ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.

”අපි එන පාරේ හමුදා කඳවුරක් තියෙනවා. ඔවුන් ඉඳීවි කියන බය අපිට තියෙනවා. එයාලා අපිට මොකුත් කරයි කියන එක නෙමෙයි. එයාලා ඉඳීම කියන එක හිතට මහා වදයක්. මානසික බියක් දැනෙනවා දකිද්දී.”

කිලිනොච්චියේ කාන්තා සංගමයේ ලේඛම් තවසරී ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියාය. ඒ යුද්ධයෙන් වසර 8ක් ගතවෙලත් වන්නියේ ස්ත්‍රීන් තාමත් මුහුණ දෙමින් සිටින බියකරු අත්දැකීම යි. අද(08)ජාත්‍යන්තර ස්ත්‍රී දිනය ලංකාවේදී විවිද අන්දමින් සමරන අද වැනි දිනක වන්නියේ මිනිසුන් තවමත් ඉල්ලා සිටින්නේ නිදහසය. යුක්තිය ය. නමුත් තවමත් නිදහස, යුක්තිය පසෙකලා තමන් විදින මානසික වේදනාවන් වලට හෝ කිසිදු සහනයක් නොලැබුණත් තවසරී පවසන්නේ දැන් යමක් කතා කරන්න නිදහස තිබෙන බවයි. ‘‘ඉස්සර අපේ ප්‍රශ්න විවෘතව කියන්න පුළුවන් වුණා. යුද්ධෙ කාලේ කාන්තාවන්ට නිදහසක්, ධෛර්යයක් තිබුණා. දැන් එවන් තත්ත්වයක් නැහැ. මෑතකදී සංහිඳියාව කියන වචනයේ පැමිණීමත් සමඟ අපි තරමක් දුරට විවෘතව කතා කරනවා. ඒ අතරතුර කාලය දැඩි පීඩාකාරී වුණා. විවෘතව කතා කරන්න තියා කට ඇරලා කතා කරන්නත් බය වෙලයි හිටියේ.‘‘ ඇය තවදුරටත් පවසයි.
කිලිනොච්චියේ තවසරී සමග පවත්වන ලද සාකච්ඡාවේ සංක්ෂිප්ත සිංහල අදහස
මගේ නම තවසරී. කිලිනොච්චියේ තමයි පදිංචිය. කිලිනොච්චියේ කාන්තා සංගමයේ ලේඛම්. දරුවෝ තුන් දෙනයි.මමයි මගේ අම්මයි විතරයි ගෙදර ඉන්නේ.

අපිට කරදර ඇති වුණේ යුද්දේ අවසන් කාලේ විතරයි. ඊට කළින් අපි ගොඩක් සතුටින් ජීවත් වුණා. හැම රැයකම අපි බය නැතිව පාරේ ගියා. රෑ 12,01 ටත් අපි ගමන් ගියා. කිසිදු බයක් දැනුණෙ නෑ.

ඒ කාලේ අපිට රැකියා තිබුණා. කුඩා පරිමාණයේ සිට ඉහළ පරිමාණය දක්වාම අපිට රැකියා අවස්ථා තිබුණා. ඒත් ආදායම අඩුයි. ඒ වුණත් අපිට එය ප්‍රමාණවත් වුණා.

