Untitled 1

වෙනස්-ලිංගිකයන්ගේ වෙනස් වන ඉරණම - පියුමි ෆොන්සේකා

දවසක් උදෑසන අවදි වන විට, විරුද්ධ ලිංගික සිරුරක් තුළට ඔබ අවතීර්ණ වී ඇතැයි ඔබට හැඟුණොත් සහ ඒ ස්වභාවයෙන් ඉදිරි මුළු ජීවිත කාලය ගෙවා දැමීමට ඔබට සිදුවුවහොත් ඔබට මොන වගේ හැඟෙයිද? ඇතැම් ධනවත් වෙනස්-ලිංගිකයෝ, තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගන්නා හෝමෝන ගැනීමට හෝ ලිංගිකත්වය පරිවර්තනය කෙරෙන ශල්‍ය කර්මයක් කර ගැනීමට හෝ යොමු වෙති.

එසේ කිරීමේ අරමුණ වන්නේ, ජීවිතය තුළ මුහුණදීමට සිදුවන නුහුරු කාලකණ්ණි මනෝ භාවයකින් නිදහස් වීමයි. ශල්‍ය කර්මයකින් ලිංගිකත්වය වෙනස් කර ගැනීම හෝ හෝමෝන පෙති පාවිච්චි කිරීම ඔවුන්ට අස්වැසිල්ලකි. එහෙත් හෝමෝන පෙති මිල දී ගැනීමට හෝ ශල්‍ය කර්මයක් කර ගැනීමට හෝ අතමිට නැති කෙනෙකුගේ තත්වය කුමක් විය හැකිද? කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයීය මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත් කෙරුණු, මනෝ වෛද්‍ය විද්‍යා සඟරාව විසින් 2014 දී කරන ලද විප්ලවීය අධ්‍යයනයකින් පෙන්වා දුන් පරිදි, පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය විශාල වශයෙන් තීන්දු කෙරෙන්නේ ජාන මගින් මිස කෙනෙකුගේ පෞද්ගලික තේරීමකින් නොවේ. කාන්තා සමලිංගික, පුරුෂ සමලිංගික, ද්විලිංගික, වෙනස්-ලිංගික සහ අන්තර්-ලිංගික (මෙතැන් පටන් ‘එල්.ජී.බී.ටී.අයි’ යනුවෙන් හඳුන්වන කුලකයට) එරෙහිව එල්ල වන ප්‍රධාන චෝදනාවක් වන ඔවුන් ‘අස්වාභාවිකව’ ජීවත් වීමට කැමැත්තෙන් පෙළඹී ඇතැයි යන්න නිෂ්ප්‍රභා කෙරේ.

පිරිමියෙකු හෝ ගැහැනියක වීම යන කාරණය සමග බැඳුණු ගුණාංග, අවස්ථා සහ සම්බන්ධතා වනාහී සමාජ නිර්මිතයන් ය. එසේ හෙයින් ඒ ඒ තත්වයන්ට පැවරෙන වගකීම් සහ භාර කෙරෙන ක්‍රියාකාරකම්, ගැහැනිය සහ පිරිමියා අනුව වෙනස් වෙයි. අසමාන වෙයි. ස්වකීය ජෛව මාපියන් විසින් ප්‍රතික්ෂේප කෙරෙන වෙනස්-ලිංගිකයන් බොහොමයකට නිසි අධ්‍යාපනයක් නොලැබෙයි. එසේ හෙයින් රැකියාවක් සොයා ගැනීමට ඔවුහූ අපොහොසත් වෙති. එහි ප්‍රතිඵලය වන්නේ, බොහෝ දෙනා හිඟමනට වැටීමත්, තවත් අය ජීවිකාව සඳහා ලිංගික සේවාවන්ට යොමු වීමත් ය.

