ගල් අඟුරු බලාගාර මිථ්‍යාව - අශෝක අභයගුණවර්ධන

බලශක්‌තිය පදනම් කරගෙන ලෝකයේ ප්‍රමුඛස්‌ථානය ගැනීමට ලොව බොහෝ රටවල් නොනිමි තරගයක යෙදී සිටී. බලශක්‌තිය නවීන ලෝකයේ අත්‍යවශ්‍ය අංගයක්‌ බවට පත් වී තිබීම එයට හේතුවයි. බලශක්‌තිය උත්පාදනය මෙන්ම එය සුරක්‍ෂිත කිරීමද වර්තමානයේ විවාදාත්මක මතෘකා බවට පත් වී ඇත.

සියලු රටවල් සංවර්ධනය කරා යන ගමනේදී බලශක්‌ති මුලාශ්‍ර හා එහි සුරක්‍ෂිතභාවය වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරයි. විශේෂයෙන්ම තිරසර යුගයක්‌ කරා ගමන් කිරීමේදී මෙම ක්‍ෂේත්‍රයේ වැදගත්කම පැහැදිලිවම දක්‌නට ලැබේ. මෙහිදී විදුලිබලය පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු වන අතර එය නිෂ්පාදනයේදී මෙතෙක්‌ ප්‍රමුඛ ස්‌ථානය ගෙන සිටින්නේ පොසිල ඉන්ධනයි. (ගල් අඟුරු හා ඛණිජ තෙල්) ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින විදුලිබල ඉල්ලුම හමුවේ පොසිල ඉන්ධන කෙරෙහි තව දුරටත් විශ්වාසය තැබීමට නොහැකි තත්ත්වයක්‌ උදා වී ඇත. එයට ප්‍රධාන හේතු කිහිපයක්‌ බලපා ඇත. එනම්,

පොසිල ඉන්ධන ශීඝ්‍රයෙන් ක්‌ෂය විම
පොසිල ඉන්ධන භාවිතයේදී පාරිසරික අතින් හානිකර වීම.

ශ්‍රී ලංකාවද මෙකී බල ශක්‌ති අර්බුදයට මුහුණ දෙමින් සිටී. කිසිදු පොසිල ඉන්ධනයකට හිමිකමක්‌ නොමැති අප රටට ඉතාමත් ඉක්‌මනින් පරිසර හිතකාමී වෙනත් බලශක්‌ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය එලඹී ඇත. රාජ්‍ය ප්‍රතිපත්තිවල පවා 100% ක්‌ පුනර්ජනනීය බලශක්‌තිය වෙත යොමු වීමේ අවශ්‍යතාව අවධාරණය කළත් මේ වන විටත් අප භාවිතයට ගන්නේ 10% ක්‌ ජලය මඟින් හා 90% ක්‌ ගල් අඟුරු හා ඩීසල් බලාගාරවලින් උත්පාදනය කරන විදුලියයි. ඒ නිසා ඉතාමත් ඉක්‌මනින් ශ්‍රි ලංකාව තුළ වසර පුරා ලැබෙන හිරු එළියත් නොමඳව ලැබෙන ජල සම්පතත් යොදා ගැනීමට උනන්දු විය යුතුය.

ලෝකය අද ලබාගෙන ඇති ශීඝ්‍ර දියුණුවට මාවතක්‌ කර ගත්තේ සම්පුර්ණයෙන්ම ගල් අඟුරු හා ඛණිජ තෙල් මත පදනම් වූ ශක්‌තියයි. මෙයට වසර 200 ක පමණ ඉතිහාසයක්‌ ඇත. නමුත් මීට දශක දෙක තුනක කාලයක සිට ගල් අඟුරු හා ඛණිජ තෙල් පිළිබඳ වාද විවාද පවතී. මේවා දහනය කරමින් තව කොතරම් කලක්‌ අපගේ මානව ශිෂ්ඨාචාරය පවත්වා ගෙන යා හැකි දැයි ප්‍රශ්න කෙරෙමින් පවතී. ඒ ගැන ඇති වූ මතවාද වාද විවාද නිමා වෙමින් වර්ෂ 2015 දී එක්‌තරා කඩඉම් තීරණ කිහිපයකට එළඹීමට ලෝක නායකයන්ට හැකි විය. ඒ අතරින් මානව ශිෂ්ඨාචාරයට වැදගත් වන තීරණ දෙකක්‌ එළිදැක්‌විණි.

