1150 x 80 px

හෝඩියේ සිට අවසානය දක්වා නිදහස් අධ්‍යාපනය ලද වෛද්‍යවරුන්ට පඩි ගෙවන්නේ රජයේ රෝහල්වල පූර්ණකාලීන සේවයේ යෙදීමටයි  - කුසල් පෙරේරා

මේ වෛද්‍යවරුන්ගේ ප්‍රථම සහ වඩාත් පූජණීය වගකීම වන්නේ කුමක්ද? ‘ජනතාවයි’. හෝඩියේ සිට අවසානය දක්වා වන ඔවුන්ගේ අධ්‍යාපනයේ බරපැන දැරුවේ ජනතාව ය.

 

 

මෙය මීට පෙරත් මා කියා තිබේ. එහෙත් නැවත කිව යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය කෑගසන ‘නිදහස්’ අධ්‍යාපනය කියා දෙයක් නැත. රටේ තිබෙන පාසල් 78 ක අධ්‍යාපනයේ වියදම ඒ පාසල්වල ඉගෙනගන්නා දරුවන්ගේ දෙමාපියෝ පෞද්ගලිකවම දරති. අනිත් රජයේ පාසල් සියල්ලේම වියදම දරන්නේ ආණ්ඩුවයි. ඒ මහජනතාවගේ බදු මුදල්වලිනි. දිස්ත්‍රික්ක සහ කලාප කාර්යාල යටතේ පරිපාලනය කෙරෙන පාසල් 10,000 ක් සහ ඒවායේ උගන්වන 217,000 ක් ගුරුවරුන් නඩත්තු කිරීම ස්වේච්ඡා සංවිධානවල බරපැනකින් කළ නොහැකි බව නොකිවමනා ය. මේ සියල්ල සඳහා වසරක් පාසා රුපියල් බිලියන ගණනක මුදලක් වෙන් කිරීමට ආණ්ඩුවට සිදු වෙයි. (එම මුදල ප්‍රමාණවත්ද යන්න වෙනම කතා කළ යුතු දෙයකි).

එබැවින් දැනට සිටින වෛද්‍යවරුන් 18,300 සහ විශේෂඥ වෛද්‍යවරුන් 1700 දෙනාගේ පාසල් අධ්‍යාපනයේ වසර 13 ක් සහ වෛද්‍ය පීඨයේ වසර 5 ක් සඳහා වියදම දැරුවේ කවුරුන්දැ යි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිව හැකිද? ඔවුන්ට වැටුප් ගෙව්වේ කවුද, ලෝක විහිළුවක් වන ‘ඩැට්’ නමින් හැඳින්වෙන දීමනාව ගෙව්වේ කවුද, ඔවුන්ම හදාගන්නා පැය 120 ක අතිකාල වැටුප් සහ වෙනත් අනේක දීමනා ගෙව්වේ කවුදැ යි මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිව හැකිද? ප්‍රධාන නගරවල සුපිරි පාසල්වල ඉගෙනගන්නා ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ගෙවන්නේ කවුදැ යි ඔවුන්ට කිව හැකිද? ඔවුන් ලබා ගන්නා තීරුබදු රහිත වාහනවල එකී තීරුබදු වියදම දරන්නේ කවුදැ යි ඔවුන්ට කිව හැකිද?

ඒ ජනතා මුදල් ය. ඔවුන්ට හිමි සහ අහිමි සකල වරප්‍රසාද පවත්වා ගැනීම සඳහා අවුරුදු පතා රුපියල් බිලියන ගණන් වැය කරන මුදල් ජනතාවගේ ය. තමන්ව හෝඩියේ පංතියේ සිට පාසල් අධ්‍යාපනය අවසානය දක්වාත්, අනතුරුව වෛද්‍ය අධ්‍යාපනයේ අවසානය දක්වාත්, ඉනුත් පසුව රජයේ වෛද්‍යවරුන් වශයෙනුත් ඔවුන්ව නඩත්තු කළ ජනතාවගෙන්ම ඔවුන් ලජ්ජා නැතිව මුදල් අය කරන බව ඔවුන් පිළිගන්නේද? සයිටම් විද්‍යාලයට විරුද්ධ වීමට පෙර ඔවුන් මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය. ජනතා මුදලින් නඩත්තු වන්නේ නම්, සයිටම් විද්‍යාලයට විරෝධය පෑමට කලින්, ‘නිදහස් සෞඛ්‍ය’ සම්බන්ධයෙන් වන ඔවුන්ගේ ස්ථාවරය ඔවුන් ප්‍රකාශ කළ යුතුව තිබේ.

