Untitled 1

“පාර්ලිමේන්තුව අවලස්සන කිරීම” - චාමර ලක්ෂාන් කුමාර

ජනතා බදු මුදලින් නඩත්තු වන රටේ උත්තරීතර ආයතනය යැයි සැලකෙන පාර්ලිමේන්තුව, මේ වන විට රටවැසියනට නොනවත්වා විහිළු සපයමින් සිටිනුයේ දිනෙන් දින “විනෝද සමය” ජවනිකා මවමිනි.

සැබැවින්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ හාදයන්ගේ රඟපෑම් දෙස බලද්දී ඇනස්ලිලා සැමුවෙල්ලා අද සිටියේ නම් ඔවුන්ට වෙනත් රැකියා සොයා ගැන්මට සිදු වනවා නිසැකය! පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා දේශපාලනඥයන්ට අවස්ථාවක් ලැබෙනුයේ, තමන් කෙරෙහි විශ්වාසය තැබු ඡන්දදායකයන්ට හා රට වෙනුවෙන් සේවය කිරීමටය. “අවංක, ජනතා පුත්‍ර, දෑ හිතකාමි, අදීන, නිහතමානී” යැයි කියා ගනිමින්, මැතිවරණයට පෙර දත් තිස්දෙකම පෙන්වමින් පෝස්ටර්වල පෙනී සිටින සියලු උතුම් මනුෂ්‍ය ගුණාංගවලින් පිරිපුන් බව පිටතට පෙන්වන ඡන්ද අපේක්ෂකයන් ගරු කටයුතු හැසිරීමක නිරත වන බව නිරතුරුව ශපථ කළ ද එය කිසි දිනෙක ප්‍රායෝගික ලෝකය තුළ ඇත්තක් නොවීම කනගාටුදායකය. “දේශපාලනය යනු තක්කඩීන්ගේ සූදුවක්” බව දිගින් දිගටම ශ්‍රී ලංකාව තුළ තහවුරු වෙමින් පවතී. එම සූදුව තුළ සදාචාර නියමයන්ට තැනක් නොමැත. වඩාත් වැදගත් වනුයේ බලයයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායම දින කිහිපයක සිට පාර්ලිමේන්තුව තුළ අල්ලමින් සිටින අඩව්වේ ප්‍රධාන දුක්ගැනවිල්ල වී ඇත්තේ, විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙසය. කපටි දේශපාලනඥයකු වන විමල් වීරවංශගේ ඉල්ලීම පිටුපස වැඩ කරන කාරණය පැහැදිලිය. වෙනම පක්ෂයක් ලෙස හිමි වන පිළිගැනුම හරහා පක්ෂ නායකයකුට හිමි වරප්‍රසාද හිමි කර ගැනුම ඔහුගේ අරමුණ බව තේරුම් ගැනීමට “අර්ස්කින් මේ” කියවිය යුතු නැත. පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය පාලනය කරන රීතිය වන ස්ථාවර නියෝග 23:2 යටතේ ජාතික වැදගත්කමකින් යුක්ත කාරණා මතු කිරීමේ අවස්ථාව පක්ෂ නායකයකුට හිමි වෙයි. දිනයේ විවාදය ඇරැඹීමට පෙර පළමු පැයේ දී ඒ සඳහා ඉඩ හිමිවන අතර සහතිකවම වැඩි අවධානයක් යොමුව ඇති මොහොතක සිදු කරන එබඳු ප්‍රකාශයක් හරහා දේශපාලන වාසියක් අත් කර ගැනීමට ඇති ඉඩ බොහෝය. ප්‍රධාන පක්ෂ දෙකෙන් පරිබාහිරව වත්මන් පාර්ලිමේන්තුව තුළ එම අවස්ථාව හිමිව ඇත්තේ දෙමළ ජාතික සන්ධානය, ඊපීඩිපිය හා ජවිපෙට පමණි. “බුලත් කොළය” ලකුණින් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි විමල් මේ උත්සාහ කරමින් සිටිනුයේ එම වාසිය අත්පත් කරගැනුමටය. එහෙත් ඒ සම්බන්ධ ආසන්නතම පූර්වාදර්ශ ගමන් කරමින් සිටිනුයේ විමල්ට පක්ෂව නොවේ. එජාපයෙන් තරග කර පසුව ආණ්ඩු පක්ෂයට එකතු වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් ද චමල් රාජපක්ෂ මහතා කථානායකවරයාව සිටියදී මෙබඳු ඉල්ලූමක් කළ මුත්, එදා ඒ සඳහා ඉඩ ලැබුණේ නැත. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීම ඇරැඹු පසු ඔහුට ද පක්ෂ නායකයකුගේ තත්ත්වය චමල් රාජපක්ෂ කථානායකවරයා පිරිනැමුවේ නැත. එවැනි පසුබිමක් තුළ ඉතිහාසය ගමන් කරමින් සිටිනුයේ විමල්ලාට වාසිදායක ව නොවේ. ඒ බව දැන දැනම මේ පිළිබඳ ඔවුහු අඛණ්ඩව ඝෝෂා කරමින් සිටිති. අප මීට පෙර සඳහන් කළාක් මෙන් මේ හැම තැනකදීම වැඩ කරනුයේ බලය හා ඒ සමඟ ගැටගැසී ඇති වරදාන, වරප්‍රසාද ආදි කාරණා ය.

