1150 x 80 px

 

ඇමරිකාවේ දී පරීක්ෂණයක් අතරතුර වැරදීමකින් උපන් යක්ෂයා

ලොව සියලු ම ආගම් මඟින් එකහෙලාම තහනම් කරනු ලැබූව ද අදටත් මත්ද්‍ර‍ව්‍යවලට සෑම ජන සමාජයක ම පාහේ පවතින්නේ පුදුමාකාර ලෙස ඉහළ යන ඉල්ලුම කි.

මේ නිසා ම දවසින් දවස විවිධාකාරයේ සැර අඩු මෙන් ම සැර වැඩි මත්පැන් හා මත්ද්‍ර‍ව්‍ය වර්ග වෙළඳපල වෙත ඇදී එයි. මෙසේ වෙළඳපල තුළ අපට හමුවන මත්ද්‍ර‍ව්‍ය දෙයාකාරයකට වර්ග කළ හැකි ය. එනම් නීත්‍යානුකූල මත්ද්‍ර‍ව්‍ය සහ නීති විරෝධී මත්ද්‍ර‍ව්‍ය වශයෙනි. මින් නීත්‍යානුකූල මත්ද්‍ර‍ව්‍යවල ඇති එකම වැදගත්කම වන්නේ ඒවා යම් පිළිගත් ප්‍ර‍මිතියකට අනුව නිපදවා ඇති නිසා මිනිස් ශරීරයට ඍජු ලෙස ම හානිකර නොවීමයි. මීට සාපේක්ෂව නීති විරෝධී මත්ද්‍ර‍ව්‍ය අතිශය භයානක වන්නේ ඉන් ඇති විය හැකි අතුරු ප්‍ර‍තිඵල අතිශයින් හානිදායක වීම හා මිනිස් ශරීරය නැවත සුව කර නොහැකි තරමේ රෝගාබාධවලට ගොදුරු කරලීමට ඒවාට හැකි වන නිසා ය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු රටවල සෞඛ්‍ය අංශ මඟින් කොතරම් එපා කීවද නීති විරෝධී මත්ද්‍ර‍ව්‍යවලට වර්තමාන තරුණ කොටස් ඇදී එන්නේ පහන් දැල්ල සොයා පැමිණෙන පළඟැටියන් මෙනි. ඒ නිසා ම නූතන ධනවාදී ලෝක රටාව තුළ වඩාත් ඉක්මනින් ධනය ඉපයිය හැකි ආකර්ෂණීය මාර්ගයක් මත්ද්‍ර‍ව්‍ය ආශ්‍රයෙන් වැටී තිබේ.

මිනිසුන් යක්ෂයන් කරන අලුත් ම මත්ද්‍ර‍ව්‍යයක් වෙළඳපළට පසුගිය වසරේ අගභාගය වන විට යුරෝපය පුරා ම එක්තරා මත්ද්‍ර‍ව්‍ය වර්ග කිහිපයක් උමතු රැල්ලක් මෙන් ව්‍යාප්ත වන්නට විය. විශේෂත්වය වූයේ මෙම මත්ද්‍ර‍ව්‍ය වර්ග භාවිත කළ තරුණ තරුණියන් අන් කිසිඳු මත්ද්‍ර‍ව්‍යක් භාවිත කළ අයට වඩා දරුණු මානසික ව්‍යාධි ලක්ෂණ පෙන්නුම් කිරීමයි.

ස්පයිස් සහ බ්ලැක් මම්බා

ස්පයිස් යනු වසර 2006 දී ඓන්ද්‍රිය රසායන විද්‍යාඥයෙකු වන ජෝන් හෆ්මන් (John Huffmann) ඇමරිකාවේ දකුනු කැරොලිනා ජනපදයේ පිහිටි ක්ලෙම්සන් විෂ්වවිද්‍යාලයේ දී පර්යේෂනයක් සිදු කරන අතරතුර සිදු වූ අහඹු අත් වැරදීමකින් උපන්නකි. හෆ්මන් විසින් මිනිසුන්ගේ කෝපය පාලනය කරවන ඖෂධයක් පිනිස පරීක්ෂණ සිදු කරමින් සිටි අතර එහි අතුරු ප්‍ර‍තිඵල ලෙස කන්සා නම් මත්ද්‍ර‍ව්‍යට සමානකම් ඇති කෘත්‍රිම මත්ද්‍ර‍ව්‍ය (synthetic types of cannabis) සිය ගණනක් නිර්මාණය විය. මේ අතුරින් එක් වර්ගයක් වූයේ JWH-018 නම් රසායනිකයයි. එය පසුව බොෆින් (Boffin) යනුවෙන් හඳුන්වනු ලැබූ අතර එම වසරේ දී ම මෙම කෘතීම මත්ද්‍ර‍ව්‍ය භාවිතය මිනිස් ශරීරයට කිසිසේත් සුදුසු නොවන බවට වෛද්‍ය නිර්දේශය විය. කෙ‍සේ නමුදු එය වෙබ් අඩවි ඔස්සේ ව්‍යාප්ත වන්නට වූ අතර ඉදිරි වසර 2ක් තුළ මෙෆිඩ්රෝන් නොහොත් එම් කැට්( mephedrone or M-cat) නම් රසායනිකය ද මීට සමාන අන්දමින් අන්තර් ජාලය ඔස්සේ පැතිර යන්නට පටන් ගෙන තිබිණි. විශේෂය වූයේ ඒවා මත්ද්‍ර‍ව්‍ය ලෙස නොව සාම්බ‍්‍රානි හෝ ‍ශාක පොහොර ලෙස වෙළෙඳ දැන්වීම්වල දක්වා තිබීමයි.

