1150 x 80 px

කථානායක විසින් නම් කොට උස්සා එළියට දැමු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු

ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තුවට එම මන්ත්‍රීවරුන් පොලීසියේ කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සුවිශේෂී තත්වයකි. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය එවැනි අත්දැකීම් රැසකින් පෝසත්ය. එන්.එම්., පිලිස්, රෝබට්, දහනායක, සුන්දරලිංගම්, රාජරත්න, රිචඩ්, දොඩංගොඩ, ඉෂාක්, ආනන්ද දසනායක, සරත් මුත්තෙට්ටුගම, මෛත්‍රීපාල සිරිසේන වැනි දැවැත්තයින් ද සම සමාජ පක්ෂයේ හා ශ්‍රීලනිප යේ තවත් මන්ත්‍රීවරු රොත්තක්ම මෙයට පෙර පොලිස් කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවතට ගෙන ගොස් ඇත.

 

මාර්තු 8 වන දා දිනේෂ් ගුණවර්ධන පොලිසිය මගින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේ දෙවන වතාවට ය. දහනායක, රොබට්, දිනේෂ් ලා නැවත නැවත එය සිදුව තිබේ. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සටන්කාමීමත්වය හා නොසන්ඩාලකම එකට කැටිවී සිදුවීම් රැසකින් ‘උස්සාගෙන යාමේ පුරාණය’ රසවත්ය. ඉතා දිගු කතාවක් කෙටියෙන් කියමි.

1. 1955 අප්‍රෙල් 5 මොරටුව ලසසප මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි උස්සාගෙන ගිය පළමු මන්ත්‍රීවරයා ය. ‘2500 සම්බුද්ධ ජයන්තිය වැය ශිර්ෂයේ දී ඇති වූ ආරවුල අමතර රු. ලක්ෂ 200 ක් අරමුදලට ලබාදීම සම්බන්ධයෙනි. මාවනැල්ල මන්ත්‍රී කීර්තිරත්න මහතා හා පැටලෙන සෝමවීර චන්ද්‍රසිරි ඉවත් කරන්නට යෝජනා කරන්නේ සභානායක ජේ.ආර්.ජයවර්ධන මහතා ය. යෝජනාවට පක්ෂව 18 ක්, හා විපක්ෂව 3 සිටි බැවින් එදා කථානායක ඇල්බට් පීරිස් මහතා විසින් මොරටුව මන්ත්‍රීවරයා ඉවත් කරන්නට යෝජනා කරයි. මහජන ඡන්දයෙන් ආපු අපිට කාථා කරන්න දෙන්න’ යැයි සෝමවීර කෑගසද්දී වේත්‍රධාරී පැමණි ඔහු ඉවත් කර තිබේ.

2. 1957 ජූනි 19 දින වව්නියාව මන්ත්‍රී සී.සුන්දරලිංගම් (ස්වාධීන) පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේ ඔහුගේ පුටුව පිටින් ඔසවාගෙන ගොසිනි. එදා කථානායක එච්.එම්.ස්මයිල් මහතා ය. සර් ඔලිවර් ගුණතිලක ගේ රාජාසන කථාවේ ගැන ඇති වූ අර්බුදයට ‘දෙමළ ජාතිකවාදයේ ආරම්භක හුදෙකලා සටන්කරුවා’ පැටලෙන්නේ අගමැති බණ්ඩාරනායක සහ සහ විපක්ෂ නායක ඇන්.එම්. ගේ කථා අතර තමන්ටත් විනාඩි 30 ක් ඉල්ලීම නිසාය. සුන්දරලිංගම්, නිදහසින් පසු ලංකාවේ පළමු කැබිනෙට්ටුවේ සාමාජිකයෙකු විය. අතුරු මැතිවරණ ගණනාවකින් ජයගත් පුද්ගලයෙකු වූ ඔහු, ලංකාවේ මුල්ම වරට ස්වාධීන දෙමළ රාජ්‍යයක් සදහා වන ලිඛිත සංකල්පය වන Eylom: Beginning of the Freedom Struggle; Dozens Documents හි කතුවරයා ය.