දේශපාලන පක්ෂයකට බලය ලබා ගැනීම වැදගත් වුවත් එය කඩිමුඩියේ සිදු කළ නොහැකි ය. එය ජනමතයට ගරු කරමින් ජනවරම අනුව සිදුවිය යුත්තකි. විමල් ඇතුළු පිරිසට බලය අවශ්‍යව ඇත්තේ ජනතාවට සේවය කිරීමට නොවේ. බලය ඇති විට විමල්ලා අපහරණය කළ නිර්ලජ්ජිත ආකාරය පිළිබඳ තොරතුරු මේ වන විට එකින් එක රට හමුවේ අනාවරණය වෙමින් පවතී. ඒ පිළිබඳ වැඩිදුරටත් කථා කරමින් මාතෘකාව වෙනත් දෙසකට ගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැත. සුපැහැදිලිවම බලය මොවුන්ට අවශ්‍ය වී ඇත්තේ වැඩි වැඩියෙන් වරප්‍රසාද භුක්ති විඳීමටය. විපක්ෂයට විසි වූ පසු තමන් වෙතින් ගිලිහුණු වරදාන, වරප්‍රසාද යළි හිමි කර ගැනුමට නම් බලය අත්පත් කරගත යුතු බව ඔව්හු හොඳාකාරවම දනිති. මාළුවාට ජලය නොමැතිව ජීවත්විය නොහැකි සේ විමල්ලාට ද බලයෙන් තොර පැවැත්මක් නොමැත. බන්ධනාගාරය තුළ පවා විමල්ලාට අවශ්‍ය පහසුකම්ය. නිර්ධන පාන්තික දේශපාලනයක් ගැන කථා කරමින් දේශපාලනයේ නිරත වූ විමල්ලා අවම තරමින් සිරගෙදර තුළ දී හෝ අන් සිරකරුවන් හා සම වීමට සූදානම් නොමැත. එහිදීත් ඔහුට අවශ්‍යව ඇත්තේ විශේෂ වූ සැලකීම්ය.

නැති බලතල ඉල්ලමින් රිමාන්ඩ් සිරකරුවකු මුල් කරගනිමින් පාර්ලිමේන්තුව තුළ දියත් වුණු “කැරැල්ල” බදාදා එහි කටයුතු ගිනියම් කිරීමට සමත් විණි. එදින පාර්ලිමේන්තුවේ කටයුතු මුළුමනින්ම අඩාළ කිරීමට තරම් මේ සිදුවීම ප්‍රබල විය. කලින් සූදානම් කරගත් පිටපතකට අනුව එදින රඟ දැක්වුණු “නාටකයේ” විමල්ගේ සහාය නළුවා වූයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනය.

