කළු ඇමරිකානුවෙක්. ඒ නිසා මම, බාගෙට කළු-බාගෙට සුදු.

“ඔයාගෙ ජාතිය මොකක්ද?” ඒ ප්‍රශ්නෙ මගෙ ජීවිතේ හැම දවසකම මට ඇහුණා.

මම හැදුණෙ වැඩුණෙ ලොස්ඇන්ජලීස් නුවර. එහෙ මිනිස්සු මගෙ අම්මගෙන් ඇහුව එයා මගෙ ආයම්මා ද කියලා. මොකද එයාගෙ හම කළු පාටයි. මගෙ හම සුදු පාටයි. එක වතාවක් එක්කෙනෙක් එයාගෙ මූණටම, මම ඉස්සරහම ඒක ඇහුවා. අම්මගෙ ඇස් දෙකේ කඳුළු පිරුණා. මට හුඟක් තරහ ගියා. ඒත් මට පුළුවන් වුණේ මෙහෙම කොඳුරන්න විතරයි. “ඒකට කමක් නෑ අම්මෙ..!”

එතකොට මගෙ වයස අවුරුදු 12 යි. මට ඉස්කෝලෙදි සංගනනයකට සහභාගි වෙන්න සිද්ධ වුණා. ඒක අනිවාර්ය පැවරුමක්. ඒකෙ මුලින්ම අහල තිබුණු ප්‍රශ්නයක් තමයි, මම සුදුද, කළුද, ස්පාඤ්ඤ ද නැතිනම් ආසියාතික ද කියලා.

හරි උත්තරය ඉස්සරහින් කොටුවක් අඳින්න තිබුණා.

මම පැටළුණා. මගේ හම යන්තමින් දුඹුරු පාටයි. මම කළු -සුදු දෙකම. මම ප්‍රශ්නෙ දිහා නැවත බැලුවා. මොන උත්තරය තෝරගන්න ද කියල මට තේරුමක් තිබුණෙ නෑ. ඒත් මට එක උත්තරයක් තෝරගන්නම සිද්ධ වෙලා.

ඒත් ඒකෙ තේරුම තමයි, මම අම්මයි තාත්තයි අතරින් එක්කෙනෙක් විතරක් තෝරගන්නව කියන එක. මම මගෙන් මොන අර්ධය ද තෝරගන්නෙ..? අම්මවද.. නැතිනම් තාත්තවද...?

මගෙ ගුරුවරිය මම ව්‍යාකූල වෙලා ඉන්න විදිහ දැක්කා. ඇය මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ඔයා සුදු ජාතිකයෙක් කියන කොටුව තෝරගන්න.”
ඒ ඇයි කියල ඇහුවාම ඇය කිව්වෙ මෙහෙමයි. “මොකද, ඔයාව පේන්නෙ එහෙම..”

ඒත් මට ඒක කරන්න බෑ.

මම පෑන බිමින් තිබ්බා. මගෙ අම්මගෙ දුක්බර මූණ මට මැවිල පෙනුණා. ඉතින් මම ඒ කොටුව හිස්ව තැබුවා. මම මගෙ අනන්‍යතාවය හිස් කොටුවක් කළා. ප්‍රශ්නාර්ථයක් විදිහට ඉතිරි කළා. සම්පුර්ණයෙන්ම අසම්පූර්ණව තැබුවා. එහෙම තමයි ඒ වෙලාවෙ මට දැනෙමින් තිබුණෙ.

මගෙ තාත්තා කවදාවත් තරහ ගන්න කෙනෙක් නෙවෙයි. එදා රෑ ඉස්කෝලෙදි වෙච්ච දේ මම ඔහුට කිව්වා. මොන කොටුවද පුරවන්නෙ කියල මම නොදැන හිටිය බව ඔහුට කිව්වා.

තාත්තා කිසිම දෙයක් කිව්වෙ නෑ. ඒත් එයා හිත ඇතුළෙන් ලොකු අරගලයක් කරමින් හිටියා. ඊට පස්සෙ තාත්ත කිව්ව දේ මගෙ ඉදිරි ජීවිතය යා යුතු මග සලකුණු කළා. තාත්ත කිව්වෙ මෙහෙමයි. “ඔයාට ගැළපෙන කොටුව ඔයාම අඳින්න. හැම තිස්සෙම සැබවින්ම ඔබ වෙන්න...”

ඔව්.. මම එය කළා. දැන් මම තමයි බ්‍රිතාන්‍ය රජ පවුලට සාදරයෙන් පිළිගැනෙන පළමුවෙනි මිශ්‍රජාතිකයා.. ද්විත්ව ජාතිකයා...

මම ආවෙ කොහෙන්ද කියන එක සහ මම දැන් කවුද කියන දෙකම එකයි.

ඔබ ඇත්තටම ‘ඔබ’ වෙන්න.

මම මෙගන් මර්කල්.

- පරිවර්තනය : අමාලි ජයවීර

 

 

Top