3. 1956 පෙබරවාරි 12 ලංකා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් එකවර උස්සාගෙන ගිය දිනයයි. එදා සමසමාජය ප්‍රමුඛ මන්ත්‍රීවරු 12 ක් එළියට දමන්නේ අගමැති බණ්ඩාරනායක රජයේ මහජන ආරක්ෂණ පනත් කෙටුම්පත් විවාදය අතරය. අද මෙන් නොව පුරා දින 6 ක් දිවා රාත්‍රී විවාදය පැවැත්වී තිබුණි. අගමැති බණ්ඩාරනායක පෙබරවාරි 12 රැ 7 ට විවාදය අවසන් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන විට එන්.එම්.එයට විරුද්ධවී ඇත. කථානායක එච්.එස්.ඉස්මයිල් කථානායකවරයා එන්.එම්.ඉවත් කිරීමට නියෝග කරනවා. කොල්වින්, රෝබට් ගුණවර්ධන ගේ විරෝධයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වීමෙන් පසුව රාත්‍රී 8.30 පමණ එන්.එම්. පොලීසිය විසින් ඔසවාගෙන යනවා. දෙහිඕවිට එස්මන්ඩ් සමරක්කොඩි, කොල්වින් ආර්.ද සිල්වා, අගලවත්තේ අනිල් මුණසිංහ (ඔසවාගෙන යනවා) ඔසවාගෙන යනු ලබයි. කථානායකවරයා බදුල්ලේ ජැක් කොතලාවල පාර්ලිමේන්තුවෙන් නෙරපා හරිනු ලැබීය. බණ්ඩාරවෙල මන්ත්‍රී වයි.ජී.ජයසිංහ ‘මිනීමරු ආණ්ඩුව’ යැයි කෑගසමින් නම් කිරීමෙන් පසුව පිටත්ව ගොස් ඇත. පොලීසියට හා මිලිටරියට බැන වැදුණු රොබට් ගුණවර්ධන ගේ කථා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නට නියෝග කරන කථානායක රොබට් ද සභාවෙන් ඉවත් කරයි. ‘ධනපති ආණ්ඩුව තුරන් වෙනවා’ යැයි කෑගසන රොබට් ගැන විනෝදශීලි අගමැති බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ දී කියන්නේ මෙවැනි කථාවකි.
a. කෝට්ටේ මන්ත්‍රී ඔසවාගෙන යන විට මට (බණ්ඩාරනායක) හුඩ් ගේ කවියක් සිහියට නැගුණා. ‘’සිහින්වට හැඩ ගැසුණු පැහැපත්ව හා තුරුණු ඔහුව මුදු ලෙස ගන්න, සීරුවට ඔසවන්න’ මගේ සිතුවිලි වලට හඩකැවීමට මෙන් ‘මිරිකන්න එපා. මිරිකන්න එපා යැයි කියා ඔහු කෑගසනු මට ඇසුණි.

ලෙස්ලි ගුණවර්ධන ට පසුව කොල්වින් ආර්.ද සිල්වා. ඉවත් කරන විට ඔහු කෑ ගසා ඇත්තේ ‘සම සමාජ අරගලය වලක්වන්න බෑ’ කියාය. සී.වන්නියසුන්දරම්, එස්.ජේ.වී.චෙල්වනායගම්, වී.අලහකෝන්, එන් ආර්. රාජවරෝඩියම්, විවියන් ගුණවර්ධන, මාවනැල්ල මන්ත්‍රී බෙලිගම්මන එදා උසවාගෙන ගිය, නම් කොට ඉවත් කෙරුණු අනෙක් මන්ත්‍රීවරුන් ය.

4. 1960 නොවැ. 3 දින පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන දෙදෙනා පාර්ලිමේන්තුවෙන් ඉවත් කොට ඇත.