වත්මන් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන දිනේෂ් චන්ද්‍රා රූපසිංහ ගුණවර්ධන, පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණියේ 1983 වසරේ පැවැති මහරගම අතුරු මැතිවරණය ජය ගනිමිනි. එතැන් සිට 1994 - 2000 තෙක් වූ කාල සීමාව හැර අන් සැම අවස්ථාවකම දිනේෂ් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. පොදුවේ ගත් විට ඔහුගේ පාර්ලිමේන්තු නියෝජනය මේ පසුකරමින් සිටිනුයේ විසි අට වන වසරය. බදාදා, පාර්ලිමේන්තුවේදී දිනේෂ් වෙතින් පළවූ හැසිරීම කිසිසේත්ම ඔහුගේ එම සුවිසල් අත්දැකීම් හා කිසිම ලෙසකින් හෝ සමපාත නොවිණි. කෙසේ වෙතත් දිනේෂ්ගේ දේශපාලන ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමක් සිදු කිරීමේදී එවැනි අපේක්ෂාවක් ඔහු වැන්නකුගෙන් බලාපොරොත්තු වීම පවා නිසරු ක්‍රියාවක් බව පෙනෙන්නට ඇත. ඔහුගේ සමස්ත දේශපාලන ඉතිහාසය, පිරී ඇත්තේ එය වසා පැතිර ඇත්තේ බොරුව අවස්ථාවාදය හා රැවටිල්ලය.

පිය පාර්ශ්වයෙන් ලද උරුමයත් සමඟින් මහජන එක්සත් පෙරමුණ හරහා දේශපාලනය ඇරැඹු දිනේෂ් 77 මහ මැතිවරණයේදී අවිස්සාවේල්ල අසුනට මහජන එක්සත් පෙරමුණ යටතේ තරග කළමුත්, ඒ මැතිවරණයේදී රැල්ල තිබුණේ එජාපය සමඟය. දැවැන්ත දිනුමක් එජාපයට හිමි වූ එම මැතිවරණයේදී කැලණි මිටියාවතේ ගුණවර්ධනලාට ඇති සාම්ප්‍රදායික සහයෝගය පමණක් පාර්ලිමේන්තුවට පිවිසීමට ප්‍රමාණවත් නොවීය. තරග කළ පළමු මැතිවරණයෙන් පරාජයට පත් වූ මුත් වසර 06ක් ඇතුළත දිනේෂ් පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ මහරගම අතුරු මැතිවරණය ජය ගනිමිනි. විශාල එජාප මන්ත්‍රීවරු පිරිසක් සමඟ හැප්පීමට පාර්ලිමේන්තුව තුළ එකල විපක්ෂය තුළ සිටියේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පමණි. ශූර සන්නිවේදකයකු වූ දිනේෂ්ට ඒ අතර ස්ථාවර වීමට වැඩි කාලයක් අවශ්‍ය නොවීය. ඒ වන විට අවුරුදු තිස් ගණන්වල පසු වූ දිනේෂ්ට උතුරේ හා දකුණේ මතු වෙමින් තිබු අසහනකාරී තත්ත්වය තම දේශපාලනයේ දිග පළල වැඩි කර ගැනුමට අවස්ථාවක් නිර්මාණය කර දුන්නේය.

