1150 x 80 px

 

මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ!  රොමාලි කෝ...?- 2 වන කොටස

දින 7 ක් මුළුල්ලේ රටේ නමගිය පුද්ගලික රෝහලකින් ලද නේවාසික ප්‍රතිකාරවලින් පසු, රුපියල් හත්ලක්ෂ අසූ දහසක (රු. 780,000) රෝහල් බිලකින් ද පසු, 2017 අප්‍රේල් 7 වැනිදා 26 හැවිරිදි රොමාලි ද සිල්වා යුවතියගේ දිවි සොරා ගැනුණේ ඩෙංගු මාරයා විසින්මද යන්න විමසා බලන සත්‍ය කතාවේ 2 වැනි කොටසයි, මේ. අද දිනයට මේ අහිංසකාවිය සමුගෙන ගොස් හරියටම මාස 9 ක් සපිරේ.

දිනය අප්‍රේල් 1 වැනිදා ය. ලංකාවේ විශිෂ්ටතම ඩෙංගු විශේෂඥයෙකු මෙන්ම ජාත්‍යන්තර සම්මාන දිනූ ඩෙංගු පර්යේෂකයෙකු ද වන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, ඇගේ පට්ටිකා ප්‍රමාණය ලක්ෂය දක්වා අඩුවීමෙන් පසු රෝහලට ඇතුළත් කරන්න යැයි ද එතෙක් ඇය නිවසට රැගෙන යන්න යැයි ද රොමාලිගේ මාපියන්ට කී නිසාද, රොමාලි පසුවූ තත්වය අනුව ඇය නිවසේ තබාගැනීම අන්තරායකර යැයි ඇගේ දෙමාපියන් තීරණය කළ නිසා ද ඇය දැන් නේවාසික ව සිටින්නේ ආසිරි සෙන්ට්‍රල් පුද්ගලික රෝහලේ ය.

ඒ සෙනසුරාදා දහවලේ සිට රොමාලිගේ දිවි භාර වුණේ විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායක වෙත ය.

මේ කතාවේ පළමු කොටස ලංකා නිව්ස් වෙබ් හි පළ වීමෙන් අනතුරුව සමාජ ජාල මාධ්‍ය හරහා අදහස් දක්වමින් බොහෝ දෙනා මතු කළ කාරණයක් වූයේ “ඇයි රජයේ රෝහලකට ගියෙ නැත්තෙ?” යන්නයි. එය, මේ ලිපි මාලාව සඳහා ඇගේ දෙමාපියන් හමු වූ විට අප විසින් ද ප්‍රථමයෙන් මතුකළ ප්‍රශ්න අතරින් එකකි. එයට පිළිතුරු සැපයූයේ රොමාලිගේ ආදරණීය මවයි.

“දුව කවදාවත් රෝහලකට ගිය කෙනෙක් නෙවෙයි. අපිට ඕනෙ වුණේ ලංකාවෙ හොඳම ස්පෙෂලිස්ට් කෙනෙකුට අපේ දුව පෙන්නල සනීප කර ගන්න. ඒ වෙද්දි අපි අයිඩීඑච් හොස්පිට්ල් එක ගැන දැනගෙන හිටියෙ නෑ. ඩොක්ට ආනන්ද විජේවික්‍රම ඉන්නෙ ඒ හොස්පිට්ල් එකේ කියල අපි දැනගත්තෙ අපේ ෆැමිලි ඩොක්ට කියද්දි.’

මුල්ලේරියාව අයිඩීඑච් ප්‍රදේශයේ පිහිටා තිබෙන ‘උණ රෝහල’ නමින් ප්‍රකට අයිඩීඑච් රෝහල, ඩෙංගු වසංගත තත්වයන් ලංකාව තුළ මතු වූ මෑත කාලීන සෑම අවස්ථාවකදීම ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළ රෝහලක් බවට අවබෝධයක් ඔවුන් තුළ නොවීම අවාසනාවකි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඩෙංගු පර්යේෂණ සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වූ එම රෝහලේ සිටින විශේෂඥයා ලවා සිය දියණියට ප්‍රතිකාර කරවා ගන්නට ය. ඔවුන් මුලින් ආසිරි මෙඩිකල් රෝහල වෙත යන්නේ ඔහු එම රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිටින නිසා ය. අයිඩීඑච් රෝහල යනු, රෝහලේ වාට්ටු හා ඇඳන් පහසුකම් නොමැති නම් රෝගීන් බිම පැදුරුවල තබාගෙන හෝ වෙදකම් කර මරණයෙන් ගළවාගන්නා රෝහලකි. ඔවුන් සරණ පැතූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, එම රෝහලේ වසර 7 ක් පමණ දීර්ඝ කාලයක් සේවයේ යෙදී සිටින, එම රෝහලට පැමිණි ඩෙංගු රෝගීන් 11,000 ක් දෙනාට ප්‍රතිකාර කළ, ඔවුන්ගේ දිවි බේරාගත් වෛද්‍ය විශේෂඥයෙකි. ඉඳින් යම් හෙයකින් එදා දුරකථනයෙන් ‘දුවව ගෙදර එක්කරගෙන ගිහින් ප්ලේට්ලට් කවුන්ට් එක ලක්ෂයට අඩු වුණාම ඇඩ්මිඩ් කරන්න’ යැයි නොකියා, ‘දුව ව අයිඩීඑච් එකට එක්කගෙන එන්න’ යැයි නිකමට හෝ කීවා නම්.... අද මේ පුංචි සාවිය ජීවතුන් අතර සිටින්නට ඉතා විශාල සම්භාවිතාවක් තිබූ බව මෙහි ලියා තබමු.

