1150 x 80 px

ස්වභාවික ව්‍යසන, ආපදා කලමනාකරණය සහ ශ්‍රී ලාංකික අපි

ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්ය‍න් අනූන රටකි. ලෝකයේ අනිත් රටවල වැසියන් මුහුණ දෙන අධික සීතල හෝ උණුසුම සහිත දේශගුණයන්ට මුහුණ දීමට අපට සිදුවන්නේ නැත. ගිනි කඳු පිපිරීම්, භූමි කම්පා මෙන්ම ප්‍ර‍චණ්ඩ සුලි කුණාටු ද අපි අත් නොවිඳින්නට තරම් වාසනාවන්ත වෙමු.

එහෙත් පසුගිය දශක දෙකක් තුළ කලින් කලට ඇතිවන ගංවතුර, නායයෑම්, නියඟය වැනි ස්වභාවික විපත්වලට මුහුණ දීමට රටක් ලෙස අපට සිදුව තිබේ. වසර 1976 සිට 2003 දක්වා වාර්ෂික ස්වභාවික ආපදා සිදුවීම් සංඛ්‍යාව පැවතියේ 60 ක තරම් අඩු අගයකි. ඉතා විශාල ලෙස 2006 වසරේදී මෙම අගය වර්ධනය වූ අතර එතැන් සිට අද දක්වාම එහි අඩුවක් දක්නට නැත. මිනිසුන් ලෙස අපට ස්වභාව ධර්මය පාලනය කර නොහැකි ය. එහෙත් ස්වභාවික ආපදාවන්ට කලින් ම සූදානම් වීමටත්, පසුවිපත් අවම කිරීමටත්, නිසි යාන්ත්‍ර‍ණයන් සකස් කිරීම ඔස්සේ අපට හැකියාව පවතී. දිස්ත්‍රික්ක 15කට අයත් පවුල් 18000කට අධික සංඛ්‍යාවක් ගංවතුර ආපදාවෙන් පීඩා විඳින අතරතුර සකස් කෙරෙන මෙම ලිපිය, වර්තමාන ශ්‍රී ලංකාවේ ආපදා කලමනාකරණ ක්‍රියාවලිය පිලිබඳ කෙරෙන විමසා බැලීමකි.

ආපදා කලමනාකරණය පිණිස ම වෙන් වූ ආයතනයක්
වසර 2004 දෙසැම්බර් මස 26 වන දින වාර්ථාගත ඉතිහාසය තුළ විශාලතම ස්වභාවික ඛේදවාචකයට රටක් ලෙස අපට මුහුණදීමට සිදුවිය. ඒ 40000කට අධික නෑදෑ හිතවතුන් ප්‍ර‍මාණයක් සදහටම අපෙන් වෙන් කළ සුනාමි ව්‍යසනයයි. විනාශ වූ යටිතල පහසුකම් ගොඩනැගීම, අවතැන් වූවන්ට රැකවරණය සැලැස්වීම ඇතුළු දහසකුත් එකක් ප්‍ර‍ශ්ණ සහ අභියෝගවලට මුහුණදෙන අතර ආපදා කලමනාකරණය අතින් මූලික අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කිරීමට රජයට සිදු විය.

(I) ස්වභාවික විපත් හැකි තාක් කලින් හඳුනා ගැනීමට අවශ්‍ය අනතුරු හැඟවීම් පද්ධතියක් ස්ථාපනය කිරීමත්,
(II) ආපදාවන් හීදී පසු විපත් අවම කරමින් ඒවා හැකිතාක් සුමට ලෙස කලමනාකරණය කිරීමට
අවශ්‍ය යාන්ත්‍ර‍ණයක් නිර්මාණය කිරීමත්, ය.

උක්ත ගැටලු විසඳාලමින් 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ආපදා කලමනාකරණ පනත එවක රජය විසින් හඳුන්වා දුන් අතර, ජාතික ආපදා කලමනාකරණ කවුන්සලය සහ එහි ක්‍රියාකාරී ආයතනය ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සංස්ථාපනය කිරීම ඒ අනුව සිදු විය. මින් ජාතික ආපදා කලමනාකරණ කවුන්සලය ආපදා අවදානම අවම කිරීම සහ පසු ආපදා තත්ත්වයන් කලමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඉහල දේශපාලනික අවධානය ලබා ගැනීමේ අරමුණින් පිහිටවූ අතර ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, ආපදා කළමනාකරණයට සම්බන්ධ විෂයයන් අයත් කැබිනට් අමාත්‍යවරු මෙන්ම සෑම පළාත් සභාවකම ප්‍රධාන අමාත්‍යවරුන් මෙහි සාමාජිකයෝ වෙති.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයෙහි ආයතනික ක්‍රියාවලිය බාහිර සහ අභ්‍යන්තර ලෙස කොටස් දෙකකි. ඉන් අභ්‍යන්තර ක්‍රියාවලිය අධ්‍යක්ෂ ජෙනරාල් තුමන් යටතේ වෙන වෙනම ම පාලනයවන අංශ 5කින් ද බාහිර යාන්ත්‍රණය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානවලින් ද සමන්විත ය. සියලූ ම ප්‍රාදේශීය මට්ටමේ ආපදා කලමනාකරණ කටයුතු දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන මඟින් පාලනය වේ.