දේශපාලනික අඳබාල ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමීන්ද ඔවුන්ගේ සහචර අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයද අද කෑකෝ ගසන්නේ සාමාන්‍ය ජනතාවට මහත් සේවයක් වන ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සහ ‘නිදහස් සෞඛ්‍ය සේවාවන්’ ප්‍රවර්ධනය කිරීමට නොවේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය කරන්නේ එවැන්නක් නොවේ. දිනපතා දියුණු වන සහ ඉතා ලාභදායී පෞද්ගලික සෞඛ්‍ය අංශයේ පාලනය තම අතේ තබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණය බිහි කිරීමේ ඒකාධිකාරය රාජ්‍ය අංශයට කොටු කිරීම ඔවුන්ගේ අරමුණයි. මාර්තු 24 වැනි සිකුරාදා ‘ඬේලි මිරර්’ පුවත්පතට මා ලියූ ලිපියකින් ඒ ගැන මා විස්තර කොට තිබේ. එම ලිපියේ දී මා මෙසේ ලියා ඇත: “සයිටම් විද්‍යාලයට වෛද්‍යවරුන් බිහි කිරීමට ඉඩ දුන්නොත්, වෙනත් ආයතනත් එවැනිම වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ තිබේ. එසේ වුවහොත්, කාලයක් යන විට, පෞද්ගලික අංශයේ රෝහල් සඳහා අවශ්‍ය පුර්ණ කාලීන fවෛද්‍යවරුන් එකී වෛද්‍ය විද්‍යාලවලින්ම බිහි කෙරෙනු ඇත. එවිට සිදුවන්නේ, රජයේ වෛද්‍ය විද්‍යා පීඨවලින් බිහි කෙරෙන වෛද්‍යවරුන්ගේ අගය පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් වියැකී යාමයි. ඒ නිසාම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පෞද්ගලික අංශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට ඉඩ නොදෙනු ඇත.”

සයිටම් විද්‍යාලය පෞද්ගලික ආයතනයක් වශයෙන් වෛද්‍යවරුන් බිහි කරනවාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාරක ලෙස හතුරු වන්නේ ඒ නිසාම මිස වෙන හේතුවක් නිසා නොවේ. මාර්තු 27 වැනි දා ඔවුන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම්වලින් ඔවුන්ගේ අරමුණ කුමක්ද යන්න සනාථ වෙයි:

1. වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් කළ යුතු අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සයිටම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද තාක්ෂණ වාර්තාව නීත්‍යානුකූල කළ යුතුය.

2. සයිටම් විද්‍යාලය ‘අනුකූලතා සහතිකය’ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ලබාගෙන නැති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අධිකරණයට දැන්විය යුතුය.

3. සයිටම් විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නතර කළ යුතුය.

4. සයිටම් විද්‍යාලය උපාධි පිරිනැමීම නතර කළ යුතුය.

5 ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගන්නා විසඳුමක් හරහා සයිටම් ප්‍රශ්නය නිරාකරණය සඳහා කමිටුවක් පත්කළ යුතුය.

