1150 x 80 px

 

ඇමරිකාවට සංක්‍රමණිකයො එන්නෙ ‘අහවල්’ රටවල්වලින්! - ට්‍රම්ප් කුණුහරුප කියයි. ට්‍රම්ප්ගේ මොළය වෛද්‍ය පරීක්ෂාවට!

ධුරය දැරීමට සුදුසුදැයි බරපතළ සැකයක්.

ඕවල් කාර්යාලයේ රැස්වීමකදී ට්‍රම්ප් මෙසේ කියා ඇත.

‘‘මේ (අසැබි යෙදුමකි) රටවල්වලින් එන එවුන් අපිට මොකටද...? "Why do we want all these people from 'shithole countries' coming here?"

ට්‍රම්ප් පාවිච්චි කළ වචන ඒවා ම වූ බව ඕවල් කාර්යාලයේදී කළ කතාබහ සහ ගත් තීරණ ගැන ලුහුඬු සටහන් තැබූ නීති නිලධාරීහු පිළිගත්හ.

ට්‍රම්ප්ගේ මෙම අලුත්ම ‘ඓතිහාසික‘ ප්‍රකාශය ඔහුගේ මුවින් පිටවන්නේ ඇමරිකාවට පුරවැසිභාවය සහිත සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වන, අප කවුරුත් දන්නා වීසා ලොතරැයි ක්‍රමය, භාගයකින් කපා හැරීමට ඔහුගේම ජාතියේ නරුමයන් කණ්ඩායමක් ගෙන ආ සැලසුමක් ගැන සාකච්ඡා කරමින් සිටියදී ය. දකුණු කැරොලිනා සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රහෑම් ඇතුළු කණ්ඩායම විසින් මේ සැලසුම ගෙන ආ විට ට්‍රම්ප් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඇත. ගුරා හිටගෙන කරන දේ ගෝලයන් දුව දුවා කිරීම සාමාන්‍ය දෙයකි.

මේ රැස්වීමේදී ට්‍රම්ප්ගේ ටිකිරි මොළයට නැගී ඇති ප්‍රශ්න සහ යෝජනාවලින් සමහරක් මෙසේ ය.

“අපි හයිටි වගේ ... අප්‍රිකානු රටවල්වලින් එන එවුන්ව බාරගන්නෙ ඇයි? අපි කට්ටිය ගෙන්න ගන්න ඕනෙ නෝර්වේ වගේ රටවල්වලින්!’

ට්‍රම්ප් කළු සමට වෛර කරන්නෙකි. එනිසා සුඩානය හෝ හයිටි රාජ්‍යය වැනි අප්‍රිකානු රටවල තිබෙන යුද්ධ ගැන හෝ මානුෂීය අර්බුද ගැන කියා පලක් නැත. බෝට්ටුවක නැගී දිවි බේරාගෙන පළා එන සංක්‍රමණිකයෙක් මුහුදු සීමාව පසුකර සරණාගතයෙක් සේ විදේශයකට ගොඩ බැස ඒ රටේ පුරවැසියෙක් හෝ වීසා ලාභියෙක් වූ පසු ඔහු වැඩ කරන්නේ තමන් පැමිණි අසුවල් රටට නොව ඇමරිකාවට ය. ඔවුන්ගේ ශ්‍රමයෙන් පෝෂණය ලබන්නේ ඇමරිකාවේ ජාතික ආර්ථිකය ය. රටේ ශ්‍රම හමුදාවේ කොටස්කරුවන් වන්නේ ඔවුන් ය. ට්‍රම්ප්ලාට උන්ගෙන් වැඩ ගන්නට හොඳ ය. නමුත් උන් ‘ජීවත් වනවා’ දැකීම නරක ය. එනිසා, කිසිම මොහොතක, සංක්‍රමණිකයන් පිරවූ යාත්‍රාවක් ඇමරිකානු වෙරළට ගොඩ බසින විට ‘මෙතැන තවත් බිල් ක්ලින්ටන් කෙනෙක් සිටිනවා විය හැකි’ යැයි ට්‍රම්ප්ලාට සිහිනෙන්වත් සිතෙන්නේ නැත. එය ඔවුන්ට හුදෙක්ම විහිළුවක් පමණි.