තවද රොමාලිගේ දෙමාපියන් වැනි අය පුද්ගලික රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නේ වඩා හොඳ ප්‍රතිකාර සහ සුවපත්වීම නමැති නීත්‍යානුකූල අපේක්ෂාව පෙරදැරි කර ගෙන බව ද අප අවබෝධ කර ගත යුතුය.  

පුංචි සාවියගේ මව සහ පියා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දකින්නේ ඇය සමුගෙන මාසයකට පමණ පසු ඔවුන් සිය දියණිය සිහිපත් කරමින්, ඩෙංගු රෝගීන් වෙනුවෙන් නියැළී සිටින සත්කාර්යය ඉටුකිරීම පිණිස අයිඩීඑච් රෝහල වෙත ගිය පසුව ය.

රොමාලිගේ මව මෙසේ පවසන්නීය. 

“අයිඩීඑච් එකේ දොස්තරලා, අපි සැරින් සැරේ එතැනට ගියාම ඒ ගොල්ලො අපිට කිව්වෙ හැම රෝගියෙක්ම තමන්ගෙ පවුලෙ කෙනෙක් කියල හිතල සලකනවා කියලයි. පිට කෙනෙක් කියල සලකන්න එපා කියන එකයි. මම ඒ බව මගෙ ඇස් දෙකටම දැක්කා. මගෙ දුව නැති වෙලා මාසෙකින් මමයි මගෙ පුතයි, දුවගෙ යාළුවෙකුයි එක්ක එතැනට ගියා. එහෙම යද්දි ඩොක්ට ආනන්ද විජේවික්‍රම තව කෙනෙක් එක්ක ඒ පේෂන්ට්ලව බලනවා. මම දැක්කා ඒ ස්කෑන් මෙෂින් එක ඇඳෙන් ඇඳට ගෙනිච්ච හැටි.. ඒ වෙලාවෙ මට ඕනෙ වුණා ඒ ඩොක්ට ළඟට ගිහින් අහන්න, "Dr. why couldn't you do this to my child"  “ඩොක්ට, මගෙ දරුවට මෙහෙම සලකන්න බැරිවුණේ ඇයි’ කියලා.”

නමුත් ඇයට එය අසන්නට නොහැකි විය. රොමාලිගේ සොයුරාගේ බසින් ඇය එවේලේ පියවි ලෝකයට එන්නට ඇත. “අම්මි,.. දැන් ගිහින් ඇහුවට අපේ අක්කි ආපහු එන්නෙ නෑ..!”

ආසිරි සෙන්ට්‍රල් රෝහලේදී රොමාලිගේ ගිලන් සයනය අසලින්ම සිටියේ, ඇය අවසන් හුස්ම හෙළන හෝරාව දක්වාම ඇය අසල සිටියේ ඇගේ මව ය. ඇගේ මව සමග සෙවණැල්ල මෙන් සිටියේ ඇගේ පියා ය. මේ ඛේදාන්තයේ අවසානාත්මක සහ විශ්වාසනීය ඇසින් දුටු සාක්ෂිකරුවන් වශයෙන් ඔවුන්ගේ ප්‍රකාශවලට අද්විතීය වැදගත්කමක් හිමිවන්නේ මේ පසුබිම අනුව ය.

ඩෙංගු ප්‍රොටෝකෝලයක් තිබුණාද..?

රොමාලිගේ නේවාසික ප්‍රතිකාර සඳහා ආසිරි සෙන්ට්‍රල් රෝහල විසින් ඔවුන්ට කාමර යුග්මයක් ලබා දී තිබිණි. ඔවුහු රොමාලිගේ සුවදුක් බැලීමට පැමිණෙන මිතුරන් පවා ඇගේ සයනය අසලට යැව්වේ නැත. ඈ සිටියේ කතා කළ නොහැකි තරම් නිදිබරව ය. දුර්වලව ය. පුංචි සාවිය දින හතරක් පමණ යන තෙක් වැඩි වශයෙන්ම කළේ නිදාගැනීමයි.

ඈ අසීරුවෙන් වරින් වර නාන කාමරය වෙත ගියාය. තෙවැනි දිනය වන විට රෝහලෙන් ඇය වෙත රෝද පුටුවක් ලබාදීම සිදුවිය. “ටොයිලට් එකට යද්දිත් නැගිටින්න දෙන්න එපා. වීල් චෙයා එකේ තියාගෙන යන්න..” හෙදියෝ කීහ. නමුත් ඩෙංගු රෝගියෙකුට ලබාදිය යුතු නිසි ප්‍රතිකාරය ඇය වෙත ලැබුණේද..?

මෙම පුද්ගලික රෝහලේ සිද්ධි සමුදාය ඔබ සැසඳිය යුත්තේ මේ වසංගත තත්වයේදී අයිඩීඑච් රෝහල ක්‍රියාත්මක කරමින් සිටි ප්‍රශස්ත ඩෙංගු ප්‍රොටෝකෝලය සමග ය.