ඒ සමයෙහි, විපක්ෂයේ සිටි බොහෝ දෙනකු මෙන් දිනේෂ් ද අඩුවකින් තොරව දේශප්‍රේමය, ජාතිකත්වය අලෙවි කරන්නට විය. සිංහල බෞද්ධ තීරුව තුළ දිනේෂ්ට ඉල්ලුමක් ඇති වග 1989 මහ මැතිවරණයේදී පෙනී ගියේය. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ රටේ පැවැති පළමු මහ මැතිවරණය වූ එහිදී ඡන්ද 76966ක් කොළඹින් මහජන එක්සත් පෙරමුණට වැටි තිබුණු අතර ඉන් 90%කට වඩා ඡන්ද පත්‍රිකාවල දිනේෂ්ගේ අංකය ඉදිරියෙන් කතිරය ලකුණු කර තිබිණි. ඔහු ලැබූ මුළු මනාප ඡන්ද ගණන 70616ක් විය. ප්‍රේමදාස යුගය තුළ දී මහජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුව තුළ සක්‍රීය භූමිකාවක් නිරූපණය කළ ද තීරණාත්මක සුසමාදර්ශි වෙනසක් සිදු වූ 94 මහා මැතිවරණයේදී දිනේෂ්ලාට ‘ඇප’ නැති විණි. ඒ වතාවේදී එකම මන්ත්‍රී අසුනක් හෝ දිනා ගැනුමට නොහැකි වූ ඔවුන්ට මුළු කොළඹින්ම හිමි වූයේ ඡන්ද 42734ක් වූ අතර දිනේෂ්ගේ ඡන්ද බළකොටුව වූ මහරගමින් “රෝදය” ලකුණට වැටී තිබුණේ ඡන්ද 6932ක් පමණි. 1989 දී මහරගමින් ඡන්ද 19152ක් ඔවුන්ට හිමි වූ පසුබිමක එය දැවැන්ත කඩා වැටීමක් ම විය. 1994 මහා මැතිවරණය ජාතිභේදය හා ජාතික සමඟිය අතර සටනක් වූ අතර එහිදී වැඩි වැඩියෙන් ජාතිවාදය ප්‍රවර්ධනය කරමින් දිනුමක් අත්පත් කරගැනුමට දිනේෂ්ලා උත්සාහ ගත්හ. 94 මහ මැතිවරණයේදී දිනේෂ්ලා වැඩිපුර පහර ගැසුවේ පොදු පෙරමුණටය. රට බෙදන්න අවශ්‍ය නම් පොදු පෙරමුණට ඡන්දය දෙන ලෙස කියමින් රට වටා ගිය, දිනේෂ්ලාව දේශපාලනිකව හිස ඔසවමින් සිටි චන්ද්‍රිකා කුමාරණතුංගට එරෙහිව එජාපය හොඳහැටි භාවිත කළේ රාජ්‍ය මාධ්‍ය තුළ පවා ඔවුන්ට ඉඩ ලබා දෙමිනි. 2000 වසරේ “පැකේජය” ඉදිරිපත් වූ අවස්ථාවේදී දකුණේ විශේෂයෙන්ම අග නාගරික ප්‍රදේශවල ඇති වූ සිංහල බෞද්ධ නැඟිටීම් සමඟ දිනේෂ් ගුණවර්ධනලා ද සිටිමුත් එම සමාජ තීරුව තුළ ඔවුන්ගේ “අනෙකා” ඒ වන විට අයිතිය තහවුරු කරගෙන තිබිණි. 2000 අප්‍රේල් මාසයේදී සිහළ උරුමය බිහි වීමත් සමඟ තමන්ගේ “තැන” පිළිබඳ වූ අවිශ්වාසය හා සැකය තුළ 2000 අගෝස්තු 07 වැනිදා පොදු පෙරමුණ හා එකතු වීමට දිනේෂ් ගුණවර්ධනලා තීරණයක් ගත්තේය. මාස කිහිපයකට පෙර දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා මුල් කරගනිමින් චන්ද්‍රිකා පාලනය පට්ට ගැසූ එය වහ කදුරු මෙන් වූ පොදු පෙරමුණට එකතු වීමට දිනේෂ්ලා ගත් තීරණය සාධාරණීකරණය කළ හැකි එකදු හෝ තර්කයක් නොවීය. ඔක්තෝබරයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබු මොහොතක ගත් එම තීරණය තුළ තිබුණේ යළි පාර්ලිමේන්තුවට පිවිසීමට දිනේෂ් ගුණවර්ධන තුළ තිබූ බලකාමය මිස වෙනකක් නොවේ. චන්ද්‍රිකා සමඟ වූ දේශපාලන දීගය දිනේෂ් පාර්ලිමේන්තුවට ගෙන ආවා පමණක් නොව එය ඔහුව ඇමැතිවරයකු බවට ද පත් කළේය. ඉන් අනතුරුව සමයේ ඔහු පොදු පෙරමුණු හා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම් කරන ලදී. රාජපක්ෂ සමයේ සිදු වූ සැම නොපනත්කමක්ම සාධාරණීකරණය කරමින් ඊට සුජාතභාවයක් දුන් දිනේෂ් 2008 ජූනි මාසයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ද පත් විය. 2015 ජනවාරිය තෙක්ම එම වගකීම ඉටු කළ දිනේෂ් තමන්ට පැවරුණු රාජකාරිය “තිතට” කළේ, විපක්ෂ මන්ත්‍රීවරුන්ට, කථා කිරීමට ඇති අයිතිය මුළුමනින්ම අහුරමිනි. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස වරක් කරූ ජයසූරිය මහතා තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කථා කිරීමට ඉඩ නොදී ඇමැති ගුණවර්ධන නොනවත්වා ඊට බාධා කළ ආකාරය මේ ලියුම්කරුට තවම මතකය.

එදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කළ “රාජකාරිය” විපක්ෂයට ගිය පසු අදත් දිනේෂ් ගුණවර්ධන කරමින් සිටීම තුළ පෙනී යන්නේ “කැලේ මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු නොවන” බවය. විපක්ෂයේ හිඳිමින් වැඩි වරප්‍රසාද ඉල්ලමින් කිඹුල් කඳුළු හෙළන සිංහල බෞද්ධ නායකයකු ලෙස පෙනී සිටින දිනේෂ් ගුණවර්ධන 2004 මැයි මාසයේදී ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී ස්වාමින් වහන්සේලාට සභා ගර්භය තුළදී එවකට සිටි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විසින් අඩන්තේට්ටම් කරද්දී ඒ සියල්ල අනුමත කරන ලදී. එහෙව් දිනේෂ්ලා අද විපක්ෂ මන්ත්‍රීන්ගේ වරප්‍රසාද ගැන කථා කිරීමම විහිළුවක්ය. පංච මහා බලවේගයේ කොටසක් වන සංඝයා වහන්සේලා, රටේ උත්තරීතර ආයතනය තුළ ශාරීරික පීඩාවන්ට ලක් කරද්දී ඊට අනුබල සැපයූ රාජපක්ෂලා අද විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අයිතීන් පිළිබඳ උස් හඬින් ඝෝෂා කිරීම යනු අමුම අමු තක්කඩිකමක් බව අප පවසනුයේ එබැවිනි.

පොදුවේ ගත් විට පාර්ලිමේන්තුව තුළ බදාදා ඇති වූ අප්‍රසන්න සිදුවීම තුළ කරුණු කිහිපයක් පිටතට නිරාවරණය වීම සිදුවිණි. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමට මන්ත්‍රීවරු එකසියදාහතර දෙනකු සම්බන්ධ වී නොසිටියහ. එදින පමණක් නොව එය පාර්ලිමේන්තුව තුළ නිරතුරුවම දැකගත හැකි තත්ත්වයකි. පාර්ලිමේන්තුව රැස්වන එක් දිනක් වෙනුවෙන් රුපියල් මිලියන 4.6ක් වැය වන පසුබිමක (අයවැය විවාදයේදී මේ ඉලක්කම තවත් ඉහළ යයි) මන්ත්‍රීවරුන් සභා වාර සඳහා සම්බන්ධ වීම මඟහැරීම හැඳින්වීමට “අපරාධයක්” යන වචනයට වඩා හොඳ යෙදුමක් සිහි නොවේ. බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පුරුදුව සිටිනුයේ තමන්ගේ කථාව පැවැත්වීමට සුළු මොහොතකට පෙර පැමිණ එය අවසන් වූ පසු පාර්ලිමේන්තුවෙන් පිටව යෑමටය. සභා වාරයකට පැමිණීම වෙනුවෙන් රුපියල් 2500ක මුදලක් ගෙවන අතර ඒ සඳහා සුදුසුකම් ලැබීමට, පාර්ලිමේන්තු කටයුතු අවසන් වන තෙක් රැඳී සිටීම අවශ්‍ය නැත. බොහෝ මන්ත්‍රීවරුන් පැමිණීම සලකුණු කර දිවා ආහාරය රැගෙන පිටව යෑම සුලබ දසුනක් වී තිබේ. පසුගිය වසරේ මැයි මාසයේදී පරිපූරක ඇස්තමේන්තුවක් පිළිබඳ ඡන්ද විමසීම සිදු කරද්දී මන්ත්‍රීවරු දෙසීයවිසිපස්දෙනාගෙන් සභාව තුළ රැඳී සිටියේ මන්ත්‍රීවරු හැටතුන් දෙනෙක් පමණි. මන්ත්‍රීවරුන් 161ක්ම සභාවේ සිටියේ නැත. ඒ අවස්ථාවේදී සභා වාර සඳහා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයේ ඇති වැදගත්කම පිළිබඳ සංවාදයක් මතුවූමුත්, තවමත් ඊට නිසි පිළිතුරු හිමිව නොමැති බව බදාදා ඡන්ද විමසීම මඟින් යළි ඔප්පු කරන ලදී.

