1150 x 80 px

 

ඇයි, අනුර කුමාර දිසානායකට ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් තහනම්ද?

මේ දිනවල අන්තර්ජාලයේ විදුලි වේගයෙන් සංසරණය වන එක්තරා ඡායාරූපයක දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගුවන් යානාවක ව්‍යාපාරික පන්තියේ ගමන්ගන්නා ආකාරයයි. මේ සමගම අනුර කුමාර දිසානායක මහතා අහස පොළොව නූසුළන ද්‍රෝහිකමක් කළාක් මෙන් ඔහුව විවේචනය කෙරේ. ඔහු වැඩකරන පන්තියට කොකා පෙන්වූ බවත්, ජනදුක විකුණමින්, ජනයා අන්දමින් සුරසැප විඳින බවත් විවේචනවලින් කියැවේ. මෙම ඡායාරූපය සමග සංසරණය වන ලියවිල්ලේ දැක්වෙන්නේ ඔහු පෙරේදා අයර්ලන්තයේ තම දේපළක් සම්බන්ධ කාරණාවක් කරණ කොටගෙන විදේශ ගත වූ බවයි. කෙසේ නමුත් අප විසින් ද පළ කර ඇති පුවතකට අනුව ඊයේ දිනයේ ඔහු සිටියේ අම්බලන්තොට නෝනාගම ය. (බලන්න, රට බෙදීම වැළැක්විය හැක්කේ ජන කොටස් අතර සමගිය ඇති කිරීමෙන් පමණයි) අයර්ලන්තය සහ අම්බලන්තොට පටවලා ගැනීම ඒ පුවත් මවන අයගේ ගිණුමට බැරවන කාරණයකි. කෙසේ වෙතත් මේ හා සමාන්තරවම, අප අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය, අප විසඳා ගත යුතු ප්‍රශ්නය වන්නේ මෙයයි. ‘‘ඇයි, අනුර කුමාර දිසානායකට ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් අකැපද?“

දේශප්‍රේමය ප්‍රකට කරන සුළු ධනේෂ්වර පක්ෂයක්

වත්මන් දේශපාලන භාවිතාව දෙස විමසිල්ලෙන් බලන කවරෙකුට වුවත් පෙනී යන කාරණාවක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ යනු තවදුරටත් ලෙයින් යකඩින් මර්දනය කරන පක්ෂයක් නොවේ ය යන්නයි. ලේ වගුරවමින්, පොලිස් ස්ථානවලට පහර දෙමින්, කැලෑ නීතිය ප්‍රකාශයට පත් කරමින්, හොර රහසේ පන්ති පහ පවත්වමින් ඔවුන් ‘ගරිල්ලා දේශපාලනය‘ කළ යුගය දැන් අවසන්ව තිබේ. ඔවුන් දැන් සිටින්නේ ජනසම්මතවාදයේ ප්‍රධාන දේශපාලන ධාරාව තුළ ය. ඔවුන් ව නැවතත් කැලෑවට නොයැවීම ජනසම්මතවාදී පක්ෂයන්ගේ මෙන්ම මාධ්‍යයේ ද වගකීම සහ යුතුකම වේ.

දැන් ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නේ දේශප්‍රේමය යම් තරමකට ප්‍රකට කරන සුළු ධනේෂ්වර පක්ෂයක හැඩහුරුකමයි. අද සිටින ජනතා විමුක්ති පෙරමුණු නායකයන්ගේ වත්මන් දේශපාලන භාවිතාව තුළ පැහැදිලිවම දිස්වන්නේ කළ යුත්ත සහ සිදුවන දෙය පෙන්වා දෙන විචාරශීලී දේශපාලනයකි. එම කාරණයේ ඔවුහු ප්‍රශස්ත ව නියැළී සිටිති. ඔවුහු යටිබිම්ගත දේශපාලනයෙන් තොරව මනා ලෙස හඳිමින් පළඳිමින්, කමින් බොමින් සමාජයේ සියලුම ස්ථරයන් සමග අන්තර්ක්‍රියා දක්වමින් තම කාර්යයේ නියැළෙන්නෝ වෙති.

