1150 x 80 px

 

ලන්ඩනයේ දෙමළාටත් මෙහෙමනම් ලංකාවේ දෙමළාට​?

"නිදහස් දිනයේ කොටි හිතවාදින් තානාපති කාර්යාලය වටලා ඊලම ඉල්ලා විරෝධතා. සංහිඳියාව වෙනුවෙන් කොළඹදී ජාතික ගීය දෙමළ බසින්ද ගයයි " මේ "ලංකා සී නිවුස් "වෙබ් පුවත්පතේ පළ වූ වාර්තාවක්.

මෙම වාර්තාවට ඇතුළත් කරමින් ඔවුන් වීඩියෝ පටයක් ද නිකුත්කර තිබුණා. උද්ඝෝෂණයේ අරමුණ මේ යැයි පහදමින් අලහප්පෙරුම නැමැත්තෙක් එකී වීඩියෝව නිකුත්කර තිබුණා. ඔහුගේ අවසාන නිගමනය ලෙස " මේ සියල්ලෙන් පෙනී යන්නේ දෙමළ ඊළාම් සිහිනය ඔවුන් තවමත් අතහැර නැති බව​" යි කියා සිටිනවා. අලහප්පෙරුම ගේ මෙම නිගමනය පිළිබඳව ප්‍රධාන ප්‍රශ්න දෙකක් මතුවෙනවා.එක මේ උද්ඝෝෂණයේ කොතැනක හෝ ඔවුන් ඊළමක් ඉල්ලා සිටින්නේද​? දෙවනුව ඔවුන් ඊළාම් සිහිනයක සිටින්නේ නම් එය අත්හැරිය යුත්තේ ඇයි?

අලහප්පෙරුම වාර්තා කරන මෙම උද්ඝෝෂණය සිදුව ඇත්තේ ලංකාවේ නිදහස සමරණ පෙබරවාරි 04 වැනිදා ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී​.ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යංශය පසුගියදා නිකුත්කළ නිවේදනයක සඳහන් වූවේ ලෝකයේ සියයකට වඩා රටවල මෙකී නිදහස සමරණ බවයි. හැබැයි ඒ සියලු සැමරීම් කරන්නේ ලංකාවෙන් පිට ජීවත්වන සිංහලයන් ගේ මූලිකත්වයෙන් ගොඩනැඟී ඇති සංවිධානයි.එයට සාධාරණ හේතුවක් තිබෙනවා.මහින්ද ගේ දෙමළ ජන ඝාතක යුද්දය මගින් දෙමළා යටත් කළ 09 වැනි වසර තමයි මේ. ඒ නිසා හිතේ ජොලියක් තිබෙනු නොඅනුමානයි​.

ඒත් දෙමළාට එසේද​? මහින්ද රෙජීමය මෙම දෙමළ ජන ඝාතක යුද්දය හැඳින්වූවේ "මානුෂික මෙහෙයුම"කියලා.නැතිනම් L T T E ත්‍රස්තවාදයෙන් දෙමළ ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම කියලා. යුද්දය අවසානයේ කිළාලි කළපුව උඩින් හමාගිය වෙඩි උන්ඩ දහස් ගණනකින් මහින්ද රෙජීමය කියා පෑවේ දෙමළා ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තා කියා නොවේද​? යුද්දයේ අවසාන මොහොතක ත්‍රිවිධ හමුදා නායකයා ලෙස තමන් හිටියා යැයි කියනා වර්තමාන ජනධිපති සිරිසේනද කීවේත් අදත් කියන්නේත් එයම නොවේද​?

එහෙමනම් ඇයි තවමත් ලක්‍ෂ පහළොවකට ආසන්න දෙමළ ජනතාවක් වෙනුවෙන් ලක්‍ෂ එකහමාරකට වැඩි සිංහල හමුදාවක් උතුරේ රඳවලා තියෙන්නේ.අත්අඩංගුවට ගත් දෙමළ රැඳවියන් 50% වැඩි ප්‍රමාණයක් කිසිඳු නඩු විභාගයකින් තොරව​ තවමත් හිරේ දමාගෙන ඉන්නේ. උතුරේ මිනිසුන්ගේ ඉඩම් අක්කර 16,000 වැඩි ප්‍රමාණක් තවමත් හමුදාව අල්ලාගෙන ඉන්නේ.මේකට තමයි මිලිටරිකරණය කියලා කියන්නේ. දකුණේ බොහෝ මානව හිමිකම් සංවිධාන, බහුජන සංවිධාන, සම අයිති සංවිධාන,මාක්ස් ලෙනින්වාදී යැයි කියා ගන්නා දේශපාලන පක්‍ෂ මේ මිලිටරිකරණය හා සිංහල ජනපදකරණය කියන වචනවලට ඩෙංගු, ඉබෝලා, ඒඩ්ස් කියනා වචනවලට වඩා බියක් දක්වන්නේ. ඒවා ගැන කටක් අරින්නේ නෑ.

ඊට අමතරව උතුරේ මහ ඇමැතිවරයා දකුණේ ආණ්ඩුවට මේ ළඟකදී චෝදනා කලේ මිලිටරිකරණයට අමතරව උතුරේ සිංහල ජනපදකරණයත් මේ ආණ්ඩුව කරනවා කියලා. සිය ඉඩ කඩම්වල අයිතිය නැවත ඉල්ලා උතුරේ මිනිස්සු මේවන විට දවස් 339 ක උපවාසයක් කරනවා. අතුරුදහන් කළ සිය ඥාතීන් සොයා දෙන මෙන් ඉල්ලා දවස් 346 ක් තිස්සේ උපවාසයක් කරනවා.මෛත්‍රී - රනිල් ආණ්ඩුව මේවා ගැන බීරි අලින් වාගේ තමයි ඉන්නේ.දකුණේ ජනමාධ්‍ය මේ උද්ඝෝණ ගැන දන්නේවත් නෑ.

