1150 x 80 px

බොල්ෂෙවික් විප්ලවයෙන් සාර් රජ පවුලේ සමූල ඝාතනය බොරුවක් ?

බොල්ෂෙවික් විප්ලවයෙන් පසු ඇනස්තාසියා කුමරිය නොහොත් මහ ආදිපාදවරිය සැබවින් ම මරා දැමිණි ද?

ඒ 1918 ජූලි 17 වැනි දින අලුයම 2ට පමණ දෙවැනි නිකොලස් සාර් රජු සහ පවුල යෙකතෙරින්බර්ග් හි පාළු නිවෙසක් තුළ වූ බිම් ගෙයකට ගෙන යන ලදී. ඔහු එන තෙක් එහි බලා සිටියෝ බොල්ෂෙවික්වරුන්ගේ ගිනි අවි ඛණ්ඩයයි.

“නුඹලාගේ ඥාතීන් නුඹලාව බේරාගැනීමට උත්සාහ කළා. නමුත් ඒ උත්සාහයන් අසාර්ථක වුණා. දැන් අපි නුඹලාට වෙඩි තබනවා...” කොමිසාර් යුවරොස්කි නිවේදනය කළේය.

“මොනවා..?” වාඩිකර තිබූ පුටුවෙන් නැඟිට ගැනීමට උත්සාහ කරමින් නිකොලස් සාර් අධිරාජ්‍යයා හට කියාගැනීමට ඉඩ ලැබුණේ එපමණකි. ඔහුගේ ළය හරහා වෙඩි උණ්ඩ කිහිපයක් ගමන් කළේය. ඒ උදෑසන රුසියාවේ අවසන් සාර් රජුගේ වෙඩි කෑ සිරුර සරීනාගේ දෑත් මත නිසල විය.

ඉන්පසු කොමිසාර් පීටර් එර්මකොව්ගේ රිවෝල්වරයෙන් නිකුත් වූ වෙඩි උණ්ඩය සරීනා ඇලෙක්සැන්ඩ්‍රා ෆෙදරොව්නා බිසවගේ වම් කණට ඉහළින් මොළය පසාරු කළේය.

ඉක්බිති මරා දැමුණු සෙසු අය ලෙස ඔවුන්ගේ පුත් වූ හීමෝෆීලියාවෙන් පෙළුණු ඇලෙක්සි කුමරු සහ දියණියන් සිවුදෙනා වූ ඔල්ගා, තතියානා, මාරියා සහ ඇනස්තාසියා ඉතිහාසයට එක් වූහ.

එහෙත් රුසියානු ඉතිහාසඥ වෙනියමින් ඇලෙක්සියෙව් යෝජනා කර සිටින්නේ එසේ කෲර ලෙස ඝාතනය කළ පිරිස අතර, ඇනස්තාසියා මහා ආදිපාදවරිය හෙවත් ඇනස්තාසියා නිකොලියෙව්නා නමැති සාර් දියණිය නොසිටි බවයි.

මේ සංහාරයෙන් පසු තමන් ඇනස්තාසියා කුමරිය බව කියාගත් ගැහැනුන් කිහිපදෙනෙක්ම කරළියට පැමිණ තිබේ. 1920 වසරේ හෙවත් රාජකීයයන් සමූල ඝාතනය කර දෙවසරකට පසු බර්ලින් නගරයේ සිට ඒ බව කියා සිටි ඇනා ඇන්ඩර්සන් ඒ අතරින් ප්‍රධාන ය.

චයිල්කොව්ස්කි සහ මැනහැන් යන නම්වලින් ද හැඳීන්වුණු ඇනා, පසුව අමෙරිකා එක්සත් ජනපදයට ගිය අතර දශක ගණනාවක් යන තෙක්ම තමන් අවසන් රොමනොව් අධිරාජ්‍යයාගේ දියණිය බව කියා සිටියාය.

තීරණාත්මක 1991 වසරේදී බොල්ෂෙවික්වරුන් විසින් ඝාතනය කළ රොමනොව්වරුන්ගේ නින්දට බාධා කෙරිණි. සාරා ගොඩගත් සිරුරු සහ ඇටසැකිලි ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩී එන් ඒ පරීක්ෂණවලට ලක් කෙරිණි.

එහිදී කියැවුණේ එම සිරුරු නියත වශයෙන්ම සාර්, සරීනා සහ ඔවුන්ගේ දරුවන්ගේ බව ය. එපමණක් ද නොවේ. තමන් ඇනස්තාසියා යැයි කී ඇනා ඇන්ඩර්සන්, ෆ්රැන්සිස්කා චැන්ස්කොව්ස්කා නමැති මානසික අසමතුලිතතාවකින් පෙළුණු පෝලන්තයේ කම්හල් සේවිකාවක් යැයි ද එම පරීක්ෂණවලින්ම නිගමනය කෙරිණි.

