1150 x 80 px

 

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි, සමථ මණ්ඩලය සහ මම
ගලගොඩ අත්තේ ඥාණසාර හිමි උසාවි භූමිය තුලදී බැන පරිභව කරනු ලැබුවේ 2016-ජනවාරි-25 වෙනිදාය. මා එදිනම හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලට අනුව 2016-02-09 දින බී වාර්ථාවක් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වින්දිතයන් හා සාක්‍ෂි කරුවන් ආරක්‍ෂා කිරීමේ පණත යටතේය. කෙසේ හෝ වර්ථමානය වන විට එහි චෝදනා වල ස්වරූපය නීතිපති දෙපාර්තුමේන්තුව විසින් වෙනස් කර ඇති අතර, 2017-10-16 දින හෝමාගම ගරු මහේස්ත‍්‍රාත් තුමා එම නඩුව ‘හෝමගම සමථ මණ්ඩලයට යොමු කලේය. ඒ අනුව ද හෝමාගම පොලීසියෙන් මා ලද දැනුම් දීමට අනුව ද 2017-10-21 දින හෝමාගම සමථ මණ්ඩලයට ගිය අවස්ථාවේදී එහි සිටි මහත්වරුන් කියා සිටියේ ඔවුන්ට එවැනි පැමිණිල්ලක් ලැබී නැති බවත් ඔවුන් ලිඛිතව මා හට දැනුම් දුන් පසු පැමිණෙන ලෙසය. ඉන් පසු 2017-11-04 දින සමථ මණ්ඩලයට පැමිණෙන ලෙස ඔවුන් මට දැනුම දුන්නෝය.
මගේ සටහනේ නිමිත්ත එයයි.
 
මෙම සිද්ධිය මාගේ මාධ්‍ය සගයන් එතරම් හොඳ ප‍්‍රවෘත්තියක් සේ නොදුටු හෙයින් දෝ ඔවුන් එය ආවරණය නොකළෝය. මේ පිළිබඳ දන්නා කිහිප දෙනෙක්ම මේ නඩුව සමථ මණ්ඩලයෙන් අවසන් කර නොගත්තේ ඇයි දැයි මගෙන් විමසා සිටියහ. ඇත්තෙන්ම මා එම හිමි නමගේ තිරස්චීන ක‍්‍රියාව, මා හට සිදු වූ හිංසනය, අපහාසය හා අවමානය නොසලකා හැරිය යුතු ද? හෝමාගම පොලීසියට පැමිණිලි කළා සේම ඥාණසාර හිමිගේ මෙම ක‍්‍රියාව සම්බන්ව එම හිමි නම පැවිදිබව ලබා ඇති ගෞරවනීය සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහනායකධුරන්ධර ගෞරවනීය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ලිඛිතව දැනුම්දී උන්වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධව බෞද්ධ භික්‍ෂූ විනයානුකූල පියවරක් ගන්නා ලෙසය. විනය පිටකයෙහි භික්‍ෂූ විනය ගැන බොහෝ කාරණා සඳහන්ව තිබුන ද, මහනායක ස්වාමීන් වහන්සේ මාගේ ඉල්ලීම නොසලකාහැරියේ කිසිදු ප‍්‍රතිවාරයක් වත් නොදක්වමිනි. මෙය කණගාටුවට කාරණාවකි. මක් නිසද යත් මහනායක ස්වාමීන් වහන්සේලාගේ නිහැඩියාව, දේශපාලන ඕනෑ එපාකම් මත චීවරය ගණිකා වෘත්තියේ යොදවන හිමි වරුන්ට අත්වැල් සැපයීමක් හා දිරිගැන්වීමක් වන හෙයිනි.
 
කෙසේ වුවද 2017-නොවැම්බර්-04 දින උදෑසන 8.45 පමණ වන විට මා සමථ මණ්ඩලය වෙත ගියෙමි. මා ඥාණසාර හිමිට අඩි කිහිපයක් පිටුපසින් අදාල ස්ථානයට ඇතුළු වීමි. හෝමාගම සමථ මණ්ඩලයේ නිලධාරීන් ඥාණසාර හිමි අභියස වැඳවැටී ඔහු පිලිගත්හ. අප කිසියම් වරදක හෝ කරදරයක ගොදුරක් වූ විට අප යුක්තිය පතා යන නීතිය පසිඳලන ආයතන තුළ කිසිදු පාර්ශවයක් විශේෂිත ලෙස සැලකීම නොකළ යුතු නොවේදැයි සිතුනි. ඉන් පසු ඥානසාර හිමිට එතැන ආසනයක් පනවා දුන් අතර, සමථ මණ්ඩලයේ සේවය ලැබීමට පැමිණ සිටි මා හා අනෙක් සියළු දෙනා දේශණයකට සම්බන්ධ කළහ.
 