5. 1961 මැයි 25 විජයාන්නද දහනායක ගම් සභා සංශෝධන පනත අවස්ථාවේ දී පැය 5 කට වැඩි කලක් කථා කළ පසුවත් කථානායකවරයාගේ නියෝගය මත සිය කථාව නවත්වා නැත. රෑ එළිවෙන තෙක්ම කථාව පවත්වා පසුවදා එනම්, මැයි 26 උදේ 6.13 ට ත් කථා කරමින් සිටි ඇත. පැය 6 ක් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ලබා දීම පිළිබද මන්ත්‍රී ටී.බී. ඉලංගරත්න ප්‍රශ්ණයක් මතු කිරීමත් සමගම කථානායකවරයාට අවනත නොවූ දහනායක ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ සී.පී.ද සිල්වා සභානායක වරයාටය. වේත්‍රධාරි ආනන්ද ද සිල්වා සමග පැමිණි පොලීසියේ 6 දෙනෙකු කෙසග සිරුරු ඇති දහනායක ඔසවා ගෙන යනවිට ‘මාව බිමින් තියන්න. ගෙනියන්නේ මාව බේරේ වැවට දාන්නද? කියා දහනායක කෑ ගැසූ බව හැන්සාඩ් ගතවී තිබේ. පොලිස් නිලධාරීන් දහනායක මහතා පාර්ලිමේන්තුවේ තාප්පයෙන් පිටතට දැම්මා පමණක් නොව ඔහුගේ කණ්නාඩි දෙක, සෙරෙප්පු හා ෆයිල් ආදිය ද තාප්පයෙන් පිටතටම ගෙනවිත් දමා ඇත.

6. 1961 අගෝස්තු 17 රොබට් හා පිලිප් ගුණවර්ධන දෙදෙනා නැවත වරක් උස්සාගෙන යන ආරවුලකට මැදිවී ඇත. රොබට් ගුණවර්ධන මන්ත්‍රීවරයා එහි දී ඩී.එස්.ගුණසේකර ට තමුන්නාන්සේ උබ්බලකඩයෙක්/හාල්මැස්සා වගේ මෙතන ඉන්න එපා යැයි කියූ විට ‘උම්බලකඩයා’ යන වචනය ඉවත් කර ගැනීමට කථානායක රොබට් ට නියෝග කොට ඇත. රොබට් ‘උම්බලකඩයා’ වචනය ඉවත් කරන්නවාත් සමගම ගාල්ලේ දහනායක කියා ඇත්තේ එය ගරු නාමයක් බැවින් ඉවත් කිරීම අවශ්‍ය නොවන බවයි. මෙහි දී ගැටුමට මැදිවන රොබට් කැලණිය මන්ත්‍රී ආර්.එස්.පෙරේරා ට පුටුවකින් පහරදීමට සුදානම් වී ඇත. ජේ.ආර්.,ඩඩ්ලි ඇතුළු පිරිස ගැටුම බේරා ඇති අතර අවසන් අදියරට පැමිණි ගැටුම තවත් මන්ත්‍රීවරයෙකු විසින් ‘ඇයි ගැහුවේ නැත්තේ? යැයි ඇසීම නිසා’ නැවත ඇවිලී ගොස් ඇත. හදිසි නීති විවාදය අතර සිදුවූ මේ කලබැගෑනියේ දී එදා කථානායක ආර්.එස්.පැල්පොල විසින් රොබට් ට මසකට පාර්ලිමේන්තුව අවසන් කරන ලදී. සභානායක සී.පී.ද සිල්වා ගේ යෝජනාවෙන් එදා රොබට් හා පිලිප් දෙදෙනාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඇත.

