1150 x 80 px

 

‘ලිබරල් සමනලී‘ සහ ‘අති-පැරණි සමන්මලී‘

 පිිරිසක් සමනලීට පහර දෙති. පිරිසක් සමන්මලීට පහර දෙති. ලංකාවේ දේශපාලනය සහ සමාජ සංස්කෘතික සංවාදය ඉදිරියට ගෙන යා යුත්තේ සමනලී සහ සමන්මලී දෙදෙනාම අතරිනි.

ගැහැනුන්ට එක නීතියකුත් පිරිමින්ට එක නීතියකුත් පැවතීම ගැන මා විරුද්ධය. ඒ නීතිය සුද්දාගේ වුවත්, ක‍්‍රිස්තියානි කාරයාගේ වුවත්, බෞද්ධයාගේ වුවත් ඊට මා විරුද්ධය. මා විරුද්ධ නීතිය ඉදිරියේ ස්ත‍්‍රියට වෙනස්කම් කිරීම සම්බන්ධයෙනි.

සමන්මලී රාවය පත්තරයට කියා ඇති දේද මුහුණපොතේදී අතිසරල කෙරී ඇති බව පෙනේ. කෙසේ වෙතත් ඇගේ පිළිතුරේ ඇත්තේ මෙම නීතිය නිසා ස්ත‍්‍රීන් මධුලෝලීන් කෙරෙන්නේය යන අදහසයි. එය බටහිර කුමන්ත‍්‍රණයක් වැනි ඇ`ගවුවක්ද එහි ඇත. මේ වූකලි සමන්මලීට පමණක් ආවේනික අදහස් නොවේ. මේ වැනි ඇදහස් දරණ අය අපේ දේශපාලන පක්ෂ සියල්ලේම සිටිති. සංස්කෘතික ජාතිකවාදී කතිකාව තුළ දීර්ඝ කාලයක් හැදුණු වැඩුණු පරම්පරාවක් තුළ මෙවැනි අදහස් තිබීම පුදුමයක් නොවේ. වාම දේශපාලන පක්ෂයක් යැයි සැලකෙන ජවිපෙ නායිකාවක් තුළ මෙවැනි අදහස් තිබීම පවා පුදුමයක් නොවේ.

මෙය හුදෙක් මත්පැන් ප‍්‍රශ්නයක් සේ පමණක් නොව ස්ත‍්‍රී අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස දැකීමට ඇය අසමත් වන බවද ඇත්තකි. ජවිපෙ වැනි පක්ෂ පමණක් නොව ලංකාවේ සියලූම වමේ පක්ෂ පාහේ ස්ත‍්‍රීවාදී දෘෂ්ටිකෝණයෙන් දේවල් දැක තර්ක කරන්නේ නැත. ස්ත‍්‍රිවාදී දෘෂ්ටිකෝණය ලිිබරල්වාදී විකෘතියක් යැයි සලකන අය වමේ වෙති. එය ඊට වඩා වෙනස් ප‍්‍රවේශයකින් දකින මධ්‍යම පාන්තික උගතුන්ගේ දායකත්වය ජවිපෙ වැනි පක්ෂවලට කාලයක් තිස්සේම ලැබුණේ නැත. එවැනි අය එන්ජී ඕකාරයන්, බටහිර ගැත්තන්, සීඅයිඒකාරයන් සේ දැකීම කාලයක් තිස්සේ ජවිපෙද පුරුද්ද විය. එසේ සිතන අය විකොස ආශ‍්‍රයෙන් පවා මට හමු වී ඇත. මේ නිසා සමන්මලී වැනි ක‍්‍රියාධාරිනියන්ට අයිතිවාසිකම් ප‍්‍රවේශයෙන් ජීවිතය දකින්නට හුරුවක් නැත. එවැනි දැැනුම් සහ පුහුණුව ඇති අය සමන්මලීට හිනාවීමත්, සමනලී වීරවරියක් සේ එසවීමත් බුද්ධිගෝචර නොවේ.
සමනලී මගේ මිතුරියක වුවද සමන්මලී කවර පවුල් පසුබිමක් ඇත්තියකද යන්න දන්නේ නැත. ඈ සමග වචනයක්වත් කතා කරන්නට ලැබීද නැත. ඇය උගත් ගැමි ස්ත‍්‍රියකය යන උපකල්පනයේ සිට කල්පනා කළහොත් ඇයගේ සිතුවිලි ඈ නියෝජනය කරන කුලකයට ආගන්තුක දෙයක් නොවේ. මත්පැන් සහ බටහිර අනන්‍ය කිරීම අපේ යටත්විජිත ඉතිහාසයේ ශේෂයකි. යටත්විජිතවාදියා මත්පැන පාලන උපකරණයක් සේද භාවිත කළේය.

