Untitled 1

'දැන්නම් අඩු රාජපක්ෂ විතරයි' - ලන්ඩන් පබ්

ලන්ඩන් පබ් 09

ලන්ඩන්වලට මේ දවස්වල උදාවෙලා තියෙන්නෙ ඉතා උණුසුම් ශීත කාලයක්. එක දවසකට සෙන්ටිග්‍රේඩ් අංශක 2 යි. තව දවසක 12යි. මිනිස්සු විතරක් නෙමෙයි ගස් වැල් සතා සීපාවො පවා අන්ද මන්ද වෙලා. වසන්ත කාලේ පිපෙන්න තියෙන මල් පොහොට්ටු සීත දුරුත්තෙම පිපිලා. ඒව දකින මී මැස්සො සමනලයො පුරුදු පරිදි රොන් උරන්න හේමන්ත නිද්‍රාවෙන් (Hibernation) අවදිවෙලා එළියට එනවා. ඊළඟ දවසෙ තද සීතලක් ආපුවහම උන් සේරම ශීතල දරාගන්න බැරුව මිය යනවා. යුරෝපය පුරා මී මැසි ප්‍රජාවට ලබල තියෙන්නෙ අපල කාලයක්. මී පැණි කෘතිමව නිශ්පාදනය කරන්නට තරම් තත්වය දරුණුයි. මේකත් ගෝලීය උණුසුමේ අතුරු ප්‍රතිඵල. ගෝලීය උණුසුම ඉස්සෙල්ලාම බිලි ගන්නෙ මී මැස්සො සමනලයො වගේ කුඩා ජීවීන්. අපි ඒ ගැන එච්චර හිතන්න හොද නෑ. මොකද අපි මී මැස්සොවත් සමනලයොවත් නෙමෙයිනෙ. කුඩා චිත්‍රය තේරුම් ගන්න බැරි අපි මහා චිත්‍රය කෙසේ නම් තේරුම් ගන්නද? ඒක නිසා අපට කෙළවෙනකම්ම අපි බලාගෙන ඉමු. ඒ නිසානෙ අපි ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ විකාරකාරයෙක් ගිය ගිම්හානෙදි තෝරා පත් කර ගත්තෙ. ඒකනෙ අපි පහුගිය ග්‍රීෂ්ම කාලෙ බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන් විය යුතුයි කියල ඡන්දෙ දුන්නෙ.

ලන්ඩන් පබ් අන්තිමට ලිව්වෙ බ්‍රෙක්සිට් එකට දවස් කීපෙකට කලින්. බ්‍රෙක්සිට් එකට වැඩිපුර ඡන්දෙ දුන්නෙ රට ඇතුලෙ (Country side) ජීවත් වන සම්ප්‍රදායික වැඩි මහලු සුද්දො වගේම බ්‍රිතාන්‍යයේ සරණාගත රැකවරණ ලබල ජීවත් වෙන උදවිය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සරණාගත උදවියගෙන් 70% ක් වත් ඡන්දෙ දුන්නෙ බ්‍රෙක්සිට් එකට පක්ෂව. ඒක පබ් එකේ කෙරුණු කතාබහ තුලිනුත් හොඳාකාරව පෙනුනා. මිනිස්සු මිනිස්සුන්ට හරි බයයි. ඒක බයකට වඩා කුහකකම. තමන්ට ලැබුණු දේ තවත් කෙනෙක්ට ලැබෙනවට තියෙන ඊරිසියාව.