කොන් වූ කොටස් ඔවුන්ගේ නෂ්ටාපේක්ෂාවෙන් ගලවා ගැනීමේ ප්‍රයත්නය
මීට වසරකට පෙර, වෙනස්-ලිංගික ක්‍රියාකාරිනියක් වන විජයරාජ මල්ලිකාගේ නායකත්වයෙන්, ඉන්දියානු වෙනස්-ලිංගික කණ්ඩායමක් පාසල් අධ්‍යාපනයෙන් වීසි වුණු වෙනස්-ලිංගිකයන්ගේ අභිවෘද්ධිය තකා පාසලක් ගොඩනැගීමේ ව්‍යාපෘතියක් පටන් ගත්හ. ඔවුන්ගේ ඒ සිහිනය මල්ඵල ගැන්වුණි. විධිමත් අධ්‍යාපනය අහිමි වූ වෙනස්-ලිංගිකයන් සඳහා වන මේ පාසලට ප්‍රාන්ත දේශපාලඥයන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණි. ඊට හේතු වූයේ, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2015 දී දෙන ලද ඓතිහාසික තීන්දුවකි. වෙනස්-ලිංගික ප්‍රජාව, ‘තෙවැනි ලිංගිකත්වයක්’ වශයෙන්, මේ අධිකරණ විනිශ්චය තුළින් පිළිගන්නා ලදි.

දීර්ඝ කාලයක් තිස්සේ සමාජය විසින් පිටමං කොට තිබූ වෙනස්-ලිංගික ප්‍රජාවට මේ විනිශ්චය මගින් නෛතික භාවයක් ලැබුණි. මේ සමගම 2016 දී, ඉන්දීය ආණ්ඩුවේ සමාජ සාධාරණත්වය සහ සමාජ බලගැන්වීම පිළිබඳ අමාත්‍යාංශය මගින් ‘වෙනස්-ලිංගික පුද්ගලයන්ගේ (අයිතිවාසිකම් සුරැකීමේ) කෙටුම්පත’ ගෙනාවේය. සමාජයේ වෙසෙන වෙනස්-ලිංගිකයන් සමාජය තුළට ගොනු කර ගැනීම එහි අරමුණ විය.

ඉන්දියාවේ ප්‍රථම වෙනස්-ලිංගික පාසල විවෘත වීම
මේ වර්ධනයන් විසින් ධෛර්යමත් කරන ලදුව, ඉන්දියාවේ වෙනස්-ලිංගිකයන් සඳහා වන ප්‍රථම නේවාසික විදුහල 2016 දෙසැම්බර් 30 වැනි දා කේරලයේ කොචි ප්‍රදේශයේ විවෘත කෙරුණි. එය ‘සහාජ් ජාත්‍යන්තර පාසල’ යනුවෙන් නම් විය. දිසාපතිවරයාගේ අනුග්‍රහයෙන් පැවැත්වුණු සමාරම්භක උළෙලට, කීර්තිමත් ඉන්දියානු වෙනස්-ලිංගික ක්‍රියාකාරිනියක් සහ කලාකාරියක් වන කල්කි සුබ්‍රමානියම් සහභාගී වූවාය. සිය දේශනයේදී ඇය පෙන්වා දුන් පරිදි, සමාජයෙන් කොන් වූ ඕනෑම ප්‍රජාවකට නැගී සිටිය හැකි ප්‍රධාන අවිය වන්නේ අධ්‍යාපනයයි. මන්ද යත්, සුන්දර ජීවිතයක් සඳහා අවශ්‍ය කරන ආලෝකය, දැනුම සහ විශ්වාසය ඒ මගින් සැපයෙන බැවිනි. මෙවැනි පාසලක් විවෘත කිරීම, අධ්‍යාපනය තුළින් වෙනස්-ලිංගික ප්‍රජාව සමාජ පිළිගැනීමකට ලක්කිරීමේ ආදර්ශය වෙනත් ඉන්දීයා ප්‍රාන්ත රාජ්‍යයන්ටත් සැපයෙන බව ඈ කියා සිටියාය.