ඊට අමතරව රජයේ අනෙකුත් සියලූම ආයතන හා එක් ව පූර්ව ආපදා අවදානම් අවම කිරීම, ආපදා සඳහා කඩිනම් සහන සැපයීම මෙන් ම යලි ගොඩනැගීමේ ක්‍රියාවලීන්ට තාක්ෂණික සහ කලමනාකරණ සහයෝගය ලබා දීම ද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයෙහි කාර්යය භාරයන් ය.

න්‍යායාත්මක ලෝකයෙන් ඔබ්බට
ඉහත යාන්ත්‍ර‍ණය ස්ථාපනය කර මේ වන විට වසර 12ක කාලයක් ගත වී ඇති බැවින් අප රටේ ආපදා කලමනාකරණය සම්බන්ධව පසු විපරමක යෙදීම වඩාත් කාලෝචිත ය. අතිමහත් වියදමක් කොට මුහුදු තීරය අවට සුනාමි අනතුරු ඇඟවීමේ කුළුනු පද්ධතියක් ස්ථාපනය කිරීමට අප සමත් වුව ද ඉදිකිරීම් සඳහා වෙරලාසන්න ඉඩම් තව දුරටත් අත්පත් කරගැනීමත් ඒ හේතුවෙන් වෙරළාශ්‍රිතව කඩොලාන පද්ධති විනාශ වීමත් පාලනය කිරීමට අප අසමත් ව තිබේ. පවුල් 137000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් කරමින් වසර 2003 දී සිදු වූ මහා ගංවතුර සහ නායයෑම් අවසානයේ දිගු කාලීන මෙන් ම කෙටි කාලීන සැලසුම් ඔස්සේ ගංවතුරට මුහුණ දිය යුතු බව යෝජනා කෙරිණි. එහි දී පාරිසරික සංවේදී ඉඩම් පරිහරණය, මිනිසුන් පදිංචි කරවීම සහ විවිධ සංවර්ධන ව්‍යාපෘති වල දී සැලසුමකට අනුව කටයුතු කිරීම දිගු කාලීන සැලසුම් විය. කෙටි කාලීනව නවීන උපකරණවලින් සන්නද්ධ සහන කණ්ඩායම් ස්ථානගත කිරීමත් ඒවා මනාව කලමනාකරණය කිරීමටත් යෝජනා කෙරිණි. එහෙත් වසර 13ක ඇවෑමෙන් පසුගිය වසරේ අප්‍රේල් මස ඇති වූ ගංවතුර අවස්ථාවේ දී ආපදා කලමනාකරණ යාන්ත්‍ර‍ණය යලිත් පිළිබිඹු කළ දියාරු ක්‍රියාකලාපය පිළිබඳ මහජන පැමිණිලි අපට කියා පාන්නේ මෙම යාන්ත්‍ර‍ණයන් බොහෝ අවස්ථාවල නීතියට සීමා වී ඇති බවයි.

ආපදා කලමනාකරණයේ දී අදාල රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොවීමේ දුර්වලතාවය ප්‍ර‍බලව ඉස්මතු වූ අවස්ථාවක් ලෙස කොස් ලන්ද හල්දුම්මුල්ල නායයෑමෙන් සිදු වූ ව්‍යසනය පෙන්වා දිය හැකි ය. එහි දී වසර 2012 සිට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය සමඟ එක්ව නායයෑමේ අවදානම් පාලනයට කටයුතු යොදමින් සිටි අතර අධි අවදානම් කලාපවලින් ඉවත් වන ලෙස දිස්ත්‍රීක් ලේකම්වරයා විසින් අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර තිබිණි. එහෙත් ජනතාව යලි පදිංචි කරවීමට හෝ ඔවුන්ට විකල්ප ඉඩම් ලබා දීමට කිසිඳු වැඩපිළිවෙලක් නොවීය. ප්‍ර‍තිඵලය වූයේ වසර 2014 ඔක්තෝබර් මස 29 වන දින සිදු වූ නායයෑමෙන් පුද්ගල ජීවිත 400 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වීමයි. ආපදාව සිදු වී වසර 3ක් ගතවී ඇතත් ඉන් අවතැන් වූවන්ගේ ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දීමට අප අසමත්ව සිටී. මින් තහවුරු වන්නේ පස්චාත් ආපදා කලමනාකරණය සම්බන්ධව ද අප උගත යුතු බොහෝ දේ ඇති බවයි.

