1150 x 80 px

බියෙන් ඇඹරෙනවා වෙනුවට ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයට කෙලින් මුහුණදිය යුතුය - රංග ජයසූරිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නොම්මර එකේ ඩීල්කාරයෙකි. ඔහු බලයේ සිටි ධුර කාල දෙක ඊට අගනා නිදසුනකි.

2015 ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාව ඡන්දය දීමෙන් වළක්වා තබා ගැනීම සඳහා ඔහු ප‍්‍රභාකරන්ව ඇන්දුවේය. පළමු වරට ඔහු ජනාධිපති වුණේ ඒ ආනිශංසෙනි. ඊළඟට, තමාට සහාය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ චාටුවෙන් නම්මවා ගත් ඔහු, අනතුරුව එම පක්ෂය කඩා ඉහිරෙව්වේය. එසේම, අවස්ථා දෙකකදී විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ගණනාවක් තම ආණ්ඩුවට ගැනීමට ඔහු සමත් විය. පළමු වර, යුද්ධය උච්ච අවස්ථාවකට පත්ව සිටි අවස්ථාවක ආණ්ඩුව ශක්තිමත් කර ගැනීමේ පිළිගත හැකි හේතුව පෙරදැරිව ය. දෙවැනුව, විධායක ජනාධිපති ධුරය දැරීමේ වාර දෙකේ සීමාව ඉවත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය කළ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමේ ආත්මාර්ථකාමී අවශ්‍යතාව පෙරදැරිව ය.

කෙසේ වෙතත්, මෙවර ඔහු කෙළේ නම ගිය ෂයිලොක්ගේ ආරයට කටයුතු කිරීමයි. ගත වූ සති කිහිපය තුළ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නියෝජිතයන් සහ මහින්ද රාජපක්ෂට පක්ෂපාතී ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් අතර දීර්ඝ වශයෙන් රහස් සාකච්ඡා පැවැත්වුණි. පාර්ශ්ව දෙක අතරේ එකඟත්වයක් ඇති කර ගැනීම සඳහා වන ස්වකීය අභිමතය ජනාධිපතිවරයා ලිඛිතව දන්වා තිබුණත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට මහින්ද රාජපක්ෂ උදක්ම ඉල්ලා සිටීම නිසා එම සාකච්ඡා බිඳ වැටුණි. ඒවා සාර්ථක වුවත්, එයින් ජනාධිපතිවරයාට අත්විය හැකිව තිබුණේ තාවකාලික වාසියක් පමණි. එවැනි එක් වීමක් තුළින්, ළඟදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ජාම බේරා ගැනීමට ජනාධිපතිවරයාට අවස්ථාව සැලසෙන්ට තිබුණි. එහෙත් ඒ සාර්ථකත්වය පවා රැඳෙනු ඇත්තේ, රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඒකාබද්ධ හෙංචයින් ජනාධිපතිවරයාට තොණ්ඩුව දමා ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙල ග‍්‍රහණයෙන් ගන්නා තෙක් පමණි.

දැන් ජනාධිපතිවරයා ගමන් මග වෙනස් කොට, යහපාලන ආණ්ඩුවේ දෙපාර්ශ්වය අතර මෙතෙක් නොරොක් වී තිබූ හොඳ හිත යළි පිළිසකර කරමින් සිටී. කෙසේ වෙතත්, මෙරටේ පැවැත්වෙන මැතිවරණ සාමාන්‍යයෙන් විසකුරු ය. මේ කියන කාරණයේදී දෙපාර්ශ්වයේ නායකයන්ගේ අභිලාෂ මොන තරම් යහපත් වෙතත්, බිම් මට්ටමේ සාමාජිකයන් සහ ප‍්‍රාදේශීය නායකයන් වැඩි කල් නොගොස් ඇනකොටා ගනු ඇත. වාර්තා වන පරිදි, පක්ෂ දෙක මගින් ඇලවෙන පෝස්ටර් එම පක්ෂ දෙකේ නායකයන් විසින් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. ඒ, දෙපැත්තට මඩ ගසා ගැනීම් වැළැක්වීම පිණිස ය. එහෙත් පක්ෂ දෙකේ බිම් මට්ටමේ සාමාජිකයන් සේම පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ හෙංචයියන් පවා කාලයක් තිස්සේ හැදී වැඞී ඇත්තේ ‘යූ.එන්.පී.-ශ‍්‍රී ලංකා’ පක්ෂ පංගුපේරුව තුළ ය. (අර්ජුන ඇලෝසියස් සමග පවත්වාගෙන ගියේ යැයි කියන සම්බන්ධය ගැන එල්ල වූ චෝදනාව වෙනතක හැරවීම සඳහා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ජනාධිපතිවරයාට එරෙහිව දැඩි ප‍්‍රහාරයක් එල්ල කිරීම උදාහරණයක් වශයෙන් ගත හැකිය*, ආරේ ගුණ නෑරේ යැයි කියමනක් තිබේ.

