Untitled 1

ශිෂ්‍ය විඩාවට පත් දරුවන්, දෙමාපියන්ගේ අසාර්ථකත්වයට වන්දි ගෙවිය යුතු නැත - ගාමිණී අක්මීමන

ඔහු (අපි හෙෂාන් යැයි හඳුන්වමු) දීප්තිමත් ශිෂ්‍යයෙකි. වයස 18 ට ආසන්න වන ඔහු, ඊළඟ වසරේදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටිනු ඇත. ඔහු වෛද්‍යවරයෙකු වෙනවා දැකීම දෙමාපියන්ගේ ආශාවයි. ඔහු මහ රවිකිඤ්ඤය වයයි. ටෙනිස් පුහුණුවට යයි. අවදියෙන් සිටින කාලය, කොළඹින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වනු වස්, වෙහෙස මහන්සියෙන් වැඩ කිරීම සඳහා ගත කරයි. එය සුළුපටු දෙයක් නොවේ.

තමාගේ ජීවිතයේ කළ යුත්තේ කුමක්දැයි කිසිවෙකු ඔහුගෙන් අසා නැත. ඔහුගේ පියා එක ලකුණක් අඩු වීම නිසා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට අසමත් වූවෙකි. දැන් ඔහු, නිතර පිටරට යන එන, පවුලේ සැමට සරු ජීවිතයක් සරිකර දියහැකි, සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඒත් ඒ වගේ ද, දොස්තර කෙනෙකු වීම ?

ඔහු 8 ශ්‍රේණියේ රාජකීය ඇකඩමියේ සංගීත විභාගයට ලබන මාර්තුවේ දී වාඩි වෙයි. ඔහු එක දිගටම ඉතා දීප්තිමත් සංගීත ශිෂ්‍යයෙකු වීමේ ශක්‍යතාව හැම අතකින්ම පෙන්වා ඇති මුත්, මේ වන විට ඔහු මැදි වී සිටීන පීඩාව මධ්‍යයේ ඒ දුෂ්කර පරීක්ෂණයෙන් ඔහුට සමත් විය හැකි ද යන වික්ෂිප්ත භාවයට ඔහුගේ සංගීත ගුරුවරයා පත්ව සිටී.

ශිෂ්‍යයාගේ මානසික විඩාව ගැන දැන ගැනීමට උනන්දු වන කෙනෙකු නැත. ඔහුගේ දෙමාපියන්ට අවශ්‍ය කරන්නේ තමන්ගේ ආශාවන්ට අනුව දරුවා කටයුතු කොට සාර්ථක වනු දැකීමටයි. ඉතිං, දරුවාට කරකියාගත හැකි දෙයක් නැත.

ඔහු අපේක්ෂා භංගත්වයට පත්නොවිය යුත්තේ ඇයි ? අපේක්ෂා භංගත්වය සහ තෙහෙට්ටුව යනු දෙවදෑරුම් තත්වයකි. එකක් සිත සමග පොරබදන අරගලයකි. අනික, වඩාත්ම කායික සාධකයකි. එහෙත් එක්තරා අවස්ථාවකින් පසු මේ දෙක එකිනෙක යා වේ. පුද්ගල ගුණය එහිදී හානියට පත්කෙරේ. මේ දරුවා මානසික පීඩාවට පත්ව සිටින්නේ කායික වශයෙන් ඔහු තෙහෙට්ටුවට පත්ව ඇති හෙයිනි. එහෙත් මේ ගැන කතා කිරීමට කිසිවෙකු ඔහුට නැත.

ඔහුට පෙම්වතියක් ද නැත. එය, ඔහුගේ තත්වය තවත් කර්කශ කරවයි. ඔහුගේ දෙමාපියන් බොහෝ සෙයින් ගතානුගතිකය. විනෝද සාදවලට යාමට ඔහුට ඇති අවස්ථා විරලය. ඉඳහිටවත් එවැනි සාදයකට ගියොත්, ඔහුගේ මව රථගාලේ රැඳී සිටිමින් විටින් විට ඔහුට දුරකථනයෙන් කතා කරයි. අප මේ කතා කරන්නේ, විවාහ වීමට නීතියෙන් අවසර ඇති, වාහනයක් පැදවීමට හෝ අහස් යානාවක් පැදවීමට ආශාවක් තිබිය හැකි, තවත් බොහෝ දේවල් කිරීමට කැමැත්තක් තිබිය හැකි, යෞවනයෙකු පිළිබඳවයි.