7. 1962 නොවැම්බර් 22 දා වැලිමඩ මන්ත්‍රී ජාතික විමුක්ති පෙරමුණේ නායක කේ.එම්.පී.රාජරත්ත ‘අල්ලස් පනත් කෙටුම්පත විවාදයට ගැනීමට යෝජනා කිරීමත් සමග පාර්ලිමේන්තුව තුල කලබැගෑනියක් ඇතිවෙනවා. ඒ සභානායක සී.පී.ද සිල්වා අල්ලස් පනත විවාද කරන්න බෑ කියන නිසයි. ‘කවුද රජා? පගා රජා යැයි’ කෑ ගැසීම ඇරබෙනවා. රාජරත්න මහතා ඉවත් කරන්නට වේත්‍රධාරි ඇතුළු පොලීසියේ 5 ක් උත්සහ දරන අතර ඔහු රැකගන්නට ඉදිරිපත් වන්නේ ස්ටැන්ලි තිලකරත්න, සෝමා වික්‍රමනායක මහත්මිය සහ සිවසිදම්බරම් යන මන්ත්‍රීවරුන් ය. තිස්සමහරාමය මන්ත්‍රී ලක්ෂ්මන් රාජපක්ෂ මහතා සෙන්කෝලේ උස්සන්නට තැත් කළ අතර එස්මන්ඩ් සමරවික්‍රම මහතා පුටුව උඩ නැග මේ කලබැගැනියට එක්වී තිබේ. රොබට් ගුණවර්ධන, සුමනපාල දහනායක, මොන්ටේගු ජයවික්‍රම මන්ත්‍රීවරුන් රාජරත්න රැගෙන යාමට පැමිණි පොලිස් නිලධාරීන්ට පහරදීමත් සමගම පාර්ලිමේන්තුවට පොලිස් බල ඇණියක් ගෙන්වා ගෙන තිබේ. එදා පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට බය නොවු නිසාදෝ පාර්ලිමේන්තුවේ ආසන මතින් දුවගොස් පොලිස් පරීක්ෂකවරයා රාජරත්නව අල්ලා ගෙන ඇත්තේ බිම පෙරලා ගනිමිනි. මන්ත්‍රීවරුන් රගර් මැච් ගහන්න වගේ යැයි කෑගසන්නට වූ අතර සෝමා වික්‍රමනායක සාරි පොටින් රාජරත්න වසාගත්තාය. මේ අතර එක් මන්ත්‍රීවරයෙකු කෑගසා ‘සටන් විරාමයක් යෝජනා කරනවා’ කියා කෑගසන විට තත්වය තරමක් සන්සුන් වී ඇති නමුත්, නැවතත් පොලීසියෙන් පැමීණීමත් සමගම ස්ටැන්ලි තිලකරත්න සටනට පැමිණ ඇත්තේ ගිණි නිවන උපකරණයක් ද රැගෙනය. ඒ වන විටත් රාජරත්න සෝමා වික්‍රමසිංහගේ සාරි පොටේ සැගවී රහසේ එළියට ගිහින් තිබූ බැවින් රගර් පිට්ටනියක් බදු වූ පාර්ලිමේන්තුවෙන් ඔහු ඉවත් කරන්නට පොලීස් නිලධාරීන්ට ඔහු ඔසවාගෙන යන්නට වුනේ නැත.

8. 1965 ආසන්න වකවානුවක ප්‍රින්ස් ගුණසේකර ඔසවාගෙන යාමට හේතු වුනේ පාර්ලිමේන්තුවේ ‘ගැලරිය වසා දැම්මේ ඇයි? යැයි නොනවත්වා හඩ නගන්නටවීමෙන් පසුව සභානායක ජේ.ආර්. ජයවර්ධන ඒ සදහා වන යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුවය. ප්‍රින්ස් ව එලියට දැමීමට එදා දැඩි විරෝධය පළ කොට ඇත්තේ එන්.එම්. පෙරේරා ය.