ඒකාබද්ධ විපක්ෂය සමග පෑහෙන්නට ජනාධිපතිවරයා ගත් අසාර්ථක උත්සාහය උපන්නේ, පළාත් පාලන ඡන්දයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වීමට ඇති ඉඩකඩ පිළිබඳව ගොඩනැගුණු අනියත භීතිකාවක් තුළිනි. ඔහුගේ වර්තමාන උපදේශකයන් අතරින් බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් පැන්න පිරිසක් වන අතර ඔවුන් තුළ එක්සත් ජාතික පක්ෂය ගැන ජන්මාන්තර කෝන්තරයක් තිබේ. එසේම ජනාධිපතිවරයා සමග නොකෙරෙන වෙදකමක සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු, එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් ප‍්‍රතිපත්ති සම්පාදනයේදී තමන්ව නොතකා හරිති යි සිතති. එසේ නොතකා හැරීම, ප‍්‍රතිපත්තිමය වශයෙන් පැවතිය යුතු සංගත භාවය පැත්තෙන් ගත් විට, ඇත්තෙන්ම රටේ ආර්ථිකයට සෙතකි. මන්ද යත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ විවේචන පටු ග‍්‍රාම්‍යත්වයක් භජනය කරන බැවිනි. නෞකා කර්මාන්තය නිදහස් කිරීමට එරෙහිව ඔවුන් මතු කරන විරෝධයේ පටන්, මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලට එරෙහිව ඔවුන් නගන බාධාකාරී විරෝධතා ඊට උදාහරණ සපයයි. අනිත් අතට, එවැනි ක‍්‍රියා පිළිවෙතක් ආණ්ඩුවේ දේශපාලනික එක්සත් භාවයටත් බාධාවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ අසාර්ථක පූට්ටුව වෙනුවෙන් පෙනී සිටින පිරිස්, ඒකාබද්ධ විපක්ෂයෙන් තොර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක්, ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණටත් පස්සෙන් සිටිනු ඇතැ යි කියන්නන් වාලේ කියති. එම තක්සේරුවට ඔවුන් පැමිණියේ කෙසේද යන්න පැහැදිළි නැතත් ඒ ගැන විමසිල්ලෙන් බැලිය යුතුව තිබේ. ඒකාබද්ධ විපක්ෂයට ස්වකීය විරෝධතාවන් සඳහා සෙනග ගෙන්විය හැකිය. එම හැකියාවම ජනතා විමුක්ති පෙරමුණටත් තිබේ. එහෙත් පසුගිය මැතිවරණවලදී, ජනතා විමුක්ති පෙරමුණේ එම ශක්තිය මැතිවරණ ප‍්‍රතිඵල තුළින් පෙන්නුම් කෙළේ නැත. පනහක් පමණ වන ඒකාබද්ධ විපක්ෂයේ වර්තමාන මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ය. ඒ, ඊට කලින් ආණ්ඩු වාර දෙකක කාලයක් තුළ දියත් වූ අනුග‍්‍රාහක ක‍්‍රමයක් තුළින් ඔවුන් අත්කරගෙන සිටි ප‍්‍රභාව ඇල්මැරෙන්ට කලිනි. එසේ තිබියදී, අලූතෙන් හදා ගත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණක් තුළින් ඒකාබද්ධ විපක්ෂයට යමක් කළ හැකි වේද යන්න අවිනිශ්චිත ය. ඓතිහාසික අත්දැකීම් අනුව බැලූවොත්, ඔවුන්ගේ අනාගතය හිතන තරම් පැහැපත් වන එකක් නැත. අති විශාල හාහෝවක් ඇති කළ ලලිත්-ගාමිණීගේ ‘රාජාලියා’ පිළට පවා එක්සත් ජාතික පක්ෂයට දැනෙන හානියක් කිරීමට එදා නොහැකි විය.