ආසිරි සෙන්ට්‍රල් රෝහල වෙත ඇතුළත් වන විටද රොමාලි දැඩි උණෙන් පෙළෙමින් සිටියාය. ඇය අධික හිස කැක්කුමක් ගැන පැමිණිලි කළාය. විදෙස්ගත ව සිටි සොයුරා සමග දුරකථනයෙන් කථා කරන විට ඇය කීවේ තමන්ට ඉවසාගත නොහැකි තරම් උදර වේදනාවක් තිබෙන බවයි. පළමු දිනයේ ඇගේ රුධිර පරීක්ෂණ වාර්තාවට අනුව, පට්ටිකා ප්‍රමාණය 144,000 කි.

එම පළමු දිනයේදීම රොමාලිගේ දෙමාපියන් අතට පෑනක්, කොළයක් සහ මිනුම් බඳුනක් ලබාදෙනු ලැබීය. රොමාලි විසින් පානය කරන ජලය පරිමාව සහ ඇගේ සිරුරෙන් පිට කරන මුත්‍රා පරිමාව එහි ලියන ලෙසට උපදෙස් ලැබිණි.

පැයකට වතුර මිලිලීටර 150 ක්!

“අඩුම ගානෙ පැයකට වතුර මිලි ලීටර 150 ක් දෙන්න. 150කට වඩා වැඩි වෙන්න දෙන්න එපා..” යැයි ඔවුන්ට උපදෙස් ලැබිණි.

රොමාලි සිටියේ වතුර ටිකක් බොන තරමක තත්වයකවත් නොවේ. ඇගේ පියා රොහින්ද්‍ර අද මෙසේ කියයි. “අපිට කිසිම වෙලාවක වතුර දෙන්න එපා කිව්වෙ නෑ. මිලි ලීටර 150කට වඩා වැඩි නොවෙන්න වතුර දෙන්න කියල තමයි හැම තිස්සෙම කිව්වෙ. අපේ දුව නැති වෙලා මාස තුන හතරකට පස්සෙ අපි දැනගත්තා ඩෙංගු රෝගියෙකුට වතුර කියන්නෙ වහ කියලා. අද අපි දන්නවා, මේ රෝහලේ අය ඒ ගැන දැනගෙන හිටියෙ නැති බව..”

එම අනවබෝධය, හුදෙක් නොසැලකිල්ල විය හැකිද? එය නොසැලකිල්ල නම් රෝගීන් එයට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද? රටේ මෙවැනි වසංගත තත්වයක් පවතින විටදී රජයේ සහ පුද්ගලික රෝහල් එයට සූදානම් වී ඩෙංගු ප්‍රොටෝකෝලයකට අනුව රෝගීන්ට වෙදකම් කළ යුතුය. එසේ කළ නොහැකි නම් ඔවුන් රෝගී ජීවිත සියතට ගැනීමේ අවදානම නොගෙන සිටිය යුතුය. අප මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන්නේ සමස්ත පද්ධතියේ අසමත්භාවය මිස පුද්ගලික වගකීම පමණක් නොවේ. 

රොමාලිගේ මව මෙසේ කියයි. “හොස්පිට්ල් එකේ අය ඇවිල්ලා ඒක මොනිට’ කළා. සමහර වෙලාවට කිව්වා වතුර මිලිලීටර 100 ක් දෙන්න කියලා. සමහර වෙලාවට 150 දක්වා වැඩි කරන්න කිව්වා. මේ අතරවාරයෙ සේලයින් එකත් 100-150 අතරෙ අඩු වැඩි කළා.”

ඉරිදා දවස එසේ ගෙවී ගියේය. ඒ වන විට රොමාලි මුත්‍රා පිට කරන වාර ගණන අතර කාලයේ විශාල පරතරයක් ඇති වී තිබිණි. ඇගේ ආහාර රුචිය මුළුමනින්ම පාහේ නැති වී ගොස් තිබිණි. ඇයට සිය උදරය ස්පර්ශ කිරීම පවා වේදනාජනක වී තිබිණි.

ඔවුන් මේ බව වෛද්‍යවරයාට සහ හෙද හෙදියන් හට දැනුම් දුන්න ද එදින ඇගේ උදරය ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරුණේ නැත.

අවදානම් පැය 48

සඳුදා දිනයේ උදෑසනම වෛද්‍ය පණ්ඩුක කරුණානායක රොමාලිගේ දෙමාපියන් හමුවට පැමිණ මෙසේ කීවේය. ''She has started her critical period “ඇය අවදානම් කාල පරිච්ඡේදයට අවතීර්ණ වෙලා..”

සෑම ඩෙංගු රෝගියෙකු ම පැය 48 ක බරපතළ අවදානම් සහිත කාලපරිච්ඡේදයක් පසු කළ යුතුය. මේ කාලය තුළදී රක්තපාත තත්වය උත්සන්න වේ. රොමාලි එම තීරණාත්මක අවධියට එළඹ සිටියාය. ඒ ඇය ආසිරි සෙන්ට්‍රල් රෝහල වෙත ඇතුළත් කර ගෙවා දමන තෙවැනි දිනයයි.

මේ තෙවැනි දිනයේ දහවල් 1 ට පමණ ඇයව ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරිණි. එහි වාර්තාව අපි පිරික්සා බැලුවෙමු. early fluid leakage යැයි එහි පැහැදිලිව සටහන් කර තිබේ. එය පැහැදිලිවම ඩෙංගු රෝගියාගේ තත්වය බරතළ වෙමින් යන බවට නිසැක සාධකයකි. එසේ තිබියදීත් ඇයව දෙවැනි ස්කෑන් පරීක්ෂාවකට පසුදින යොමු කෙරුණේ නැත. රොමාලි දිගින් දිගටම දරුණු උදරයේ වේදනාව ගැන පැමිණිලි කරමින් සිටියත්, එයින් සිව් දිනක් ගත වන තෙක්ම, එනම් ඇය මෙලොව හැර දමා යන දිනය දක්වාම දෙවැනි ස්කෑන් පරීක්ෂාවකට ඇය ලක් කෙරුණේ නැත.  