එසේම අනගාරික ධර්මපාලතුමා වැනි අයගේ අතිසරල මත්පැන් විරෝධය අපේ ජාතිකවාදී විඥානයේ එක් බලවත් කොටසකි. සමන්මලීද ධර්මපාල තුමාගේ මිණිබිරියකි. ඇගේ ඒ විඥානය වූකලී විවිධ මූලාශ‍්‍රවල බලපෑමෙන් වැඩුණකි.

ලංකාවේ සාමාන්‍ය පාන්තික ස්ත‍්‍රීන් තුළ මත්පැන් සම්බන්ධයෙන් අකමැත්තක් තිබීම නරක දෙයක්ද නොවේ. මත්පැන් නිසා විනාශ වූ ලාංකේය පවුල් ගොඩගනු ලැබ ඇත්තේ ස්ත‍්‍රීන් විසිනි. පහසුවෙන් කෝටිපතියෙකු වීමට ඉඩ තිබුණු මගේ පියා බීමෙන්ම විනාශ වී ගියේය. ඔහු අපේ ගෙදර වධකාගාරයක් බවටද පත් කළේය. අපේ අම්මාට තිබුණු ප‍්‍රශ්නවල හැටියට ඈ මත්පැනින් ප‍්‍රශ්න විසඳුවා නම් අද මට මේ සටහන ලියන තරම්වත් අධ්‍යාපනයක් ලැබෙන්නේවත්, සමන්මලී අර කතාව කියන දවස වන තෙක් ජීවත් වන්නට ලැබෙන්නේවත් නැත.

මුහුණපොතෙන් සමන්මලීට උසුලූවිසුළු කරන අය අතර තම දරුවන් ගැන පවා වගකීමකින් තොරව බොන බේබද්දන්ද සිටින බව මට කෙනෙක් කීය.

මගේ පියා මත්පැන් නිසා විනාශ වුවද මම මත්පැන් සම්බන්ධයෙන් සංස්කෘතික විරෝධයක් නොදක්වමි. ඉඳහිට මධුවිතක්ද තොලගාමි. මගේ නිවසේ නිතර පාහේ මත්පැන් තිබේ. එහෙත් මත්පැන් බීම යනු ලංකාවේ ඇතැම් පිරිමින් උත්කර්ෂණය කරන තරම් මහකජ්ජක් නොවේ. මා නම් වැඩපාළු කරගෙන බොන්නේ නැත. යන යන තැන බොන, බොන බොන තැන ෆොටෝ ගසා මුහුණුපොතේ දමන තරුණ කවීන් අතර මා ආදරය කරන කීපදෙනෙක්ද වෙති. කවියෙකු ලෙස පූර්ණ ප‍්‍රවීණත්වය අත්පත් කරගත යුතු නම් තැන තැන බීම වෙනුවට පොතපත කියවන්නැයිද, ඉංග‍්‍රීසි ඉගෙන ගන්නැයිද මා ඒ කවි මිතුරන්ට කියා ඇත.

