1150 x 80 px

 

ආර්ථික දියුණුවේ රහස - ණයට ගෙන හෝ වියදම් කරන්න! - ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙකුගෙන් අනගි පැහැදිලි කිරීමක්

ජපන්නු බොහෝ සේ ඉතිරි කරති. නමුත් ඔවුන් එතරම් වියදම් කරන්නේ නැත. තවද ජපානයේ අපනයන ප්‍රමාණය, ආනයන ප්‍රමාණයට වඩා ඉතා වැඩි ය. ජපානයට බිලියන 100 ක වාර්ෂික වෙළඳ අතිරික්තයක් තිබේ. එසේ තිබියදීත් ජපන් ආර්ථිකය සැලකෙන්නේ දුර්වල එකක් ලෙස ය. එය කඩා වැටෙන්නට ද ඉඩ ඇති බව කියයි.

ඇමරිකානුවෝ වියදම් කරති. පොඩ්ඩක් ඉතිරි කරති. තවද ඇමරිකා එක්සත් ජනපදය අපනයනය කරනවාට වඩා ආනයනය කරයි. ඩොලර් බිලියන 400කට අධික වාර්ෂික වෙළඳ හිඟයක් තිබේ. නමුත් ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් යැයි තවමත් කියන අතර, ඉදිරියේදී එය තවත් ශක්තිමත් වනු ඇති බව ද කියයි.

නමුත් ඇමරිකානුවන්ට වියදම් කරන්නට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? ඔවුහු ජපානයෙන්, චීනයෙන් සහ ඉන්දියාවෙන් පවා සල්ලි ණයට ගනිති.

පේන හැටියට, ඇමරිකාවට වියදම් කරන්නට උවමනා නිසා අනෙක් රටවල් මුදල් ඉතිරි කරයි. ගෝලීය ඉතුරුම් ප්‍රධාන වශයෙන් ආයෝජනය කරන්නේ ඇමරිකාව තුළ ය. ඩොලර්වලිනි.

ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 50කට අධික විදේශ විනිමය වත්කම ඇමරිකානු සුරැකුම්වල තබාගෙන සිටියි. චීනය ඇමරිකානු සුරැකුම් සඳහා ඩොලර් බිලියන 160කට වඩා ලබා දී තිබේ.

ජපානය විසින් ඒ සම්බන්ධයෙන් දැරූ පරදුව, ඩොලර් ත්‍රිලියන ගණනකි.

ප්‍රතිඵලය: 
ඇමරිකාව ලෝකයෙන් ඩොලර් ට්‍රිලියන 5කට වඩා ණයට ගෙන ඇත. ඉතින් ලෝකය කරන්නේ ඇමරිකාවට වියදම් කිරීම පිණිස ඉතිරි කිරීමයි. ලෝකයේ නිදහසේ වියදම් කරන ජාතිය ඇමරිකානුවන් ය. අද වන විට ඇමරිකානු පරිභෝජනය පවත්වාගෙන යාම සඳහා, එනම් ඇමරිකානු ආර්ථිකය සක්‍රියව පවත්වාගෙන යාම සඳහා සෙසු රටවලට සෑම කාර්තුවකටම ඩොලර් බිලියන 180 බැගින් ප්‍රේෂණය කරන්නට සිදු ව තිබේ. එය, දිනකට ඇමරිකානු ඩොලර් බිලියන 2 කි.!

වරක් චීන ආර්ථික විශේෂඥයෙක් හොඳ ප්‍රශ්නයක් ඇසුවේය. එය මෙසේ ය.
‘‘කවුද වැඩියෙන් ආයෝජනය කරන්නෙ? ඇමරිකාව තුළ චීනය ද, නැතිනම් චීනය තුළ ඇමරිකාව ද?
ඇමරිකාව චීනය තුළ ආයෝජනය කර තිබෙන ප්‍රමාණය, චීනය විසින් ඇමරිකාව තුළ ආයෝජනය කළ ප්‍රමාණයෙන් භාගයකටත් වඩා අඩු ය.

ඉන්දියාව සමග සිද්ධිය ද මෙයම ය. ඉන්දියාව ඇමරිකාව තුළ ඩොලර් බිලියන 50 කට වඩා ආයෝජනය කර ඇත. නමුත් ඇමරිකාව ඉන්දියාව තුළ ආයෝජනය කර තිබෙන්නේ ඩොලර් බිලියන 20කටත් අඩු මුදලකි.

ලෝකයම ඇමරිකාව පස්සෙන් වැටී දුවන්නේ ඇයි?