සරදාකාශයෙන් මහ පොළොවට

මන්ත්‍රී ඩොට් එල් කේ (manthri.lk) වෙබ් අඩවියට අනුව අනුර කුමාර යනු පාර්ලිමේන්තු විවාදවලට වැඩිවශයෙන්ම සහභාගි වන ජනතා නියෝජිතයා ය. දියවන්නාවෙන් එපිට සිටින්නේ දියවන්නාවට යැවූ රංචුව නොවන බවට ජනතාව විස්සෝප වෙමින් සිටින යුගයක මේ තරුණ මන්ත්‍රීවරයා වත්මන් නිර්භය ලෙස කතා කරමින් රට කරවන අයගේ අඩුපාඩු විවේචනය කරයි. ඔහු වත්මන් පාර්ලිමේන්තුව තුළ සැසිවාර 501කට සහභාගි වී ඇත. ආණ්ඩුකරණය, පරිපාලනය, පාර්ලිමේන්තු ගැටළු ඔහුගේ ප්‍රියතම මාතෘකා අතරේ වෙයි. ෆෙඩරල් ක්‍රමය පිළිබඳ ඔහු පැහැදිලි දේශපාලන අවබෝධයකින් සහ පටු බෙදුම්වාදයෙන් තොරව කතා කරන තරුණ දේශපාලනඥයෙකි. තොරතුරු සහ දත්ත මත පදනම් ව තම මතය පැහැදිලි ලෙස ඉදිරිපත් කරන්නෙකි. ස්වභාවික සම්පත්, පරිසරය, අධිකරණය, මහජන සාමය යනාදී මාතෘකා සම්බන්ධයෙන් ඔහු තරම් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න ඇසූ සහ හඬ නැගූ වෙනත් මන්ත්‍රීවරයෙක් මෑත භාගයේදී අපේ සිතට නොනැගෙයි.

ලංකාවේ මාක්ස් ලෙනින්වාදී දර්ශනය නමැති ඕක් ගස පැළ කරන්නට යත්න දැරුණේ මෙයට දශක ගණනාවකට පෙර ය. නමුත් මොකක්දෝ අහේතුවකට ඒ ඕක් ගස මුල් අදින්නේම නැත. අට දශකයක් ඉක්ම ගිය ද මේ පසේ ඒ ගස පැළ කළ නොහැකි සෙයකි. ලංකාව තුළ පමණක් නොව ලෝකය ම සැලකුවද සමාජවාදයේ පරමාදර්ශ තවමත් තිබෙන්නේ පොත්වල පමණක් බව අමතක නොකරන්න. ලංකාවේ මාක්ස් ලෙනින්වාදී සමාජවාදයක් සහිත පාලනයක් බිහිවන්නට තිබුණා නම් ඒ 1953 අගෝස්තු 8 හර්තාලයෙන් පසුව ය. ඉන්පසු 1963 දී ශ්‍රී ලංකාව සමාජවාදී උතුරුකුරුවක් කිරීමේ අරමුණින් පක්ෂ 3 ක් එ්කාබද්ධ ව ගොඩනැගුණු වාමාංශික එක්සත් පෙරමුණ 1964 වර්ෂයේ මහා පාවාදීමකට නතු වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් එකී සන්ධානයට ඇමතිකම් තුනක් හා නියෝජ්‍ය ඇමතිකම් දෙකක් පමණක් ලබාදීම නිසා ය. ජනතා විමුක්ති පෙරමුණ යනු 1965 වසරේ එයට විරෝධය පාමින් එදා තරුණ පරපුර විසින් තැබූ අසංවිධිත වෙඩි මුරයයි.