වෙනස්-ලිංගිකයන් සඳහා වන ප්‍රතිපත්තියක් පිළිගත් ප්‍රථම රට ඉන්දියාව නොවේ

ඉන්දියාවේ ‘සමාජ සාධාරණත්වය සහ බලගැන්වීම’ පිළිබඳ අමාත්‍යාංශය යටතේ එම දෙපාර්තමේන්තු විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව, කේරල ප්‍රාන්තයේ 25,000 කට අධික වෙනස්-ලිංගික ප්‍රජාවක් ජීවත් වෙති. මොවුන්ගේ ලිංගික අනන්‍යතා පිළිබඳ දුෂ්කරතාවන් හේතුවෙන් ඔවුන්ගෙන් සියයට 58 කට අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට හැකි වී නැත. වෙනස්-ලිංගිකයන් සඳහා වන ප්‍රතිපත්තියක් පිළිගත් ප්‍රථම ඉන්දියානු ප්‍රාන්ත රාජ්‍යය කේරලයයි. මොවුන් සඳහා අධ්‍යාපනය ලබා දීමට ගත් මෙම පියවර නිසා ඔවුන්ට පමණක් නොව, ඉහතින් සඳහන් කළ ‘එල්.ජී.බී.ටී.අයි’ සමස්ත කුලකයට අයත් සියලු දෙනාට සමාන අයිතිවාසිකම් ලබා දීම පිළිබඳව සලකා බැලීමට, වෙනත් ප්‍රාන්ත රාජ්‍යයන්ට සේම සෙසු ලෝකයාටත් ධෛර්යයක් සපයනු ඇත. කෙසේ වෙතත්, ‘තෙවැනි ලිංගිකත්වයක්’ පිළිගත් ප්‍රථම රට ඉන්දියාව නොවේ. ඊට කලින් 2007 දී නේපාලයත්, 2013 දී බංග්ලා දේශයත් එම ප්‍රතිපත්තිය නීතියෙන් පිළිගෙන තිබේ.

වෙනස්-ලිංගික ප්‍රජාවගේ අයිතීන් පවතින ශ්‍රී ලාංකීය නීතිය තුළ පිළිනොගැනෙයි:
‘හියුමන් රයිට්ස් වොච්’

පීතෘමූලික සමාජ පද්ධතියක් සහිත ශ්‍රී ලංකාව ගැන සළකා බලන විට, ලිංගික සමානත්වය විවාදයට තුඩුදෙන කාරණයක් වුවත්, ශ්‍රී ලාංකීය ‘එල්.ජී.බී.ටී.අයි.’ ප්‍රජාව ඒ සඳහා අරගල කරති. කෙනෙකුගේ ජන්ම ලිංගිකත්වය වෙනස් කර ගැනීමේ පැහැදිළි නෛතික මාර්ගයක් ශ්‍රී ලංකාවේ නීතිය තුළ නැත. එහෙත් ලිංගිකත්වය පිළිගැනීමේ ක්‍රියාවලිය දැනට සැළකිල්ලට ලක්වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ වෙසෙන වෙනස්-ලිංගිකයන් අත්විඳින හිංසනය සහ කොන් කිරීම ගැන, ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය ගිය වසරේ ඉදිරිපත් කළ වාර්තාවෙන් එය සනාථ කෙරේ. 2015 ඔක්තෝබර් මාසයේ සිට 2016 ජනවාරි මාසය දක්වා මේ සංවිධානය විසින් ලංකාවේ නගර හතරක් තුළ, ‘එල්.ජී.බී.ටී.අයි,’ පුද්ගලයන් 61 දෙනෙකු ආශ්‍රයෙන් කරන ලද සම්මුඛ සාකච්ඡා හරහා කෙරුණු අධ්‍යයනය මත පදනම් කෙරුණු එම වාර්තාව, ලංකාවේ වෙනස්-ලිංගිකයන්ගේ අයිතීන් පවතින ශ්‍රී ලාංකීය නීති පද්ධතිය තුළ ආරක්ෂා නොකෙරෙන බව පෙන්වා දෙයි.

අනුමැතිය ඇති වැඩිහිටියන් දෙන්නෙකු අතරේ සිදුවන සමලිංගික සම්බන්ධතා අපරාධයක් කොට සැළකෙන ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිත්, වෙනස්-ලිංගිකයන් සහ ලිංගික සේවකයන් අපරාධකරුවන් වශයෙන් සැළකෙන ‘පාදඩ ආඥාපනතත්’ අහෝසි කරන්නැයි මේ වාර්තාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටී. ලිංගික අනන්‍යතා සහ ලිංගික නැමියාවන් මත වෙනස් කොට සැළකීමට ලක්කෙරෙන තත්වය වෙනස් කෙරෙන පුළුල් නීති ගෙන එන්නැයි එම වාර්තාව තවදුරටත් නිර්දේශ කරයි.

