1150 x 80 px

යුද ගැටුම්කාරී තත්වයක් තුළ ලිංගික හිංසනය: දිවි ගැටගසා ගත් කාන්තාවන් පත් අපවාදය සහ සමාජ කැලල - ශ්‍යාමලා ගෝමස්

ශ්‍රී ලංකාවේ යුද්ධ කාලය තුළ සේම ඉන් අනතුරුවත් ලිංගික හිංසනයට ගොදුරු වු කාන්තාවන් මුහුණදෙන සමාජ අපවාදය ගැන යොමුව ඇති අවධානය අල්ප ය. ලිංගික හිංසනයට පත් කාන්තාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට පටබැඳෙන නින්දාව ගැන ප්‍රමාණවත් පරිද්දෙන් තොරතුරු සංගෘහිතව නැත. මෙවැනි පීඩාවන්ට පත්ව දිවි ගැටගසා ගත් ගැහැනුන් සඳහා සේවාවන් සපයන අංශවල භූමිකාවන් සහ වගකීම් කවරේ ද? යුද්ධ කාලය තුළ මෙන්ම ඉන් අනතුරුවත් ලිංගික හිංසනයට පත් කාන්තාවන්ට මුහුණදීමට සිදුවන සමාජ අපවාදවල ස්වභාවය ගැන තොරතුරු එක්රැස් කිරීමට ‘ෆෝකස් විමෙන්’ නැමැති සංවිධානය පටන්ගෙන තිබේ.

සමාජයෙන් නැගෙන අපවාදවලට ඇති බිය නිසා මේ කාන්තාවෝ, උපදේශන සේවාවන් සහ මනෝ විද්‍යාත්මක සේවාවන් මෙන්ම රජයේ සුභසාධන සේවාවන් පවා ලබා ගැනීමට පසුබට වෙති. එපමණක් නොව, අපරාධ යුක්ති විනිශ්චය සේවාවන්හි පිහිට පැතීමට හෝ මානව හිමිකම් කොමිසම වැනි වෙනත් ආධාර ලබා ගත හැකි ආයතන වෙත යාමට නොපෙළඹෙති. ලිංගික අල්ලසක් ඉල්ලා සිටිනු ලැබූ උතුරු පළාතේ එක් ගෘහමූලික කාන්තාවක් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළාය:

“මම දන්නවා මං කළේ හරි දේ නෙවෙයි කියලා. මං බියගුල්ලියක් කියලා මට හිතෙනවා. මේ වගේ අතවරවලට ලක්වෙච්ච හුඟාක් දෙනාව අපි උසාවිවලට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒත් ඒ දේ මට වෙච්ච වෙලාවේ මං උසාවියකට ගියේ නැහැ. අඩු ගානේ, පොලීසියට යන්න බැරි නම්, මානව හිමිකම් කොමිසමට හරි යන්න මට තිබුණා. ඒත් මං ඒක කළේ නැහැ. මට බය හිතුණා හැමෝම මේක දැනගෙන ඕපදූප කියන්න පටන් ගනීවි කියලා. මට ලොකු පුතෙක් ඉන්නවා. එයා මේක දැන ගත්තොත්, හරි නරකක් වෙන්න තිබුණා. මොකද, දැනටමත් මට මිනිස්සු කයිකතන්දර කියනවා. ස්වාමි පුරුෂයෙක් නැතුව ඉන්න මං වගේ ගැහැනුන්ට කතා පටබඳින සමාජයක ජීවත් වෙන එක ලේසි නැහැ. ඒ වගේ සමාජෙක පිරිමි බලාපොරොත්තු වෙන සදාචාර සීමාවෙන් අඟලක් එහාට මෙහාට වුණොත් ඒ ගෑනිව වේසියෙක් විදිහටයි ගණන් ගැනෙන්නේ.”

දකුණේ හමුදා නිලධාරියෙකුගේ වැන්දඹු බිරිඳක් කී කතාවක් තුළත් මේ සමාජ අපවාදය පිළිබඳ භීතිය ප්‍රකාශයට පත්විය:

“වෙච්ච දේ ගැන පැමිණිලි කරන ගෑනිට තමයි අන්තිමේදී කියන්නේ, එයාගේ වරදින්ම තමයි ඔහොම වුණේ කියලා.”