දෙවැනි ස්කෑන් පරීක්ෂාවකට දියණිය ලක් නොකළේ ඇයිදැයි, එසේ කරන ලෙස නිර්දේශ නොකළේ ඇයිදැයි රොමාලිගේ පියා, පසුව විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායකගෙන් විමසුවේය.

“ඔහු කිව්වෙ, ස්කෑන් එක දිගටම මට කරන්න හේතුවක් තිබුණෙ නෑ කියලයි. තුන්වැනි, හතරවැනි, පස්වෙනි දවස්වලත් එහෙම කරන්න උවමනාවක් නෑ කිව්වා, මොකද ඇයගෙ අනෙක් රුධිර දත්ත (බ්ලඩ් කවුන්ට්ස්) සතුටුදායක විදිහට තියෙන නිසා.” රොහින්ද්‍ර අප සමග පැවසුවේය.

“දුවට ඇඳෙන් බැහැලා ටොයිලට් වුණත් යන්න කමක් නෑ කිව්වා.” ඒ, රොමාලිගේ මවගේ ආවර්ජනයයි.

නමුත් ආණ්ඩුවේ රෝහල්වල ක්‍රියාත්මක වන ඩෙංගු ප්‍රොටෝකෝලය අනුව සෑම ඩෙංගු රෝගියෙකුම දිනපතා ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කළ යුතුය. එක් දිනක සිදුකරන පළමු ස්කෑන් පරීක්ෂාව පිළිබඳ වෛද්‍යවරයා තෘප්තිමත් නොවන්නේ නම් එම රෝගියා එදිනම දෙවන ස්කෑන් පරීක්ෂාවකට ද යොමු කරනු ලබයි. “නමුත් මගෙ දුව දවස් හතක් ඉස්පිරිතාලෙ හිටියා. එකම එක ස්කෑන් එකයි කළේ. දෙවැනි එක කළේ දුව නැති වෙන්න පැය දෙකකට විතර කලින්..” පියා රොහින්ද්‍ර පවසයි.

ස්කෑන් පරීක්ෂාවේ වාර්තාව සමග ඇගේ දෙමාපියන් වෛද්‍ය පණ්ඩුක හමුවූහ. එවිට ඔහු කියා තිබෙන්නේ රොමාලිගේ උදර වේදනාවට හේතුව මාංශපේශීවල ගැටළුවක් බවයි. “මෙයාට තියෙන්නෙ මස්ල් ප්‍රොබ්ලම් එකක්. ඒක අපි දුවට සනීප වුණාට පස්සෙ මාස දෙකකින් විතර කතා කරමු..” යැයි ඔහු එවිට පවසා තිබේ.

“අපි විශ්වාස කරන විදිහට ඩොක්ට පණ්ඩුක මේ රිපෝට් එකේ තියෙන early fluid leakage කියන එක දැක්කෙ නෑ. මොකද ඒක දැක්ක නම් ඔහු පහුවදා, ඒ කියන්නෙ 4 වැනිදා නැවත ස්කෑන් එකක් කරන්න ඕනෙ.. පස්වැනිදා නැවත ස්කෑන් එකක් කරන්න ඕනෙ. මේ විදිහට දිනපතාම ස්කෑන් කරන්න ඕනෙ...”

“ඒ වෙලාවෙ ඩොක්ට අපිට කිව්ව නම් එක සැරයක් නෙවෙයි, දෙපාරක් දවසට ස්කෑන් කරන්න ඕනෙ කියලා, එහෙම නැතිනම් දුවව අයිසීයූ එකට දාන්න ඕනෙ කියලා... මමයි බිල ගෙවන්නෙ. ඒ දේවල්වල කිසිම ගැටළුවක් තිබුණෙ නෑ. මොකද අපිට ඕනෙ අපේ දුවව බේරගන්න... නමුත් ඔහු අපිට එහෙම කිව්වෙ නෑ. එහෙම කළේ නෑ..” පියා රොහින්ද්‍ර පවසයි.

රොමාලිගේ මරණයෙන් පසු රෝහල විසින් සිදුකළ පරීක්ෂණයේ විස්තර ද ඔවුන් සතුව තිබේ. එහි සඳහන් වන්නේ “පැය 45 කට පසුව රෝගියාගේ යටිබඩේ අභ්‍යන්තර රුධිර වහනය ආරම්භ විය” යනුවෙනි. පැය 4කට පසුව යනු ඇය රෝහල් ගත කර තුන්වැනි දිනය, එනම් අප්‍රේල් 4 වැනිදා ය. නමුත් එයට පෙර දිනයේ, එනම් අප්‍රේල් 3 වැනිදා සිදුකළ ස්කෑන් පරීක්ෂාවට අදාළ වාර්තාවේම early fluid leakage  යනුවෙන් සඳහන් වේ. එසේ නම් රුධිර වහනය ආරම්භ වුයේ පැය 45කට පසුව යැයි සඳහන් වීම නිවැරදි ද?

“රුධිර වහනය පටන් ගත්ත කියල හොයාගන්න විදිහක් නෑනෙ, ස්කෑන් එකක් කරන්නෙ නැතිව..?” රොහින්ද්‍ර විමසා සිටියි.