9. 1966 ජනවාරි 11 පාර්ලිමේන්තුවේ ඇති වී කලබැගෑනියකින් පසුව මොරටුව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මාව ඔසවා දමන්න යැයි ඔහු විසින්ම ඉල්ලා සිටීම නිසා ඔහු ද නම් කොට පොලීසියේ කර පිටින් ඉවත් කොට තිබෙනවා.

10. 1974 මැයි 8 ගාල්ලේ සී.දහනායක ඔසවාගෙන යන්නේ පුවත්පත් නිදහස ගැන නොනවත්වා කථා කරන අතරයි. ස්වාධීන පුවත්පත් සමාගමේ දවස සහ සන් පත්තර සීල් තැබීම ගැන මන්ත්‍රී දහනායක, ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව සමග ගැටුමක ගියේය. සභානායක මෛත්‍රීපාල සේනානායක විසින් යෝජනා කිරීමෙන් පසුව නියෝජ්‍ය කථානායක දහනායක මන්ත්‍රීවරයා නම් කරනු ලැබීය. එදත් පාර්ලිමේන්තුව ගුටි කෙළියක් බවට පත්වී ඇති අතර පොලීසිය පැමිණ දහනායක ඔසවාගෙන ගොස් තිබේ.

11. 1980 ඔක්තෝබර් 16 දින සිරිමා බණ්ඩාරනායක මහත්මිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ කථානායක එම්.ඒ.බාකීර් මාකර් ගේ අණ නොතකා කටයුතු කළ කොත්මලේ මන්ත්‍රී ආනන්ද දහනායක සභාගැඹෙන් ඉවත් කරනු ලැබීය.

12. 1985 ඔක්තෝබර් 25 සරත් මුත්තෙට්ටුවේගම හමුදාවට අතිරේක මුදල් වෙන් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයේ දී සිය අතිරේක කාලය ඉවත් කිරීමට විරෝධය පළ කොට කථානායකවරයාට අවනත නොවීම නිසා නම් කරනු ලැබූවා. සරත් එදා ‘ ජනාධිපතිට ජනාධිපති ධූරය භාවිත කොට වැරදි කරන්න දෙන්න බෑ.’ යැයි කෑගැසු බව හැන්සාඩ් වාර්තා වේ දැක්වේ. සරත් ඉවත් කරන්නට පොලිස් නිලධාරීන් 6 ක් පැමිණි බවත්, එයට එරෙහිව එදා අත්තනගල්ලේ ලක්ෂ්මන් ජයකොඩි සහ මහරගම මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කටයුතු කර තිබුණා.

13. 1987 දී කථානායක ඊ.එල්.සේනානායක මහතා විසින් බෝම්බය පිපිරීමෙන් පසුව පැවති හදිසි නීති විවාදයක දී පක්ෂ නායක රැස්වීමේ එකගතාවයන් බිදිමින් කටයුතු කළ බැවින් අක්මීමන මන්ත්‍රී රිචඩ් පතිරණ ( වෛද්‍ය පතිරණ ගේ පියා), පාර්ලිමේන්තුවෙන් නම් කොට ඉවත් කළේය. පොලීසිය ඔහු ඉවත් කිරීමෙන් පසුව රිචඩ් ගේ සටන කරට ගත් එදා ශ්‍රීලනිප පතාක යෝධයා වූ ද, 1994 දකුණු පලාත් සභා බල පෙරළියේ ප්‍රමුඛයා ද වූ බද්දේගම අමරසිරි දොඩංගොඩ ‘මිනීමරු ආණ්ඩුව ගෙදර යනු යැයි හඩ නැගීය. ඔහුගේ සහායට සිටියේ කොත්මලේ මන්ත්‍රී ආනන්ද දසනායක, දිනේෂ් ගුණවර්ධන, හා අත්තනගල්ල මන්ත්‍රී ලක්මන් ජයකොඩි ය.

