1150 x 80 px

 

අලි-ඇතුන් ඇති කර නිවන් යමුද?

අලි ජාවාරම ගැන ලොකු කතා බහක් ‍රටේ තිබිණි. විශේෂයෙන් ම වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු අලි ජාවාරම රට කලඹන පුවතක් විය. අලි මුදලාලිලා, භික්ෂූන් වහන්සේලා, කුප්‍රකට ව්‍යාපාරිකයෝ රැසක් ද අධිකරණ කේෂත්‍රයෝ ප්‍රබලයෝ මෙන්ම, දේශපාලනඥයෝ රැසක් ද ජාවාරමට චූදිතයන් වෙන ලකුණු පෙනෙන්නට තිබිණි. ඒත් කුමන‍ හෝ අවාසනාවකට ‍ඒ සියල්ල යටපත් ‍විය.

පුද්ගලයකු වශයෙන් කවුරු එයට මැදිහත් වුව ද, යන්න සෙවීමට වඩා නිගමනය කළ හැකි දෙයක් තිබේ. ඒ ඕනෑ ම වරදකින් ම ගැළවෙන්නට තක්කඩියකුට ලංකාවේ හොඳ ආයුධ දෙකක් තිබේ. ඒ,ව්‍යාජ දේශප්‍රේමීත්වය සහ සිවුර ය. අලි කතා බහ‍ එසේ යටපත් වෙද්දී යළිත් මේ කතා බහ ගැන අපේ මතකය අලුත් කරවන්නේ, බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් අලි ප්‍රහාරයකට ලක් වී අපවත්වීමත් සමඟ ය.

අලි නැතිව කොහොමද පෙරහැර කරන්නෙ!

වත්මන් ආ‍ණ්ඩුව බලයට පැමිණ දින කිහිපයක් ගත වත් ම අලි ජාවාරම පිළිබඳ කරලියට පැමිණිණි. ඒ සමඟ ම චූදිතයන් ලෙස ප්‍රබලයෝ රැසක් අත්අඩංගුවට ගැණිණි. තවත් පිරිසකගේ නම් කියැවිණි. අවාසනාවකට එදා නීතිවිරෝධී අලි ජාවාරම ගැන පරීක්ෂණ ඉදිරියට යද්දී එයට විරුද්ධව මත පල කළ භික්ෂූන් වහන්සේ නමක් වූයේ බෙල්ලන්විල විමලරතන හිමියන් ය. මේ නිසා පෙරහැර පවත්වා ගැනීමට පවා නො හැකි තත්ත්වයක් උදාවන බව උන් වහන්සේ එදා කියා තිබිණි.

පන්සලට එන ක්‍රම තුනක්

අලි ඇතුන් පන්සල්වලට ගෙන එන්නේ නිකම්ම‍ නො වේ. ලංකාවේ කිසියම් අයකුට අලි පැටවකු ලබා ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා ආකාර තුනක් ප්‍රධාන වශයෙන් තිබේ. පළමු ව, පින්නවල අලි අනාථාගාරයේ උපත ලබන ඇත් පැටවකු ලබා ගැනීම ය. දෙවනුව හීලැ අලි ඇතුන් ඇති කරන ස්ථානයකින් ලබා ගැනීම ය. මේ ක්‍රම දෙක නීත්‍යානුකූල ය‍. එහෙත් තෙවැනි ක්‍රමය නීති විරෝධී ය. ඒ වනාන්තරවලින් ඇත් පැටවකු අල්ලා ගැනීම ය. පසුගිය වසර විස්සක පමණ කාලය පරීක්ෂාකර බලනවිට ගෘහ ආශ්‍රිතව අලි පැටව් ඉපදී නැත. ඒ අනුව පන්සලකට හෝ වෙනත් අයකුට ඇත් පැටවකු ලැබී ඇත්නම් ඒ නීති විරෝධී ලෙස වනාන්තර වලිනි. (විදේශයන්ගෙන් ද ලබා ගන්නා ක්‍රමයක් තිබේ)

‘අලි හීනමානය‘ අලින්ගෙන් වසා ගැනීම

පන්සලට පමණක් නොව ඇතැමුන්ගේ පරම්පරාවල වංශවත් බව පෙන්වන සංකේතයක් වන්නේ ද අලියකු සිටීම ය. එවැනි හීනමාන කාරයන්ට ද අලි ගෙන්වා ගැනීමට තිබෙන ක්‍රමය වන්නේ වනාන්තරවලින් අලි හොර රහසේ ගෙන්වා ගැනීම ය. මේ සඳහා ම සැකසුණු කූට ව්‍යාපාරික පිරිසක් සිටී. වනාන්තරයෙන් ඇත් පැටවුන් අල්ලා ගන්නා ඔවුන් පන්සල්වලට නැතිනම්, ව්‍යාපාරිකයන්ට ඇත් පැටව් ලබාදී කෝටි ගණන් උපයති. පසුගිය කාලයේ කතාබහට ලක්වුණු අලි රොෂාන් නැමැත්තා එවැන්නෙකි.

මවට අහිමි දරු පැටව්

කු‍ඩා ඇත් පැටවුන් අල්ලා ගැනීමට උපයෝගී කරගන්නා ක්‍රමය අශික්ෂිත ක්‍රමයකි. කුඩා පැටවුන් ගෙන ‍එන්නේ එක්කෝ මව මරා දැමීමෙන් පසුව ය. නැතිනම් මවට විෂ එන්නත් කර සිහි විකල් කරමිනි. එහිදී පැටියාට කිරි පොවමින් සිටින ඇතින්නට නිදි ඔසු මද වශයෙන් විද, ඇතින්න බිම ඇද නො වැටෙන සේ නිද්‍රාශීලි කරවයි. ඉන් පසු ඇයට පසුවන්නේ කිසිවක් කරගත නො හැකි තත්ත්වයේ ය. පසුව ඇත්රෑනේ ද ඇස් වසා ඇත්පැටවා කඹ සහ ‍ලොරිවල ආධාරයෙන් මවු ඇතින්ගෙන් ඉවත් කරගනී.

