1150 x 80 px

 

ශ්‍රී ලංකාවට නැවතත් GSP අහිමි වෙයි?

අපි අත්පත් කරගැනීම් වලට වඩා අහිමි කරගන්නා රටක මිනිසුන් වෙමු. බල උවමනාවන් වෙනුවන් මිනිසුන් හිංසනය කරන රටක මිනිසුන් වෙමු. එහෙත් අපි හැම විටම ප්‍රජාතන්ත්‍රවාදය , මනාව හිමිකම් ගැන වහසි බස් දොඩන්නෙමු. අපූරුය. ඒ, අපි ජිවත් වෙන භූමියයි.

රාජපක්ෂට පයින් ගසා විධායක ජනාධිපති පුටුවේ ඉන්දවූ මෛත්‍රීගේ සැඟවුණු දේශප්‍රේමය, මානව හිතවාදීත්වය පසුගිය 09 වෙනිදා හතර පැත්තෙන්ම දෝර ගලනවා අපි දුටුවෙමු. ඒ,2008 වසරේදී කොළඹ ඇතුළු තාදාසන්න ප්‍රදේශවලදී පැහැරගෙන ගොස් අතුරුදහන් කළ තරුණයින් 11 දෙනාගේ නඩුවට සැක පිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු 06 දෙනා ඇප මත නිදහස් කිරීමත් සමඟය. 2015 ජනවාරි 09 මෛත්‍රිපාල සිරිසේන, ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ මහින්දගේ වියරුවට තිත තබන බවට පොරොන්දු වෙමිනි. රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ,විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය යට‍තේ සිදුවූ මනුෂ්‍ය ඝාතන, පැහැර ගැනීම්,අතුරුදහන් කිරීම් සියල්ලේ වගඋත්තරකරුවන් ජනතාව හමුවට පමුණුවන වන බවට වූ පොරොන්දුවත් සමඟය. ලාංකේය දේශපාලනයේ පොරොන්දු දේශපාලනය පිළිබඳ ඕනෑවටත් වඩා ජනතාවට අත්දැකීම් ඇති නිසා පොරොන්දු ඉටුනොවිම පිළිබඳ පශ්චාත්තාප වීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් පර්ච්ජේදයෙන් පරිච්ජේදය සිදුවන්නේ ජනතාව ගොනාට ඇන්දවීම නම් කාගේ කාගේත් ඇඟලා සිටින සුදු පිරුවට ගලවා දැමීමේ අනිවාර්ය අවශ්‍යතාවක් වෙයි.

තරුණයින් 11 දෙනා පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව කරුණු එකින් එක අනාවරණ කර ගෙන තිබුණි. දසනායකලා කරමුලටම හිර වූයේ එහෙයිනි. ජාතිවාදී දේශප්‍රේමීන්ට දසනායකලා එළියට එනතුරු නින්ද නොගියේ එහෙයිනි. රට බේරා ගත් රණවිරුවන් ඝාතකයන් බවට හුවා දක්වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙහි කපමින් ජනතාව ඇන්දවීමට එකී කුහක ජාතිවාදීන් දිවා රෑ නොබලා වෙහෙසිණි. එහෙත් දසනයකලාට ගැලවීමක් නොවුණේ දසනායකලාගේත් දසනායකලාට නායකත්වය දුන් කෙරුමන්ගේත් ඒ වන විටත් රෙදි ගැලවී තිබූ නිසාය. එහෙත් නැවත වරක් අප ජීවත් වන්නේ සිරි ලංකාව නම් ගොබ්බ දුපතේ බව පසක් කරමින් දසනායකලාට ඇප නියම විණි.

ඒ අනුව පැහැර ගැනීමට ලක්වූ රජිව් නාගනාදන් වසරක පමණ කාලයක් උපක්‍රමශීලි ලෙස සිය මවට ජංගම දුරකථනයක් හරහා කතා කර තමන් ඇතුළු මිතුරන් පැහැර ගැනීමට ලක්වූ ආකාරයත් පසුව ඔවුන් රඳවා තිබූ ස්ථානත්, ඔවුන් භාරව සිටි නාවික හමුදා නිලධාරීන් පිළිබඳවත් පැවසූ සත්‍යය පුස්සක් වීද? තරුණයන් මත LTTE ලේබලය ගසමින් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම "සිංහල" සමාජය තුළ සාධාරණීකරණය කළ කප්පම් ගැනීමේ දසනායකලාගේ ක්‍රමය අනාවරණ කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙහෙස පුස්සක් වීද? යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන්ම කළු කබාය ඇඟලා ගත් අචලාගේ ධෛර්යය පුස්සක් වීද? වරද, මොවුන්ගේ කශේරුකාව රාජ්‍ය පාලනයට නොපිහිටීමය.

