1150 x 80 px

 

සූමා යයි. චැන්ගරායි යන්නම යයි.

රටක නායකයන් බිහිවන්නේ ඒ රටේ ජනතාවගේ හැටියට ය.

දකුණු අප්‍රිකානු ඒකාධිපතියා ජේකබ් සූමා අවසානයේ ගියේය. මේ අතර සිම්බාබ්වේ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා යන්නම ගියේය.

බදාදා රාත්‍රියේ ජාතිය අමතමින් දීර්ඝ ප්‍රකාශයක් කළ සූමා අවසානයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසුවේය. ANC හෙවත් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නියෝජ්‍ය නායක සිරිල් රැම්පෝසා ඇතුළු පිරිසගෙන් එල්ල වූ පීඩනය අවසානයේ, 2009 වසරේ පටන් දකුණු අප්‍රිකාව පාලනය කළ ඒකාධිපති හස්තය බිඳ වැටුණේය.

ඇත්ත කතාව කුමක් වුවත් ජාතිය අමතමින් ඔහු කීවේ මෙසේ ය. “මම යන්නෙ බයකට නෙවෙයි. පක්ෂය මට සලකපු විදිහ වැරදියි. මම මගෙ රට වෙනුවෙන් උපරිම විදිහට යුතුකම ඉටු කළා.”

ඒ යුතුකම් ඉටුකිරීම කෙසේ ද යත්, වසර 9 ක පාලන කාලය තුළ දකුණු අප්‍රිකාව, ආර්ථික කබලෙන් ලිපට වැටුණේය. සූමා සිතා සිටියේ තමන් ‘පූමා‘ බව ය. රටට හෙණ ගැහුණත් තමන්ගේ ආර්ථිකය නම් සූමා වේගවත් කර ගත්තේ පූමාගේ වේගයෙනි. අවසානයේ ඉඩම් හිමි ගොවීන්ට සූමාගේ අයට පිනට ඉඩම් දී පාරට බසින්නට සිදු වුණේය. ආහාර පෝලිම් අගනුවර දැකගත හැකි විය. ඔහු අවුල් වූ රටක් වියවුලක් කළේය. නෙල්සන් මැන්ඩෙලා සමග රොබින් දූපතේ දස අවුරුද්දක් එකට සිරබත් කෑ කෙනෙක්දැයි ඇදහිය නොහැකි තරමට ජනතාව තළා පෙළන්නෙක් බවට පත්විය.

ඔහු නොගියා නම් අප්‍රිකානු ජාතික කොංග්‍රසය සැරසී සිටියේ ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට ය. මීට පෙරත් අට වතාවක්ම එසේ දෝෂාභියෝග ගෙනැවිත් තිබුණත් ගෙදර නොගිය සූමා, මෙවර ගෙදර ගියේ තමන්ගේ පක්ෂයම තමන්ට එරෙහිව නැගී සිටි නිසා ය. ඒකාධිපතිත්වයට පරමායුෂ නැති බව සපථ කරමින් 75 හැවිරිදි සූමා, ජනප්‍රියතාවය අන්තයටම පිරිහුණු නායකයෙක් ලෙස අවසානයේ ගෙදර ගියේය.

දකුණු අප්‍රිකාවේ සූමා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත දකුණු අප්‍රිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ලෝකයක් වටිනා මිනිසෙක් ලෝකයෙන් සමුගෙන ගියේය. ඔහු, සිම්බාබ්වේ විපක්ෂ නායක, හිටපු අගමැති මෝගන් චැන්ගිරායි ය.