“මට හිතෙන්නෙ මේක ඩොක්ටගෙ වරද. ඩොක්ටගෙ නොසැලකිල්ල. දැන් ඉතින් මොනව වුණත් අපේ දුව අපිට නැති වුණා. මට ඕනෙ අපි මේ විඳින දුක වෙන කාටවත් විඳින්න නැති වෙන්න..!!” පියා රොහින්ද්‍ර සිය එකම දියණිය අහිමි වීම ගැන උපන් අත්‍යන්ත දුකෙනි.

“කාගෙ අතිනුත් වැරදි වෙනවා. ඩොක්ටර් කියල එයා දෙවියෙක් නෙවෙයි, එයා අතිනුත් වැරදි වෙන්න පුළුවන්. නමුත් මං අහන්නෙ, මේ තරම් දෙයක් රිපෝට් එකේ කියල තියෙද්දිත් ඇයි එයා ස්කෑන් එක කළේ නැත්තෙ..? අවසාන දවස වෙනකල් ඊළඟ ස්කෑන් එක කළේ නැත්තෙ..?” ඔහු විමසයි.

වෛද්‍ය පණ්ඩුක පිළිබඳ ඔවුන්ට ඒ අවස්ථාවේ කිසිදු අපැහැදීමක් තිබුණේ නැත. “අපිට මේ ඩොක්ට ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මම දැකල තියෙනව සමහර ඩොක්ටර්ස්ලා ඇවිත් විනාඩි පහෙන් ලෙඩ්ඩු බලල යනවා. නමුත් මේ ඩොක්ට විනාඩි 10-15 දුව ව පරීක්ෂා කළා. දවසට දෙවතාවක් පවා ආවා. ක්‍රිටිකල් පීරියඩ් එකේ දවසට තුන් වතාවක් ආවා. ඒ වගේ ඩොක්ට කෙනෙක් අතින් වරදක් වෙනව කියල අපි හිතුවෙ නෑ..” ඒ රොහින්ද්‍රගේ හඬ ය.

කියන්න තියෙන දේ කියන්න ඕනෙ..”

අප්‍රේල් 4 වැනිදා වන විට රොමාලිගේ පට්ටිකා ප්‍රමාණය 20,000 දක්වා පහත බැස තිබිණි. පුංචි සාවිය සමුගන්නට යන්නේද? දෙමාපියන් වෛද්‍යවරයාට සහ හෙදියන්ට ඇවිටිලි කළේ ඇය ව දැඩි සත්කාර ඒකකයට ගෙන යන ලෙස ය. නමුත් වෛද්‍ය පණ්ඩුකගේ අදහස වුණේ රෝගියාගේ තත්වය පාලනය කර තිබෙන නිසා එසේ කිරීම අනවශ්‍ය බවය. අවශ්‍ය කර තිබෙන්නේ ඇයට ඇඳ විවේකය ලබාදීම බව ඔහු පැවසුවේය.

පසුදින උදෑසන වන විට (අප්‍රේල් 05 වැනිදා) ඇගේ පට්ටිකා ප්‍රමාණය 8,000 දක්වා පහත බැස තිබිණි. එදින, එනම් බදාදා සවස රොමාලිගේ සහෝදරියකගේ ඇඳුනුම්කමක් මත එක්තරා වෛද්‍ය මහාචාර්යවරයෙක් රොමාලිගේ සුවදුක් බැලීමට පැමිණියේය. ඔහු හෙදිය ද ඉදිරියේ රොමාලිගේ දෙමාපියන් සමග මෙසේ කීවේය.

“මට කියන්න තියෙන දේ මම කියන්න ඕනෙ. මේ හොස්පිට්ල් එක ඩෙංගු ප්‍රොටෝකෝල් එක අනුගමනය කරන්නෙ නෑ.. මෙයාට වතුර දීල වැඩියි. !”

ගැස්ට්‍රයිටිස්..?

එදින රාත්‍රියේම රොමාලිගේ නාසයෙන් ලේ ගලා එන්ට පටන් ගත්තේය. ඇය කිවිසන විට ටිෂූ කඩදාසියේ ලේ බිංදු තැවරෙන්නට විය. "Ammi.. this is not good.. please call the doctor!", ඒ වදන් මරණයේ සෙවණැල්ලට මුවා වෙමින් සිටි රොමාලිගේ ය. රොමාලිගේ මාපියෝ කලබල වූහ. නමුත් හෙදියන් ඔවුන්ට එවිට කීවේ ඩෙංගු රෝගියෙකුට මෙසේ වීම ඉතාම සාමාන්‍ය දෙයක් බැවින්, බිය වන්නට දෙයක් නැති බව ය. “අයියෝ මිස්, බයවෙන්න එපා, ඩෙංගු පේෂන්ට්ස්ලට ලේ විදින්නෙ ටැප් එකක් ඇරිය වගේ..’‘ යැයි එතැන සිටි හෙද සොයුරිය කීවාය. ඔවුහු අයිස් තබා ලේ ගැලීම නතර කළහ.

වෛද්‍යවරුන් පැමිණ පරීක්ෂා කරන සෑම අවස්ථාවකදීම පුංචි සාවිය සිය දරුණු උදර වේදනාව ගැන පැමිණිලි කළාය. වෛද්‍ය පණ්ඩුක කරුණානායක හැරුණු විට ඇය රෝහල්ගත ව සිටි දින 7 ක කාලය තුළ වෛද්‍යවරුන් 15 දෙනෙක් පමණ ඇයව බැලීමට පැමිණියහ. ඔවුන් සියලු දෙනාම කියා සිටියේ, “බයවෙන්න දෙයක් නෑ. ගැස්ට්‍රයිටිස්වලටයි මෙහෙම වෙන්නෙ” යනුවෙනි. 

