1150 x 80 px

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (4) -ගාමිණී වියන්ගොඩ

මට ඇසීමට ප්‍රශ්න තුනක් තිබේ.පාරේ බසයකට යට වී කෙනෙකු මියගිය විට අසල්වාසීන් කරන්නේ එම බසයට ගිනි තැබීම, අලාභහානි කිරීම සහ රියැදුරාට පහර දීමයි.

මෙය, ශිෂ්ඨ සම්පන්න ක්‍රමයක් නොවේ. ඉන්දියාව වැනි රටක ජාතික කණ්ඩායමේ ක්‍රිකට් තරගයක් පැරදුණු විට එම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ගෙවල් දොරවල්වලට ජනතාව ගල් ගසති. ගිනි තියති. එය ද තිරිසන් ක්‍රියාවකි. ලංකාවේ අර කී රියැදුරාගේ අතින් සිදු වුණා සේම අත්වැරැද්දක් හෝ නොසැළකිල්ලක් හේතුවෙන්, නැත්නම් අර කී ක්‍රීඩකයාගේ අදක්ෂතාව හේතුවෙන් සිදුවුණා වූ පරාජයක් සේ වෛද්‍යවරයෙකුගේ අත්වැරැද්දක්, නොසැළකිල්ලක් හෝ අදක්ෂතාවක් හේතුවෙන් රෝගියෙකු ජීවිතක්ෂයට පත් විට, ලෙඩුන් හෝ ඔවුන්ගේ භාරකාරයන් හෝ මහජනතාව හෝ වෛද්‍යවරයාගේ ගෙට ගල් ගසන්නේවත්, වෛද්‍යවරයාට පහර දෙන්නේවත් නැත. සිදු වූ අත්වැරැද්ද, අතපසු වීම හෝ නොසැළකිල්ල නිසා අර රියැදුරාට හෝ ක්‍රීඩකයාට අත නොතැබිය යුතුවා සේම, මේ වෛද්‍යවරයාට ද මොන තත්වයක් යටතේවත් අත නොතැබිය යුතු බව අවිවාදිත ය. එහෙත්, ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් ඇතැමෙකු තමන්ගේ වෘත්තීය කුලකය වෙනුවෙන් ලංකා සමාජය පිළිපදින එකී ශිෂ්ටත්වය තමන්ට ලැබී ඇති සින්නක්කර මුක්තියක් සේ ගැනීම හරි ද?  

ඊළඟට, ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයක වෘත්තිකයෙකු වැඩ වර්ජනය කළ විට එසේ වර්ජනයේ යෙදෙන කාලයේ වැටුපට ඒ වෘත්තිකයෝ හිමිකම් නොකියති. ඇතැම් අවස්ථාවක වැඩ වර්ජන කරන යම් පිරිසක් තමන්ගේ ඉල්ලීම් ජයග්‍රහණය කළ විට පමණක්, වර්ජිත කාලය සඳහා අදාළ වැටුප ලබා ගැනීමට සමත් වෙති. එහෙත් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් මේ රීතිය ක්‍රියාත්මක නොවේ. ඔවුන්ගේ වැඩ වර්ජන දින්නත් පැරදුනත්, ඔවුන්ට එකී වර්ජිත කාලය සඳහා වැටුප් ලැබේ. වැටුප් ලබමින් වැඩ වර්ජන කිරීමට අයිතියක් කිසි වෘත්තිකයෙකුට තිබිය යුතු නැත. එය හරියට, ලෙමන් පෆ් කමින් උපවාස කිරීමට ඉඩ හැරීමක් බඳු ය. හැබැයි එක වෙනසක් තිබේ. ලෙමන් පෆ් කමින් උපවාස කරන තැනැත්තා බොරුවටවත් තමන්ගේ ජීවිතය සමග සෙල්ලම් නොකරයි. එහෙත් වර්ජනය කරන දවසේ දී ලක්ෂ සංඛ්‍යාත ජීවිත ප්‍රමාණයක් සමග සෙල්ලම් කිරීම වෙනුවෙන් වෛද්‍යවරයාට එම ජනතාවගේ මුදලින් පඩියකුත් ගෙවනු ලැබේ. එය හරි ද?

තෙවැනුව, නන්දිකාදල් දක්වා දස දහස් ගණනක් අහිංසක දෙමළ වැසියන්ව තමන් සමග දක්කාගෙන ගිය ප්‍රභාකරන් අවසානය දක්වාම ඔවුන්ව තමාගේ සහ තම සංවිධානයේ ඉල්ලීමක් දිනා ගැනීම සඳහා වන පලිහක් වශයෙන් පාවිච්චි කිරීම අධම සහ නීච ක්‍රියාවක් යැයි සැළකේ. පසු ගිය සතියේ දවසකත් ඊට කලිනුත්, තමන්ගේ ඉල්ලීමක් වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත රෝගී ජනතාවකට ප්‍රතිකාර කිරීමෙන් වැළැකී ඔවුන්ව තමන්ගේ පලිහක් වශයෙන් වෛද්‍යවරුන් විසින් පාවිච්චි කරනු ලැබීම, ප්‍රභාකරන්ගේ ඉහත කී විධි ක්‍රමයට වෙනස් වන්නේ කෙසේද? 

