1150 x 80 px

 

නිදහසේ අරුත
ලංකාවේ දශක හතක නිදහස, 1948 සිට මෙතෙක් ලංකාව පැමිණ ඇති ගමන් මග පිළිබඳ තක්සේරුවක් කිරීමටත්, රට ඉදිරියේ ඇති අනාගත අපේක්ෂා පිළිබඳ අගැයුමක් කිරීමටත් කියාපු මොහොතකි. කෙසේ වෙතත්, වඩා යහපත් රටක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු සංක්ෂිප්තව දැක්වීම පහසු කාර්යයක් නොවේ. ඒ තරමට, කිරීමට ඇති දේවල් බොහෝය.
 
මේ පිළිබඳ යම් එළැඹුමක් ඇති කර ගැනීම සඳහා සමහර විට වඩාත් පහසු ක්‍රමයක් වන්නේ, කිරීමට ඇති දේවල් ප‍්‍රධාන ධාරා දෙකකට බෙදා හඳුනා ගැනීමයි. ඒ දෙක වන්නේ, ශ‍්‍රී ලංකාවේ පවතින ජන විවිධත්වය තුළ එකමුතුව ගොඩනගා ගැනීමත්, ආර්ථික සංවර්ධනයත්ය. ඒ දෙකම ජාතියේ අනාගතය සඳහා එක සේ වැදගත් වන බැවින් එකකට වඩා අනික වැදගත් යැයි කීම දුෂ්කරය. එක්සත්භාවය ගැන කතා කරන්නේ නම්, ඒ අරභයා මේ ආණ්ඩුව ඇති කර ගත් සහජීවන ප්‍රතිපත්ති පිළිබඳ දැනට ඇත්තේ අපේක්ෂා භංගත්වයක් බව කිව යුතුය. ජාතික අවධානය මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් කෙරෙහි යොමු වී පැවතීම නිසා, එම තත්වය තවදුරටත් එසේම පවතී යැයි විශ්වාස කළ හැකිය.
 
පෙබරවාරි 10 වැනිදායින් පසුව, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඊළඟ සැසිවාර වටය එළැඹෙත්ම ඒ සම්බන්ධයෙන් ඇතැම් සහන සැලසීමට ආණ්ඩුව ඉදිරිපත් විය හැකි වෙතත්, 2016 නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළෙන් ගායනය කිරීමේදි ඇති කරන ලද ප්‍රහර්ෂය, ඉදිරි කෙටි කාලය තුළ ශක්තිමත් සහ වැදගත් පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වෙතොත්, යළි දැනවීම දුෂ්කර වනු ඇත.
 
පෙර පරිදිම, අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමේ කාර්යය තවමත් පවතින්නේ ඈතක ඇති අපේක්ෂාවක් වශයෙනි. ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ වෙනුවට නව පනත් ඇති කර ගැනීම සහ වෙනත් එවැනි නීතිරීති පනවා ගැනීම සම්බන්ධයෙන් තත්වයත් එසේමය. අවාසනාවකට, ආණ්ඩුවේ ප‍්‍රගති වාර්තාව සම්බන්ධයෙන් තැබූ විශ්වාසය පළුදු වෙමින් තිබේ. එය දිගටම එසේ පැවතුණොත්, ශ්‍රී ලංකාව එරටේ වෙසෙන සියලූ ජනයාගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන රටක් වෙනුවට, තවත් අගනා අවස්ථාවක් ඇඟිලි අස්සෙන් යළි ගිලිහී යාමට ඉඩ හල රටක් බවට පත්විය හැකිය.
 
71 වැනි නිදහස් සමරු දිනය ඉදිරියේ තබාගෙන ශ‍්‍රී ලංකාව කළ යුතු කාර්යයන් ගණනාවකි. එහිදී බරපතල ආර්ථික ප‍්‍රශ්න විසඳා ගත යුතුව තිබේ. ඒ සම්බන්ධයෙන්, ශක්තිමත් මූල්‍ය ස්ථායිතාවක් ඇති කර ගැනීම, ණය නිසියාකාරයෙන් කළමනාකරණය කර ගැනීම, ආර්ථිකය වඩාත් විවෘත කිරීම, අපනයන තව තවත් වර්ධනය කර ගැනීම සහ නීතිරීති ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කෙරේ.
 