ඉන් පළමුවැන්න වූයේ තිරසාර සංවර්ධන ඉලක්‌ක පිළිබඳ කතිකාවතයි. එක්‌සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ සමුළුව මඟින් ලෝක නායකයන් විසින් මානව ශිෂ්ඨාචාරයේ ගමන් මඟ කෙසේ විය යුතුවේ දැයි පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කරන ලදී. එමෙන්ම එහිදී බලශක්‌තිය මත පදනම්ව ඔවුන්ගේ එකඟත්වය ප්‍රකාශ කරන ලදී. තිරසර සංවර්ධන ඉලක්‌ක වල ප්‍රධානම අංගයක්‌ ලෙස ඔවුන් හඳුන්වා දෙන්නේ බලශක්‌තියයි.

2015 දෙසැම්බර් මස ප්‍රංශයේ පැරිස්‌ නගරයේදී එක්‌සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ මිහිතල සමුළුව පවත්වන ලදී. එමඟින් මානව ඉතිහාසයේ වැදගත් වන තීරණ කිහිපයකට එළඹිණි. එනම් ලෝකයේ රටවල්වලට බලපාන බරපතළ ප්‍රශ්නයක්‌ වන දේශගුණික විපර්යාසයන්ට හේතු වන පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වන බවට එකඟතාවයකට පැමිණීමයි. මෙම කරුණ සම්බන්ධයෙන් මෙතෙක්‌ කලක්‌ දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් අතර කඹ ඈඳීමක්‌ තිබුණි.

නමුත් මේ වන විට මෙම ගැටලුව විසඳීමේ ක්‍රියාමාර්ගයට දියුණු රටවල් ඵලදායි ලෙස එකතු වී ඇති බව පෙනේ. නිදර්ශනයක්‌ ලෙස ඇමරිකා එක්‌සත් ජනපදයේ හිටපු උප ජනාධිපති නොබෙල් සාම ත්‍යාග ලාභි අල්ගෝර් මහතා මෑතකදී පැවති දේශගුණක විපර්යාස හා සෞඛ්‍ය පිළිබඳ විද්වතුන්ගේ සමුළුවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඇමරිකා එක්‌සත් ජනපදයේ අලුතින් ඉදිකිරීමට අපේක්‍ෂා කර සියලු ගල් අඟුරු බලාගාර අත්හිටුවීමට තීරණය කළ බවයි. පවතින ගල් අඟුරු බලාගාරද ක්‍රමානුකූලව වසා දැමීමට තීරණය කළ බව පවසයි. ඊට අමතරව ඉන්දියාව ගල්අඟුරු ආනයනයෙන් වැළකී සිටීමටත් චීනය ගල් අඟුරු බලාගාර ඉවත් කිරීමටත් තීරණය කර ඇත.

සංවර්ධිත රටවල් බලශක්‌ති මුලාශ්‍ර අශ්‍රිතව මෙලෙස පරිවර්තන යුගයක්‌ කරා යන ගමන වසර 2050 දක්‌වා විහිදී යන ලෙස සැලසුම් කර ඇත. එලෙස දීර්ඝ කාලයක්‌ ගැනීමට ඔවුන්ට බලපාන සාධාරණ හේතු ඇත. එනම් මේ වන විට ඔවුන් බලශක්‌තිය ලබා ගන්නේ පොසිල ඉන්ධන යටිතල පහසුකම් මත ඇති කළ බලාගාරවලින්ය. ඒවා ක්‌ෂණිකව ඉවත් කිරීම අපහසු වන අතර ක්‍රමානුකූලව ඉවත් කිරීමට කාලයක්‌ අවශ්‍ය වේ. ඵහෙත් ශ්‍රී ලංකාවට එවැනි ප්‍රශ්නයක්‌ නැත. ඊට අමතරව මෙම රටවලට පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් ලබා ගත හැකි වන්නේ වසරේ සීමිත කාලයක දී පමණි. ඒ නිසා ඒවා ගබඩා කර ගැනිමේ දුෂ්කරතා ද පවති.