ඇලෙක්සි හේලි ලියූ ‘රූට්ස්’ නවකතාව කියවා ඇත්දැයි ට්‍රම්ප්ගෙන් කිසිවිටෙක නොඅසන්න. ඔබගේ වචන නාස්ති වන නිසා ය. ඇමරිකාවට මුලින්ම කළු ජාතිකයන් ගෙනාවේ ට්‍රම්ප්ලාගේම මුත්තන් ය. ඒ, වහලුන් වශයෙනි. එදා නැව් පිටින් එක පෙළට ගාල් කර ‘අහවල්’ රටවලින් ගෙන එන අප්‍රිකානු වහලුන්ට ඇමරිකාවේ සුදු සුප්‍රිමසියෙන් තිබුණේ පුදුමාකාර ඉල්ලුමකි. පසුකාලීන ව ඔවුන් ‘මිනිසුන්’ වශයෙන් යන්තම් ඔළුව උස්සාගත්තේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරවලට පින්සිදු වන්නට ය. අද වන විට ‘ඇමරිකානු කළු ජාතිකයන්’ හෙවත් ‘අප්‍රිකානු ඇමරිකානුවන්’ වශයෙන් ඇමරිකාව ඔසවා තැබුවේ ඔවුන් විසිනි. එතැන් සිට පරම්පරා ගණනාවකට පසුව ට්‍රම්ප් තවමත් සිතන්නේ කළු ඇමරිකානුවන් සුදුසු වන්නේ තමන්ගේ පස්සා සෝදන්නට පමණක් බවයි. ඒ චින්තනය ඔහුගේ විකල් මානසිකත්වයේ කැඩපතකි.

දුක නම්, ට්‍රම්ප් නමැති ‘පිස්සා’ බලයට පත්වන්නේ ඇමරිකාවෙන් බිහි වූ පළමු කළු ඇමරිකානු ජනාධිපතිවරයාට පසුව එළඹෙන වාරයේ වීමයි, ඔහු අද ජීවත් වන ධවල මන්දිරය පවා ගොඩ නැගුණේ වහලුන්ගේ ශ්‍රමයෙනි. ඉතින් ට්‍රම්ප්ට රෑට නින්ද නොයාම අහන්නටත් දෙයක් නොවේ.

ඇමරිකාව ලෝකයේ ලොකුම ආයුධ වෙළෙන්දා ය. පැහැදිලිවම යුද්ධය යනු මේ ලෝකයේ තිබෙන වැඩිම ලාභයක් ඉපැයිය හැකි ව්‍යාපාරයයි. ට්‍රම්ප් වෙළෙන්දෙකි. අතීතයේ බංකොළොත් ‘දේපළ වෙළෙන්දෙක්‘ වූ ඔහු අද වන විට ලාභ උපයන ‘ආයුධ වෙළෙන්දෙකි’. යුධ වියරුවෙන් ලෝකය ගිනි දැල්වී, ලෝකය විනාශ වී, මේ ලෝකයම කනත්තක් වූවත් ඔහුට කම් නැත. ධවල මන්දිරයේ තනි කාමරයේ නිරුවතින් නිදනා විට ඔහු දකින ලොකුම සිහිනය ඇමරිකාව “කනත්තේ ලොකුම සල්ලිකාරයා’ වීමයි.