හෙෂාන්ගේ ජීවිතයේ දවසක් වූ කලී, ඉතා කාර්යබහුල සහ වෙහෙසකර එකකි. පාසල්, ටියුෂන් පංති සහ පාසලේ දුන් වැඩ මැදියම් රැය වන තෙක් කිරීමට ඇති, එනිසාම හරිහමන් නින්දක් නැතිව ගතවන දවසකි. නරකම දවස බදාදාය. පාසල ඇරීමෙන් පසු, සවස 2.30 සිට 7.30 දක්වා, විෂයයන් පහක් ආවරණය කෙරෙන ටියුෂන් පංති තිබේ. ඊළඟට, කෑමෙන් පසු, පාසලේ දුන් ගෙදර වැඩ කිරීමට තිබේ. ඉතිං, සාමාන්‍යයෙන් ඔහුට නින්දට යාමට ලැබෙන්නේ පාන්දර එක පමණ වන විටය. එහෙත් පසුව දාට ටෙනිස් පුහුණුවීම් තිබේ. එය හවස 5.30 ට ඇරඹෙයි. ඔහුගේ මව පාන්දර 4 ට ඔහුව අවදි කරවයි.

පොතපත පාඩම් කිරීම සහ පැය තුනක පමණක් නින්දෙන් පසු, ඉතා වෙහෙසකර දවසක් ගෙවා දමන මේ දරුවා ඊළඟ දවසේත් නැවත පාසලට යා යුතුය. මේ සියල්ලට අමතරව, සතියකට වරක් ඇති සංගීත පංතියටත් යා යුතුය. මේ තත්වය තුළ, ළඟ එන අර දුෂ්කර සංගීත පරීක්ෂණය සඳහා අඩු වශයෙන් දවසට පැයක්වත් පුහුණු විය යුතුව තිබේ. සංගීත ප‍්‍රසංගයක වාදනය කිරීමේ ආශාවක් ඇතොත්, අඩු වශයෙන් දවසට පැය දෙකක්වත් පුහුණු විය යුතුව තිබේ.

එහෙත්, වෙලාව තිබුණත්, ඒ සඳහා වන ශක්තිය තිබුණත්, එසේ කිරීමට හිතක් තවදුරටත් ඔහුට නැත. හෙෂාන් ඉන්නේ ඒ තරමට කෙඩෙත්තුවෙනි. රාජකීය සංගීත පරීක්ෂණයෙන් අසමත් වෙනවාට වඩා, වෛද්‍ය විද්‍යාල ප‍්‍රවේශයෙන් අසමත් වීම භයානකය. ඉතිං ඔහු කරන්නේ, පමණ ඉක්මවා, සීමාව පරයා, වෙහෙස වීමයි. කෑම සඳහා ගෙදර යාමට වෙලාවක් නැති ඔහු බොහෝ විට දවල් කෑම ගන්නේ ආපන ශාලාවකිනි. කෑම සඳහා යමක් සාක්කුවේ පුරවාගෙන පංතියෙන් පංතියට මාරු වීමට ඔහුට සිදුව තිබේ.

වැඩි කල් නොගොස් ඔහු බරපතල රෝගියෙකු වීමට බැරි නැත.

ඉස්සර එසේ නොවුණි. හෙෂාන් සංගීතය උගෙනීමට පටන් ගත් කාලයේ ඔහුගේ මව එය බෙහෙවින් අගය කළාය. ඔහුගේ සංගීත ගුරුවරයා ඔහුව සැළකුවේ තමාගේ දක්ෂතම ශිෂ්‍යයෙකු මෙනි. එහෙත් ප‍්‍රමුඛතා වෙනස් වුණි. සංගීතය ? සංගීතඥයන්ට පෞද්ගලික චැනල් සේවා නැත. ඊටත් වඩා ඔහුගේ පියාගේ යෞවනයේ ලද අධ්‍යාපනික අසාර්ථකත්වය දැන් ඔහු විසින් පිරිමැසිය යුතුව තිබේ. එහිදී මේ දරුවා අබලදුබල කෙනෙකු වුවත්, හිතක් පපුවක් නැති වෛද්‍යවරයෙකු වුවත්, කම් නැත.