රොහින්ද්‍ර මෙසේ පවසයි. “වෛද්‍යවරු 15 දෙනෙක් විතර මගෙ දරුවව බලල තියෙනවා. (බිල පෙන්වමින්) ඒවාට මුදල් අයකරල තියෙනවා. ඒ වෛද්‍යවරුන් 15 දෙනාටම මගෙ දරුවට අසාධ්‍ය ද නැත්ද කියල හොයාගන්න බැරිවෙලා තියෙනවා. වෛද්‍ය උපදෙස් සඳහා පමණක් යැයි කියමින් ඔවුන් රුපියල් 25062 ක් අය කරල තියෙනවා. මගෙ දුවව ඇවිත් බලන්න විතරක්... ඒ කාටවත් මගෙ දුවගෙ තත්වය අඳුනගන්න බැරි වුණා..”

බදාදා සවස පටන්ම රොමාලි මුත්‍රා පහකිරීමට නොහැකි කමකින් පෙළුණාය. ඇගේ සුවදුක් බැලීමට ආ රෝහලේ එකම එක නේවාසික වෛද්‍යවරයෙක් පමණක් රොමාලිගේ තත්වය පිළිබඳ සිය කණස්සල්ල පළ කරන්නේ ද මේ අතරවාරයේ ය. දමිල වෛද්‍යවරයෙකු වූ ඔහු පවසා තිබෙන්නේ රොමාලි ව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු බවයි. නමුත් එය සිදුවුණේ ද නැත.

ඒ වන විට රොමාලිගේ අතපය ද ඉදිමී තිබිණි. ඇස් යට කළු පැහැ වී පිම්බී තිබිණි. පුංචි සාවිය සීඝ්‍රයෙන් මරු වෙත යමින් සිටියාය.

“ඉක්මනට ගෙදර යන්න පුළුවන්!”

අප්‍රේල් 6 වැනිදා එනම් බ්‍රහස්පතින්දා දිනයේ අළුයම 3 වන විට රොමාලිගේ පට්ටිකා ප්‍රමාණය 10,000 දක්වා පහත වැටුණේය. එදින උදෑසන 11 පමණ වන විට පට්ටිකා කියවීම 13,000 ක් විය. නමුත් එසේ තිබියදීත් රෝහලෙන් රොමාලිගේ දෙමාපියන්ට දැනුම් දුන්නේ “හෙට නැත්නම් අනිද්දා දුවට ගෙදර යන්න පුළුවන්” බව ය.!

පහනක් නිවෙන්නට කලින් මදක් දීප්තිය වැඩි වේ. ඇය එදින උදෑසන අවදි වුණේ මද සිනාවකිනි. සැබවින්ම ඇය මරු සමග සිනාසෙමින් සිටියාය. ඒ බව නොදත් ඇගේ මව්ට දැනුණේ සතුටකි. “මම හිතුව මගෙ දුව සනීප වෙනව කියලා..”

“පුතා අද ඔයා මොනව හරි කනවද?” යැයි ඇය රොමාලිගෙන් ඇසුවාය. රොමාලි යෝගට් එකක් කෑමට මනාපය පළ කළාය. ඇය යෝගට් කෝප්ප භාගයක පමණ රස බැලුවාය.

උදෑසන විශේෂඥ වෛද්‍යවරයා පැමිණෙියේය. ඔහුගේ ද අදහස වුණේ රොමාලි සුව වෙමින් සිටිනා බව ය. “හෙට විතර ඔයාට ගෙදර යන්න පුළුවන්” යැයි ඔහු කීවේය.

ඒ අනුව පුංචි සාවියගේ ඩ්‍රිප් එක ද ගළවා දමන ලදී. නමුත් මේ ලියැවෙමින් තිබුණේ ඇගේ කෙටි සුන්දර ජීවිතය නමැති හයිකු කවියේ අවසන් පද පේළියයි.

එදින දහවල් ද පෙර කී දමිල වෛද්‍යවරයා පැමිණියේය. ඔහු ඇය පරීක්ෂා කරන විට ඇය වේදනාවෙන් භරිත වූවාය. තවමත් දැඩි උදර වේදනාවක් දැනෙන බව ඔහුට කීවාය. “රොමාලි, මම හිතන්නෙ ඔයාට තවම සනීප නෑ...” යැයි එම වෛද්‍යවරයා කීවේය. 

රොමාලිගේ මව කලබල වූවාය. ඩෙංගු රෝගය නිසා බරපතළ තත්වයට පත්වූ සිය දියණිය මේ සා ඉක්මනින් නැවත නිවසේ තබාගන්නේ කෙසේද? ඇය හෙද සොයුරිය පැමිණි විට කීවේ, රොමාලිට නොදැනෙන්නට වෛද්‍ය පණ්ඩුකගෙන් ඉල්ලීමක් කරන ලෙස ය. ඒ ඉල්ලීම අන් කිසිවක් නොව, රොමාලිව තව දින දෙකක්වත් රෝහලේ තබාගන්නා ලෙස ය. 

එම ඉල්ලීම ඉටු කරන බවට හෙදිය පොරොන්දු වූවාය.