දේශණය කළ දේශක මහතා සමථ මණඩල ක‍්‍රමය ඉතා සාර්ථක ක‍්‍රමයක් බවත්, ශී‍්‍ර ලංකාව පුරාම සමථ මණ්ඩල පිහිටුවා තිබෙන බවත්, එමගින් අධිකරණ වල රස්තියාදු වීම වලකන අතර මුදල් නාස්තියද වලකන බවත්, මේ පිළිබඳ අධ්‍යයනය කිරීමට වෙනත් රටවලින්ද පැමිණෙන බවත් ඇතුළු තවත් බොහෝ කරුණු ගෙන හැර දැක්වූයේය. ඥාණසාර හිමිට දේශණ නැත. වැරදිකරු වරප‍්‍රසාදිතය. මේය මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්නා ක‍්‍රමයක්ද? මට ඇති වූයේ ප‍්‍රශ්ණයකි.
 
දේශණය හමාර වීමෙන් පසු නැවතත් මා නිලධාරීන් විසින් නඩු කැඳවන ස්ථානයට ගිය විට, විශේෂත්වයක් කරන බව පවසමින් අපගේ නඩුව පලමුවෙන් ව්භාගයට ගැනුනි. සමථ වන්නේදැයි ඔවුන් මගෙන් විමසූ විට මා නැතැයි පිලිතුරු දුන්නෙමි. කෙසේ වුවද මා හා ඥාණසාර හිමි පරීක්‍ෂණ කණ්ඩායමක් වෙත යොමු කෙරිනි. මදක් පමාවී පරීක්‍ෂක කණඩායමට පැමිණි පරීක්‍ෂකවරිය පවා ඥාණසාර හිමිට වැඳ නමස්කාර කිරීමට අමතක නොකළාය.
 
2010-ජනවාර-24 දා මගේ සැමියා බලහත්කාර අතුරුදහන් කිරීමට ගොදුරු වූ බවත්, එතැන් සිට මා සැමියාට වූ දේ සොයාගැනීම සඳහා විවිධ ප‍්‍රයත්නයන් දරන බවත්, ඒ පිළිබඳ නීතිප‍්‍රකාරව හෝමාගම අධිකරණයේ නඩුවක් ඇති අතර 2010 යේ සිට එයට සහභාගී වන බවත් පැවසීමි. තවද අළුත් ආණඩුව පත් වීමෙන් පසු එම පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේනතුවට බාරදුන් අතර ඔවුන් විසින් සොයාගත් සාක්‍ෂි වලට අනුව මගේ සැමියා පැහැරගත් හමුදා නිලධාරීන් උසාවියට ඉදිරිපත් කෙරුනු අතර එදිනද එම නඩුවට ඔවුන් හා මා උසාවියට ගොස් සහභාගි වූ බවත්, එය අවසන් වූ පසුව එම හිමි නම උසාවියේ කළහකාරී ලෙස හැසිරෙමින් මා බියවද්දමින් හා අවමානයට පත් කරමින් අසභ්‍ය වචනයෙන් බැනවැදුනු බවත් පැවසුවෙමි.
 
විවිධ කරුණු කාරණා ගොණු කරමින් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි පවසා සිටියේ, එදින උසාවි කූඩුවෙන් බැස යන හමුදා නිලධාරීනගේ ඇස්වල සහ අත්වල කඳුළු දුටු තමාගේ සිත බෙහෙවින් කම්පාවට පත් වූ බවත්, එම හේතුව මත උසාවියේ කලහකාරී ලෙස හැසිරුන අතර මා හට බැන වැදුනු බවත්ය.
 
මා හට බැන වැදුනු ආකාරය තමාට අමතක බව පවසා සිටි ඥාණසාර හිමි ”දන්නෙ නැද්ද පෘථග්ජන මිනිස්සුන්ගෙන් වැරදි සිදු වෙනවා. වෛර කරන්න හොඳ නෑ නෙ. මට වෛර කරන්න එපා. මේ ප‍්‍රශ්ණය මෙතැනින් සමථ වෙලා ඉවර කරගමු.” යැයි පවසා සිටියේය.
 
මා සිනාසෙන්නද ? හඬන්නද ? දහම් දැනුමෙහි පරතෙරට පැමිණි, සුපේක්‍ෂල උපේක්‍ෂාශීලී බුද්ධ පුත‍්‍රයෙකු ලෙස ලියපදිංචි වූ උපසම්පදා කර්මය කළ, භික්‍ෂු විනය කුමක් දැයි හොඳින් දන්නා බොහෝ ධර්ම විභාගයන් නිම කර ඇති ඥාණසාර හිමි, දරු දෙදෙනෙකු සමග බොහෝ දුක් ගැහැට හා පීඩාවන් උහුලමින් තම සැමියාට වූ දෙය සොයමින් දස අතේ දුව ඇවිදින අසරණ ගැහණියක් වන මා හට බැන වැදුනේ, පුතුන් දෙදෙනෙකුගෙන් පියෙක් ද ගැහැණියකගෙන් සැමියෙක් ද උදුරාගන ජීවය අහිමි කිරීම නිසාවෙන් නීතිය හමුවට පැමණවූ කුලීකාර හමුදා නිලධාරීන්ගේ කඳුළු දැකීමෙන් ඇති වුන පෘථග්ජන හැගීම නිසා බව පැවසීම හාස්‍යජනක නොවන්නේද?
 
