“හද පාරන මතකයක් අවදි වීම” - චාමර ලක්ෂාන් කුමාර

ප්‍රමාද වී යුක්තිය ඉටුවීම කෙතරම් සාධාරණ ද යන්න තවමත් විසඳුම් නොමැති ප්‍රශ්නාර්ථයක් වුවද, ඉටු නොවී තිබෙනවාට වඩා පමාවී හෝ එය ඉටු වීම වැදගත්ය. වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවතේ පිහිටා තිබූ නි‍ෙවස හා වෛද්‍ය මධ්‍යස්ථානය පොළොවට සමතලා කළවුන්ට එම අපකීර්තිමත් සිදුවීම සිදුව වසර 09කට පසුව හෝ දඬුවම් හිමිවීම වැදගත් වනුයේ එවැනි පසුබිමකය.

වෛද්‍ය ජෝන්පුල්ලේ මහතාට පහර දී තුවාල සිදු කර, ඔහුගේ නි‍ෙවසට හා වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තබා රුපියල් ලක්ෂ 50කට වඩා වැඩි අනර්ථයක් සිදු කිරීම සම්බන්ධව අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් පස්දෙනා අතරින් චෝදනා 03කට වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනකුට, එකී අධි චෝදනා වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් වසර දහනවයාමාරක සිර දඬුවමක් පැනවීමේ තීන්දුව උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ප්‍රකාශයට පත්කළේ පසුගිය බ්‍රහස්පතින්දාය. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රීවරයකු වූ ආර්. ඒ. අනිල් පුෂ්පානන්ද හා ජේ. එම්. නිමල් ගාමිණී ජයසූරිය යන දෙදෙනාට එසේ දඬුවම් හිමි විණි.

2008 අගෝස්තු 23 වැනිදා, පැවැති උතුරුමැද පළාත් සභා මැතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතු සිදු කළ හැකිව තිබූ අවසාන දිනයේ සිදු වූ මෙම සිදුවීම එක් අතකින් එම මැතිවරණයේ ගති සොබාවන් පෙන්වන කැඩපතක් බඳුය. “කිලිනොච්චි ජයග්‍රහණය” විකුණමින් අවසාන දින කිහිපයේ ශීඝ්‍ර ප්‍රචාරක ක්‍රියාවලියක නිරත වුණ ද 2008 උතුරුමැද පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයට, පහසු කටයුත්තක් නොවීය. එජාපය, එම මැතිවරණය වෙනුවෙන්, මේජර් ජෙනරාල් ජානක පෙරේරාව, මහ ඇමැති අපේක්ෂකයා ලෙස අනුරාධපුරයට එවා තිබූ අතර සටනක් නැති තැන තිබුණු සටනක් නිර්මාණය කිරීමට ඔහු සමත් ව තිබිණි. ඒ වන විට පැවැති රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයන් තොග පිටින් වපුරමින් සිටි “භීෂණය” හමුවේ ඇස්කන් වසාගෙන මර නින්දක පැටලී සිටි එජාප පාක්ෂිකයන්ට ජානක පෙරේරාගේ දේශපාලන ආගමනය විශාල උත්තේජනයක් සපයමින් සිටියේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයන් තම වියරුව එම තත්ත්වය තුළ පෙරටත් වඩා වැඩි කරන්නට විය.