කෙසේ වෙතත් කොමදෝරු දසනායකලාගේ සාහසික ක්‍රියා ගැන සාක්ෂි ලබා දී තිබුණේද නාවික නිලධාරීන් විසිනි. 2007 වසරේ සිට දසනයකලා හමුදා බලය යොදා ගෙන ඊට මුවාවෙමින් කරන ලද අපාරාධ පිළිබඳ නාවික නිලධාරින් විසින්ම හිටපු ජනාධිපතිවරයාට හා වත්මන් ජනාධිපතිවරයාටද ලිඛිතව දන්වා තිබේ. දසනයකලාගේ මෙම "වික්‍රමය" හඹා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් විසින් සිදුකර තිබූ සිංහල අතුරුදහන් කිරීම්ද අනාවරණ කර ගෙන තිබුණි. එහෙත් සාධාරණය, යුක්තිය පෙනෙන මානයෙන් නැවතත් දුරස් වෙමින් තිබේ. අවසානයේ මේ සියල්ල කටුගෙටද?

LTTE චෝදනාව ඉබේම නිෂ්ක්‍රීය වී ඇත්ත අනාවරණ වුවත් ඒ ඇත්තට මුහුණ දීමට රාජ්‍ය පාලනයට නොහැකි වූයේ ඇයි? 2008 සිට අදටත් දරුවන් එන පෙර මඟ බලා සිටින ඒ මව් පියවරු වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමට රාජ්‍ය පාලනයට නොහැකි වූයේ ඇයි? මෙවැනි වටපිටාවක් තුළ අපි රාජපක්ෂගෙන් යහපාලනය වෙනස් වන තැන සොයා ගන්නේ කෙසේද? නැත්නම් වෙනසක් නැත්ද? සිදුවූයේ ඔළු ගෙඩියකට ඔළු ගෙඩියක් මාරු වීම පමණද? සිදුවන්නේ එදා වූ දේම වෙනත් වෙස් මුහුණකින් නම් එදා රාජපක්ෂ පාලනයේ සැහැසිකම් ගැන ප්‍රසිද්ධ වේදිකාවේ කතාකළේ අහවල් දෙයකටදැයි දැන් අසන්නට සිදුවෙයි.

දැනගන්නට ඇති පරිදි දසනායකලාට ඇප ලැබීමේ කතාව මෙබන්දකි. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මත පැටවු බලහත්කාරයකි. පසුගිය කාලය තුළ දසනායකලාට ඇප ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි ලෙස බලපෑම් කිරීමට "රාජ්‍ය පාලනය" කටයුතු කර ඇති බව දැනගන්නට තිබේ. දසනායකලාට දඩුවම් දීම "රණවිරු" ජන්ද අහිමි වීමකැයි එකී පාලනය විසින් ගණන් බලා ඇත. කතිරය වෙනුවෙන් මානව හිමිකම් බල්ලට ගොස් ඇත්තේ එලෙසය.

අපට ඇති ප්‍රශ්නය වන්නේ සැබෑ අපරාධකරුවන් අනාවරණ වීම ජන්ද ප්‍රමාණයට බලපාන්නේ කෙසේද යන්නයි. එදා සිදුවූ අපරාධ මිනිසුන් වින්දනය කළේ නම් රාජපක්ෂ එළවා දමා මෛත්‍රී ගෙන ඒමේ වුවමනාවක් නැත. පැහැර ගැනීම්,අතුරුදහන් කිරීම්, මහමඟ ඝාතනය කිරීම්, සුදුවෑන් හමුවේ ජනතාව සව්දිය පිරුවේ නැත. එසේ වූයේ නම් රාජපක්ෂ පාලනය සමඟම සිට සියලු දෙනාටම දිවි නසා ගැනීමට තිබුණි. සාහසිකත්වය මේ පොළොවෙන් අතුගා දැමීමේ ප්‍රමුඛ අවශ්‍යතාව පදනම් කර ගෙන ප්‍රගතිශීලි ජනතාව යහපාලනය වෙත සිය සුරත දිගු කළේ නැවත නැවතත් කම්පාවට ලක් වීමට නොවේ. එහෙත් අද සිදුව ඇත්තේ කම්පිතව බලාහිදිමටය. රාජපක්ෂ පෙරමුණම පවසන පරිදි වරදකරුවන් සමාජය ඉදිරියට ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකි වී නැත.