එහෙත් ඉතිහාසඥ ඇලෙක්සියෙව්, මේ පරීක්ෂණවල ප්‍රතිඵල ගැන මුල පටන්ම සැක කළ කෙනෙකි. ඔහු රජ පවුල පිළිබඳ ඉතා කුඩාම කට කතාවේ සිට යුරෝපා සබඳකම් දක්වා සෑම දෙයක්ම ප්‍රවේසමෙන් අධ්‍යයනය කළේය. රොමනොව් රාජ වංශයේ ජීවමාන ඥාතීහු ද තවමත් සිටිති.

මහා බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු ඒ අතරින් ප්‍රධාන ය. මරා දැමුවා යැයි කියන සරීනා බිසවගේ වැඩිමල් සොයුරිය වූ හෙසේ හි වික්ටෝරියා කුමරිය පිලිප්ගේ මවු පාර්ශ්වයේ මිත්තණියයි.

මේ අතර ඇන්ඩර්සන් හට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ වාර්තාවලට සිට රුසියානු රාජ්‍ය ලේඛනාරක්ෂකාගාරයේ රාජකීයයන් පිළිබඳ අන්තර්ගත සියලු සටහන් ද විමසුමට ලක් කළේය.
එහිදී ඇන්ඩර්සන් සැබවින්ම රුසියානු ආදිපාදවරිය විය හැකි යැයි ඇතැම් වෛද්‍යවරුන් පවා විශ්වාස කර තිබූ බව ඇලෙක්සියෙව් දුටුවේය. ඔහු සිය පොත ට නම දුන්නේ, “ඔබ කවුද, චයිල්කොව්ස්කයා?” (who are you Ms Tchaikovskaya) යනුවෙනි.

ඇනස්තාසියා කුමරියාගේ අස්ථි සහ කෙස් රොදක් යොදාගෙන ඩී එන් ඒ පරීක්ෂණ සිදුකර තිබුණ ද ඒවායේ නිගමන අවසානාත්මක නොවේ යැයි ඔහු එමගින් අවධාරණය කරයි.

බොරුකාරියක් යැයි හංවඩු ගැසූ චයිල්කොව්ස්කයා නොහොත් ඇනා ඇන්ඩර්සන් යනු ඇනස්තාසියා කුමරියට වඩා අඩු කෙනෙක් නොවූ බවට ඔහු සිදුකරන ගෙනහැර දැක්වීම ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් ප්‍රබල යැයි රුසියාවේ සයිබීරියන් ටයිම්ස් පුවත්පත කියයි.

සරීනා ඇලෙක්සැන්ඩ්‍රා අධිරාජිනිය ජර්මනියේ උපන් අයෙකි. මේ නිසා රොමනොව් රජ පවුල යුරෝපය සමඟ සබඳකම් පවත්වමින් සිටි බව අරුමයක් නොවේ. මේ අතර කීර්තිමත් ප්‍රංශ ඉතිහාසඥ මාක් ෆෙරෝ වරක් පවසා තිබුණේ ඇලෙක්සැන්ඩ්‍රා බිසව පමණක් නොව දියණියන් සිවුදෙනාම අවසන් මොහොතේ රටින් පලා ගිය බවයි.

එසේ නම් ක්ෂය රෝගය සැදී මිය ගියා යැයි කියූ ප්‍රංශයේ සිඟිති කුමරු, පසුව කාල් නවුන්ඩොෆ් ලෙස රටින් පිට කළ ආකාරයටම බොල්ෂෙවික්වරුන් ගේ අනුදැනුම ඇතිව හෝ නැතිව රොමනොව් බිසව සහ දරුවන් ද රටෙන් පිට කරන ලද්දේ ද? එය එසේ නම් ප්‍රංශ විප්ලවයේ දී සිදුකළ ලෙසටම අවසන් මාස කිිහිපය තුළ රජු කල් ගෙව්වේ රජ පවුල ලෙස සැරසූ වෙනත් අය සමඟ ද?

ජර්මනිය සහ සෝවියට් දේශය අතර මේ කාලය තුළ හුවමාරු වූ රාජ්‍යතාන්ත්‍රික පත්‍රිකා කිහිපයක් අදටත් රහස්‍ය ලෙස තබාගැනීම ද ඔහුගේ මතය ශක්තිමත් කරයි.

කෙසේ නමුත් වසර 2018 දී ඒවා හෙළිදරව් කිරීමට ජර්මනිය මේ වන විට එකඟ වී සිටියි. එවිට මේ සියල්ල උඩු යටිකුරු වන නව මතයක් පවා එළිදැකීමට ඉඩකඩ තිබේ.

Top