එවැනි තත්වයක් තුළ, බියෙන් ඇඹරෙනවා වෙනුවට ජනාධිපතිවරයා කළ යුත්තේ කෙලින් ඒකාබද්ධ විපක්ෂයට මුහුණදීමයි. දැනටමත් පළාත් පාලන ආයතනවල සිටින ඇතැම් සාමාජිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව තිබේ. ඉතිරි අය සම්බන්ධයෙන් කළ යුතුව ඇත්තේ, නාම යෝජනා පත‍්‍රවල හැම දාමත් සඳහන් වන කුප‍්‍රකට පුද්ගලයන් වෙනුවට, පළාතේ වැදගත් නමක් සහිත, දක්ෂතා ඇති අයවළුන්ව පෙරමුණට ගැනීමයි.

එසේම, ඒකාබද්ධ විපක්ෂය හුරතල් කරනවා වෙනුවට එහි සුජාත භාවය ප‍්‍රශ්න කිරීමට ආණ්ඩුව මේ අවස්ථාවේ පියවර ගත යුතුව තිබේ. ඒ අරභයා මුලින්ම කළ යුතුව ඇත්තේ, අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධ සිද්ධීන් ගැන පරීක්ෂණ කඩිනම් කිරීමයි. ඒ සඳහා, දැනටමත් යෝජනා වී ඇති දූෂණ-විරෝධී විශේෂ අධිකරණ පිහිටුවීම ඉක්මන් කළ යුතුව තිබේ. එවැනි ක‍්‍රියා මාර්ගයක් ඇත්තෙන්ම මීට කලින් ගෙන තිබුණි නම්, වර්තමාන තත්වය මීට වඩා වෙනස් වනු ඇත. ජනාධිපතිවරයා අද පත්ව ඇති අලකලංචිය සිදු නොවනු ඇත.

ඒ වෙනුවට ජනාධිපතිවරයා කරන්නේ හතර අතේ වැනි වැනී සිටීම ය. සියල්ල අතහැර, දූෂණයට එරෙහි සටන සඳහා ජනතාව සමග අත්වැල් බැඳ ගනු ඇතැ යි මෑතකදී ඔහු ප‍්‍රකාශ කෙළේය. ඒ අස්සේ, ගෝඨාභය රාජපක්ෂ තම පියා වූ ඞී. ඒ. රාජපක්ෂගේ පිය ස්මාරකයක් තැනවීම සඳහා මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටියදී ජනාධිපතිවරයා මැදිහත් වී එය වැළැක්වූ බවක් මාධ්‍ය වාර්තා කෙළේය. මේ දෙපිටකාට්ටු කම ජනාධිපතිවරයාට තරම් නොවේ. ඒ මදිවාට එයින් සිදු වනුයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි වන ජනාධිපතිවරයාගේ ග‍්‍රහණය තව තවත් දුර්වල වීමයි. මේ විෂම චක‍්‍රයෙන් කැඞී වෙන්ව, ඒකාබද්ධ විපක්ෂය ගෙල ග‍්‍රහණයෙන්ම ගත යුතුව තිබේ. දූෂණ-විරෝධී පරීක්ෂණ කඩිනම් කිරීම, ඒ සඳහා වන කදිම ප‍්‍රාරම්භයකි. දෙවැනි පියවර විය යුත්තේ, පවතින මැතිවරණ ක‍්‍රමය තුළ පවතිනවාට වඩා පුද්ගල සාධකය වැදගත් වන අලූත් මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වීමට නියමිත ඊළඟ පාර්ලිමේන්තු ඡන්දය සඳහා අලූත් නායකයන් පිරිසක් දැන් සිටම පෝෂණය කොට සමාජගත කිරීමයි. ඔවුන්, සුපුරුදු පරණ පැලැන්තියෙන් විය යුතු නැත. උදාහරණයක් වශයෙන්. අලූත් ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රොන් ගත හැකිය. මේ වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය ඔහු ජයගත්තේ, සිවිල් සමාජ ක‍්‍රියාධරයන් සහ පැරැන්නන්ගෙන් සමන්විත අලූත්ම සන්ධානයක් කරලියට ගෙන එමිනි.

ප‍්‍රංශ ඡන්දදායකයා තරමට ශ‍්‍රී ලංකා ඡන්දදායකයා විදග්ධ නොවිය හැකිය. කෙසේ වෙතත්, මේ රටේ තරුණ පරපුර සිටින්නේ, දේශපාලනයේ වර්තමාන තත්වය පිළිබඳව හොඳටම කලකිරීමෙනි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නේ අපේ දේශපාලනයේ ඒ පරිහානීය ස්වභාවයයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුත්තේ එය වැළඳ ගැනීම නොව, ප‍්‍රතික්ෂේප කිරීමයි.

2017 දෙසැම්බර් 5 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Rather Than Cowering Down, The President Should Face Off the Joint Opposition නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

යහපාලනය ලංකා පසුගිය ලිපි

 

Top