පසුගිය දෙසැම්බරයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ අන්දමට ‘හයිටියෙන් එන අය ඒඩ්ස් රෝගීන්’ යැයි ඔහු කියා ඇත. ඇමරිකාවේ වෙසෙන නයිජීරියානුවන් සම්බන්ධයෙන් ඔහු කියා ඇත්තේ ‘උන්ට උන්ගෙ හරක් මඩුවලටම ආපහු යන්න කියපල්ලා” යනුවෙනි. මෙයට දින දෙක තුනකට පෙර ට්‍රම්ප්, ඇමරිකාවේ ජීවත් වෙමින් රස්සා කරන එල් සැල්වදෝර ජාතිකයන් 20,000කට අධික පිරිසකට දැනුම් දී තිබුණේ ‘ආව රටටම පල’ කියා ය. ට්‍රම්ප් ධුරයට පත් වූ විගස අත්සන් කළ පළමු විධායක ආඥාවෙන් කළේ මුස්ලිම් රටවල් හතකට ඇමරිකාව තහනම් කලාපයක් කරමින් සංචාරක තහනමක් පැනවීමයි.

ඉතාම පැහැදිලිව පෙනෙනා පරිදි ජනපති ට්‍රම්ප් ට සිය රටට එන සංක්‍රමණිකයන් පෙන්නන්නට බැරි ය. ඔහු සිතන්නේ එහි ජීවත් විය යුත්තේ සුදු ඇමරිකානුවන් පමණක් බව ය. සාමාන්‍යයෙන් මෙසේ සිතෙන්නේ ෆෝබියාවකින්, එනම් භීතිකාවකින් පෙළෙනවුන්ට පමණි. විදේශිකයන් කෙරෙහි දක්වන බියට කියන්නේ සීනොෆෝබියාව ය. ට්‍රම්ප්ට මෙම ෆෝබියාවට අමතරව මෙගලොමේනියාව ද තිබේ. මෙගලොමේනියාව යනු අත්‍යන්ත බලයට ඇති කෑදර කමයි. සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන්නේ බලය ඇති විට මොළය නැත සහ මොළය ඇති විට බලය නැත කියා ය. ට්‍රම්ප්ට බලයට එන්නට පෙරත් මොළයක් තිබුණේ නැත. ට්‍රම්ප් වැනි උන්මත්තකයෙක් බලයට පත්කරගත් ඇමරිකාවටත් මොළයක් තිබුණේ නැත.

මේ, ට්‍රම්ප් පෙළෙන ෆෝබියා සහ මේනියාවලින් එකක් දෙකක් පමණි. එයට අමතරව ට්‍රම්ප් තමන්ට කිසිවෙකු විසින් ඕනෑම මොහොතෙක වස දිය හැකි යැයි ද ෆෝබියාවකින් පෙළෙයි. ඔහු මැක්ඩොනල්ඩ්ස් ක්ෂණික කෑම ගිල දමන්නේ ඒවා වස විස නැතිව ආරක්ෂිතව පිළියෙළ කරන්නේ ය යන විශ්වාසය නිසා ය. ඔහුට රාත්‍රියට නින්ද යන්නේ ද නැත. වෙන එකක් තබා ඔහු රාත්‍රියට තමන්ගේ බිරිඳ සමග එකම නිදන කාමරය බෙදාගන්නට පවා ඔහු බිය ය. මේ, ෆෝබියා සහ මේනියා දුසිම් ගණනකින් පෙළෙන උන්මත්තකයෙකි.

උන්මත්කයන්ට සාමාන්‍යයෙන් අපි අනුකම්පා කරමු. නමුත් ට්‍රම්ප්ගේ උන්මත්තක භාවය විසින් ලක්ෂ ගණන් අහිසංකයන්ගේ ජිවිත ගොදුරු කරගෙන තිබේ. මනුෂ්‍ය ජීවිතවල ඉරණම උන්මත්තකයෙකු අතට භාර වූ විට ප්‍රතිඵලය ඛේදජනක ය. එවිට තවදුරටත් පීඩකයාට අනුකම්පා කළ යුතු නොවේ.
ට්‍රම්ප්ගේ ‘මොළය පරීක්ෂා කෙරේ.