බ්‍රෙක්සිට් ඡන්දය ආසන්නව ලන්ඩන්වල ලංකාවෙ ගෙදරක තිබ්බ දානෙ ගේක බාර් මෑන් ගියා. පබ් එකට නිතරම එන හතර පස් දෙනෙකුත් දානෙ ගෙදර ඇවිත් හිටියා. අවුුරුදු 15 -  20 ලන්ඩන්වල ජීවත් වෙන බොහෝ සිංහල කට්ටිය එදා එක හඬින්ම කියා හිටියෙ ‘අපි නම් ඡන්දෙ දෙන්නෙ බ්‍රෙක්සිට් එකට පක්ෂව' කියල. ඒ ඇයි කියල ඇහුවහම ඒ අය කිව්වෙ ‘ඔය එක එකා ඇවිත් මේ රට විනාශ කරලා කාබාසිනියා කරනව කියල. ලන්ඩන්වල ජීවත් වන එක තරුණ, සිංහල අම්ම කෙනෙක් කියනව එයාගෙ දරුවව ඉස්කෝලෙ බස්සන්න ගියහම එයාට හිතෙනව කියල මේ ලන්ඩන් ද එහෙම නැත්තන් අරාබි රටක කෑල්ලක් ද කියල. ඒ කතාව ඇහුවහම බාර් මෑන්ට හිතුනෙ UKIP පාටියෙ නායකයා නයිජෙල් ෆෙරාජ්ගෙ කියමන. මනුස්සය බස් එකේ යද්දි එයාට ඇහුන් නැහැල්ලු කිසිම එක්කෙනෙක් ඉංග්‍රිසියෙන් කතා කරන හඬක්. ඒක දැකල තමයි මිනිහගෙ දේශප්‍රේමී මෙව්ව එක කෙලින් වෙලා ඇවිල්ලා තියෙන්නෙ. හැබැයි මිනිහ බැඳලා ඉන්නෙ නම් ජර්මන් ගෑණියෙක්ව. අඩු ගානෙ ගෙදර ඇහෙන්නැති ඉංග්‍රිසි භාෂාව බස් එකේදි හරි අහගන්න තමයි මිනිහට ඕනි වෙලා තිබිල තියෙන්නෙ. ෆෙරාජ්ලා වගේ ඈයින්ට කුහකයො කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද? දානෙ ගෙදර සේරම අයගෙ කතා අහගෙන ඉදලා බාර් මෑන් අන්තිමට ඇහුවෙ ‘ මේ රටේ හැබෑ සුද්දන්ට ශ්‍රී ලංකන්ස්ලා වන අපිවවත් පේන්නෙ ඔය විදිහටම නේද? කියල විතරයි. ඒක පිලිගන්න ගොඩක් අය සූදානම් නෑ. ඒ අය හිතන්නෙ බ්‍රිටිෂ් පාස්පෝට් එක ගත්ත පමණින් ඒ අයත් සුද්දො වෙනවා කියල. ඔය සුද්දො හැම එකාම පොදුවේ අපිව අමතන්නෙ ‘Bloody Paky' කියල . උන් දන්නෑ අපි ලෝකෙන්ම උතුම් රට ලංකාවෙ කට්ටිය කියල. උන්ට අපිව පේන්නෙත් පකිස්ථාන් කාරයො වගේ. අපියි සුද්දොයි එක්කහු වෙලා ඉස්සෙල්ලාම ඊස්ටන් යුරෝපියන්ස්ලව එළවනව. ඊට පස්සෙ සේරම සුද්දො එක්කහු වෙලා අපිව මේ රටෙන් එළවනවා. මේ සරල සත්‍ය තේරුම් ගන්න මෙහේ ඉන්න ලංකාවෙ එවුන්ගෙන් වැඩි හරියකට බෑ. දැන් අපේ වල අපිම කපාගෙන ඉවරයි.

මේ යන විදිහට ගියොත් තුන්වන ලෝක යුද්ධයට වැඩි ඈතක් නෑ. හැබැයි පහුගිය යුද්ධ දෙක වගේ නෙමෙයි මේ යුද්ධය ඉතා දරුණුයි. මිනිස්සු මැරෙන්නෙ වෙඩි වැදිලා නෙමෙයි හාමත් වෙලා. මේ යුද්දෙදි එක වෙඩිල්ලක්වත් පත්තු වෙන් නෑ. යුද්ධය සිද්ධ වෙන්නෙ සයිබර් අවකාශයෙ.

අද ලෝකයේ වැඩි හරියක්ම මිනිස්සු ඉන්නෙ මහ පොළොවෙ නෙමෙයි සයිබර් අවකාශයෙ. සයිබර් අවකාශය ආක්‍රමණය කිරීම තුලින් මුළු ලෝකෙම නවත්තන්න පුළුවන්. මුළු ලෝකයම මෙහෙයවන මධ්‍යස්ථානය සයිබර් අවකාශය. ඒකට ඇටෑක් කරා කියන්නෙ මුළු ලෝකෙම ඉවරයි කියන එක. මේ කතාව බාර් මෑන් ළඟදි පබ් එකේ කට්ටියට කිව්වහම ඒ අයගෙන් වැඩි හරියක් නක්කලේට හිනා වුනා. හැබැයි ටික වෙලාවක් යද්දි එක එකාට වැඩේ හිමීට මීටර් වෙන්න පටන් ගත්තා.