අවාසනාව වන්නේ, හෙෂාන්ට ඉතා දක්ෂ ගාන්ධර්වයෙකු වීමට හැකියාව ඇති බව දෙමාපියන්ගෙන් එක්කෙනෙකු හෝ තේරුම් නොගැනීමයි. ලංකාවේ සිටින, ජාත්‍යන්තරය හඳුනන ගාන්ධර්වයන්ගේ ප‍්‍රමාණය අතක ඇඟිලිවලින් ගණන් කළ හැකිය. අපට තව එවැනි ගාන්ධර්වයන් එක් කෙනෙකු, දෙන්නෙකු, පස්දෙනෙකු දහදෙනෙකු හෝ සියදෙනෙකු වුව වැඩි නැත. රටක සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව, එරටේ මූලික සංවර්ධනයේ තරම පෙන්නුම් කරයි. අනිත් අතට, රටක සිටින ගාන්ධර්වයන්ගේ සංඛ්‍යාව, එම රටේ සංස්කෘතික සංවර්ධනයේ තරම පෙන්නුම් කරයි. එය, චීනය, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල් වටහාගෙන තිබේ.

එවැනි රටවල දෙමාපියෝ, තම දරුවන්ගේ එවැනි හැකියාවක් දැක්කොත් කියන්නේ මෙසේ ය: ‘‘ඔයාට උදව් කරන්න අපිට සල්ලි තියෙනවා. ලෝක ප‍්‍රකට සංගීතඥයෙක් වෙලා අපිට ගෞරවයක් අරගෙන දෙන්න.’’ ඒත්, මේ ශ‍්‍රී ලංකාවය.

හෙෂාන් විශිෂ්ඨ ගාන්ධර්වයෙකු බවට පත් නොවනු ඇත. රාජකීය සංගීත ඇකඩමියේ පරීක්ෂණයෙන් ඔහුට විශිෂ්ට දක්ෂතා දැක්වීමට නොහැකි වනු ඇත. එහෙත් ඒ පරීක්ෂණයෙන් ඔහු සමත් වේවි. ඊළඟට ඔහුගේ ජීවිතය, වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ප‍්‍රශ්නයක් බවට පත්වී, සංගීතයට ආයුබෝවන් කීමක් වනු ඇත. ඔහු වෛද්‍යවරයෙකු වශයෙන් සමාජයට එක් වේවි. මුදල් හරිහම්බ කරාවි. (ඔව්, ඇති පදම් හම්බ කරාවි. මුදල යනු කිසි දවසක ඇතිවීමක් නැති දෙයකි) එහෙත් ඔහු සෞන්දර්යාත්මක වශයෙන් කිසි දීප්තියක් නැති, හිතේ නිවනක් නැති පුද්ගලයෙකු වේවි. කිසි දවසක යෞවනයෙකු වශයෙන් ජීවත් වීමට අවස්ථාවක් නොලැබීම ගැන ඔහු කණගාටු වේවි. හෙදියන්ට පාඩුවේ ඉන්න නොදෙන්නේ මෙවැනි වෛද්‍යවරුන්ය.

තමන්ගේ අසාර්ථකතා දරුවන්ගෙන් පිරිමසා ගැනීමට දෙමාපියන් නොබැලිය යුතුය. එහෙත් එය ඔවුන්ට ඒත්තු ගැන්වීමට හැකි ජගතා කවුද ?

2017 මාර්තු 16 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ, ගාමිණී අක්මීමන ලියූ, ‘Student Fatigue Children Should Not Be Forced to make Amends for Parent's Failures’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

ජිනීවා ක්‍රියාවලිය තුළ විදේශීය විනිසුරන් පිළිබඳ දේශපාලනය - ආචාර්ය ජෙහාන් පෙරේරා

Top