තමන්ගේ ඉල්ලීම්වල සඳහා පාවිච්චි කළ හැකි සුජාත භාවයේ කඩතුරාවක් වශයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැදගත් වෙයි. හොඳයි, මේ කියන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ තත්වය කෙබඳුදැ යි අපි විමසා බලමු. මුලින්ම, එය වැරදි ආකාරයකින් ස්ථාපිත කර ගත් ආයතනයකි. උසස් නියාමන අධිකාරියක සිටින, අදේශපාලනික සහ ස්වාධීන විය යුතු යැයි අපේක්ෂා කරන කිසි විද්වතෙකු, රට ඉදිරියේ ලාභ දේශපාලනික සටන් පාඨ මතුරන්නේ නැත. මන්ද යත්, ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා ඔවුන් මධ්‍යස්ථව සිටිය යුතු බැවිනි. මේ කියන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒ කියන ප්‍රමිතියට අනුගත නැත. කොටින්ම, වර්තමානයේ පවතින ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ ප්‍රශ්නයට විසඳුමක් සඳහා වන ක්‍රියාමාර්ගයක පිළිගත හැකි සාධකයක් නොවිය යුතුය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිත කණ්ඩායමකට සයිටම් වෛද්‍ය පීඨය පිළිබඳ තත්ව පරීක්ෂාවක් කිරීම සඳහා භාර දෙන ලදුව ඔවුන් විසින් ඒ අරභයා 2015 අගෝස්තු මාසයේ ඉදිරිපත් කරන ලද වාර්තාව පවා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වර්තමාන නායකත්වය විසින් හොරට වෙනස් කළ බව කවුරුත් දනිති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ අනිත් අය එකී වාර්තාවට එකඟ නොවුණි නම් ඔවුන් කළ යුතුව තිබුණේ, තමන්ගේ මතය හේතු සාධක සහිතව, වෛද්‍ය සභාවේ විනිශ්චය සඳහා ඉදිරිපත් කිරීමයි. එහෙත්, සයිටම් විද්‍යාලය වෛද්‍ය උපාධි පිරිනැමීමට නුසුදුසු බව පෙන්නුම් කිරීම සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා සෞඛ්‍ය ඇමතිවරයා වෙත ඉදිරිපත් කෙළේ අර වෙනස් කළ වාර්තාවයි. මේ චෝදනාව අද වන තෙක් කිසිවෙකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ නැත.

සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන අවම සුදුසුකම් මොනවාද? 2017 මාර්තු 13 වැනි දා ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ යටතේ ‘ඩීසන්ට් ලංකා 2015 සාමූහිකය’ වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කළ ඉල්ලීමක මම ද එක් පාර්ශ්වකරුවෙක් වීමි. ඒ මගින්, (1) රජරට විශ්ව විද්‍යාලය, (2) රුහුණු විශ්ව විද්‍යාලය (3) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය (4) යාපනය විශ්ව විද්‍යාලය (5) නැගෙනහිර විශ්ව විද්‍යාලය සහ (6) කොතලාවල ආරක්ෂක ඇකඩමියේ වෛද්‍ය පීඨ සඳහා නිර්දේශිත ප්‍රමිතීන් පිළිබඳ තක්සේරු/තත්ව වාර්තා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් අප ඉල්ලා සිටින ලදි.

එහිදී අප එක දෙයක් පැහැදිළිව සඳහන් කෙළෙමු. එනම් අප ඉල්ලා සිටින වාර්තාවන් වනාහී “... ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලිඛිතව සති දෙකකට නොඅඩු කාලයක් දීමෙන් අනතුරුව ඕනෑම වෛද්‍ය විද්‍යාලයක තත්වය සොයා බැලීමට, 1987 අංක 30 දරණ වෛද්‍ය (සංශෝධිත) පනතේ 19 (අ), (ආ) සහ (ඇ) යටතේ එම සභාවට ඇති බලය ප්‍රකාරව සකස් කරන ලද වාර්තාවන්’ විය යුතු බවයි.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනතට අදාළ නීතිය ප්‍රකාරව එවැනි ඉල්ලීමක් ලැබීමෙන් දින 14 ක් ඇතුළත එම තොරතුරු සැපයිය යුතුව තිබේ. එසේ තිබියදී, තොරතුරු ඉල්ලා මෙවැනි ඉල්ලීමක් ලැබුණු බවක්වත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ දක්වා දැනුම් දී නැත. දින 22 ක් ගත වීමෙන් පසුව පවා ඔවුන්ගෙන් කිසි පිළිතුරක් අපට ලැබී නැත. එයින් පෙනී යන්නේ ‘නිර්දේශිත ප්‍රමිතීන්’ තිබේදැ යි සොයා බැලීමට නීතියෙන්ම නියමව තිබියදී පවා ඉහත කී කිසි වෛද්‍ය පීඨයක් ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සොයා බලා නැති බවයි. සමහර විට වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය ප්‍රමිතිය වශයෙන් නිර්ණායක කිහිපයක්, දැන් පැටලී ඇති සයිටම් ප්‍රශ්නය නිසා, මෑතක සිට ඔවුන් සකසාගෙන ඇති. කෙසේ වෙතත්, මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මුළුමණින්ම වගකීම් විරහිතව කටයුතු කොට ඇති බවයි. සයිටම් ප්‍රශ්නයට පිළියම් සෙවීමේ කොන්දේසි ලබා ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරන්නේ මේ වෛද්‍ය සභාවෙන්ද?