ප්‍රචාරක කටයුතු සිදු කළ හැකිව තිබූ අවසාන දිනයේ නිදහස් සන්ධාන මහ ඇමැති අපේක්ෂකයාගේ අවසාන ප්‍රචාරක රැලිය පැවැතියේ අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේය. එම රැස්වීමට සහභාගිවීමට යමින් සිටි පිරිසක් හරිශ්චන්ද්‍ර මාවතෙහි පිහිටා තිබූ වෛද්‍ය ජෝන්පුල්ලේ මහතාගේ නි‍ෙවසේ සවිකර තිබූ ජානක පෙරේරා මහතාගේ රුව සහිත කටවුටයකට අලාභහානි කිරීම හා ඒ පිළිබඳව මේ කීර්තිමත් වෛද්‍යවරයා ප්‍රශ්න කිරීම මේ අවාසනාවන්ත සිදුවීමේ ආරම්භය විය. ඒ වන විට වසර 40කට වඩා වැඩි කාලයක් අනුරාධපුර ඇතුළු රජරට ජනතාව වෙනුවෙන් වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ රාජා ක්‍රිස්ටෝපර් අලගන් ජෝන්පුල්ලේ මිනිසුන් අතර දුර්ලභ චරිතයක් විය. කරුණාවන්ත බව, ඔහු සමඟ නිරතුරුවම රැඳී සිටි අතර ගිලනුන් හට ප්‍රතිකාර කිරීමේදී හෙතෙම කිසි විටෙක ලාභ සන්තානයෙන් කටයුතු නොකළේ සැබෑ ජීවකයකු මෙනි. ජෝන්පුල්ලේ හොඳ එජාප පාක්ෂිකයෙක් විය. හයෙන් පහක ජනවරමක් සහිතව ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 බලයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් තානාපති රාජකාරි කිරීමට සෝවියට් දේශය වෙත යැවීමට තෝරා ගත්තේ වෛද්‍ය ජෝන්පුල්ලේවය. තෘෂ්ණී යුද්ධය තීරණාත්මක ලෙස පැවැති ඒ සමයෙහි සෝවියට් දේශයේ රාජකාරි සඳහා යැවීමට තෝරා ගැනීමෙන්ම ජෝන්පුල්ලේ හා එජාප නායකයන් අතර තිබු සමිපස්ථ සබඳතාවේ තරම මනාව පැහැදිලි වෙයි. වසර 05කට ආසන්න කාලයක් මොස්කව්හි රාජකාරි කළ ජෝන්පුල්ලේ යළි 1982 දී මෙරටට පැමිණියේය. තමන් සතු අධ්‍යාපනික හා සමාජ, දේශපාලන සබඳතා ඔස්සේ සුවපහසු ජීවන තත්ත්වයකට පහසුවෙන් උරුමකම් කීව ද වෛද්‍ය ජෝන්පුල්ලේ වැඩි ප්‍රියතාවක් දැක්වූයේ රජරට ඉරි තැළුණු පොළොව සමඟ ගැටෙමින් එහි දුප්පත් අසරණ ජනතාවට සේවය කිරීමටය. අනූව දශකයේදී උතුරුමැද පළාත් සභාව ද නියෝජනය කළ ජෝන්පුල්ලේ මහතා වරෙක එහි සෞඛ්‍ය හා දේශීය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය. මේ අවාසනාවන්ත සිදුවීම සිදුවන අවස්ථාවේ හෙතෙම අනුරාධපුර දිස්ත්‍රික් එජාප කළමනාකාරවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

රටේ ශිෂ්ටාචාර තොටිල්ල බඳු වූ අනුරාධපුර පූජා නගරයේ 2008 අගෝස්තු විසි වැනිදා මෙම සිදුවීම සිදුවීමට පැය කිහිපයකට පෙර ජෝන්පුල්ලේ මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන් පුද්ගලයකු ඔහුට මරණ තර්ජන එල්ල කර තිබුණේ, දේශපාලන කටයුතුවලින් වහා ඉවත් වන ලෙස තර්ජනය කරමිනි. මරණය පමණක් නොව ජෝන්පුල්ලේ මහතාගේ සියලු දේපළ විනාශ කරන බවට ද එම පණිවිඩයෙන් කියැවුණි. එහෙත් පැය කිහිපයක් ඇතුළත එය ඇත්තක් වනු ඇතැයි ජෝන්පුල්ලේ මහතා කිසි ලෙසකින් හෝ විශ්වාස කළේ නැත.