ඉස්සර අපිට රුපවාහිනී තිබුණේ නැහැ. විදුලි බිල ගෙවන්න ඕන වුණේ නැහැ. ළමයි ඒ කාලේ හොඳට ඉගෙන ගත්තා. ළමයි රෑ පාඩම් වැඩ කරා. අපිට විදුලිය තිබුණේ නැති වුණාට අපේ ළමයි ජෑම් බෝතලයට භූමිතෙල් ටිකක් දාලා පුළුන් වලින් ලාම්පුවක් හැදුවා. ඒ ලාම්පුවට අපි කිව්වේ ‘යුධ කුප්පි ලාම්පුව‘ කියලා. ඒ කුප්පි ලාම්පු එළියෙන් තමයි ළමයි ඉගෙන ගත්තේ. ඒ නිසා ළමයි දැනගෙන හිටියා ඉගෙන ගත්තොත් තමයි ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් කියන එක.
දැන් තත්ත්වය ඉතාම වෙනස්. ෆෝන්,කැරම් ආදී game තමයි දැන් ළමයින්ගේ ජීවිතේ වෙලා තියෙන්නේ. ඉස්සර කිලිනොච්චියේ, ඒ කියන්නේ 2009ට ඉස්සෙල්ලා, හොඳ අධ්‍යාපන මට්ටමක් තිබුණා. ඒ වගේම කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා. ගැහැණියකට මොකුත් කරන්න තියා හිතන්නවත් බෑ ඉස්සර. එවැනි දෙයක් සිදු වුනොත් ඊළඟ දවසෙම නීතිය ක්‍රියාත්මකයි. ඒ නිසාම කවුරුවත් කාන්තාවන්ට හිරිහැර කරන්නේ නැහැ. බයයි. දැන් අවුරුදු 04,05 වයසක දරුවෙකුව වුණත් ගෙදර තියලා යන්න බයයි. කිසිම ආරක්ෂාවක් නෑ දැන්. ඉස්සර අපේ සංස්කෘතීන් තිබුණේ කූට්ට කුඩුම්බම් (විස්කෘථ පවුලක්) ලෙස. නෑකම්,සහෝදරකම්, සෙනෙහස ඒ කාලේ මිනිස්සු අඳුනනවා. දැන් කාව විශ්වාස කරලා දරුවා ව ගෙදර තියලා යන්නද කියලා තේරෙන්නේ නැහැ.

දැන් එළියට යද්දී අපිටත් මොනවදෝ බයක් හිතට දැනෙනවා. ඉස්සර අපි කොළඹ ගිහින් 12,01 ට ආවත් ගෙදර එනකම් ම තනියම එන්න පුළුවන්. ඒ කාලේ ෆෝන් තිබුණේ නැහැ. ඒත් අපි ආරක්ෂා සහිතව ගෙදර ආවා. දැන් එහෙම නිදහසක් නැහැ. ෆෝන් කරලා කාටහරි මගට එන්න කියන්නම ඕන.
අපි එන පාරේ හමුදා කඳවුරක් තියෙනවා. ඔවුන් ඉඳීවි කියන බය අපිට තියෙනවා. එයාලා අපිට මොකුත් කරයි කියන එක නෙමෙයි. එයාලා ඉඳීම කියන එක හිතට මහා වදයක්. මානසික බියක් දැනෙනවා දකිද්දී.

අවුරුදු 52 ක කාලයක හොරකම් කියන්නේ මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. දැන් එහෙම නෙමෙයි. දවල්ට පාරේ යද්දිත් මාල ගලවා ගන්නවා. කළු හෙල්මට් දාගෙන එන්නේ.

ඉස්සර අපේ ප්‍රශ්න විවෘතව කියන්න පුළුවන් වුණා. යුද්ධෙ කාලේ කාන්තාවන්ට නිදහසක්, ධෛර්යයක් තිබුණා. දැන් එවන් තත්ත්වයක් නැහැ. මෑතකදී සංහිඳියාව කියන වචනයේ පැමිණීමත් සමඟ අපි තරමක් දුරට විවෘතව කතා කරනවා. ඒ අතරතුර කාලය දැඩි පීඩාකාරී වුණා. විවෘතව කතා කරන්න තියා කට ඇරලා කතා කරන්නත් බය වෙලයි හිටියේ.

කාන්තාවන් දේශපාලනයට ගෙනා ආ යුතුයි. එතකොටයි ඔවුන්ගේ ගැටළු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ.

යුද්ධෙන් පීඩාවට පත් වුවන් විශාල ප්‍රමාණයක් කිලිනොච්චියේ ඉන්නවා. එයිනුත් කාන්තාවන්ගේ මුලිකත්වයෙන් ජීවත්වන පවුල් සංඛ්‍යාව වැඩියි. කිලිනොච්චියේ 6000 කටත් වඩා පවුල් වල, කාන්තාවන් තමයි ගෘහ මුලිකයා වෙලා තියෙන්නේ. එයාලව ඉදිරියට ගෙන ආ යුතුයි. ස්වයං රැකියා වැනි අවස්ථා උදාකර දිය යුතුයි.