එදින දහවලේ ඇය ඉතිරි යෝගට් භාගයේ ද රස බැලුවාය.

එදින සවස 6ට පමණ රොමාලි සිය මව ඇමතුවාය. ඇයට ආහාර රුචියක් ඇති ව තිබිණි.

“අම්මි, මට මැංගො ට්‍රීස්වලින් නාන් එකක් ගෙනත් දෙන්න. මට ලූණු ඕනෙ. මට අච්චාරු ඕනෙ... මගෙ කට තිත්තයි..”

ඇය කුඩා කටවල් තුනක් පමණ ගත්තාය. මව්ගේ දෑසේ කඳුළු පිරුණි. ඇය රොමාලි, දින ගණනකට පසුව මරණ මංචකයෙන් නැගිට ආහාර ගන්නා හැටි ඡායාරූපයකට ද නැගුවේ ඒ සිය දියණිය ගන්නා අවසන් ආහාර වේල බව නොදැන ය. එම ඡායාරූපය සදාකාලික සිහිවටනයක් ලෙසින් අද ඉතිරි ව තිබේ. ඇස් යට කළු පැහැ ගැන්වුණු, අත් කළු ගැසුණු, මුහුණ ඉදිමුණු පුංචි සාවියගේ ස්වරූපය එහි මනාව සටහන් ව තිබේ.

එදින රාත්‍රියේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10 ට පමණ රොමාලිගෙන් එංගලන්තයේ ඉගෙනුම ලබන එකම සොයුරා වෙත එස්එම්එස් පණිවුඩයක් ලැබිණි.

"Are u free to talk?" යැයි එයින් අසා තිබිණි.

සොයුරු රොෂේන්ද්‍ර ඇයට එවේලේම ඇයට ඇමතුමක් ගත්තේය. ඒ දින කිහිපය පුරාම ඔහු ඇය පසුවූ තත්වය අනුව ඇයව අමතා තිබුණේ නැත. ඇගේ සුවදුක් විමසූ විට ඇය කියා තිබුණේ “මට හෙට හරි අනිද්ද හරි ගෙදර යන්න පුළුවන්. ඒත් මගෙ තාම බඩ රිදෙනවා..” යනුවෙනි.

එදින මිතුරු මිතුරියන් කිහිප දෙනෙක් ඇගේ සුවදුක් විමසීමට පැමිණි විටද ඇය සයනය මත හිඳ ඔවුන් සමග සාමිචියේ යෙදීමට ඇය සමත් වූවාය. 

හෘදයාබාධයක්

නමුත් දෛවෝපගත පසුදින, එනම් අප්‍රේල් 7 වැනිදා අළුයම 1 වන විට ඇගේ පට්ටිකා ප්‍රමාණය 12,000 දක්වා පහත බැස්සේය.

අළුයම 1.15 ට පමණ, පුංචි සාවිය වේදනාවෙන් මොර දුන්නාය. “අම්මී..” යැයි දුබල හඬින් කෑ ගැසුවාය. ඇගේ ගෙළ සහ වම් අත වේදනාවෙන් පුපුරු ගසන බව හඬමින් කීවාය.

“අම්මි,.. අයි කාන්ට්.. අයි කාන්ට් අම්මි.. මට මොකක් හරි වෙනවා. මගෙ පපුව හිර වෙනවා. මගෙ කට රිදෙනවා.. මගෙ අත රිදෙනවා..” පුංචි සාවිය විලාප නැගුවාය.

ඒ වන විට ඇගේ දකුණු අත් වැළමිටේ ඇතුල් පැත්තට වන්නට ලේ ලපයක් ඇති වී තිබිණි. එය ඉදිමී තිබිණි.

රොමාලිගේ මව සීනුව නාද කරමින් කෑ ගෑවාය. හෙදියෝ දෙදෙනෙක් වහා පැමිණියහ.

“මගෙ වේදනාව පිටකොන්ද පැත්තට යනවා..” රොමාලි සිය මව සමග හඬමින් කීවාය. කළ යුත්තේ කුමක්දැයි මවට සිතාගත හැකි වූයේ නැත. ඇය තම බෑගයේ තිබූ ඇක්ස් ඔයිල් බෝතලය ගෙන ආලේප කළාය. පුංචි සාවිය වේදනාව දරාගත නොහැකි තැන කොට්ටය බදාගෙන බිමට නැමුණාය.

“අනේ සිස්ටර්, හාට් ඇටෑක් එකක්වත්ද..?”

රොමාලිගේ මව බියපත්ව ඇසුවාය.

නමුත් හෙදියන්ගේ අදහස වුණේ හෘදයාබාධයක් ඇති වන්නේ නම් එම වේදනාව එන්නේ වම් අතට මිස දකුණු අතට නොවන බව ය. ඔවුහු පැනඩෝල් ගෙන ආහ.

“අනේ සිස්ට.. මෙච්චර ලොකු වේදනාවකට පැනඩෝල්..?” රොමාලිගේ මව උමතුවෙන් මෙන් කෑ ගෑවාය.

“නෑ නෑ. බය වෙන්න දෙයක් නෑ. කලබල කරන්න එපා..” යැයි පිළිතුරු ලැබිණි.

රොමාලි වමනය කළාය. ඒ සමගම ඇයට කිවිසුමක් ගියේය. නැවතත්, ලේ බිඳිති කිහිපයක් ටිෂූ කඩදාසියේ නැවත තැවරුණේය.