මෙම මත්ද්‍ර‍ව්‍ය විශේෂය කංසාවලට සමාණ ද්‍ර‍ව්‍යයක් යැයි විස්තර කරනු ලැබූව ද එහි සංකූලතාවන් අනුව එය LSD වැනි ප්‍ර‍බල භාන්තිජානකයක් (hallucinogenics) වන බව විද්වත් මතය වී තිබේ. අද වන විට මෙම මත්ද්‍ර‍ව්‍ය කැට වශයෙන් වෙළඳපළට පැමිණෙමින් ඇති අතර පසුගිය ජූලි මාසයේ දී බ්‍රිතාන්‍යයේ ඕල්ඩම් නගරයේ පමණක් පුද්ගලයන් දස දෙද‍ෙන‍කුට පමණ මෙවැනි මත්ද්‍ර‍ව්‍ය පරිභෝජනය කිරීම නිසා රෝහල් ගත වීමට සිදුව තිබේ.

මෙම මත්ද්‍ර‍ව්‍ය සාම්පල පරික්ෂාවට ලක් කළ මැන් වෙස්ටර් මෙට්රොපොලිටන් සරසවියේ ආචාර්ය ඔලිවර් සට්ක්ලිෆ් ද ගාඩියන් වෙබ් අඩවිය වෙත ප්‍ර‍කාශ කර ඇත්තේ මෙය ඉතා තදින් කැටි ගසන ලද කෘත්‍රිම කංසා වැනි ද්‍ර‍ව්‍යයක් බවත් එය වියලන ලද කංසා ශාක කොටස්වලට එන්නත් කිරීමෙන් ස්පයිස් නැමති මත්ද්‍ර‍ව්‍යය නිපදවා ගන්නා බවත් ය.

මොකක්ද මේ බ්ලැක් මම්බා

බ්ලැක් මම්බා යනු ද මර්ජුවානා නම් මත්ද්‍ර‍ව්‍යයයට සමානකම් දක්වන තවත් කෘත්‍රිම කංසා විශේෂය කි. ස්පයිස් හා සමානවම මෙම මත්ද්‍ර‍ව්‍යය ද භාවිත කරන්නන් භ්‍රාන්ත වීම, හුස්ම ගැනීමේ අපහසුතා, අධික වමනය මෙන් ම ශරීරයේ අවයව පාලනය කරගැනීමට නොහැකි වීම වැනි සංකූලතා පෙන්නුම් කරයි. ස්පයිස්වලට සාපේක්ෂව බ්ලැක් මම්බා නැමති මත්ද්‍ර‍ව්‍යය අතිශය භයානක වන අතර එය භාවිත කරන්නන් ඉක්මනින් ම වියරු ස්වභාවයට පත් වේ.

මෙම වියරුව කොතෙක් ද යත් ඔබ සොම්බි චිත්‍ර‍පටවල දැක ඇත්තාක් මෙන් ඔවුන් තම ශරීරයේ කොටස්වලට හානි කර ගනිමින් වීදි දිගේ ඇවිද යනු ලන්ඩනයේ පුවත් වෙබ් අඩවි කිහිපයක් ම පසුගිය වසරේ අග භාගයේ දී වාර්තා කර තිබිණි. මේ අතර වාර්තා වූ එක් ඡායාරූපයකින් දැක්වුනේ මෙවැනි මත්ද්‍ර‍ව්‍ය භාවිත කළ එක් අෙය‍ක් අධික සීතලට ගොදුරු වෙමින් සිහිසුන්ව වැතිර සිටින ආකාරය සහ ඒ අසල ම තවත් පිරිසක් සිහි විකලෙන් මෙන් ඇවිදිමින් සිටින ආකාරයයි.