පාර්ලිමේන්තු වාද විවාද මේ වන විට ඇල්මැරුණු ස්වභාවයක් ගෙන ඇති අතර අදාළ විෂයානුබද්ධ කාරණා පිළිබඳ අවබෝධයක් සහිතව කථා කරන්නන්ගේ හිඟතාවක් පැහැදිලිව දැකගත හැකිය. ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, බර්නාඩ් සොයිසා, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, අනුර බණ්ඩාරනායක, ලක්ෂ්මන් කදිර්ගාමර් වැනි දැවැන්ත පෞරුෂයන් සහිත අතිදක්ෂ කථිකයන්ගේ සේවාව හිමි වූ නිසාම එදා පාර්ලිමේන්තු වාදවිවාද දෙස මුළු රටම උනන්දුවෙන් යුතුව බලා සිටිමුත්, අද කථාව වෙනුවට ඒ තුළ වැඩිපුර ඇසෙනුයේ ඝෝෂා කිරීම්ය. වටිනා පොත් එකතුවක් සහිත පාර්ලිමේන්තු පුස්තකාලය භාවිත කරන මන්ත්‍රීවරයකු අද සොයා ගැනීම නොමළ ගේකින් අබ ඇටයක් සොයනවා වැනි දෙයකි. පුස්තකාලයට වඩා කැන්ටිම මන්ත්‍රීවරු ගැවසෙන ස්ථානයක් වී ඇත. මසකට පාර්ලිමේන්තුව රැස් වනුයේ දින අටක් පමණි. එසේ වෙතත් ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙනුයේ මාස තුනකට වතාවක් පමණි. ඇතැමුන්, මුළු පාර්ලිමේන්තු කාලයටම සභාව අමතනුයේ වරකදී දෙකකදී පමණි. ඔවුන් තම කට අරිනුයේ කෑම ගැනීමට හා ඈනුම් ඇරීමට පමණි. 2016 ජූලි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ manthri.lk වෙබ් අඩවිය නිකුත් කළ වාර්තාවකට අනුව, වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙසීය විසිපස්දෙනා අතරින් මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකු එකදු පාර්ලිමේන්තු විවාදයකට හෝ සම්බන්ධ වී නොතිබුණු අතර, මන්ත්‍රීවරු පස්දෙනෙක් පාර්ලිමේන්තුව තුළ කිසිදු ක්‍රියාමාර්ගයකට සම්බන්ධ වී නොසිටියහ. එබදු දුර්වල වැඩ වාර්තාවක් සහිත පුද්ගල කණ්ඩායමක් සිටින තැනකින් බදාදා සිදු වූ අන්දමේ “කෝලම්” අනිවාර්යයෙන්ම ඉදිරියටත් අපේක්ෂා කළ හැකිය.

 

Top