ඔවුන්ට සමාන අයිතිවාසිකම් පිරිනැමීම යහපාලනයේ ජයග්‍රහණයකි:
ආචාර්ය මහීම් මෙන්ඩිස්

‘හියුමන් රයිට්ස් වොච්’ සහ වෙනත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, ශ්‍රී ලංකාවේ ‘එල්.ජී.බී.ටී.අයි.’ ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා නව රෙගුලාසි පනවන්නැයි නිර්දේශ කර තිබුණත් එය කළ හැකි වේද? මේ ප්‍රශ්නය පැනනගින්නේ, ලංකාවේ බොහොමයක් දෙනා සිතන්නේ, ගැහැනුන් සහ පිරිමින් ‘සාමාන්‍ය’ ලිංගික අනන්‍යතා යටතේ කටයුතු කළ යුතු යැයි හඟින බැවිනි.

මේ විවාදාපන්න මාතෘකාව ගැන කතා කරන ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහීම් මෙන්ඩිස් කියන පරිදි, ලංකාවේ වෙසෙන ‘එල්.ජී.බී.ටී.අයි.’ ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කර දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ කාලය එළැඹ තිබේ. “හැම ආකාරයකම කොන් කොට සැළකීම් අවසන් කෙරෙන ප්‍රගතිගාමී නීතිරීති වහා ගෙන ඒම සඳහා මේ රටේ පියවර ගත යුතු කාලය එළැඹ ඇතැ’ යි ඔහු කියයි. “හැම වර්ගයකම ජනතාවට එක ආකාරයකට සළකන බවට වගබලා ගැනීම රජයේ වගකීමකි. පැහැදිළිවම වෙනස්-ලිංගිකයෝ ඊට අයත් වෙති. මිනිසුන්ගේ ජීවිත විනාශ කරලීමට මුග්ධ භාවයට ඉඩ දිය යුතු නැත. තමන් වගේ නොවන සෙස්සන් කෙරෙහි සංවේදී වීමට තරුණයන්ට සේම වැඩිහිටියන්ටද පුරුද්දක් නැති බැවින් ඒ සම්බන්ධයෙන් ඔවුන්ව දැනුම්වත් කළ යුතුව තිබේ. අපේ බංකොලොත් අධ්‍යාපන ක්‍රමය විසින් ඉහළ තැන්වලට යවා සිටින ලොකු ලොක්කන්ටද මෙය අදාළ ය. වැඩි වැඩියෙන් ‘එල්.ජී.බී.ටී.අයි.’ ප්‍රජාවට නිසි ස්ථාන ලබා දීම යහපාලනය සඳහා වන ජයග්‍රහණයක් වනු ඇත.”