සහජීවනය පිළිබඳ කාරණයට වඩා ආර්ථික අංශයෙන් යම් ප‍්‍රගතියක් මේ ආණ්ඩුව පෙන්නුම් කොට තිබේ. රටේ සාර්ව ආර්ථික ලක්ෂණවල යහපත් ගතියක් මේ වන විට පෙනෙන්ට ඇතත්, මුහුණදිය යුතු අභියෝග එමට ඇත. මහළු වෙමින් පවතින ජනගහනයක් සහිතව දියුණු වෙමින් පවතින සුවිශේෂී රටක් වශයෙන් ගත්විට, කෙටිකාලීනව මීට වඩා වේගයෙන් කටයුතු කළ යුතුව තිබේ. විශේෂයෙන් 2019 න් පසුව ණය ආපසු ගෙවීම් දෙගුණයකින් වැඩි වීමේ දරුණු තත්වයක් ඉදිරියේ එසේ වේගයෙන් ඒ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ප‍්‍රධාන අභියෝගයක් වී තිබේ.
 
ආණ්ඩුවට උරදීමට ඇති විවිධ කාර්යයන් අස්සේ, ජනතාව සමග තමන්ගේ වැඩපිළිවෙල ගැන සංවාදයක් ඇතිකර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන අතර, තමන්ගේ න්‍යාය පත්‍රයට ප‍්‍රමුඛත්වයක් දීමට ද තැත් කරයි. සමාජයක මූලික වෙනසක් ඇති කර ගැනීම  ඕනෑම ආණ්ඩුවකට ලේසිපාසු කාර්යයක් නොවේ. දශක ගණනාවක් තිස්සේ කරන ලද වැරදි නිවැරදි කිරීමට උත්සාහ ගන්නා ආණ්ඩුවකට එය තවත් දුෂ්කර වන්නේය. 2015 දී ඇති කර ගන්නා ලද දේශපාලනික අවකාශය එයාකාරයෙන්ම තබා ගන්නා අතරේම තිරසාර සාමයක් සඳහා වන ගමන යාම, යුද්ධයක් ජය ගැනීමට වඩා අමාරු වැඩකි.
 
දැන් අවුරුදු තුනක් ගතව ගොස් තිබේ. එකිනෙකා සමග කලහ කර ගන්නා දේශපාලන නායකයන්ගෙන් අලූත් ගමන් පථයක් රට බලාපොරොත්තු වෙයි. දූෂණයට එරෙහිව සටන් පාඨය ආකර්ශණීය බව ඇත්ත. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව මේ ආණ්ඩුව කෙරෙහි තබන ලද බලාපොරොත්තුව නොමරා පවත්වා ගැනීමට නම්, සියවස් ගණනක යටත්විජිත පාලනයෙන් නිදහස දිනා ගන්නා අවස්ථාවේ මෙරටේ වෙසෙන සියලූ ප‍්‍රජාවන් අපේක්ෂා කළ ඒ අභිමානය සහ නිදහස ඔවුන්ට ලබාදීමට නම්, ඉදිරියේ කළ යුතුව ඇති වැඩ කොටස තුළ, දූෂණ-විරෝධය එකක් පමණි. ශ‍්‍රී ලංකාව, විශාල වශයෙන් බලාපොරොත්තු ඇති කර ගත් රටකි. ඒවායින් සමහරක් සාක්ෂාත් කරගෙන ඇතිමුත්, ඉතිරිව ඇති දුර, මෙතෙක් පැමිණි ගමනෙන් අඩකටත් වඩා වැඩි බව කිව හැකිය.
 
2018 පෙබරවාරි 5 වැනි දා ‘ඩේලි එෆ්.ටී’ පුවත්පතේ පළවු ‘The Meaning of Freedom’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රයෙනි. 
Top