ග්‍රාම නිලධාරියෙකු විසින් ලිංගික අල්ලසක් ඉල්ලා සිටි දකුණේ රණවිරුවෙකුගේ වැන්දඹු බිරිඳක් ඒ ගැන කීවේ මෙලෙස ය:

“ඒ මිනිහා ගැන මං කාටවත් පැමිණිලි කළේ නැහැ. මෙච්චර ප්‍රියමනාප, නිතර අනුන් ගැන හිතන, වැදගත් මහත්තයෙක්, තමන්ගේම නෑ වෙන ගෑනියෙකුට මෙහෙම යෝජනාවක් කළා කියලා කවුද විස්වාස කරන්නේ? ඒ වගේ අභූත චෝදනාවක් කළා කියලා අන්තිමට හැමෝම මටම දොස් කියාවි. ඒක නිසා මං හිතුවා, කට වහගෙන ඉන්න එක තමයි හොඳම දේ කියලා.”

අදහස් ප්‍රකාශ කළ බොහෝ කාන්තාවන්, මෙවැනි සිද්ධියක් නිසා තමන්ගේ දරුවන්ට අත්විය හැකි අපවාද ගැන සිතා, එවැනි දුකක් ඔවුන්ට දීමට ඇති අකමැත්ත හේතුවෙන්, වනචරයන්ගෙන් තමන්ට සිදු වූ ගැහැට නිශ්ශබ්දව විඳ දරාගෙන තිබුණි. ලිංගික හිංසනය සහ ඒ සමග පවුලේ අයට විඳින්ට සිදු විය හැකි සමාජ අපවාදය පිළිබඳ බියෙන් පෙලුණු උතුරේ කාන්තාවක්, රජයේ සෞඛ්‍ය පරීක්ෂකයෙකුගෙන් තමන්ට අත්විඳීමට සිදු වූ ගැහැට පිළිබඳව මෙසේ කීවාය:

“උපදේශිකාව හරිම කරුණාවන්තයි. ඉවසිලිවන්තයි. මං පත්වෙලා හිටිය තත්වෙන් ගොඩ එන්න ඈ මට උදව් වුණා. මං මේ ගැන කාටවත් පැමිණිලි නොකළේ, හැමෝම ඒ ගැන දැන ගනියි කියන බය නිසා. මගේ දුවට හොඳ ස්වාමි පුරුෂයෙක් හොයා ගන්න ඕනේ. මේ වගේ දෙයක් නිසා දුවගේ ඉදිරි ජීවිතේ කාලකණ්ණි කරන්න මට ඕනේ වුණේ නැහැ.”

ලිංගික හිංසනය නිසා ඇති විය හැකි සමාජ අපවාදය ඉතා දරුණු ය. යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු වාර්ගික කාන්තාවන් එම හිංසනයට ගොදුරු වී ඇත. හිංසනයට ලක්වූ කාන්තාව පමණක් නොව, ඇගේ පවුලේ සාමාජිකයන් ද, ඉන් ඇති කෙරෙන සමාජ අපවාදය විඳිය යුතුය. ගම සමග ඇති පවුලේ සම්බන්ධතා ඒ මගින් පලුදු වන්නේය. මේ අපවාදය සමාජ කැලලකි. ලිංගික හිංසනයට ලක්වූ කාන්තාවක් කෙරෙහි ඇති විය හැකි සමාජ අපවාදය මුලිනුපුටා දැමීම සඳහා, ආකල්පමය වෙනසක් අවශ්‍ය කෙරේ. සමාජයේ විවිධ මට්ටම්වලින් සහ විවිධ අංශ අතරින් නැගෙන ඒකාග්‍ර ප්‍රයත්නයක් ඒ සඳහා අවශ්‍ය කෙරේ. යුද්ධය හේතුවෙන් ලිංගික හිංසනයට පත් කාන්තාවන් අත්විඳින සමාජ අපවාදය දුරලීම සඳහා රජය පියවර ගත යුතුව තිබේ. එය, රජයේ ඉහළ තැන්වලින්ම ඇරඹිය යුත්තකි. ඒ ආශ්‍රයෙන් ගත් විට, ‘එක්සත් රාජධානියේ ලිංගික හිංසනය වැලැක්වීමේ සංවිධානය’ විසින් සංගෘහිත කොට ඇති ‘සමාජ අපවාද පිළිබඳ විශ්ව ප්‍රතිපත්ති’, යුද්ධයෙන් බැටකෑ රටවල සහ යුද්ධයෙන් ගොඩ එමින් ඇති රටවල කාන්තාවන් මුහුණදෙන මෙවැනි සමාජ අපවාද ආමන්ත්‍රණය කිරීම සඳහා වන ප්‍රයෝජනවත් මෙවලමක් වන්නේය.

- සිංහලට පරිවර්තනය - ‘යහපාලනය ලංකා’

Top