ලොව වටා තොරතුරු බිඳක්
වර්තමානයේ ලොව වඩාත් සාර්ථක ආපදා කලමනාකරණ යාන්ත්‍රණයන් සහිත රටවල් අතර ජපානයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. වසර 1961 දී එරටට හඳුන්වා දුන් ආපදා වැලැක්වීමේ මූලධර්ම පනත (Disaster Countermeasures Basic Act) හි 1 වගන්තිය දක්වන්නේ රටේ භූමියත්, මහ ජනතාවත් ඔවුන්ගේ දේපලත් ආරක්ෂා කිරීම රටේ ප්‍ර‍මුඛතම ජාතික අවශ්‍යතාවය බවයි. අප රටේ මෙන් ජපානය තුළ මෙය වචනයට සීමා වී නැති අතර ජාතික, ප්‍රාදේශීය හා නාගරික යන ස්තර 3කින් යුත් යාන්ත්‍ර‍ණයක් ඔස්සේ ඔවුන් සිය ආපදා කලමනාකරණ කටයුතු මෙහෙයවනු ලබයි. ඒ අනුව, සහන සේවකයන් පුහුණු කිරීම, කල් ඇතිව ආපදා හඳුනා ගත හැකි තාක්ෂණික මෙවලම් වැඩි දියුණු කිරීම මෙන් ම තොරතුරු පද්ධති නවීකරණය කිරීම ආපදා නොමැති කාලවල දී ජපානය සිදු කරනු ලබයි. රට මුහුන දී ඇති ආපදා මට්ටම අනුව ක්‍රියාත්මක වන නීති පද්ධති කිහිපයක් ජපානය තුළ ඇති අතර ඒවා ක්‍රියාත්මකවන කාලය තුළ අනෙකුත් නීති පූර්ණ හෝ අර්ධ වශයෙන් අකර්මන්‍ය වේ. එතුලින් මුලු රට ම ආපදා සූදානමක තබන අතර කිසිඳු බාධාවකින් තොරව ක්‍රියා කිරීමේ බලය ද නිලධාරීන්ට ලබා ‍දෙයි.

නිසි ආපදා කලමනාකරණ යාන්ත්‍ර‍ණයක් උදෙසා
ශ්‍රී ලංකාවේ ආපදා කලමනාකරණය පිළිබඳ අධ්‍යයනයේ දී පෙනී යන මූලික ම කරුණ වන්නේ අප ආපදාවන්ට මුහුනදීම කෙරෙහි සැලකිලිමත්වන තරමටම ඒවා වලක්වා ගැනීමට අවධානය යොමු කර නොමැති බවයි. යලිත් ඇති විය හැකි සුනාමි ව්‍යසනයකට හෝ වෙරළ ඛාදනයට සාර්ථකව මුහුන දීමට නම් වෙරළේ සිට නිශ්චිත දුරකින් ගොඩනැගිලි ඉදි කිරීමත් කඩලාන පරිසර පද්ධති රැක ගැනීමත් අත්‍යාවශ්‍යය. එමෙන් ම අපට ගංවතුර අවදානම අවම කර ගත හැක්කේ අනවසර වැලි ගොඩදැමීම් සහ ගං ඉවුරෙහි සිදුකරන අනවසර ඉදිකිරීම් පාලනය කර හොත් පමණි. අවිදිමත් ඉඩම් භාවිතය, කෘෂිකර්මය සඳහා කඳුකරයේ ඉඩම් එළි පෙහෙළි කිරීම ආදිය මධ්‍යම කඳුකරයේ නාය යාම්වලට ප්‍ර‍ධාන හේතුවක් වී ඇති නිසා ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය.

ඊට අමතරව පසු ආපදා හානීන් අවම කිරීමට අදාල රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා නිරන්තරෙයන් යාවත්කාලීනවන පරිගනක ගත තොරතුරු පද්ධතියක් ස්ථාපනය කළ යුතු ය. සියලුම සහනාධාර බෙදාහැරීම්, සහන සේවකයන් ස්ථානගත කිරීම් මෙන් ම අවශ්‍ය අවස්ථාවල දී ආරක්ෂක හමුදා යෙදවීම් ද ජාතික සැලසුමකට අනුව සිදුවිය යුතු අතර ඒ සඳහා දැනට ක්‍රියාත්මක වන 2005 අංක 13 දරන ජාතික ආපදා කලමනාකරණ පනත සහ 2013 ආපදා කලමනාකරණය පිළිබඳ ජාතික ප්‍ර‍තිපත්තිය සංශෝධනය කර ඉන්දියාවේ දක්නට ලැබෙන ආකාරයේ හදිසි ආපදා පාලන මධ්‍යස්ථානයක් (Emergency Control Room) ස්ථාපිත කිරීම මෙරටට ජාතික අවශ්‍යතාවයකි. මේ සියල්ලටත් වඩා වැදගත් වන්නේ ඉහත කී කුමන ජාතික ප්‍ර‍තිපත්තියක් වුව ද ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලන පක්ෂවල හෝ පුද්ගල කණ්ඩායම්වල බලපෑම් අනුව වෙනස්වන්නට ඉඩ නොදීමයි. එසේ දේශපාලන උවමනා එපාකම් මත අපගේ ආපදා කලමනාකරණ යාන්ත්‍ර‍ණය හැසිරෙන්නට ඉඩ හරින තාක් එකී යාන්ත්‍ර‍ණයන් නීතියට පමණක් සීමා වීම නොවැලැක්විය හැක්කකි.

නීතීඥ D සුපුන් රෂින්ද ජයවර්ධන

Top