පිට පිට නැගෙන බොරු චෝදනාවලට හිරේ යමින් ලෝකයේ දරුණුතම ඒකාධිපතියෙක් සමග ප්‍රජාතන්ත්‍රාවාදී ලෙස සටන් වැදුණු විපක්ෂ නායකයා ඔහු ය. ඔහු අභියෝග කළේ රොබට් මුගාබේගේ නරුමවාදී පැවැත්මට ය. එදා දරුවන් නව දෙනෙකුගේ පවුලක පෙදරේරු තාත්තාගේ ලොකු පුතා වූ චැන්ගිරායි වයස අවුරුදු 15 දී පාරට බැස්සේ සිය පවුල පෝෂණය කරන්නට ය. නමුත් 97 වසරේදී සිම්බාබ්වේ ඉතිහාසයේ පළමු වතාවට ආර්ථික ප්‍රතිසංස්කරණ ඉල්ලා ඔහු නැවත පාරට බැස්සේ සිය පවුල පෝෂණය කරන්නට නොවේ. රට පෝෂණය කරන්නට ය. එවිට මුගාබේ සහචරයෝ පක්ෂ කාර්යාලයට පැමිණ සිහිසුන් වන තෙක්, මරණාසන්න වන තෙක් ඔහුව තළා දැමුවෝය. 2007 වසරේදී ද විරෝධතාවක් සඳහා යමින් සිටියදී එයම නැවත සිදුවිය. නමුත් ඊළඟ වසරේදී ඔහු දිනුවේය. නමුත් ඒකාධිපතියන්ගේ බලය ඉතා සංවිධානාත්මක ය. රට පාලනය කරන්නට නම් ඔහු මුගාබේ සමග සන්ධානයකට යා යුතුම විය.

අවසානයේ 2009 පෙබරවාරි මස, එනම් හරියටම මෙයට වසර 9කට පමණ පෙර ඔහු සිම්බාබ්වේ අගමැති පදවියට පත්විය. නමුත් බලකාමීන් සමග හවුලට පවුල් කෑමේ ආදිනව ඉතා ඉක්මනින් ඔහු අත්වින්දේය. හවුල පැවතියේ කෙටි කලකි. අට මසක් යන තැන ඔහුගේ පක්ෂයේ ප්‍රබලයන් විවිධ හේතු දක්වමින් දඩයම් කිරීම ආරම්භ වී තිබිණි. තවමත් නිල නොවන පරිදි රට පාලනය කළ අදිසි හස්තම මුගාබේ ම විය. 2011 මාර්තු මාසයේ චැන්ගිරායි කියා සිටියේ මේ නොකෙරෙන දීගය අහවර කරන්නට උවමනා බව ය. ප්‍රජාතන්ත්‍රවාදී නොවන මිනිසුන් සමග බලය බෙදාගැනීම ගැන කතා කර පලක් නැත.

2013 ජනාධිපතිවරණය වන විට මුගාබේවාදය රට පුරා ඔඩු දුවා තිබිණි. සිම්බාබ්වේ ජනතාව ඒකාධිපතියාට පෙම්බැඳ සිටියහ. ජනාධිපතිවරණයෙන් චැන්ගිරායි 34%ක් ගන්නා විට මුගාබේ 61% ක් ගත්තේය.  ඒ නිසා මුගාබේ නැවත රජ විය.

2016 ජුනි මාසය වන විට බලාපොරොත්තු සුන්වීම් මැද විඳවමින් සිටි මේ මිනිසා අතුණුබහන් හෙවත් බඩවැලේ පිළිකාවකින් පෙළෙන බව සොයාගැනුණි. මුගාබේ ට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී, ඒත් නොයන තැන, ඩොලර් ලක්ෂ එකහමාරක මාසික විශ්‍රාමයක් ද මන්දිර වාහන ඇතුළුව නඩු පැවරීමෙන් මුක්තිය ද සමග මුගාබේ පැකේජය ලබාදී ඔහුව එසේ හෝ ගෙදර යවන්නට සාකච්ඡා කෙරෙන විට චැන්ගිරායි සිටියේ රෝහලේ ය. තමන් කිසිදා නැවත නොඑන බව ඔහු දැන සිටින්නට ඇත. ඒ නිසාම මුගාබේගේ සාපය අවසන් වීම ගැන ඔහු දැක්වූයේ නිහඬතාවයකි. සිම්බාබ්වේ රාජ්‍යය හරි මිනිහා තෝරාගන්නට ප්‍රමාද වී සිටියේය.

දුක නම්, සිම්බාබ්වේ සැබෑ නායකයා මෙසේ අකාලයේ මිය යද්දී වයස 92 ක කුණු වූ මිනිසා මුගාබේ තවම යහතින් ජීවත් වීමයි.

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

Top