නමුත් ශ්‍රි ලංකාව තුළ පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් සුලභව පවතී. නිවර්තන කලාපීය රටක්‌ නිසා වසර පුරාම හිරු එළිය හොඳින් ඇත. ජල ප්‍රභවයන් ද සුලභය. නමුත් අප විසින් මේ කිසිදු ප්‍රභවයක්‌ හරියාකාරව ප්‍රයෝජනයට ගෙන නොමැති බව පෙනේ. විදුලිබලය කෙරෙහි දියුණු රටවල ඉල්ලුම ස්‌ථාවර මට්‌ටමක පවතින අතර දියුණු වෙමින් පවතින රටවල ඉල්ලුම වැඩිවෙමින් පවතී. මෙකී වැඩි වන ඉල්ලුම හමුවේ අලුතින් හඳුන්වා දෙන්නේ කුමන බලාගාරද යන්න තීරණය කළ යුතුය. මෙහිදී පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් මත පදනම් වු බලාගාර සම්බන්ධව ඇති මිල අධික බව විශේෂිත කරුණක්‌ වේ. එය මීට පෙර දශක 02 කට පමණ පෙර සත්‍ය වුවත් 2017 වන විට එකී -මිල අධික යන මතය බිඳ වැටෙමින් පවතී. එනම් පසුගිය වසර 07,08 තුළ සුළං බලාගාරවලට වැය වන වියදම 85% කින් පහළ ගොස්‌ ඇත. සුර්ය බලයෙන් විදුලිය නිපදවීමට යන වියදම 70% කින් පහළ ගොස්‌ ඇත. ඒ අනුව පුනර්ජනනීය බලශක්‌තිය නිපදවීමට යන නිෂ්පාදන වියදම අඩු වෙමින් පවතින බව පෙනේ.

මෙයට ප්‍රධාන හේතුව පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවය භාවිතය වැඩි වන විට නිෂ්පාදන වියදම අඩු වීමයි. නමුත් පොසිල ඉන්ධන භාවිතය වැඩිවන විට නිෂ්පාදන වියදම ද වැඩිවේ. ඒ අනුව අනාගතයේදී පොසිල ඉන්ධන සඳහා යන වියදම වැඩි වන අතර පුනර්ජනනීය බලශක්‌තිය සඳහා යන වියදම අඩු වේ. මෙම කරුණ සම්බන්ධව උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය මගින් 2016 දී අධ්‍යයනයක්‌ කළ අතර එහිදී වඩාත් ලාභදායී වන්නේ කුමන ප්‍රභවයක්‌ද යන්න තීරණය කරන ලදී.

එහිදී අවධාරණය වු කරුණක්‌ වූයේ අප වියදම සැලකිය යුත්තේ අද දවසේ මිල ගණන් අනුව නොවේය යන්නයි. එය වසර කිහිපයක්‌ ඉදිරියට භාවිත වන නිසා එය පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

එහිදී ගල්අඟුරු මත පදනම් වු පොසිල ඉන්ධනවලට වඩා පුනර්ජනනීය බලශක්‌තිය වඩාත් ලාභදායී බව සනාථ විය. එබැවින් තවදුරටත් ගල් අඟුරු භාවිතයෙන් විදුලිබල උත්පාදනය ලාභදායී බව පෙන්වීම මිථ්‍යාවක්‌ මෙන්ම වෙනත් අරමුණක්‌ සඳහා ජනතාව මුලාකිරීමකි. මෙම උත්සාහය සඳහා සාවද්‍ය දත්ත භාවිතය හා අත්‍යවශ්‍ය දත්ත වසන් කිරීම මෙන්ම යල්පැන ගිය ගණිත ක්‍රමවේද භාවිතය ඉතා පැහැදිලිය.

තත්වය එසේ වුවත් පුනර්ජනනීය බලශක්‌තිය ගබඩා කිරීමේ දුෂ්කරතා පවතී. විශේෂයෙන්ම සුළං හා හිරු එළිය ගබඩා කර ගැනීම අභියෝගයකි. එයට විශාල පිරිවැයක්‌ දැරීමට සිදු වේ. නමුත් 2010 සිට මේ දක්‌වා බලන විට ගබඩා කිරීමට යන වියදම 10% කින් පහළ බැස ඇත. එය 2025 - 2030 වන විට තවත් අඩුවනු ඇතැයි උපකල්පනය කරනු ඇත. එමෙන්ම ලංකාව නිවර්තන කලාපීය රටක්‌ බැවින් වසර පුරා පවතින හිරු එළිය ඉතා කෙටි වේලාවකින් ගබඩා කර ගත හැකිය. හිරු එළිය නැති අවස්‌ථාවලදී ජල සම්පතද ඌණ පූරණයක්‌ ලෙස යොදා ගත හැකිය. එමෙන්ම දිවා කාලය තුළ දී පමණක්‌ වූවද සූර්ය බලය භාවිතය ලංකාවට ඉතා වැදගත්ය. මක්‌නිසාද යත් අපි දවල් කලයේදී ද ජල විදුලිය භාවිතා කරන බැවිනි. එමගින් ඉතිරි කරගත හැකි ජල විදුලිය රාත්‍රි කාලයේදී භාවිත කළ හැකිය.