14. රිචඩ් පතිරණ ගිය මගම යමින් එදා කථා නායකවරයාට දිනේෂ් ගුණවර්ධන, අමරසිරි දොඩංගොඩ, ලක්ෂමන් ජයකොඩි මන්ත්‍රීවරුන් තිදෙනා ද සභාවෙන් ඉවත් කිරීමට සිදු විය. මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ යෝජනවා එදා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සිදු වූයේ එජාප උතුරු කොළඹ මන්ත්‍රී වින්සන්ට් පෙරේරා අමාත්‍යවරයා ටය. පොලිස් නිලධාරීන් 8 දෙනෙකු පැමිණ ඔවුන් තිදෙනා ඉවත් කරන ලද්දේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හූ හඩ මධ්‍යයේය.

15. එදා පාර්ලිමේන්තුවේ දැවැන්ත එජාපයට එරෙහිව අට දෙනාගේ සටනක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පතාකයෙක් වූවේ මැදකොළඹ මන්ත්‍රී හලීම් ඉෂාක් ය. තම සගයින් සභා ගැඹින් ඉවත් කිරීමෙන් පසුව ඉෂාක් ද සටන අතහැරියේ නැත. ඔහුට ද සිදු වූයේ පොලීසියේ කර පිටින් සභා ගැබින් ඉවතට යන්නටය. කලබැගෑනියෙන් පසුව දකුණේ විපක්ෂයෙන් සභාවේ ඉතිරි වූයේ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර මහතා පමණී. ඔහු හදිසි නීතියට එරෙහිව එකම ඡන්දය දුන්නේය.

16. 1989 පාර්ලිමේන්තුවේ දී ශ්‍රීලනිප යේ බලය වැඩි විය. සටන් කරුවන් බොහෝ විය. ඒ අතර වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ද විය. මෛත්‍රීපාල සිරිසේන ඉවත් කිරීමේ වගකීම ඉටු කළේ රොනී අබේසිංහ සහ විජය පල්ලියගුරු වේත්‍රධාරීන් විසිනි. කැදවාගෙන යන්නට ආ වේත්‍රධාරීන් සමග නොගිය මෛත්‍රී වතුරු වීදුරුවක් බී තම පුටුවේ හරි බරි ගැසී වාඩි වූ බව නදීරා මඩුගල්ල වරක් හැන්සාඩ් ඇසුරෙන් දියත පුවත්පතට ලිව්වේය. ‘’මෛත්‍රී කරමතින් මිස ඇවිදගෙන නම් නොයන බව කිවේ ඔහුගේ සටන් සගයා වූ රිචඩ් පතිරණ ය’’. පොලීසියේ 14 දෙනෙකු මෛත්‍රී ඔසවාගන්නා විට වාසුදේව ‘ආණ්ඩුව භංග වේවා! යියි ද, දී.මු.ජයරත්න ‘ජයවේවා’ යැයි කෑ ගැසු බවත් පාර්ලිමේන්තු වාර්තා පරිශීලනය කරමින් නදීරා ලියූ සටහනේ වේ. පොලිස් නිලධාරීන් ගේ කාකි ඇදුම් මතින් මෛත්‍රී ඉහළට එසවුනේ ‘සුදෝ සුදු නෙළුම්මලක් ලෙස යැයි’ නදීරා තැබූ සටහනේ වේ. (සභා ගර්භයට පොලිස් ලාංඡන, පටි, තොප්පි නැතිව පැමිණෙන නිලධාරීන් දුරට එකම කාකි ඇදුමක් ලෙසත් ඈතට පෙනී ඇත)

17. පසුගිය දා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානයක ලෙස දිනේෂ් ගුණවර්ධන ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිදු වූ සභානායක ලක්ෂමන් කිරිඇල්ල එදා ශ්‍රීලනිපයේ දක්ෂතම කථිකයින් අතර පෙරමුණේ විය. කිරිඇල්ල නොනවත්වා උද්යෝගයෙන් කථා කරන විට එයට බාධා කළේ එජාප පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායකවරුන්ට වැඩිම හිසරදයක් වූ මුස්ලිම් කටයුතු රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.අස්වර් මහතා ය. එදා අස්වර් නියෝජ්‍ය කථානායක ගාමිණී ෆොන්සේකාට කොච්චර කරදරයක් වූවේ ද යත්, ඔහු ද එළියට දැමීමට ගාමිණී පසුබට නොවීය.