ඇමරිකා එක්සත්ජනපදයේ බියර් නිෂ්පාදන ප‍්‍රාන්තයක මා වසර හයක් ජීවත් වී ඇත. වයින් නිෂ්පාදනය කරන ප‍්‍රාන්තයක තවත් වසර හතරක් ජීවත් වී ඇත. ඒ සෑම දෙයක්ම රස බලා ඇතත් ඒවාගෙන් කිසිම මැජික් ආනන්දයක් ලැබෙන්නේ නැත. එහෙත් නූගත් වූද නිර්ධන පාන්තික වූද ස්ත‍්‍රීන් මත්පැන් නිසා විනාශ වී ගිය අවස්ථා මා ඇමරිකාවේදී සහ යුරෝපයේදී දැක ඇත. ඒකපුද්ගලවාදය නිසා සෙසු සමාජයෙන් හුදෙකලා වූ ස්ත‍්‍රීන්, ඇතැම් විට විවාහ වූ පිරිමින් විසින්ද අත්හැර දමනු ලැබ මත්පැනට ගොදුරුවීම නිතර දැකිය හැකි දෙයකි. එහෙත් ඒ බහුතරය නොවේ. බටහිර යනු එවැනි බේබද්දියන්ගෙන් පිරිලොවක්ද නොවේ. මත්පැන් ටිකකුත් බොන විශිෂ්ට පොතපත ලියන මහාචාර්යවරියන්ද මම දනිමි. මත්පැන් බිඳක් වත් නොබොන ඇමරිකානු මිතුරියෝද මගේ නිවසට එති යති

ලංකාවේ සාමන්‍ය පාන්තික ස්ත‍්‍රීන් මේ සමාජයද මේ සමාජයේ වසන පිරිමින්ද ඔවුන් මත හෙළන පීඩනය මත්පැනෙහි දිය කර හරින්නට සිතුවහොත් අපේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගන්නටවත් ලැබෙන්නේ නැති බව මගේ අම්මාගේ ජීවිතය ගැන මෙනෙහි කරන මට සිතේ.

සමන්මලී වැනි ස්ත‍්‍රීන් තුළ ඇති මත්පැන් විරෝධය ඇති කර ඇත්තේ හම්බ කරන හැම සතේටම බොන, කඩන බෝතලේ අඩිය පෑදෙනකල්ම බොන, ගෙදර විත් බිරිඳට තලන, දරුවන් ත‍්‍රස්ත කරන, දරුවන්ගේ අනාගතය විනාශ කරන ලාංකික බේබදු පිරිමියාය. එවැනි ඇතැම් අය ෆේස්බුක් එකෙන් සමන්මලීට හිනාවීම හිනා යන වැඩකි.

අනික සෞඛ්‍යයමය හේතුද පවුලේ ආර්ථිකමය කාරණාද නිසා නොබී සිටින පිරිමින් ගැන මා තුළ ගෞරවක්ද ඇත. එසේම මත්පැන් වෙළඳාම නූතන ධනවාදයේ ඉතාම ලාභදායක ව්‍යාපාරයක් වන නිසා ඒවා බීම උත්කර්ෂණය කිරීමක්ද ඇත. ඒ් නිසා නොබී සිටීම පරිභෝජනවාදයට එරෙහි වීමක් වන්නටද පුළුවන. මේ විවිධ කාරණා නිසා මත්පැනට විරුද්ධ වන අයටද අදහස් දක්වන්නට ඉඩ තිබිය යුතුය.

සමනලීගේ පිලෙහි සිටින කවුරුවත් ලංකාවේ ස්ත‍්‍රීන් බේද්දියන් කළ යුතු යැයි කියන බවක්ද නොපෙනේ. රාවය පත්තරයේ ඇති ලිපියෙහි ඇති අඩුවක් නම්, සමන්මලී හැරුණු විට අනෙක් සියලූ දෙනාම අඩුවැඩි වශයෙන් සමනලීට කිට්ටු අය වීමයි. විමල් වීරවංසගේ බිරිඳගේ මතය විමසුවද, (ශිවාශ් රීගල් සහ ඇගේ නිවස අතර තිබෙන්නේ යැයි කියන කිට්ටු සම්බන්ධය තිබියදීම පවා,) ඇය කියන්නට ඉඩ ඇත්තේ සමන්මලී කීවාක් වැනි දෙයකි.