අනිත් අතට, අදාළ ප්‍රශ්නයට පිළිගත හැකි සහ වැදගත් විසඳුම් ඉල්ලා සිටීමට තරම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොන තරම් වගකීම් සහගත නීති ගරුක සංවිධානයක්ද? ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම ශිෂ්ට සම්පන්න වෘත්තීය සංවිධානයක් මොන ප්‍රශ්නයකදී වුවත් නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ගෞරවයට මුල්තැන දෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කියන වැදගත් වෘත්තිකයන්ගේ කුලකයට අයත් වන්නේ නැත. ඔවුන් අද ඉල්ලා සිටින්නේ, පාරේ යකා නැටීමට අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයට ඇති ශක්තිය මත පදනම්ව, අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි. තමන්ගේ රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඊට අනුබද්ධිත මොබිටෙල් සමාගමට අයත් අර්ධ-පුහුණු සේවකයන්ට සාපේක්ෂව තමන් අශිෂ්ට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔප්පු කොට තිබේ. අධිකරණ තීන්දු 6 කින් බැටකා සිටින මේ සේවකයන් කවදාවත් එම අධිකරණ තීන්දුවලට පාරේ අභියෝග කෙළේ නැත. ඔවුන් අධිකරණ ශාලා තුළ තම අරගලය ගෙන ගිය අතර නීතියට යටත්ව ප්‍රසිද්ධියේ උද්ඝෝෂණ කළෝය. ඒ විනීත කමට කිට්ටු වීමටවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හැකියාවක් නැත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන්නේ ආත්මාර්ථකාමී සහ ගිජු වෛද්‍යවරුන් ජාතියකි. වෛද්‍ය වෘත්තිය මොන තරම් අශීලාචාර සහ අවෘත්තීය තත්වයකට ඇද වැටී ඇත්දැ යි දැන ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් කියැවිය යුතු ලිපි දෙකක් තිබේ. එකක් වන්නේ, ඔවුන්ගේ වර්තමාන වීරයා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා 2016 අප්‍රේල් 10 වැනි දා ‘සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පතට ලියූ “භයානක වෙදකම” නැමැති ලිපියයි. අනිත් ලිපිය වන්නේ, ඊට ප්‍රතිචාර වශයෙන් 2016 අප්‍රේල් 12 වැනි දා එම පුවත්පතටම මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් ලියූ “වෛද්‍ය දොස් සහ අනවධානය” නැමැති ලිපියයි. වෛද්‍යවරුන් තමන්ගේ වෘත්තීය සහ සදාචාරමය වගකීම් පැහැර හැරීමේ භයානක ප්‍රවණතාවක් වර්ධනය වෙමින් ඇති බව මහාචාර්යවරු දෙන්නාම පෙන්වා දෙති. ඇක්ට් 16 නැමැති කඩඉම් විභාගයට පෙනී සිට වෛද්‍ය වෘත්තියට පැමිණි විදේශ වෛද්‍ය වෘත්තිකයන් අතලොස්සක් හැරුණු කොට, මේ සියල්ලන්, රජයේ වෛද්‍ය විද්‍යාලවලින් පිට වූ වෛද්‍යවරුන් බව මතක තබා ගත යුතුය.