18. එකම දවසක මෛත්‍රීපාල සිරිසේන පොලිස් කර පිටින් ද, අස්වර් හා අබුබකර් මන්ත්‍රීවරුන් වටකරගෙන ස්වෙච්චාවෙන් ද සභා ගැබින් ඉවත් විය.

19. කිරිඇල්ලගෙන් පසුව කථා කළ එස්.සෙල්ලසාමිට බාධා කළේ මන්ත්‍රී අබුබකර් ය. නියෝජ්‍ය කථානායක ගාමිණී කළේ ඔහුව ද එළියට දැමීමය. දී.මු. ජයරත්න එදා ශ්‍රීලනිප යේ ආනන්දනීය කථිකයෙකු වූයේ ය. ඔහුට බාධා කළේ මර්වින් ජේ.කුරේ ඇමතිවරයා ය. නියෝජ්‍ය කථානායක ගාමිණී ඔහුට ද නියෝග කළේ සභාවෙන් ඉවත් වන ලෙසය. කොහොමත් නිවුණු පුද්ගලයෙකු වූ මර්වින් ජේ.කුරේ කැමැත්තෙන්ම සභාවෙන් පිටවිය.

20. කිරිඇල්ල, දී.මූ. ගෙන් පසුව සටන ගෙනිච්චේ ඝාතනය වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ය. ඔහු ද සභාවේ ඉවත් කිරීමට ගාමිණී ෆොන්සේකා කටයුතු කළේය. එදා හදිසි නීතිය සම්මත වූයේ මේ ආකාරයට එකවර ආණ්ඩුවේ ද, විපක්ෂයේ ද රොත්තක්ම සභාවෙන් පිටකරමිනි.

මන්ත්‍රීවරුන් කථානායකවරයාට අවනත නොවී හැසිරී ඇති ඉහත අවස්ථා සියල්ලම පාහේ ජාතික වැදගත්කමකින් යුතු අවස්ථාවන් අරභයා ඇති වූ සිදුවීම් බව පැහැදිලිව හදුණාගත හැකිය. ජාතික ප්‍රශ්නය, භාෂා ප්‍රශ්ණය ඒ අතර මුලික විය. හදිසි නීතිය දිර්ඝ කිරීම, නැතිනම් හදිසි නීති විවාද ඒ එදා සම සමාජයේ, 77-94 ශ්‍රීලනිප යේ මන්ත්‍රීවරුන් ඔසවාගෙන යාමට මුලික හේතුව විය. සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම රටක් බලා සිටි මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට එජාපයේ 120 ක් සමග පාර්ලිමේන්තුවේ සටන් කරන්නට තිබූ අසම තරගයක් විය. අල්ලස් පනත ගෙන ඇවිත් රාජරත්න නැටු තොවිලය ‘ලංකා ඉතිහාසයේ පළමු වරට මන්ත්‍රීවරුන්ට විවෘතව පගා චෝදනා එල්ල වූ අවස්ථාව විය.