විශේෂඥ වෛද්‍යවරයා පැමිණියේය. ඒ වන විට හෙදියන් විසින් ඇගේ දකුණු අත බැන්ඩේජ් කර තිබූ අතර ඔහු උදරය පරික්ෂා කර බැලුවේය. බලා මෙසේ කීවේය. "A Civiar Gastric attack!" බරපතළ ගැස්ට්‍රයිටිස් තත්වයක්...”!!!

වහාම ගැස්ට්‍රයිටිස් රෝගීන් ට ලබාදෙන ගැවිස්කෝන් ඔසුව ලබාදෙන ලෙස ද ඔහු නිර්දේශ කළේය.

ඇයව දැඩි සත්කාර ඒකකයට ගෙන යමුදැයි රොමාලිගේ දෙමාපියන් ඇවිටිලි හඬින් ඉල්ලා සිටි විට ඔහු කීවේ එසේ කිරීම අවශ්‍ය නොවන බව සහ මෙය හුදෙක්ම ගැස්ට්‍රික් තත්වයක් බව ය.

තමන්ට වැසිකිළි යාමට අවශ්‍ය බව රොමාලි හදිසියේම කීවාය. රොමාලිගේ මව ඇයව වත්තම් කරගෙන ගියේ හෙදියන්ගේ ද ආධාරයෙනි. රොමාලි ඒ මොහොතේදී සිය හිස මවගේ ඇකයේ තබාගෙන සිටියාය. ඈ සිටියේ හිස තනිවම කෙළින් කරගත හැකි තත්වයක පවා නොවේ.

ආපසු සයනය වෙත යන විට ඇය කඩදාසියක් මෙන් සුදුමැලි ව සිටියාය. මරණය මෙන්ම ශීතල වී සිටියාය. ඇය ඇඳට වැටුණේ “මට හුස්ම ගන්න බෑ... මට හුස්ම ගන්න බෑ..” යැයි කියමිනි.

ඉන්පසු ඇය එකවරම දෑස් පියාගත්තාය.

“අනේ පුතා.. ඇස් දෙක අරින්න.. ඇස් දෙක අරින්න..” මව බියපත් ව කෑ ගෑවාය. පියා රොහින්ද්‍ර දුවගෙන විත් ඇගේ සයනයට නැග, මුහුණට වැරෙන් තට්ටු කර “ඇස් අරින්න දුව..” යැයි කියමින් කෑ ගෑවේය.

ඒ වන විට ඇයට ගැවිස්කෝන් නියම කර, වෛද්‍යවරයා පිටව ගොස් තිබිණි. එසේ යන්නට පෙර ඔහු විසින් හෙදියන්ට ලබාදී තිබූ උපදෙස වූයේ “නිතරම දෙන්නෙක් ලෙඩා ළඟ ඉන්න” යන්නයි.

රොමාලිගේ මාපියෝ නොකඩවා සීනුව නාද කළහ. කිසිවෙක් පැමිණියේ නැත. පෙර කී හෙදියන් ද වෛද්‍යවරයා සමගම පිටව ගොස් තිබිණි.

“රොහින්ද්‍ර, දුවල ගිහිල්ල ඩොක්ටව එක්කරගෙන එන්න..’‘ යැයි රොමාලිගේ මව කෑ ගෑවාය.  

නේවාසික වෛද්‍යවරයා සහ තවත් වෛද්‍යවරියන් දෙදෙනෙක් දිව ආහ.

“මෙයාගෙ නාඩි වැටෙන එක නවතිනවා.. හිමටෝමා.. හිමටෝමා..!!” රොමාලි ව පරීක්ෂා කළ නේවාසික වෛද්‍යවරයා කලබලයෙන් කීවේය. හිමටෝමා යනු අභ්‍යන්තර ලේ වහනයයි. “ඉක්මනට ඩොක්ට ට කතා කරන්න..!”

රොමාලි ගොදුරු ව සිටියේ ‘කාඩියැක් ඇරස්ට්’ හදිසි හෘදයාබාධ තත්වයකට බව ඔවුන් දැනගත්තේ පසුව ය.

රොමාලි ව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කෙරුණේ ඒ අන්තිම මොහොතේදී ය. ඒ වන විටත් ඔවුන් ප්‍රමාද වැඩි ය. මරණයේ සෙවණැල්ලට මුවා වී මාරයා ඇය වෙත කුරුමාණම් අල්ලමින් සිටියේය.

මේ තරුණ ජීවිතය මෙසේ අකලට අහිමි වීම සමස්ත පද්ධතියේ, පුද්ගලික වෛද්‍ය සේවයේ බිඳවැටීම සහ අසමත් භාවය ප්‍රකට කරන සිදුවීමකි. අප මේ සැරසෙන්නේ තනි පුද්ගලයෙක් අල්ලා දඬු කඳේ ගැසීමට නොවේ. විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායක මහතා ද රෝගී ජීවිත බේරාගැනීම සම්බන්ධයෙන් කීර්තියක් උසුළන වෛද්‍යවරයෙක් බව අපි දනිමු. මෙහි සැබෑ ගැටළුව පවතින්නේ මෙතෙක් ආමන්ත්‍රණය නොකළ අර්බුදය තුළ ය.

අවසන් කොටසින් හමුවෙමු.

සටහන:- රදිකා ගුණරත්න, හංසනී සම්පත් | කැමරාකරණය:- පැතුම් සේනාරත්න

 

සබැඳි ලිපි

රොමාලි කෝ.? -1 වන කොටස

Top