‘අඩෝ බාර් මල්ලි .............. උඹ මාර කතාවක්නෙ කිව්වෙ. ඇත්තටම මුළු ලෝකෙන් සියයට අනූවකට වඩා ජීවත් වෙන්නෙ සයිබර් අවකාශයෙ. උඹ කියන කතාව හරි. ඒකට කෙලියොත් අන්තිමට ඉතුරු වෙන්නෙ ඇමසන් වනාන්තරයෙ ඉන්න ග්‍රෝත්‍රිකයො ටිකයි ආක්ටික් ඇන්ටාට්ටික් වල ඉන්න එස්කිමෝවරු විතරයි. අපි ටොයිලට් යන්න විතරයි මහ පොළොවට එන්නෙ. කෑම බීම, රැකී රක්ෂා, හොලිඩේ, ඇදුම් පැළදුම්, බැංකු කටයුතු, ලව් ඇන්ඩ් සෙක්ස් මේ සේරම  ඔන්ලයින්. මේක හැක් කාලොත් එහෙම කෙලිය නේද තාප්පෙට? වැඩේ මීටර් වෙච්ච ගාල්ලෙ අමරෙ අයියා බොහොම බැරූරුම් පෙනුමක් මවාගෙන කියා හිටියා. අනිත් අයත් හිස සලා ඔහුව අනුමත කළා.

ජර්මනියෙ රංජන් අයියා කට හඩ අවදිකරමින් ‘ඇත්තටම බලාගෙන ගියහම රුසියාවෙ පුටින්ට ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ කකුල් දෙකේ බූරුවෙක්ව ඇමරිකාවෙ ජනාධිපති පුටුවෙ වාඩි කරවන්න පුළුවන් වුනේ සයිබර් අවකාසෙ බලයෙන්. වැඩි ඡන්ද මිලියන 3 කින් පැරදිච්ච ට්‍රම්පච්චි කම්පියුටර් ජිල්මාට් දාලා අවශ්‍ය තැනට පුටින් ගෙනාව. මේක එක භයානක අත්දැකීමක් විතරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බලා ගන්න පුලුවන් වේවි' යැයි කියා හිටියා.

‘1991 දෙසැම්බර් 26 වෙනිදා සෝවියට් දේශයෙ බිඳ වැටීම පිටුපස්සෙ හිටියෙ ඇමරිකාව. චක්කරේ ආපහු කැරකෙන්න අවුරුදු 30ක් යනවලුනෙ. ඇමරිකාව රුසියාවට කරකවපු එක මෙදා පාර රුසියාව ඇමරිකාවට කරකවනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ ඇමරිකාවෙ ගොර්බචෝව්. පුටින් කියන්නෙ ලේසි පාසු පුතයෙක් නෙමෙයි. මිනිහගෙ තරම දැනෙන්නෙ ඇමරිකාව රුසියන් තානාපති නිලධාරීන් 35 දෙනෙක් එළවපු වෙලාවෙ එකට එක කිරිමක් වශයෙන් රුසියාවෙ විදේශ ඇමති සර්ජි ලැව්රොව් ඇමරිකාවෙ තානාපති නිලධාරීන් 35 දෙනෙකුවත් පිටමං කරන්න නියෝග කලා. නමුත් පුටින් ප්‍රශ්නෙට කෙලින්ම අතදාලා ඒ නියෝගය අවලංගු කළා. මෑත කාලෙදි රාජ්‍ය නායකයෙක් ගහපු මාස්ටර් ස්ට්‍රෝක් එකක් තමයි ඒ. ගොඩක් අය හිතයි පුටින් බය වුනා කියල. නමුත් CIA එක එහෙම හිතන්නෑ. පුටින්ගෙ තීරණයෙන් උන් අන්දමන්ද වෙලා ඉන්නෙ. පුටින් දැනටමත් ට්‍රම්ප්ව අත්අඩංගුවට අරගෙන ඉවරයි. එංගලන්තෙ MI 6 එකයි CIA එකයි ට්‍රම්ප්ගෙ PP tape එක ගැන කියද්දි පුටින් කෙලින්ම කිව්වෙ ඒක හද්ද බොරුවක් කියල. ඒකට කළගුණ සලකන්න ට්‍රම්ප් කිව්වෙ එයා වැඩ භාරගත්ත ගමන් රුසියාවට එරෙහි ඇමරිකානු සම්බාධක ඉවත් කරනව කියල. ඊළඟට පුටින් කරන්නෙ ට්‍රම්ප් ලව්වා NATO එකට ඇටෑක් කරලා ඇමරිකාව ඒකෙන් එළියට ගන්න එක. NATO සංවිධානය සම්පූර්ණයෙන්ම දුර්වල කරන්ඩ එතකොට පුටින්ට පුළුවන්. මේ තොවිලෙ පටන් ගත්තා විතරයි. අර රංජන් අයියා කිව්වා වගේ හොද හොද අඩව් එන්නෙ රෑ මැදියම පහුවුනාම' පසන් ජයතිලක සහෝදරයා පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් ටික පොලිටිකලි සමරයිස් කළා.