අනතුරුව තරුණ නැගී සිටීම් දෙකකින් සහ තරුණ මරණ ලක්ෂ ගණනකින් පක්ෂය පමණක් නොව ලක් පොළොව ද වන්දි ගෙව්වේය. අනුර කුමාර දිසානායක යනු මෙවැනි ලේ වැකුණු ඉතිහාසයකින් පසුව, පක්ෂයේ නම ඇසෙන විට ජනතාව භීතියෙන් අහක බලාගන්නා තරමේ අතීතයක සිට මුල සිට පටන් ගනිමින් වාමාංශික මාක්ස් ලෙනින්වාදී කබාය ජනතා විමුක්ති පෙරමුණෙන් ගැළවූ කෙනා ය. ඉන්පසු ලංකා දේශපාලනයේ වාමවාදී ප්‍රවේශය ජනසම්මතවාදී මාර්ගයකට ගෙන ගිය කෙනා ය. ජනතා විමුක්ති පෙරමුණ සරදාකාශයෙන් බිමට ගෙන මහ පොළොවේ පැළ කළ කෙනා ය. ඒ අර්ථයෙන් ගත් විට ඔහුගේ නායකත්වය රෝහණ විජේවීර හෝ සෝමවංශ අමරසිංහගේ නායකත්වයට වඩා ජනතාවාදී සහ අර්ථසම්පන්න ය.

ඒකාධිපති රථයේ තිරිංගය සහ ගියරය

සැබවින්ම මෙහිදී අගය කළ යුතු කාරණය වන්නේ, මෙසේ ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන්වල යෙදෙන අතරත් තවමත් තමන්ගේ අත් පිරිසිදුව තබාගෙන පීඩිතයන් වෙනුවෙන් හඬ නගන්නට ඔවුන්ට හැකියාව තිබීමයි. අනුර කුමාර දිසානායක මෙන්ම ඔහුගේ පක්ෂයේ මුල් පෙළ නායකයන් කණ්ඩායමෙන්ම මේ පොදු ලක්ෂණය දැකගත හැකිය. ඉදිරියේදී කුමක් විය හැකිදැයි අනාවැකි කියන්නට බැරි නමුත් දැනට පැහැදිලිවම පෙනී යන්නේ මේ කාර්යය ඔවුන් විසින් සාර්ථක ආකාරයෙන් කරගෙන යන බව ය. ඔවුන්ගේ තර්ක සහ මතයන්, කරුණු සහ තොරතුරුවලින් පොහොසත් ය. ඒවා හුදු කටකතා හෝ පුචානම් නොවේ. මේ අර්ථයෙන් සැලකූ විට ඔවුන් සිටින්නේ දියවන්නාවේ සෙසු සාමාජිකයන්ට වඩා බොහෝ ඉදිරියෙනි. ඔවුන් තවමත් තමන්ගේ දෑත්වල දූෂණයෙන්, වංචාවෙන් දැලි ගාගෙන-මඩ ගාගෙන-කුණු ගාගෙන නැත. පුද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන් මේ වන විට දරණ ස්ථාවය යල් පැන ගිය එකක් බව ඔවුන් විසින් අවබෝධ කර ගත යුතු වේ. මීට වඩා යථාර්ථවාදී ප්‍රෙව්ශයකට ඔවුන් යොමු නොවන්නේ නම් විශාල ජන විකර්ෂණයකට හේතු වනු ඇත. මෙය සංඛ්‍යාලේඛන සහිතව වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි.

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම සැලකූ විට ඔවුන්ට රට තුළ 5% හෝ 7%කට වඩා නියෝජනයක් නැත. එය එසේ වුවත් වත්මන් දේශපාලන ධාරාවේ පැවැත්ම සඳහා ඔවුන්ගේ දායකත්වය අතිශය වැදගත් සහ අගනා එකක් වෙයි. එම දායකත්වය ඒකාධිපති මාවතේ හැටට හැටේ යමින් සිටි ආණ්ඩුකරණ යාන්ත්‍රණය නමැති වාහනය, නිසි මගට හරවාගන්නට යොදාගන්නා තිරිංගයක් සහ ගියරයක් වැනි ය.