දැවැන්ත ආණ්ඩු පක්ෂයකට එරෙහිව දුර්වල විපක්ෂයක් පාර්ලිමේන්තුවේ දී කල හැකි කලබැගෑනියක උපරිමය ලෙස කථානායක ගේ අණ නොතකා හැරීම බොහෝ විට සිදුවේ. සුන්දරලිංගම් එදා ඊලමේ හුදෙකලා සටන්කරුවාය. ඔහු තම බලය පෙන්වුවේ නැවත නැවත අතුරු මැතිවරණ හරහා සිය බලය පෙන්වමිනි. බණ්ඩාරනායක අගමැතිට එරෙහිව ලසසප ද එදා හදිසි නිතියේ දී සිටියේ එවැනි ස්ථාවරයකය. ප්‍රින්ස්, රාජරත්න ට ඩඩ්ලිගේ භාෂා ප්‍රතිපත්ති යුගය එවැනිම අසම යුද්ධයක් වූවේය. 77-88 යුගයේ සරත්-රිචඩ්-ආනන්ද-ඉෂාක්-දොඩංගොඩ-දිනේෂ් ද පාර්ලිමේන්තුවේ කළේ යුද්ධයකි. 89 -94 දී එයට අලුතෙන් ජෙයරාජ්-කිරිඇල්ල-මෛත්‍රීපාල වැනි සටන්කරුවන් කිහිප දෙනෙකු එක් වූවා පමණී.

අනෙක් අතට ‘ජාතික ප්‍රශ්නයකට දුර්වල විපක්ෂයකට පාර්ලිමේන්තුවේ සිදු කළ හැකි අවසන් විරෝධය මහා කලබැගෑනියක් ඇති කිරීම’ බව එදා සමසමාජ යෝධයින් පිලිප්, රොබට්, එන්.එම්., එඩ්මන්ඩ්, දහනායක, ඇසුරේ කදිමට හදුණා ගත හැකිය. රාජරත්න, සුන්දරලිංගම් හා දහනායක හමුවේ ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. අනෙක් අතට එය සුක්ෂම සැලසුම්ගත ක්‍රියාවකි. මෛත්‍රීපාල වතුර බී පිටුවේ වාඩිවෙන්නේත්, රිචඩ් අද නම් ‘මෛත්‍රී කරෙන් මිසක් පයින් නොයන බව’ කියන්නේත් අද වගේම වාසු ලා හූ කියන්නේත් ඒ සැලසුම් සහගත අවධානය වෙනුවෙනි. සෝමවීර චන්ද්‍රසිරි ‘මාව උස්සාගෙන යන්න’ කියන්නේත් ඒ නිසාය. උස්සාගෙන යන රොබට් ගැන බණ්ඩාරනායක හුඩ් ගේ කවි කියන්නේ අනික් පැත්තේ උදවිය ද ඒ බව දන්නා නිසාය.

දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය මාර්තු 8 දින පාර්ලිමේන්තුවේ හැසිරුණු ස්වභාවය ලංකා දේශපාලනයට අලුත් දෙයක් නොවේ. එය ලංකා පාර්ලිමේන්තුවේ දැවැන්තයින් මෙයට පෙර ද භාවිත කර තුරුම්බුවකි. දේශපාලන ළදරුවන්ගේ නොව කෛරාටිකයින්ගේ මෙවලමකි.

කරමතින් පාර්ලිමේන්තුවෙන් පිටට ගිය මන්ත්‍රීවරුන් ඒ සදහා පෙළඹවූ සිදුවීම් අතර ජාතික වැදගත්කම තම තම නැන පමණින් විමසා බලා ගැනීම තුල දිනේෂ් ගුණවර්ධන මහතා ගේ භුමිකාවේ සැබෑ වැදගත්කම තේරුම් ගත හැකිය. චතුර සේනාරත්න ගේ මාධ්‍ය අවකාශය දින 5 කට උදුරා ගන්නට වික්ටර් රත්නායකට හැකි විය. දිනේෂ් එය අදට දින තුනක් අඛන්ඩව එය හිමි කර ගනී. දේශපාලනයට ඉතිහාසය තරම් ‘අගයක්’ ලබා දෙන තවත් මිම්මක් නැත. ලංකා පාර්ලිමේන්තුවේ ‘උස්සාගෙන යාමේ පුරාණය’ සිද්ධිවල ‘මුදල් වටිනාකම නොව ‘අගය’ අනුව ඇගයීමකට ලක් වන්නේ ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

Top