‘අමරෙ අයියලගෙ පක්ෂෙ නායකයා පාඨලී චම්පික රණවක උන්නැහෙ හෙන ජොලියකින් ඉන්නෙ Globalization එකට කෙළවීම පිළිබඳව. එතුමා ට්‍රම්ප්ගෙ රසිකයෙක්. හෙල උරුමයෙ කට්ටිය හිතන් ඉන්නෙ ලෝක ආර්ථික අවපාතයට මුළ ගෝලීයකරණය කියල. ට්‍රම්ප් මහත්තයා කියන්නෙත් ඒකමනෙ. මිනිහ ඒක නිසානෙ කියන්නෙ සියළුම නිදහස් වෙළඳ ගිවිසුම් ඉරා දානවා. දැනට අවුට් සෝස් කරලා තියෙන රැකී රක්ෂා සියළුම දේවල් ආපහු ඇමරිකාවට ගේනවා කියල. අන්න එහෙම තමයි ට්‍රම්ප් ඇමරිකාව ආයිත් ග්‍රේට් කරන්නෙ. චම්පික උන්නැහෙටත් 2020 දි ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් ‘‍Making Sri Lanka Great Again' කියල තේමාවක් හදාගෙන. මොකද ට්‍රම්ප් ගෙයි චම්පිකගෙයි හොදම සමාන ලක්ෂණය තමයි දෙන්නම මහජාතියෙ හෙජමොනිය බරපතල විදිහට විශ්වාස කරන අය වීම. ඒක නිසා තමයි ජාතික හෙළ උරුමය විළි ලැජ්ජාවක් නැතුව ට්‍රම්ප්ගෙ ජයග්‍රහණය වෙනුවෙන් පුවත්පත් නිවේදන නිකුත් කරලා ප්‍රෙස් කොන්ෆරන්ස් තිබ්බෙ' එහෙම කියමින් කතාවට එක්කහු වුනේ ප්‍රියන්ත.

‘Globalization සම්පූර්ණයෙන්ම අසාර්ථක වෑයමක්. ගෝලීයකරණය නිසා තමයි ලෝකය පුරාම මේ ෆයිනෑන්සියල් ක්‍රයිසිස් එක ඇතිවෙලා තියෙන්නෙ' එහෙම කිව්වෙ පබ් එකේ වයස්ගතම සාමාජිකයා විශ්‍රාමික දොස්තර ඇන්ඩෘ බර්නාඩ් හෙළකුමාර.

‘අනේ මේ දොස්තර මහත්තයෝ මේ නොදන්න මගුල් නොකිය ඉන්න. ගෝලීයකරණය නිසා තමයි ප්‍රාග්ධනය ලෝකය පුරා ගලාගෙන ගියෙ. එහෙම නැත්තන් ට්‍රිකල් ඩවුන් වුනේ. නමුත් ඒ ප්‍රාග්ධනය ලෝකය පුරා ගිහිල්ලා ලාභය සකප් ( suck up) කරා. එතකොට ලාභය ලෝකය පුරා පැතිරෙන්නැතුව එක තැනකට ගොනු වෙනවා. අන්තිමට වෙන්නෙ ප්‍රාග්ධනය ලෝකය පුරා ශ්‍රමය සූරාකන කාලා ලාභය එක් තැනකට ගොඩ ගහන එක විතරයි. ඒක තමයි ධනවාදයෙ වරද' පසන් සිය සුපුරුදු තර්කය ගෙන හැර පෑවා.