ජෝන්පුල්ලේ මහතාගේ නි‍ෙවස ගිනි රකුසාට බිලි වද්දී පොලීසිය ඒ දෙස බලා සිටියා මිසක ගින්න නිවීමට අවම හෝ මැදිහත් වීමක් සිදු කළේ නැත. ගින්න නිවා තත්ත්වය පාලනය කිරීම වෙනුවට ප්‍රහාරකයන්ට ආරක්ෂාව සැපයීමට පොලීසිය කටයුතු කළේය. ඒ යුගයේ අනුරාධපුරයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ කේ. පී. පී. පතිරණ ය. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වූයේ එම්. ආර්. පී. සරත්ප්‍රේමය. සරත්ප්‍රේම, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වූ මුත් ඒ සමයෙහි අනුරාධපුරයේ නීතිය හා සාමය ක්‍රියාත්මක වූයේ සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට අවශ්‍ය ආකාරයටය. ජෝන්පුල්ලේ මහතාගේ නි‍ෙවස අසළ විශාල කලබලයක් සිදු වන බව පවසමින් දුරකථන ඇමතුම් රැසක් අනුරාධපුර පොලීසියට එදින නොනවත්වා ලැබුණු මුත් පුදුමයකට මෙන් ඒ හැම එකකටම පෙරළා ලැබුණේ එකම පිළිතුරකි. “ඒ ගෙදර පාටියක්. එහෙම නැතුව කිසි ප්‍රශ්නයක් නැහැ” පොලීසියෙන් ලැබුණු ඒ ප්‍රතිචාරය අදහාගත නොහැකි තරම් විය. දෙතුන් සියයකට වැඩි කණ්ඩායමක් සමඟ ප්‍රහාරකයන් ජෝන්පුල්ලේ වෛද්‍යවරයාගේ නි‍ෙවසට ගිනි තබද්දී ඒ ස්ථානයට පැමිණි පොලීසිය කිසිවක් නොකර ‍ඒ දෙස බලා සිටි බව ජෝන්පුල්ලේ මහතා පසුව පවසා තිබිණි. පොලීසිය පමණක් නොව ඒ ස්ථානයේ නිදහස් සන්ධානයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු ද සිටි බව මේ සිද්ධිය පිළිබඳ සාක්ෂි දෙමින් එවකට මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි සඳහන් කර තිබිණි. එකල අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රුචිර වැලිවත්ත මහතාගේ නිල මැදිරියේදී ලබාදුන් එම සාක්ෂියේදී නම සඳහන් කළ එම දේශපාලනඥයන් දෙදෙනා වූයේ බර්ටි ප්‍රේමලාල් දිසානායක හා දුමින්ද දිසානායකය. සිද්ධිය වූ ස්ථානයේ වීඩියෝ සාක්ෂි මත පදනම්ව එජාපය ද මේ සම්බන්ධව ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල කළමුත්, ඔවුන් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණේ තම දේශපාලන කීර්තිනාමය විනාශ කිරීමේ අරමුණින් එල්ල කරන එම චෝදනා කිසිදු පදනමක් නැති ඒවා බව කියමිනි.

ජෝන්පුල්ලේ මහතාගේ නි‍ෙවස හා වෛද්‍ය මධ්‍යස්ථානය මුළුමනින්ම ගිනිබත් වීම තුළ ඔහුගෙන් ප්‍රතිකාර ලැබු රෝගීන්ට අදාළ විස්තර, පෞද්ගලික ඔප්පු තිරප්පු, බැංකු ලියවිලි, රජරට හා රටේ ජනතාව වෙනුවෙන් ඒ මහතා කළ දීර්ඝ කාලීන සේවාව වෙනුවෙන් ලැබුණු පෞද්ගලික සිහිවටන යන සියල්ල අළුදූවිලි බවට පත් විණි. ගින්න මුළුමනින්ම නතර වූ පසු එම ස්ථානයට පැමිණි ජෝන්පුල්ලේ මහතා සුන්බුන් පරීක්ෂා කරමින් පැවසුවේ මෙවැන්නකි. “මට වුණා වගේ දෙයක් ඔවුන්ට නොවේවා” අතිදුෂ්කර මොහොතකදීත් මානසික ශක්තිමත්භාවය රඳවා ගනිමින් වියපත් වෛද්‍යවරයා කළ එම ප්‍රකාශය පක්ෂ පාට ජාති ආගම් භේදයෙන් තොරව එම ස්ථානයට රැස්ව සිටි සියලු දෙනාගේ නෙතගට කඳුළක් ගෙන ආයේය. නි‍ෙවස හා වෛද්‍ය මධ්‍යස්ථානය ගිනිබත් වෙද්දී තම ජිවිත ආරක්ෂා කර ගැනීමට ජෝන්පුල්ලේ යුවළට හැකි වූයේ එක් ධෛර්යවන්ත පුද්ගලයකුගේ මැදිහත් වීම නිසාය. සිරීම් තුවාල ලබා සිටි ජෝන්පුල්ලේ වෛද්‍යවරයාව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට ඔහු කටයුතු කළේය.