තව ද පසුගිය දා ස්වන්සි නගර යේ දී ලීරෝයි පැරී නම් තරුණයෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ වන විටත් ඔහු විසින් මත්ද්‍ර‍ව්‍ය භාවිත කිරීමෙන් අනතුරුව පොලිස් නිලදාරියෙකු බරපතල ලෙස සපා කා තිබිණි. එම‍න් ම මෙම තත්ත්වය තවත් සංකීර්ණ කරමින් ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ මෙම මත්ද්‍ර‍ව්‍ය වර්ග මේ වන විට ලන්ඩනයේ සිරගෙවල් තුළ ද හොර රහසේ අලෙවි වන්නට පටන්ගෙන ඇති බවයි.

සොම්බි මත්ද්‍ර‍ව්‍ය නීත්‍යානුකූල ද?

මෙම මත්ද්‍ර‍ව්‍ය මෙත‍ක් කල් රසායනික ද්‍ර‍ව්‍ය වශයෙන් හඳුනාගෙන තිබූ නිසා ඒවා භාවිතයට සුවිශේෂී තහනමක් නොවී ය. නමුත් එහි භයානකත්වය තේරුම් යාමත් සමඟ ලොව බොහෝ රටවල් මිනිස් පරිභෝජනය සඳහා ඉහත කී රසායන ද්‍ර‍ව්‍ය භාවිත ය මුලුමනින් ම තහනම් කර තිබේ. කෙසේ වෙතත් මෙම සොම්බි රසායනිකයන් අනෙකුත් මත්ද්‍ර‍ව්‍ය හා පහසුවෙන් මුසු කර හැකි නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ වයස් ප්‍ර‍මාණවල මත්ලෝලීන් මෙම යක්ෂයාට වේගය‍ෙන් ගොදුරු වෙමින් පවතී.

ලංකාව සම්බන්ධයෙන් නම් කිව හැක්කේ‍ ලෝකයේ වෙනත් රටකින් අලුත් යන ලේබලය‍ අලවා පැමිණෙන ඕනෑම කුනු කන්දලයක් බාර ගැනීමට සූදානම් පිරිසක් අප රටෙහි‍ සිටින බව ය. විශේෂයෙන්ම තිස් වසරක යුද්ධය නිමාවත් සමඟ සංචාරක ව්‍යාපාරයේ සීග්‍ර වර්ධනයක් අපට දක්නට ලැබේ. ඒත් සමඟ ම වෙරළ සැණකෙළි, එළිමහන් සංදර්ශන ආදියෙහි වැඩි වීමක් පවතින හෙයින් ඒවා ආශ්‍රිතව මෙවැනි මත්ද්‍ර‍ව්‍ය ව්‍යාප්ත වීමට පවතින ඉඩකඩ අපට බැහැර කර නොහැක.

වාසනාවට මෙන් බ්‍රිතාන්‍යයේ හෝ ඇමරිකාවේ මෙන් සොම්බි මත්ද්‍ර‍ව්‍ය සම්බන්ධයෙන් ඇඟ සලිත කරවන පුවත් තවමත් ශ්‍රී ලංකාව තුළින් අසන්නට නොතිබුන ද කල් තියා ම ඊට වැට නොබැඳීමෙන් සිදු වන්නේ යක්ෂයාට අප නිවසට ම ඒමට දොර විවර කර තැබීමයි. ඒ අනුව මෙවැනි රසායනිකයන් අඩංගු මත්ද්‍ර‍ව්‍ය දිවයිනට ඒම වැලැක්වීම පිණිස ශ්‍රී ලංකා රේගුව, තැපෑල, මෙන්ම නාවික හමුදාව සීරුවෙන් තැබිය යුතු අතර නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ඒවා පැමිණීම වැළැක්වීමට නම් රසායන ද්‍ර‍ව්‍ය ආනයන ර‍ෙගුලාසි කල් ඇතිව සංශෝධනය කිරීම ද අත්‍යාවශ්‍ය වේ.

ඒ අනුව අවසාන වශයෙන් කිව හැකි මූලික කරුණ වන්නේ මෙරට බලධාරීන් ද තවදුරටත් ඇස් කන් පියාගෙන සිටියහොත් මෙම සොම්බි මත්ද්‍ර‍ව්‍ය රකුසා අපගේ තරුණ පරපුර බිලි ගන්නා දිනය වැඩි ඈතක නොවන බවයි.

දිසුර ජයවර්ධන

Top