රාවය ලිපියට සමන්මලී සමග කතා කරන සමනලී, නිමල්කා, හරිනි, ජීවනී, ලංකා වැනි දැන උගත් ස්ත‍්‍රීන්ගේ අභියෝගය වන්නේ සමන්මලීලා සමග සංවාදය සුහද ලෙස පවත්වාගෙන යාමයි. සමන්මලීලා අතහැර සමනලීලාටවත්, සමනලීලා අතහැර සමන්මලීලාටවත් මේ සමාජය පරිවර්තනය කළ නොහැකිය.

මූලික වශයෙන් සමන්මලීලාගේ ලෝකයට අයිතිව උපන් මම පසුගිය සතිය ඇතුළෙහි පමණක් මිතුරු උගතුන් පිරිසක් සමග අවස්ථා කිහිපයකදී බර්බන්, ශිවාශ් රීගල්, රතු වයින්, සුදු වයින්, ලයන් ලාගර් තොලගාමින් කොර්ටාසා, බෝර්හේස්, ස්ටුවර්ට් හෝල්, අමර්තයා සෙන්, ෂෙල්ඩන් පොලොක්, මාර්ටින් වික‍්‍රමසිංහ, රත්නශ්‍රී, සරච්චන්ද්‍ර, ලූඩොවයික්, විජේවීර යනාදීන් ගැන සාහිත්‍ය-සංස්කෘතික සංවාද කළෙමි. මගේ දයාබර ගුරුතුමෙකු මරු පොත් තොගයක්ද තෑගි ලෙස රැුගෙන ඇමරිකාවේ සිටි පැමිණි නිසා ගතවී ගියේ සාදප‍්‍රියසාද සතියකි.

එහෙත් සමන්මලීලාගේ ලෝකයට ඉතා පහසුවෙන් නැවත යන්නටත්, සමන්මලී අර කතාව කීවේ මා අසල දී නම් ඒ ගැන කෝප නොවී ඉන්නටත් මට පුළුවන. අප අර බෝතල් අඩියටම හිස් කොට එකිනෙකා කායික, වාචික හිංසනය ලක් කර ගත්තේද නැත.

පැහැදිලි පිරිමි ආධිපත්‍යයක් සහිත ජවිපෙය තුළ ලෙස තට්ට තනියම මෙන් ඇය කරන අරගලය සුළුපටු නැත. තමන් සිතන ආකාරයටම සිතන අය සමග ජීවත්වන්නට කැමති අය දේශපාලන අරගලවල නොව ෆේස්බුක් එකේ වත් සිටිය යුතු නැත.
- ලියනගේ අමරකීර්ති

පසු සටහන -
අප මේ උපුටාගත්තේ ‘සමනලී සහ සමන්මලී අතර‘ යනුවෙන් ලියනගේ අමරකීර්ති මහතා තැබූ මුහුණුපොත් සටහනකි. අප සමනලී හඳුනාගන්නේ සමනලීගේ ලොකු නැන්දා වන මාලනී ෆොන්සේකා හරහා ය. නමුත් අපේ පරපුර නියෝජනය කරන සමනලී සිටින්නේ, රාජපක්ෂ කඳවුර නියෝජනය කරන ලොකු නැන්දාට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. මෙයට සමගාමී ව සමන්මලී ගුණසිංහ, හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිනිය පුවත්පත්වලට කර තිබූ ‘සැර කතා‘වලින් ඇතැමක් මෙසේ ය. ‘‘මේක බේබද්දියන්ගේ රට කරන්නද?‘‘ "අඩු ගානේ උදේ නැගිටලා බත් ටිකක් උයලා දෙන්නේ කවුද?", "කොළඹ හතේ මධ්‍යම පන්තික නෝනලාට සිහියක් නැතිව තමන්ගේ සේවිකාවගෙන් වැඩක් ගන්න පුළුවන්ද?"

සැබවින්ම දන් කදක් ගෙන නිවන් පතා පන්සලේ හාමුදුරුවන් වඳින ආච්චි අම්මා කෙනෙක් හා සමන්මලී අතර කිසිම වෙනසක් නැත. කාන්තාවන් වෙනුවෙන් මොන යම් හෝ සාධනීය දෙයක් සමන්මලීගෙන් බලාපොරොත්තු වන්නට පුළුවන්ද...?