මේ වන විට ට්‍රම්ප්ගේ මානසික තත්වය, ජනපති ධුරය දැරීමට සුදුසු තත්වයක නැති බවට පවතින්නේ ප්‍රබල මතයකි. පසුගියදා එළිදුටු ‘ෆයර් ඇන්ඩ් ෆියුර’ි ග්‍රන්ථය එයට මනා නිදසුන් සමග ලේඛනගත සාක්ෂි සපයයි. සාමාන්‍යයෙන් ඕනෑම රටක ජනාධිපතිවරයෙක් බලයට පත් වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නියම කරන එක් ප්‍රධාන කාරණයක් වන්නේ ඒ තැනැත්තා ‘ධුරය දැරීමට යෝග්‍ය’ ශාරීරික සහ මානසික තත්වයක සිටින බව තහවුරු කර ගත යුතු වීමයි. අලුත්ම වාර්තාවලට අනුව ට්‍රම්ප් තවදුරටත් ජනාධිපති ධුරය දැරීමට සුදුසුදැයි පරීක්ෂා කර බැලීම සඳහා ඔහු ව ප්‍රථම වෛද්‍ය පරීක්ෂණයට ලක් කරන බව තහවුරු වී ඇත. ඇමරිකානු ඉතිහාසයේ ජනපති තනතුරට පත්වූ වයස්ගතම පුද්ගලයා වන 71 හැවිරිදි ට්‍රම්ප්, මේරිලන්ඩ් ජනපදයේ බෙත්සෙඩා හි වෝටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට හෙට දිනයේ යා යුතුව තිබෙන්නේ එයට ලක්වීම පිණිස ය.

ට්‍රම්ප් ඇමරිකාවේ ජනපති පදවියට පත්වූයේ වයස අවුරුදු 70 දීය. ඊට පෙර ජනපති පදවියට පත්වූ වයස්ගත ම තැනැත්තා වුයේ රොනල්ඩ් රේගන් ය. ඒ, වයස අවුරුදු 69 දී ය. පසුව අනාවරණය වුණේ රේගන්, ධුරය දරන සමයේදී ඇල්සයිමර් රෝගයෙන් පෙළෙමින් සිටි බවයි. ට්‍රම්ප්ගේ වෛද්‍ය පරීක්ෂණයේදී ඔහු ව අනිවාර්යයෙන්ම ස්නායු පරීක්ෂාවකට ලක් කළ යුතු යැයි ඇමරිකානු මාධ්‍ය මේ මොහොතේ අවධාරණය කරමින් සිටියි.

සැබවින්ම අප මේ ලිපියට මුල් කර ගත් ප්‍රකාශයේදී ට්‍රම්ප් කියා තිබෙන්නේ ‘shithole’ රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් එන බව ය. එම වචනය සිංහලට පරිවර්තනය කළ හොත් නැගෙන අවර ගණයේ කුණුහරුපය මෙහි ලියන්නට බැරි නිසා අපි සැර බාල කළෙමු. නමුත් එයට ළඟින් යන වචනයක් තෝරාගෙන, ට්‍රම්ප්ගේ උන්මත්තකභාවය ගැන පැහැදිලි අදහසක් ඔබට ඇති කර ගත හැකිය.

තවත් කිව යුත්තක් තිබේ. ට්‍රම්ප්ගේ බිරින්දෑ, මලානියා ට්‍රම්ප් ද සංක්‍රමණිකයෙකි. ඇය මෙයට විසි වසරකට පෙර ‘වර්කිං වීසා’ එකකින් ඇමරිකාවට එන්නේ නිරූපිකාවක් වශයෙන් රස්සාවක් සොයාගෙන ය. ඉතින් ඇය ද ට්‍රම්ප්ගේම භාෂාවෙන් කියනවා නම් ‘අසුවල් එකෙන් ආ එකිය’කි. එවිට ට්‍රම්ප් වනාහී, ඔහුගේම තියරිය අනුව, අසුවල් එකෙන් ආ එකියක සමග නිදාගෙන දරුවන් ද හැදූ ‘අසුවල් එකේ එකෙකි’!

- ක්‍රිෂාන්ති රාජපක්ෂ 

‍අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

 

Top