මෙම සිද්ධිය සමථ වීමට අකමැති බවත්, අධිකරණයෙන් එය විසදා ගැනීමට කැමති බවත් මා පරීක්‍ෂක නිලධාරීන්ට පවසා සිටියෙමි. ඉන්පසු දෙපාර්ශවයේ එකගත්වයක් නැති වීම හේතුවෙන් සමථ නොවුනු නඩුවක් ලෙස වාර්ථාවක් නිකුත් කෙරිනි.
 
”වෙන වැඩක් නැතිවට උසාවි ගානේ රස්තියාදු වෙන්න.” යැයි කෝප ස්වරයෙන් පැවසූ පෘථග්ජන ඥාණසාර හිමියන් නැගී සිටි අතර මා නිවුනු සිතින් සිනාසුනෙමි.
 
අවු. 12 හා 15 වයසේ සිටි පුතුන් දෙදෙනෙකුට පිය සෙනෙහස ද, සැමියෙකුගේ රැකවරණය ද ආරක්‍ෂාව ද උදුරාගනිමින් මා කෘතීම වැන්දඹුවක් බවට පත් කර, කෲර රාජපක්‍ෂ ජුන්ටාවේ ඕනෑ එපාකම් මත සත්‍ය සගවමින් සිටින අපරාධකාර පුද්ගලයන් දකිද්දී, සමීපව සිටියදී පවා ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වදින්නට හෝ උන්ගේ මුහුණට කෙල ගසන්නට මට නොසිතෙන්නේ මා පෘථග්ජන හැගීම් පලවාහැර ශ‍්‍රමණ බවට පත් වී ඇති නිසාවත් දෝයි මට සිතුනි.
 
සමථ මණ්ඩලය පිළිබඳ දේශණය කළ මහතා මෙය සාර්ථක ක‍්‍රමයක් බව පැවසූවද, එය මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගත් ක‍්‍රමයක් යැයි පවසන කිසිවෙක් මට මෙතෙක් හමු නොවුනි. සමථ මණ්ඩලයන් ශ‍්‍රී ලංකාවේ විවිධ දිස්ත‍්‍රික්ක වල ආරවුල් විසඳීමට කටයුතු කරන බවත්, ඒවා පැවැත්වෙන්නනේ පංසල් හා පාසැල් වල බවත්, එම මණ්ඩලයට පරීක්‍ෂකවරුන් පත්වන ආකාරය පිළිබඳවත් එම මහතා පැහැදිලි කළේය.
 
යම් ගැටුමක හෝ ආරවුලක පාර්ශවයන් දෙකක් හා ඊට වැඩි ප‍්‍රමාණයක් සිටිය හැකිය. එම පුද්ගලයන් කුමන තරාතිරමක වුවද නීතිය පසිඳලන, ආරවුල් විසඳන යාන්ත‍්‍රන තුලදී මේ සියළු දෙනා එන සමාන වරප‍්‍රසාද ලාභී විය යුතු නොවේද? යම් පුද්ගලයෙකුගේ බලය, නිලය හෝ තරාතිරම මත පරීක්‍ෂණ නිලධාරීන් විසින් ඔවුනට වරප‍්‍රසාද ලබා දෙන්නේද (විශේෂයෙන් අනෙකාට හින්සා කළ වරදකාරී පුද්ගලයා), එවිට බිඳවැනේනේ සමථ මණ්ඩල යාන්ත‍්‍රණය තුළ පැවතිය යුතු අපක්‍ෂපාතී බව හා ස්වාධීනත්වයයි. එවිට වින්දිතභාවයට ගොදුරු වූ පුද්ගලයා තුල මෙම යාන්ත‍්‍රණය කෙරෙහි පැවතිය යුතු විශ්වාසය කෙසේ නම් සුරැකේද?
 
මා මෙම සටහන තබන්නේ කිසිවෙකු දෝෂදර්ශණයට ලක් කිරීමට නොව, සමථ මණ්ඩළ යාන්ත‍්‍රණයේ නිරත නිලධාරීන් සහ ඔවුන් පත් කරන රජ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කරන්නන්ගේ අවධානයට මෙම කරුණු යොමු කළ යුතු නිසාවෙනි.
 
සන්ධ්‍යා එක්නැලිගොඩ
Top