සමන්මලීගෙන් නියෝජනය වන්නේ, වාම හැඩරුවක් තිබෙන අති පැරණි ස්ත්‍රියයි. ලංකාවේ වාම හැඩරුව ඇති ගැහැණුන් ගැන කියන විට මුලින්ම සිහියට නැගෙන නම් වන්නේ විවියන් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන යනාදියයි. නමුත් ඔවුන් ස්වකීය වාමවාදී හැඩහුරුව, භාවිතාවක් බවට පත්කර ගත්තේ ඉතාම ලිබරල් සහ නූතනවාදී ලෙස ය. ඒ ගැන සාක්ෂි බොහෝ ය. අපේ රටේ රෝසා ලක්සම්බර්ග් වූයේ විවියන් ගුණවර්ධන ය. එවැනි අයෙකුගේ ලිබරල් භාවිතාව ළඟින්වත් එක පෙළට හිට ගන්නට සමන්මලී ට හැකියාවක් නැත.

සිතැඟිවලින් වාම මතධාරී වී, ක්‍රියාවෙන් ලිබරල් වන්නට නම් සමන්මලී ලා මීට වඩා බෙහෙවින් ලෝකය කියැවිය යුතුය. ලෝකය හැදෑරිය යුතුය. ඇයි, සමන්මලීට ජීන් හොබාන් හෝ සුනිලා අබේසේකර වෙන්න බැරි? එය ඇය, තමන්ගෙන්ම අසා ගත යුතු බරපතළ පැනයකි. වාමාංශික යැයි බෙරිහන් දෙමින් ශිෂ්ටාචාරයේ ආපස්සට වන්දනාවේ නොගොස් ඇය වහාම එවැනි චරිත හැදෑරිය යුතුය. ප්‍රේමය වෙනුවෙන් සියලු සැප අත්හැර, ලාංකික අනිල් මුණසිංහට පෙම් බැඳ, අවසානයේ සැපක් ද නොවිඳි ජීන් මුණසිංහ යනු මහා බ්‍රිතාන්‍යෙය් ස්ලාව් හි කම්කරු පක්ෂ මන්ත්‍රීවරයාගේ දියණියයි. අද බොරැල්ල සුසානයේ සැනසිල්ලේ සැතපෙන ඒ බ්‍රිතාන්‍ය ජාතික ජීන් හොබාන් මුණසිංහ ව අවසානයේ රැක බලාගත්තේ අනගාරික ධර්මපාලයන්ගේ නැගණිය හෙවත් අනිල් මුණසිංහ සහ සුසිල් මුණසිංහගේ මෑණියන් විසිනි. ලංකාවේ හේබියස් කෝපුස් නඩුකර පිළිබඳ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන බ්‍රේස්ගර්ඩ්ල් සිද්ධියේදී ජීන්ගේ වාමවාදී භාවිතාව මැනවින් කැපී පෙනුණි. පංතිමය භාවිතාවන් තුළ තිබෙන සමාජමය හැල හැප්පීම් තනිව දරා ගනිමින් ඈ සුසානය දක්වාම මානව දයාවේ නොමද ආලෝකය බෙදා දුන්නාය.

එනිසා කාන්තාවන් වෙනුවෙන් කිසිදු සාධනීය දෙයක් සමන්මලීලාගෙන් බලාපොරොත්තු නොවන්න. ඇගේ චින්තනය මෙන්ම භාවිතාව ද අති පැරණි හෙයිනි. ඇය පසුගාමී සහ සම්ප්‍රදායික රතු හැට්ටකාරියකගෙන් එහාට යන්නට සමත් නොවේ. භාෂාව, ආගම, සංස්කෘතිය දඩමීමා කරගෙන බලයට එන්නට හෝ බලය රඳවා ගන්නට කැස කවන සට කපට දේශපාලනඥයක් සහ මේ ‘අති-පැරණි සමන්මලී‘ අතර තිබෙන වෙනස කුමක්ද?

 - ක්‍රිෂාන්ති රාජපක්ෂ 

 

Top