‘කොහොම වුනත් ට්‍රම්ප් කියන්නෙ කියන දේ කරන කරන දේ කියන නියම නායකයෙක්. ඩිමොක්‍රටික් කාරයින්ගෙ සෙප්පඩ විජ්ජා ඇමරිකන් ජනතාවට එපා වෙලා හිටියෙ. ඒක තමයි සුළු සුළු අඩුපාඩු තිබ්බත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුනේ.' පබ් එකේ පලවෙනි වතාවට ට්‍රම්ප් උන්නැහේ ගැන ප්‍රසංසා මුඛයෙන් කතා කෙරුවෙ දොස්තර හෙලකුමාර.  

‘ලෝකය පුරා ඉන්න ජාතිවාදීන්ට ට්‍රම්ප් කියන්නෙ පරමාදර්ශයක්. ඒකනෙ අපේ චම්පික උන්නැහෙ ට්‍රම්ප්ට ඔච්චර කැමති. හැමදාම ධනවාදි ලෝකෙ කලේ ධනවාදය ෆේල් වෙද්දි ඒ ගොල්ලො ඒක සමනය කරන්න යොදා ගත්තෙ ජාතිවාදය. හිට්ලර් වගේ ජාතිවාදීන්ගෙ කටට පණ දුන්නෙ ධනවාදයේ කඩා වැටීම. 1930 මහා ආර්ථික අවපාතය (Greate Depression) තමයි දෙවන ලෝක යුද්ධයට පාර කැපුවෙ. සාර්ථක ව්‍යාපාරිකයන් වෙච්ච ‘යුදෙව්වො අපිව හූරගෙන කනවා. අපි උන්ව නැති කළ යුතුයි.' කියල ව්‍යාජ දේශප්‍රේමයක් ජර්මානුවන් තුල ඇතිකළේ හිට්ලර්.  හිට්ලර් හිතුවෙ මුළු ලෝකයම ආර්යන්ගෙ අණසකට යටත් විය යුතුයි කියල. හැම ජාතිවාදියෙක්ම ආරක්ෂණ වාදියෙක් මිසක්කා ජාත්‍යන්තර වාදියො නෙමෙයි. ' ජර්මනියෙ රංජන් අයියා තමන්ගෙ මතය ගෙන හැර දැක්වූවා.

‘ඒ වුනාට ඇන්ගලා මර්කල් නෝනා මුස්ලිම් සරණාගතයො දශ ලක්ෂයකට ජර්මනියෙ දොර ඇරීමෙන් පිරිමහන්ඩ බැරි වරදක් කර ගත්තෙ' දොස්තර හෙළ කුමාර තමන්ගෙ හඬ නැවතත් අවදි කලා.

‘කොහොමද දොස්තර මහත්තයො ඇන්ගලා මර්කල් වරද්ද ගත්තා වෙන්නෙ? '

‘ ඇයි බර්ලින් නුවර ඇටෑක් එක කරේ මෑතකදි ජර්මනියට ආපු ටියුනීසි කාරයෙක් නේද? ' මැරිච්ච හැම කෙනෙක්ගෙම ලේ ඇන්ගලා එයාගෙ අත්වල ගා ගත්තා. එයාගෙ මෝඩ තීරණ නිසා තමයි ජර්මන් කාරයො තිස් ගාණක් නිස්කාරණයෙ මැරුණෙ.'