කිලිනොච්චියේ සිටින, ස්වාමි පුරුෂයා නැති කාන්තාවන් මුහුණ දෙන ගැටළු මොනවද?
වැන්දඹු කාන්තාවන් ආර්ථික ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. loans වලින් තමයි ජීවත් වෙන්නේ. ණය ප්‍රශ්න නිසා සියදිවි නසා ගැනීම් වලටත් කාන්තාවන් පෙළඹිලා තියෙනවා. උදව් කරනවා කියලා එන අයගෙන් ඒ කාන්තාවන්ට ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා වැන්දඹු කාන්තාවන් කියන දෙයක් තමයි, “උදව් ඕනෙත් නෑ.කරදර ඕනෙත් නෑ.” කියන එක.

උදව් ඉල්ලන්න ආයතන වලට යන කාන්තාවන්ගෙන් ශාරීරය පවා ඉල්ලනවා. අහන්න කවුරුවත් නැති නිසා ඔවුන්ට මෙවැනි ප්‍රශ්න පවා ඇති වෙලා තියෙනවා. ස්ථීර රැකියාවක් නෑ. ළමයින් බලා ගන්න අවශ්‍ය නිසා රැකියාවන් වලට යෑමත් කරදරකාරීයි.

අතුරුදහන් වූවන්ගේ තත්ත්වය කොහොමද?
අතුරුදහන් වූවන් විශාල ප්‍රමාණයක් මෙහෙ ඉන්නවා. මැරිලා ගිය බව දන්නවානම් ඒත් කමක් නෑ. අතුරුදහන් වුවා කියන්නේ ජීවතුන් අතර ඉන්නවද? නැද්ද? කියා දන්නේ නැති අතරමැදි තත්වයක්. මිනිස්සුන්ට මේක මානසික පීඩනයක්. ඔවුන්ගේ දරුවෝ ඉන්නවද?, නැද්ද? කියලා දන්නේ නැතිව සොයා දෙන්න කියලා අද වනතෙක් මිනිස්සු ඉල්ලා සිටිනවා. අද කතාවක් තියෙනවා අතුරුදහන් වූ අයට මරණ සහතික ලබා දෙන්න යනවා කියලා. මරණ සහතික කොහොමද අපි ලබා ගන්නේ. එයට හා කියනවා මිසක් මින්ස්සු කැමති නෑ අතුරුදහන් වූ අයට මරණ සහතික ගන්න. මිනිස්සු බය වෙනවා මරණ සහතික දීමේ වැඩ පිළිවෙල අතරතුර තමන්ගේ දරුවෝ ජීවතුන් අතර සිටියත් මරලා දාවිදැයි කියලා.

අද කෝවිල් වල දවස් ගණන් උපවාස ඉන්න, කන්නේ බොන්නේ නැතුව හාමත් වෙලා වැටිලා ඉන්න බොහෝ පිරිස් අතුරුදහන් වූ අයගේ අම්මලා, දරුවෝ, බිරින්දෑවරු, සහෝදරයින්. අම්මලා කෝවිල් ගානේ ගිහින් සාත්තර අහනවා දරුවෝ කොහේද ඉන්නේ කියලා දැනගන්න. මිනිස්සු මානසිකව විඳවනවා. යුද්දෙන් දරුවෝ මැරිලා තිබුණ නම් හිත හදාගෙන ඔවුන් ජීවත් වෙනවා. ඒත් අතුරුදහන් වෙලා නිසා ඉන්නවද? නැද්ද? කියා තිබෙන ප්‍රශ්නය සහ ඉන්න ඕන කියන බලාපොරොත්තුව ඔවුන් තුළ තියෙනවා. දරුවෝ ඉඳලත් හොයන්න බැරි වුණා කියන හැගීම නිසා අමලා, තාත්තලා, බිරින්දෑවරු සහ ළමයි ඔවුන්ව හැම තැනම සොයනවා.

http://www.vikalpa.org

Top