රහස තිබෙන්නේ ඇමරිකානු වියදම්වල ය. අනෙක් රටවල් අමාරුවෙන් ඉතිරි කළ මුදල් වියදම් කරන්නට ඔවුන් නියත වශයෙන්ම යොදාගන්නේ ක්‍රෙඩිට් කාඩ් පත් ආදියයි. එමගින් ඔවුන් වියදම් කරන්නේ ඔවුන්ගේ අනාගත ආදායම් ය. එසේ ඇමරිකාව කරන වියදම් කිරීම, ඇමරිකාව වෙත ආනයනය ඇදී එන්නට හේතුවකි. ඒ අනුව ඇමරිකාව, තමන් විසින් අපනයනය කරනවාට වඩා වසරින් වසර වැඩි වැඩියෙන් ආනයනය කරයි.

ප්‍රතිඵලය
ලෝක ආර්ථිකය වර්ධනය වීමට නම් ලෝක ආර්ථිකයට ඇමරිකාවේ වියදම් කිරීම මත රඳා පවතින්නට සිදු වේ. පරිභෝජන සංස්කෘතිය වැඩිදියුණු කිරීම මගින් ඇමරිකාව ලෝකයට තම පරිභෝජනය පෝෂණය කරන්නට පුරුදු කර තිබේ. ඇමරිකාවට සිය පරිභෝජනය සඳහා මුදල් උවමනා නිසා, ලෝකය ඇමරිකාවට සල්ලි දෙයි.  

එය හරියට, කඩහිමියෙක් විසින් පාරිභෝගිකයාට මුදල් දෙනවා වැනි ය. පාරිභෝගිකයාට දිගටම කඩයෙන් බඩු ගත හැක්කේ එවිට ය. පාරිභෝගිකයා මිලදී ගන්නේ නැති නම්, කඩහිමියා තමන්ම මුදල් උපයා ගන්නා කෙනෙක් නොවේ නම් කඩයට බිස්නස් නැති වේ. ඇමරිකාව හරියට මේ වාසනාවන්ත පාරිභෝගිකයා වැනි ය. ලෝකය අසරණ කඩහිමියා වැනිය.

ඇමරිකාවේ වියදම්කාරී කඩේ යාමට සල්ලි දෙන ලොකුම කෙනා කවුද? ඇත්ත වශයෙන්ම ජපානයයි. එසේ වන්නේ ජපානයේ ආර්ථිකය දුර්වල යැයි ද කියා තිබියදී ය. නූතන ආර්ථික විද්‍යාඥයන් කරන චෝදනාව නම් ජපානය වියදම් නොකරන නිසා ජපන් ආර්ථිකය වර්ධනය නොවන බව ය. ජපානයට වියදම් කිරීම සඳහා බල කිරීමට ජපන් ආණ්ඩුව විසින් ම ඉතුරුම් අධෛර්යමත් කර තිබේ. ඉතිරි කිරීම් පොලී අනුපාතික අඩු කර තිබෙන අතර, ඉතිරි කරන්නන්ට චෝදනා ද කරයි. එසේ තිබියදීත් ජපානය වියදම් කරන්නේ නැත. (පුරුදු, බදු ගැසුවත් වෙනස් නොවේ) ඔවුන්ගේ සම්ප්‍රදායික තැපැල් ඉතුරුම් පමණක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.2 ඉක්මවයි. මේ අනුව ඉතිරි කිරීම ජපානයේ ශක්තිය බවට පත්වනවාට වඩා ජපානයේ වේදනාව බවට පත්ව තිබේ.

මේ අනුව, පාඩම කුමක්ද?
රටක් දියුණු වන්නේ ජනතාව වියදම් කරන විට ය. ඉතිරි කරනවිට නොවේ. වියදම් නොකරන්නේ නම් ආර්ථිකය වර්ධනය නොවේ. ඒ නිසා, ණයට ගෙන හෝ වියදම් කරන්න!

‘‘Not just spend, but borrow and spend.“

* * * * * * * * * * * * * 

ආචාර්ය ජගධීෂ් භග්වතී ඉන්දීය සම්භවයකින් යුත් ප්‍රකට ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙකි. ආචාර්ය මන්මෝහන් සිං මහතා හමු වී, ඉන්දියානුවන් නාස්තිකාර ලෙස ඉතිරි කරන බව පැවසුවේ ඔහු ය. එනිසා ඉන්දියානුවන්ට පිටරටෙන් ගෙන්වන කාර්, නොඑසේ නම් රූපලාවන්‍ය බඩු මිලදී ගන්නට වියදම් කරන්න යැයි ඔහු කීවේය! එසේ කළ විට ඉන්දියාව වර්ධන චක්‍රයක් මත රැඳවිය හැකි යැයි ඔහු කීවේය. මෙවිට පාරිභෝගිකයන්ගේ වියදම්කිරීම් දැක බහුජාතික සමාගම් ඉන්දියාවට පැමිණෙනු ඇතැයි ඔහු කීවේය.

- අමාලි ජයවීර

 

Top