ධනවතුන්ගේ වංශක්කාර බව ද, පෙරහැරවල තේජාන්විත බව ද, ආරක්ෂාවෙන්නේ මේ ආකාරයෙන් ලබා ගන්නාවූ ඇත් පැටවුන්ගෙනි. ‍

වසර විස්සකින් පින්නවල අලි පැටව් ඉපදී නැහැ!

පෙරහැරට අලි ගෙන්වීමට පක්ෂපාතී වෙනවා කියන්නේ මේ අහස පොළව නුහුලන අපරාධයට අනුබල දීමකි. තවත් අතකින් හොරකමට අනුබල දීමකි. බුදු රජානන්වහන්සේගේ ධර්මය මානව හිතවාදයක් නො වේ. එය මානව හිතවාදය ඉක්මවා ගිය ජීව හිතවාදයකි. බෞද්ධ නිවෙස්වල නිතර කි‍යවෙන කරණීය මෙත්ත සුත්‍ර දේශනාවට අනුව, අ‍හසේ, පොළවේ සිටින ඇසට‍ පෙනෙන, ඇසට නොපෙනෙන ජීවීන්ට පවා මෙත් වැඩිය යුතු ය. අලි ඇතුන් පන්සලට ගෙනවිත් පෙරහැර පැවැත්වීම එයට කැපද? පසුගිය කාලයේ නිවෙස්වල සහ පන්සල්වල සිටි ඇත් පැටවුන් සිය ගණනක් ගැන වාර්තා විය. පසුගිය වසර විස්සක කාලය පුරාවට පින්නවල අලි අනාථාගාරයෙන් හෝ නිවෙසක අලි ඉපදීමක් වාර්තා වී නැති පසුබිමක ‍මේ සියලු ඇත් පැටවුන් අදාළ ස්ථානවලට රැගෙන ගොස් ඇත්තේ නීතිවිරෝධීව ය. මවු ඇතින්නට දැඩි වේදනාවක් උරුම කර දෙමිනි. එසේනම් අවිහිංසාව දේශනා කරන බුදු දහම, සත්ව වෙළඳාම යහපත් ජීවනෝපායක් නොවන බව කියන බුදු දහම තම වාසියට විකෘති කිරීම විශාල පවක් නොවේ ද?

පන්සල් බිමේ අපමණ දුකක්

අනෙක් අතට පන්සලට ගෙන යන අලි ගත කරන්නේ සුකුමාර ජීවිත නො වේ. උන් පෙරහැරට පුහුණු කරද්දී තම ළමා කාලය සහ තරුණ කාලය තුළ අසීමිත පහරකෑම් වලට වේදනාවන්ට ලක්වේ. එමෙන් ම සමහර පන්සල්වල අලින්ට සිටීමට තරම් ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් නැත. මේ කුඩා අලි පැටවුන්ට සිටින්නට වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක ය. මේ නිසා ම සමහර අලි පැටව් අකාලයේ මිය ගියහ. සමහර අලි විශාල තුවාල කැළල් සමඟ පන්සල් වල අපමණ දුක් විදිති.

ආචාර්ය දැරණියගලයන්ගේ මතය

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ ලියන ලද ප්‍රථම පර්යේෂණාත්මක කෘතිය වන්නේ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා 1955 දී ලියන ලද"වඳවූ අලි සහ ජීවත්වන අලි ඇත්තු- Some Extinct Elephants, Their Relatives and the Two Living species"කෘතියයි. එහි අලි ඇතුන් ජලය ලබා ගන්නා ආකාරය ගැන කතුවරයා මෙසේ සඳහන් කරයි.

"අලි ඇතුන් අර්ධ ජලීය හෙවත් semi aquqtic සතුන් ය. මී හරකුන් වැනි ය. නිතරම ජලය අවශ්‍ය වේ. මේ නිසා හිරු එළියේ දිගටම වැඩ කරන හීලෑ අලි ඇත්තු අසීරු තත්ත්වයකට පත්වේ. ස්වභාවික තත්ත්වයන් හිදී පවා , එනම් මහ ව‍නයේදී ඔවුහු දිනකට පැය කිහිපයක් ජලයේ ගත කරයි."

පෙරහැර කර නිවන් යමුද?

මේ මූලික අවශ්‍යතාවක් වන ජලය ගැන පමණි. හීලෑ අලින්ගේ මෙයට වඩා අඩු ජල අවශ්‍යතාවක් තිබුණ ද එයද සැලකිය යුතු මට්ටමක පවතී. අනෙක් අතට අලින් මද කිපෙන කාලයේද විඳින්නේද විශාල මානසික වේදනාවකි. බුදු දහමේ ගිහි, පැවිදි ලෙස දෙකොටසක් වේ. පැවිද්දන් පන්සලට යන්නේ සියලු සැප අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම නිසා නිර්වාණය නම් වූ සැපත කරා යන්නට ය. එහෙත් සුවිශාල ගොඩනැගිලි තනා අපි පෙරහැරවල් යාම තුළින් ඒ ගමන යා නො හැකි බව නම් තේරුම් ගත යුතු ව පවතී.

- දේවික රණවීර

 

Top