මෙවැනි පසුබිමක් යටතේ තමයි ලන්ඩන් දෙමළ ජනතාව පසුගිය පෙබරවාරි 04 දා විරෝධතා උද්ඝෝෂණයක් කළේ.ඔවුන් අත තිබූ සටන් පුවරුවල සඳහන් වෙලා තිබුනේ මොනවද​? "ඉඩම් ඇල්ලීම නතර කරනු" "සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු" "හමුදා කඳවුරු ඉවත් කරනු" "අතුරුදහන් කළ පුද්ගලයන් කෝ" මේ වාගේ විරෝධතා සටන් පාඨයි.සිය ඥාතීන් ගේ නිදහස වළ දැමූ රටෙක සමරන නිදහසකට ඔවුන් විරෝධය නොදැක්වූවානම් එය කුමන මිනිස්කමක්ද​? සිය ඥාතීන් මරාදමා කිරිබත් කෑ මිනිසුන් සමරන නිදහස් සැමරුමකට ඔවුන් කෙසේ නම් සම්මාදම් වන්නේද​?

එහෙත් මෙම උද්ඝෝෂනය අසලට පැමිණි ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක මාණ්ඩලික බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු මේ උද්ඝෝෂකයන්ට තර්ජනය කළේ මුලු ලෝකෙටම පෙනෙන්න​.ඔහු මේ උද්ඝෝෂකයන්ට අභිනයෙන් කිව්වේ මොකක්ද​? "තොපේ බෙල්ල කපනවා" කියලා.ඔහු ලන්ඩනයේ වැනි තැනකදීත් මෙහෙම තර්ජනය කරන්නේ ලංකා ආණ්ඩුවෙන් ඔහුට තිබෙන ආරක්‍ෂාව නිසා නොවන්නේද​? පෙර එසේ කර ඇතිමුත් දණ්ඩ මුක්තිය ලබා ඇති නිසා නොවේද​? අදත් සිරිසේන - රනිල් ගේ ආණ්ඩුවෙන් දෙමළාට සළකන්නේ මේ ලෙසින් නිසා නොවේද​? ලන්ඩනයේදීත් මෙලෙසින් තොපේ බෙල්ල කපනවා කියන්නේ නම් ලංකාවේදී ඒක ප්‍රායෝගිකවම කරන්ට තිබෙන අවහිරය කුමක්ද​? ලන්ඩනයේ වෙසෙන දෙමළාටත් මෙසේ නම් සිංහල හමුදාවේ තුවක්කුවට යටත් කර ගෙන සිටින උතුරේ දෙමළා ගැන කවර කතාද​?

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී පෙබරවාරි පස් වැනිදා උතුරේ චන්ද රැස්වීමක් ඇමතූ ජනාධිපති සිරිසේන දෙමළ ජනතාවගේ ඉහත සඳහන් එකඳු ප්‍රශ්නයක් ගැන කතා නොකිරීමට ප්‍රවේශම් වුණා. නව ව්‍යවස්ථාවක් තුළින් උපරිම බල බෙදීමක් ගැන ඔහු වචනයකුදු කතා කළේ නැහැ​. මන්ද​? අද ඉන්නේ ජනවාරි අට දිවුරුම් දුන් සිරිසේන ජනාධිපති නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනය​. ඒ නිසා හෙතෙම කතා කළේ සිරිමාවෝගේ සිට ජනාධිපති සිරිසේන දක්වා දකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයන් ගැන දෙමළ ජනතාව තැබූ විශ්වාසය හා ගෞරවය පිළිබඳවය​. හැබැයි ඒ සියල්ල වෙනුවෙන් දෙමළ ජනතාවට ලැබුනු ප්‍රතිලාභ නම් ජනාධිපති සිරිසේන බොහොම පැහැදිළිව ප්‍රකාශ කළා. ඒ යුද්දය අවසානයේ ආණ්ඩුවේ ඉල්ලිම මත හමුදාවට භාර වූ සහ භාර දුන් එකඳු දෙමළ ජාතිකයෙක් හෝ මේවන විට ජීවතුන් අතර නැති බව​.එයින් ඔහු නොකියා කීවේ වැඩ බලන සේනාධිනායකයා ලෙස ඔහුද සිටි මහින්ද රෙජීමය විසින් මේ සියලු දෙනා මරා ඇති බව නොවේද​? ​මීට පෙර අගමැති රනිල් ද මෙවැනිම ප්‍රකාශයක් කළා.

ඉදින් නන්දා මාලනී කියන්නාක් මෙන් දෙමළාට කියන්නට ඇත්තේ "මගෙ (ඊළාම්) සිහිනය මට දකින්න ඉඩ හරින්න, ඒ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න" කියා හැර වෙන කුමක්ද​?​ නමුත් ඒ සිහිනය කිසිදා ඉටු නොවන්නක් බව මගේ විශ්වාසයයි.එවගේම ඒ සිහිනයෙන් ඔවුන් මුදා ගැනීමට මේ සිංහල බෞද්ධ ජාතිවාදී ආණ්ඩුවලට හෝ දේශපාලන ව්‍යාපාරයන්ට​ කිසිදා නොහැකිය​.එහි වගකීම භාර ගත යුත්තේ දකුණේ වැඩ කරන ජනතාවය.

ඥානසිරි කොත්තිගොඩ​

Top