‘ දොස්තර මහත්තයො .... ISIS එකට හොඳම ගැහිල්ල ගැහුවෙ ඔබාමාවත් පුටින්වත් නෙමෙයි, කැමරන්වත් නෙමෙයි. ජර්මනියෙ ඇන්ගලා මර්කල්. ඒ ගෑණි ඒක කලේ වෙඩි තියලා බෝම්බ දාලා නෙමෙයි. දශ ලක්ෂයක් සරණාගතයින්ට ජර්මනියෙ රැකවරණය දීලා. මෑත කාලයෙදි රටක නායකයෙක් ගත්ත හොඳම තීරණයක් ඒ. ඒක හරියට කැලේ ඉන්න ජිහාඩිස්ට්ලා පිට්ටනියකට ඇරන් ඇවිල්ලා ඒ අය දිහා බලන් ඉන්නව වගේ වැඩක්. ඒ ගොල්ලන්ට කවදාකවත් කෝඩිනේටඩ් ඇටෑක් එකකට යන්න බෑ. හැම එක්කෙන්ගෙම උරහිස උඩින් කවුරුහරි බලන් ඉන්නව. නමුත් බර්ලින් ඇටෑකර් වගේ ‘‘ලෝන්ලි වුල්ෆ්'' කෙනෙක්ට තනියම මොකක් හරි කරන්න පුළුවන්. ඒ තමයි ඒ අයට තනියම කරන්ඩ පුළුවන් උපරිමය. ඔය දශ ලක්ෂයක් මුස්ලිම්වරු එක පරම්පරාවකින් මැකිලා යනවා. ඒක ඔවුන්ට තේරෙන්නෑ. අන්තිමට ඉතුරු වෙන්නෙ මුස්ලිම් නමක් තියෙන ජර්මන් කාරයෙක්. ත්‍රස්තවාදීන් කියන අය අම්මගෙ බඩෙන් බිහි වෙන්නෑ. ඒ අය බිහි කරන්නෙ පවතින දේශපාලන සමාජ වටපිටාව. මිනිස්සු ප්‍රචන්ඩත්වයට පෙළඹෙන්නෙ විකල්පයක් නැති වුනාම. ජීවිතේ විකල්ප තියෙන කොට මිනිස්සු මරාගෙන මැරෙන්න යන්නෑ. හරියටම ඇන්ගලා මර්කල් කරපු එක අර්ථ දැක්වුවොත් ඒකට කියන්න වෙන්නෙ කල්චරල් ක්ලෙන්සින් ( Clutural Cleansing ) කියල. ඒක Ethnic cleansing එකේ අනික් පැත්ත.' තේරෙනවද දොස්තර මහත්තයො ඕව නිකං බෑ. අඩුගානෙ තව ලන්ඩන් ඩ්‍රයි ජින් බාගයක්වත් ගහන්ඩ ඕනි තේරුම් ගන්න' රංජන් අයියා එහෙම කිව්වෙ හෙල කුමාර දොස්තර මහත්තයගෙ ප්‍රියතම පානය ජින් ඇන්ඩ් ටොනික් නිසා.

හෙල කුමාර දොස්තර මහත්තයත් තවත් ලෝන්ග් ග්ලාස් එකක් ඕඩර් කරල. ආයිත් රංජන් අයියා දිහාවට හැරුණා.

‘මට නම් තේරුම් ගන්න බෑ මිස්ටර් රංජන් ඇන්ගලා මර්කල්ගෙ ස්ට්‍රැටර්ජි එක. මට හිතෙන්නෙම ඇන්ගලා ලෝක විනාශයක් කර ගත්තෙ කියලා. බ්‍රෙක්සිට් එක නිසා යන්තම් අපි බේරුණා. නැත්තන් ඔය දශ ලක්ෂෙන් බාගයක් නවතින්නෙ UK වල'

‘එහෙම ආවනම් කොච්චර හොදද?' කියමින් බාර් මෑන් කතාවට එක්කහු වුණා.

‘දොස්තර මහත්තයෝ ඔය ගොල්ලන්ගෙ කාලෙ වගේ නෙමෙයි අද. අද මේ ලෝකෙ තියෙන වටිනාම සම්පත තමයි මානව සම්පත. අනෙක් සම්පත් වලට නියම වටිනාකම ලබා දෙන්නෙ මානව සම්පත විසින්. ඇන්ගලා නෝනා තමන්ගෙ රටේ රැකවරණය දීපු මිනිස්සුන්ගෙන් බාගෙට බාගයක් ඉකොනොමිකල් මයිග්‍රන්ට්ලා. එහෙම නැත්තන් ආර්ථික සරණාගතයො. ඒ මිනිස්සු තමන්ගෙ ජීවිත පරදුවට තියලා පුංචි ඩිංගි බෝට්ටුවල මධ්‍යධරණී මුහුද තරණය කරගෙන යුරෝපෙට එන්නෙ සෞභාග්‍යමත් දිවියක් හොයාගෙන. ඒ මිනිස්සු යුරෝපයේ රටවල ආර්ථිකයන්ට බරක් වෙන්නෙ ටික කාලයක් විතරයි. ටික කාලෙකින්ම ඒ මිනිස්සු තමන්ගෙ දෙපයින් හිට ගන්නවා. වැඩ කරලා බදු ගෙවනව. ඒ මිනිස්සු ගෙවන බදු මුදල්වලින් තමයි ඒ අයට බැණ බැණ ගෙදරට වෙලා බියර් බිබී ටී වී බල බල ඉන්න කාලකණ්නි සුද්දන්ට ඩෝල් එක නැත්තන් බෙනිෆිට් ගෙවන්නෙ'