මේ ගිනි තැබීම ‍හේතුවෙන් නි‍ෙවස හා වෛද්‍ය මධ්‍යස්ථානයට අමතරව ජෝන්පුල්ලේ මහතාගේ නි‍ෙවසේ මිදුලෙහි නතර කර තිබූ 65-1782, HB 7797, KD 9191 යන අංක දරන මෝටර් රථ ඇතුළුව යතුරුපැද හතරක්, ත්‍රිරෝද රථ දෙකක්, මෝටර් රථ දෙකක්, වෑන් රථ තුනක් මුළුමනින්ම විනාශ වී තිබිණි. නඩු විභාගය අතරතුරදී මේ සිදුවීම වූ දිනයේ අසනීප තත්ත්වයේ සිටි තමන් මේ සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වීමට පළමු විත්තිකරු වූ අනිල් පුෂ්පානන්ද අසාර්ථක රංගනයක නිරත වූ මුත්, එය “ව්‍යාජයක්” බව නඩු විභාගයේදී තහවුරු විණි. එසේම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමේදී හා නඩුව අතරතුරදී පොලීසියේ ක්‍රියාකාරිත්වය බලවත් සේ දෝෂ දර්ශනයට ලක් විය. විශේෂයෙන්ම අනුරාධපුර මූලස්ථාන පොලීසියේ උසස් පොලිස් නිලධාරීන් මේ සිදුවීම පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන බලා සිටියදී හියුබට් විදානගමගේ නම් උපපොලිස් පරීක්ෂකවරයා පමණක් සිය රාජකාරිය මැනවින් තේරුම්ගෙන කටයුතු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා විවෘත අධිකරණයේදී අවධාරණය කර තිබිණි. මේ සිදුවීම වූ මොහොතේ සිට හා ඉන් පසු ක්‍රියාකාරිත්වය තුළ පොලීසියේ හැසිරීම දැඩි විවේචනයට බඳුන් විණි. අනුරාධපුර පොලීසිය මේ සම්බන්ධ සිදු කරන පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව කියමින් ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් නම්කරන ලෙස රුචිර වැලිවත්ත මහේස්ත්‍රාත්වරයා සිදුවීම වී දින කිහිපයක් ඇතුළත පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වූ එවකට සිටි ජයන්ත වික්‍රමරත්න පොලිස්පතිවරයා, කුලියාපිටියේ සිටි පොලිස් අධිකාරි රන්ජිත් පද්මසිරි ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා අනුරාධපුරට යවන ලදී. ඒ පිළිබඳව ද මංජුල තිලකරත්න මහතා, තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී අවධාරණය කර තිබුණේ වැලිවත්ත මහේස්ත්‍රාත්වරයාගේ එකී මැදිහත් වීම අගය කරමිනි.

නීතියේ පාලනය බැරැරුම්ව ප්‍රශ්න කළ හදවත කම්පා කළ මේ අපකීර්තිමත් සිදුවීමට යම් සාධාරණයක් මේ තීන්දුවත් සමඟ ලැබී ඇති මුත්, එය භුක්ති විඳීමට ජෝන්පුල්ලේ වැනි ආදරණීය මනුෂ්‍යයකු, හිතවතකු අප අතර මේ මොහොතේ නොමැති වීම නම් සැබැවින්ම කනගාටුදායකය.

Top