සැබෑ රණවිරුවන් හා රණවිරු පට්ටමට මුවාවී සිටින ඝාතකයන් සමාජයට අනාවරණය කර දීමට රාජ්‍ය පාලනයට හැකි විය යුතුය. ජාතිවාදයට මුවා වී මේ පොළව අඅපවිත්‍රකරන්නන් හෙළිදරව් කිරීමට රජය පාලනයට හැකි විය යුතුය. එසේ නොකර පපුවට හෝ වෙන මොකක් හෝ අවයවයකට ගසා ගෙන ජාතිය ඇමතුවාට පලක් නැත. ඒ තුළ ජන ප්‍රසාදයක් හා විශ්වාසයක් ඇති වීම මිස ජන්ද අහිමි වීමේ අවධානමක් නැත. ජනතාවට අවශ්‍ය වුයේද හොරුන්, දුෂිතයින්, ඝාතකයින් අනාවරණය වනවා දැකීමටය. මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ එකපෙළට වාඩී කරවූයේ ඒ වෙනුවෙනි. හොරුන්ට , දුෂිතයින්ට , ඝාතකයින්ට ආවැඩීමට යහපාලනයක් අවශ්‍ය නැත.

දසනායක සිද්ධියද නැවත නැවතත් අපට අවධාරණය කරන්නේ ලාංකේය දේශපාලනයෙන් තවමත් මී හරක් වියුක්ත වී නැති බවය. අඩුම තරමේ රණවිරු ජන්ද රාජපක්ෂ සින්නක්කරේටම අත්පත් කර ගෙන ඇති බව හෝ තේරුම් ගැනීමට තරම් දේශපාලනයෙන් තොත්ත බබාලා වීම ලජ්ජා සහගතය. තරුණයින් 11 දෙනාගේ සිද්ධිය මෙලෙස යටපත් කිරමට වෑයම් කිරීම අපට ජාත්‍යන්තර වශයෙන්ද බලපෑම් සහගත බව පෙනෙන්නටම තිබියදීත් අසූචි නා ගැනීමම කරමින් හිදියි. අධිකරණයේ විශ්වාසයද බිඳිමින්, මානව හිමිකම් තුට්ටුවට දමමින් කටයුතු කිරීම නැවත වරක් GSP අහිමි කර ගැනීමකට දොරටු විවර කරගැනීමක් බව ජනාධිපතිවරයාට එජාපයේ ප්‍රබලයෙක් විසින්ම පහදා දී තිබේ.

"GSP නැත්නම් මානව හිමිකම්, යුක්තිය, සාධාරණත්වය වගේද රණවිරු ජන්ද!"

හැමතැනින්ම හිනායන්නේ මෙහෙව් ගණන් බැලීම් පිළිබඳව දැනගන්නට ලැබෙන විටය.

තරුණයින් 11 දෙනාගේ අතුරුදහන් වීම පමණක් නොව තවත් බොහොමයක් දෙනා අතුරුදහන් විය, ඝාතනය විය, මාරාන්තික පහර දීම් සිදු විය. සියල්ල සිදුවීම් වලට පමණක් සිමා වීද? ඊට හොඳම උදාහරණය වැලිකඩ ඝාතන පිළිබඳ වූ වාර්තාවය. ඝාතකයින් නිදැල්ලේය. ඒ, සිරි ලංකාවය.

කෙසේ වෙතත් සටහන අවසන් කිරීමට මත්තෙන් යමක් අවධාරණය කළ යුතුය. එනම්, ඝාකයන් කිසිදිනෙක අපට රණවිරුවන් නොවන බවය.


Top