රංජන් අයියගෙ කතාව දොස්තර හෙල කුමාර ඇතුළු සියළුම පිරිස් සාවදානව ඇහුම්කම් දීගෙන ඉන්නවා. රංජන් අයියා කතාව නවත්තන්නෙ පයින්ට් එකක් ඉවරවෙලා සිගරැට් එකක් බොන්න එළියට යන වෙලාවට විතරයි. ඒ කියන්නෙ සිගරැට් බ්‍රේක් එකට විතරයි. එතකොට කට්ටියම එයාගෙ පස්සෙ යන්නෙ සිගරැට් බොන්න. කට්ටියම එළියට ඇවිත් සිගරැට් බොන ගමන් සීතල මකාගෙන උණුසුම් වෙන්න කතා කරන්නෙ ලංකාවෙ දේශපාලනය.

‘මං නම් හිතන්නෙ දැන් ලෝකෙ තියෙන තත්වය ආයිත් මහින්දාගමනයකට පාර කපනව කියල' අමරෙ අය්යා හිස් අවකාශයට දුම් වළලු පිට කරමින් කියනවා.

‘නෑ මහින්ද කියන්නෙ ජාතිවාදියෙක්ට වඩා අවස්ථාවාදියෙක්. මේ සිද්ධ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න මහින්දට මොලයක් නෑ. මහින්ද කියන්නෙ වැල යන අතට මැස්ස ගහන මිනිහෙක්. මිනිහට තියෙන්නෙ දේශපාලන ඉවක් මිසක් දේශපාලන දර්ශණයක් නෙමෙයි. චම්පික රණවක කියන්නෙ 21 වන සියවසට අවශ්‍ය දර්ශණය තියෙන මිනිහෙක්. හැබැයි අමු ජාතිවාදියෙක්. රනිල් වික්‍රමසිංහ කියන්නෙ හිටපු හොද ලිබරල් නායකයෙක්. ‍දැන් ඉන්නෙ මං මුලා වෙලා. හාමුදුරුවරුන්ට අනවශ්‍ය විදිහට රනිල් බයවෙලා ඉන්නෙ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා නිර්භීත ග්‍රාමසේවක කෙනෙක්. හැබැයි එයා දන්නවා මහින්ද රාජපක්ෂට ගේම දෙන්නෙ කොහොමද කියලා. හැම එකාම එපා කියන වෙලාවෙ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තු නාම යෝජනා දීලා හිටපු ජනාධිපති සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කළා. ඒක මෛත්‍රීගෙ සැබෑ විජයග්‍රහණයක්. මහින්ද රාජපක්ෂව දේශපාලනික වශයෙන් සම්පූර්ණයෙන්ම විනාශ කලේ මෛත්‍රී. ඒක තමයි මෛත්‍රී රට වෙනුවෙන් කරපු හොඳම යුතුකම'

බාර් මෑන් විසින් ඉහත උපුටා දැක්වූයේ පබ් එකේ අපේ කට්ටිය ශ්‍රී ලාංකික දේශපාලනය පිළිබඳව දුම්වැටිය අවසන් වන තෙක් දැක්වූ අදහස් කිහිපයකි. ශ්‍රී ලංකාවේ දේශපාලනය ද විනාඩි ගණනක් තුළ අලු බවට පත්වන දුම්වැටියක් යැයි බාර් මෑන්ට සිතේ. ඒ ආශ්වාද ජනක වුවද මාරාන්තිකය.

ඒ වගත් එසේමයි!
ලන්ඩන් පබ් එකේ සිට සයිබර් අවකාශයට වාර්තා කළේ

බාර් මෑන් වන මම විසිනි.

පහත විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා සම්බන්ධ වන්න
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
පෙර පුවත්

ලන්ඩන් පබ් 08

Top