“රෝගීන් කියන කතාවලින්, ඔවුන්ගේ නෑදෑයන් කියන කතාවලින් සහ (හෘද කම්පාවට පත් මගේම ශිෂ්ට සම්පන්න ශිෂ්‍යයන් බොහොමයක් ඇතුළත්) වෛද්‍යවරුන්ගේ කතාවලින්ද උකහාගත් විශාල ‘දැනුමක්’ තිබේ. ලංකාවේ වෛද්‍ය සහ සුවසේවාවන් තුළ සිදුවන බරපතල වෛද්‍ය නොසැලකිල්ල පිළිබඳ සිදුවීම් ගැන, අප කෙරෙහි ඇති දැඩි විශ්වාසය මත පිහිටා මේ අය බොහෝ තොරතුරු පෞද්ගලිකව අපට හෙලිකොට තිබේ. එයින් සමහර කතා මොන තරම් දරුණු ද යත්, ඒවා පැහැදිළිවම ගැනෙන්නේ සාපරාධී නොසැලකිල්ල යන ඝනයටයි.” යනුවෙන් මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් ලියා තිබේ. ඒ ‘බරපතල වෛද්‍ය අනවධානය’ ගැන තවදුරටත් අදහස් දක්වන ඔහු, “ශ්‍රී ලංකාවේ පවතින මේ ‘අන්ධකාර වෛද්‍ය ප්‍රපංචය’ වසා පවතින වෘත්තීය රහස්‍ය භාවයේ තිරයක් ඇති’ බව කියයි. ‘වෘත්තීය රහස්‍ය භාවය’ යනුවෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද? මෙකී වෛද්‍ය නොසැලකිල්ල පිළිබඳ සියලු සිදුවීම් එයින් ඔහු අදහස් කරතියි මම අනුමාන කරමි. සමහර සාපරාධී නොසැළකිලිමත් භාවය නිසා ඇති වන සිදුවීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන වෘත්තීය වෛද්‍ය මණ්ඩල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද උදව්වෙන් ඒවා වසංගනු ලැබෙනවා නොඅනුමානයි. සමහර විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් ඊට රුකුල් දෙනවා ඇති.

මේ බරපතල පිරිහීම නිදහස් වෙළඳ ආර්ථිකයෙන් උත්ප්‍රේරණය වුණු තත්වයකි. මොන ආකාරයකින් හෝ මුදල් උපයා ගැනීමේ අසීමිත තරගය සෑම දෙයකම පිරිහීමට බලපෑවේය. නීතියට අනුව, රජයේ සේවකයන්ට පෞද්ගලික සේවයේ යෙදිය නොහැක. ආයතනය සංග්‍රහය, 2009 පෙබරවාරි මාසයේ ගැසට් කරන ලද රාජ්‍ය සේවා විධිවිධාන සංග්‍රහය සහ 2014 ඔක්තෝබර් 11 වැනි දා ගැසට් කරන ලද සෞඛ්‍ය අංශ සේවා පරිපාටි අනුව, අමාත්‍යාංශයක ප්‍රධානියාගේ අවසරයකින් තොරව රාජ්‍ය සේවකයෙකුට පෞද්ගලික වෘත්තියක යෙදිය නොහැක. චැනල් සේවාව සහ පෞද්ගලික වෛද්‍ය සේවා නිදහසේ සහ ප්‍රසිද්ධියේම කරගෙන යාමට හැකි වුණේ 1978 න් පසු ඇති වූ නිදහස් වෙළදපොළ ප්‍රතිපත්තිය හේතුවෙනි. සීමාවක් නැති නිදහස් වෙළදපොළක් නිසා මේ රටේ සිදුව ඇත්තේ ආයතන සංග්‍රහ සහ රාජ්‍ය සේවා විධිවිධාන, වෙනත් බොහෝ නීති රෙගුලාසි සේම, අක්‍රීයත්වයට පත්ව තිබීමයි. එබැවින් වෛද්‍යවරුන් රජයේ සේවයේ සිටින අතරේම චැනල් සේවා පවත්වාගෙන යාම සහ පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදීම ඔවුන්ගේ ‘අයිතියක්’ වශයෙන් ගැනීමට පුරුදුව සිටිති.

එබැවින්, මේ තත්වයට එරෙහිව ‘රෝහල්වල වාඩි ලා ගැනීම’ ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතු කාලය එළැඹ තිබේ. මහජන මුදලින් පඩි ලබන වෛද්‍යවරුන් පූර්ණ කාලීනව රාජ්‍ය සේවයේ යෙදිය යුතු බව මහජනතාව විසින් එවැනි විරෝධතා හරහා ඔවුන්ට මතක් කර දිය යුතුව තිබේ. වැඩි වැඩියෙන් හම්බ කර ගැනීම සඳහා පෞද්ගලික වෛද්‍ය සේවාව ඔවුන්ට අවශ්‍ය කරයි නම් ඔවුන් කළ යුත්තේ වහාම රාජ්‍ය සේවයෙන් ඉවත් වී පෞද්ගලික අංශයට මාරු වීමයි. අද සයිටම් විද්‍යාලයට විරුද්ධ වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට එකඟ ද?

2017 අප්‍රේල් 7 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ 


Free Education form Start to Finish Doctors are Paid to Work Full Time in Government Hospitals නැමැති ලිපියේ සිංහල පරිවර්තනය 

‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Top