පන්ති වෛරයෙන් කරන හුදු නර්මාලාප

යමෙක් ගර්හාවට පාත්‍ර කිරීම සැමට කළ හැකි දෙයකි. අනුර කුමාරලා පන්ති රහිත සමාජයක් ගැන කතා කරමින් ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් යනවා යැයි මේ ඡායාරූපය දෙස බලමින් එයට ගැරහීම පහසු ය. නිසැක වශයෙන්ම පක්ෂයෙන් කැඩී ගිය විමල් වීරවංශලා, ජාතික නිදහස් පෙරමුණ වැනි ‘පන්ච් කතා‘ කියමින් ඡන්ද දිනාගැනීමේ පුහුදුන් ව්‍යාපාරවලටද මෙය කටගැස්මක් වනු ඇත. නමුත් අනුර කුමාරලා කරන කියන සෑම දෙයකටම පටු පන්ති නිර්වචනයක් දිය යුතුද? අනුර කුමාර, තමන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සාමාජිකයෙකු වන නිසා, තමන්ට නොමිලේ ලැබුණු ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් ප්‍රවේශපත්‍රය පැත්තකින් තබා, අතෙන් වියදම් කරගෙන තුන්වැනි පන්තියේ යා යුතුද? අනුර කුමාර ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන්වල යෙදුණු පළමුවැනි වතාව ද මෙය නොවන්නට ඉඩ තිබේ. නමුත් අනුර කුමාර ජනතා ඒ කාර්යය සඳහා ජනතා මුදල් ‘නාස්ති කර‘ නැතිනම් මෙතැන තිබෙන ගැටළුව කුමක්ද?

පැහැදිලිම මේ ඡායාරූපය ජනතා විමුක්ති පෙරමුණේ නව ප්‍රවණතාවක් පිළිබඳ හැදෑරීමට ඇරයුම් කරන සංකේතාත්මක ඡායාරූපයකි. එම නව ප්‍රවණතාවය වන්නේ අන් කිසිවක් නොව, යල් පැන ගිය දේ බැහැර කර ජනසම්මතවාදී පක්ෂයක් වශයෙන් ඉදිරියට ඒමේ ප්‍රවණතාවයයි. පවත්නා ක්‍රමය තුළම, එයට අභියෝග කරමින් හැසිරෙමින් ඔවුහු සිද්ධාන්ත වැළඳගත් බොල් පොළොවෙන් මහ පොළොවට බැස සිටිති. ඒ නිසා අනුර කුමාර දිසානායක යනු වත්මන් දේශපාලන භාවිතය තුළ ජනතා විමුක්ති පෙරමුණේ දිශානතිය පිළිබඳ රූපකයකි. එනම් මෙටෆෝ එකකි. එම රූපකය අප කියවා ගත යුත්තේ හුදු අන්තවාදය සහ පටු අදහස් බැහැර කරමින් නවමු මානයක සිට ය.

එනිසා පංති වෛරයෙන් යුතුව කරන හුදු නර්මාලාප වෙනුවට අප සිහිතබා ගත යුත්තේ අප මේ ජීවත් වන්නේ 18 වන සියවසේ නොව 21 වන සියවසේ බව ය. රජරට මිනුම් දෙපාර්තමේන්තුවේ මැනුම් කම්කරුවෙකුගේ හා අකුරු නොදත් සාමාන්‍ය කාන්තාවකගේ පුතෙකු වන අනුර කුමාර දිසානායක හෙවත් ‘අරවින්ද‘, දූෂණයකින් තොරව කාර්යක්ෂමව රට වෙනුවෙන් තමන්ගේ කාර්යය ඉටු කරන්නේ නම් ඒ සඳහා ඔහු කාගේ ජෙට් එකේ - කුමන ව්‍යාපාරික පන්තියේ ගියත් අපට ප්‍රශ්නයක් නැත.

-ක්‍රිෂාන්ති රාජපක්ෂ 

Top