එම නිසා ගල් අඟුරු අඳුරු යුගයෙන් මිදී පුනර්ජනනීය බලශක්‌තිය වෙත අවධානය යොමු කිරීමට කාලය යොමු වී ඇත. ඒ සඳහා නිලධාරිවාදයෙන් මිදී හනමිටි අදහස්‌වලට ගැති නොවී නව ලෝකයට විවෘත විය යුතුය. මේ සම්බන්ධව රජයේ ප්‍රතිපත්ති ද ඉතාමත් පැහැදිලිය. මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව 100% පුනර්ජනනීය බලශක්‌තිය වෙත යොමුවන බවයි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යංශය මගින් දින 100 වැඩසටහන තුළ වසර 2030 දී ශ්‍රි ලංකාව 100% ම දේශීය බලශක්‌තිය මත පදනම් විය යුතු බව සඳහන් කර ඇත. ඒ සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කළ විසඳුම් ඇත. උදාහරණ ලෙස සූර්ය වහළ මිලියනයක්‌ කරා ගමන් කිරීම. සුර්ය උද්‍යාන හැදීම, සුළං බලාගාර හා දර බලාගාර ඉදිකිරීම ආදී කෙටිකාලීන විසඳුම් දැක්‌විය හැකිය. ඒ අනුව ගල් අඟුරු හා තෙල් මාෆියාවට තිත තැබීමට කාලය පැමිණ ඇත. රජය විසින් ඉදිරිපත් කරන දිගුකාලීන විසඳුම් අතර ඉල්ලුම කළමනාකරණය කිරීම හා අරපිරිමැස්‌මෙන් විදුලිය භාවිත කිරීම ප්‍රධාන වේ. මේ අනුව ශ්‍රි ලංකාව බලශක්‌තිය ස්‌වාධිනත්වයක්‌ ඇති කර ගැනීමට නම් පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් පිරිසිදුව භාවිත කළ යුතුය. ඒ තුළින් තිරසර යුගයක්‌ කරා ගමන් කිරීම සනාථ කර ගත හැකිය.

විශාල ගල් අඟුරු නිධි අයත් ඇමෙරිකාව සහ ඔස්‌ට්‍රේලියාව එමගින් ඉවත් වී පුනර්ජනනීය බලශක්‌තිය වෙත යොමුවෙමින් සිටියදී කිසිම ගල්අඟුරු ප්‍රභවයකට හිමිකම් නොමැති ශ්‍රී ලංකාව ඒ ගැන මොහොතක්‌ හෝ කතා කිරීම පුදුමයට කරුණකි. මෙම තත්ත්වයට වගකිව යුතු නිලධාරී පන්තිය වර්ග තුනකට අයත් වේ. පළමු වර්ගය ලෝකය පුරා සිදුවන කිසිම දෙයක්‌ ගැන නොතකා, තම වෘත්තීය ක්‌ෂේත්‍රයට අදාළ ප්‍රවණතා ගැන වුවද නොදන්නා ළිං මැඩි කොටසයි. දෙවන කොටස නුදුරු අනාගතයේදී සිදුවිය හැකි හා නොවැලැක්‌විය හැකි වෙනස හඳුනාගන, එහෙත් ඒ අතර තමන්ගේ පටු අරමුණු සපුරා ගැනීමට කෙසේ හෝ තෙල් හෝ ගල් අඟුරු බලාගාර ස්‌ථාපනයට අර අඳින එම ඉඩකඩ ඇහිරීමට පුනර්ජනනීය බලශක්‌තියට ඇති හැකියාවට අකුල් හෙළන කොටසයි.

ඉතාමත් කනගටුදායක තුන්වැනි කොටස වන්නේ මීට දශක කිහිපයක්‌ පුරා රටේ බලශක්‌ති අනාගතයට ඇති එකම විසඳුම ගල්අඟුරු යයි අනාවැකි පලකළ විශේෂඥයන් කොටසයි. එම තත්ත්වය සහමුලින්ම වෙනස්‌ව ඇති බව ඔවුන්ට පැහැදිළි නමුත් තම පූර්ව නිගමනයන් තව දුරටත් නිරවද්‍ය නොවන බව පිළිගැනීමට තරම් ඔවුන්ට ආත්ම ශක්‌තියක්‌ නොමැති බව පෙනේ. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ එම විශේෂඥයන්ගේ නොඅඩු හැකියාවන් හා විශේෂඥ දැනුම අඳුරු ගල් අඟුරු යුගයක්‌ නොව ප්‍රභාශ්වර පුනර්ජනනීය අනාගතයක්‌ කරා ශ්‍රී ලංකාව ගෙන යැමට යොදා ගැනීමයි.

උපුටා ගැනීම දිවයින පුවත්පත

Top