ෆයිසාල්: පිරිමි සිරුරක සිර වූ ගැහැනිය
ඉන්දියාවේ කේරලයේ තිසූර් ප්‍රදේශයේදී ෆයිසාල් උපන්නේ පිරිමි දරුවෙකු වශයෙනි. එහෙත් කෙමෙන් වැඩෙද්දී තමා තුළ ගැහැනු ගති ලක්ෂණ ඇතැයි ඔහුට වැටහිණ. ඔහු කණකර පැළඳීමට පටන් ගත්තේය. කොණ්ඩය වැව්වේය. මේකප් දැම්මේය. වර්ණවත් ඇඳුම් පැළඳුම් ඇන්දේය. ඔහුට අවශ්‍ය කෙළේ පිරිමි සිරුරක සිර වී සිටින තමාට ගැහැනියක සේ සෙස්සන් සළකනු දැකීමටයි. එහිදී තමාගේ පුරුෂ ලක්ෂණ ‘හංගා’ ගැනීමට ඔහු මොන තරම් වීරිය කළත්, සමාජය විසින් ඔහුව හඳුනා ගත්තේ පිරිමියෙකු වශයෙනි. පවුලේම සෙසු සාමාජිකයන් විසිනුත්, පාසල විසිනුත් ඔහුව කොන් කෙළේය. උපන්නේ පිරිමියෙකු වශයෙන් නිසා ඒ අනුව ඔහු ජීවත් විය යුතු බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ කියා සිටියහ. “මං ගෑනියෙක් විදිහට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ මගේ පවුලෙන් මාව දොට්ට දැම්මා. මං තවදුරටත් ඒගොල්ලන්ගේ සහෝදරයෙක් නෙවෙයි කියලා, මගේ අනිත් සහෝදර සහෝදරියෝ කියන්න පටන් ගත්තා.’ ඔහු කීය. පාසලේ දී මුහුණදීමට සිදුවූ ‘ඉවසා සිටිය නොහැකි’ කොන් කිරීම් නිසා 5 පංතියෙන් පසු ඔහු ඉගෙනීම අත්හලේය. වයස 14 දී පවුලේ අයත් ඔහුව අත්හැරිය පසු ඔහු මහමගට වැටුණි. එවිට ලිංගික සේවකයෙකු වහයෙන් දිවි ගැටගසා ගැනීම හැර වෙන කරන්ට දෙයක් ඔහුට තිබුණේ නැත.

ජීවිතය කාලකණ්ණි වෙද්දී සියදිවි නසා ගන්නට තමාට සිතුණු බව ඔහු කියයි. කෙසේ වෙතත්, ඔහුට වෙනත් වෙනස්-ලිංගික කාන්තාවන් බොහොමයක් මුණගැසුණි. එතෙක්, වෙනස්-ලිංගික ප්‍රජාවක් යනුවෙන් දෙයක් පැවති බව පවා ඔහු දැන සිටියේ නැත. “ඒගොල්ලන්ව හම්බ වෙච්ච එක මගේ ජීවිතේට ලොකු බලපෑමක් වුණා. මං වගේම ඉන්න වෙනත් අයට පිහිට වෙන්න මං ඒගොල්ලෝ එක්ක එකතු වුණා. මගේ ජීවිතේ අරමුණ වෙන්නේ, වෙනස්-ලිංගිකයන්ට විතරක් නෙවෙයි, අයිතිවාසිකම් අහිමි වෙලා ඉන්න සෑම මිනිස් කණ්ඩායමක් වෙනුවෙන්ම වැඩ කිරීමයි.’ ඔහු කියයි. මානව හිමිකම් උල්ලංඝණයන්ට එරෙහි සමාජ ක්‍රියාකාරීත්වය තුළ අද වන විට ෆයිසාල් ප්‍රමුඛ චරිතයකි. “මීට වඩා යහපත් ඉන්දියාවක් ගොඩනගා ගැනීමට දායක වීම මගේ අභිලාෂයයි” ඔහු කියයි.  
රටේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වූ විට පවුලේ සාමාජිකයන් ඔහු කෙරෙහි වන ආකල්පය වෙනස් කර ගනිමින් ඔහුට සමීප වීමට බැලූ බව ඔහු තවදුරටත් කීය. දකුණු ආසියාතික බොහෝ රටවල වෙනස්-ලිංගිකයන්ගේ තත්වය විස්තර කරමින් ඔහු කියන්නේ, එම රටවල එය තහනම් මාතෘකාවක් වී ඇති බවයි. කෙසේ වෙතත්, ඉන්දියානු ආණ්ඩුව සහ අධිකරණය මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා සිය ප්‍රජාවේ අයිතීන් පිළිබඳ තමන්ගේ අපේක්ෂා ශක්තිමත් වී ඇතැයි ඔහු කීය.

2017 ජනවාරි 9 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ  Changing Fate of Transgenders නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

‘යහපාලනය ලංකා’ සබැදි සටහන්

ජනාධිපති සිරිසේනගේ ‘වචන දෙකේ කතා’: මුස්ලිම් අවතැන්වූවන් පාවා දීමක් - හිල්මි අහමඞ්

Top