ලංකාව වැනි රටවල සංවිධානගත වෘත්තීය සමිතිවලට මිස, ඒ වෘත්තීය ක්ෂේත්‍රයන්ගේ සේවාවන් ලබන අසංවිධිත සාමාන්‍ය ජනතාවට තමන්ගේ අයිතීන් කියා පෑමට නිශ්චිත ක්‍රමයක් නැත. බස් රියැදුරෙකුට කෙනෙකු පහර දුන් විට වැඩ වර්ජනයක් දියත් කෙරෙයි. එහෙත් බස් රියැදුරෙකු හෝ කොන්දොස්තර කෙනෙකු මගියෙකට පහර දුන් විට බස් මගීන්ගේ පැත්තෙන් ක්‍රියාත්මක වීමට සංවිධාන ශක්තියක් හෝ ව්‍යුහයක් ලංකාවේ නැත. බටහිර දියුණු රටවල, වෘත්තීය සමිති තරමටම ශක්තිමත් පාරිභෝගික අයිතීන් සුරකින සමිති සහ ව්‍යාපාර තිබේ. පාරිභෝගිකයා මිළදී ගන්නා භාණ්ඩ සහ සේවා නිපදවන කම්කරුවා තමන්ගේ අයිතීන් සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන්නේ යම් සේද, ඒ ආකාරයෙන්ම එම කම්කරුවාගේ නිෂ්පාදනය නිසි ප්‍රමිතියෙන් යුක්තදැ යි ඇස ගසාගෙන සිටින, ඒ කම්කරුවාගේ භාණ්ඩය සඳහා නිෂ්පාදක සමාගම විසින් නියම කොට ඇති මිළ සාධාරණදැ යි ඇස ගසාගෙන සිටින ශක්තිමත් පාරිභෝගික සංවිධාන එම රටවල තිබේ. අපට එවැනි සංස්කෘතියක් නැත. සෑම වෘත්තීය අංශයක්ම අවසානයේ ගත් විට පොදු ජනතාව වෙනුවෙන් පවතින සේවයක් වන නිසා, වෘත්තීය අංශයට මෙන්ම එම අංශයෙන් සේවා ලබන පාරිභෝගික මහජන අංශවලටත් කේවල් කිරීමේ සහ විරෝධය පෑමේ මෙවලමක් වශයෙන් ස්වකීය ශක්තිය පාවිච්චි කිරීමේ හැකියාවක් තිබිය යුතුය. 

වයස තුන හමාරක් වයසැති සිඟිත්තෙකුගේ ජීවිතයක් මාතර රෝහලේ වෛද්‍යවරයෙකුගේ නොසැළකිල්ලක් නිසා අහිමි වූ වාර්තාවක් පසුගිය දා අසන්ට ලැබුණි. එදා මාතර රෝහල ඉදිරිපිට මියගිය සිඟිත්තාගේ නෑයින් ඇතුළු සාමාන්‍ය මහජනතාව උද්ඝෝෂණ පවත්වා තිබේ. එය යහපත් ලක්ෂණයකි. මේ සම්ප්‍රදාය ලංකාවේ තවත් ශක්තිමත් විය යුතුව තිබේ. නිතර නිතර ලයිට් යන්නේ නම් සහ පැය ගණන් විදුලිය නැතිව සිටීම සාමාන්‍ය පුරුද්දක් වන්නේ නම්, විදුලිය පරිභෝජනය කරන ජනතාව ලෙකෝ සමාගම හෝ ලංවිම ඉදිරිපිට හෝ විරෝධතා දැක්විය යුතුය. එසේ නොකෙරෙන්නේ, තමාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට සර්වතෝභද්‍ර ආණ්ඩුවක් ඇතැයි මහජනතාව තුළ පවතින මෝඩ විශ්වාසයක් නිසා ය. 

රජයේ නීතිඥවරුන්ට පෞද්ගලික නීති වෘත්තියේ යෙදිය නොහැක. රජයේ ඉංජිනේරුවන්ට පෞද්ගලික සේවයේ යෙදිය නොහැක. එහෙත් රජයේ වෛද්‍යවරුන්ට පෞද්ගලික සේවයේ යෙදිය හැකිය. එසේ වන්නේ, වෙනත් කරුණුවලට අමතරව, වෛද්‍යවරුන්ගේ බරපතල හිඟයක් රටේ පවතින නිසා ය. එසේ නම් අප කළ යුත්තේ, හැම දාමත් එම හිඟය පවත්වාගෙන යාම ද, නැත්නම් එම හිඟය මගහරවා ගැනීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝකාලීන විසඳුම් සොයා ගැනීම ද? ඇත්ත වශයෙන්ම කළ යුතුව ඇත්තේ වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහි කර ගැනීමට බැලීමයි. ඒ සඳහා වැඩි වැඩියෙන් වෛද්‍ය අධ්‍යාපන පීඨ ඇති කළ යුතුව තිබේ. එහෙත් එසේ කිරීමට ශක්තියක් රජයට නැත. රජයට ශක්තියක් තිබුණත්, වෙනත් සෑම අංශයක් සම්බන්ධයෙන් කෙරෙන්නා සේ වෛද්‍ය අධ්‍යාපනික අංශයටත් පෞද්ගලික ආයෝජනයේ දොරටු විවර කළ යුතුව තිබේ.

එහෙත් ඉහත කී සියළු ආරක්ෂණයන් සහ වරප්‍රසාද සහිත වෛද්‍ය සංගමයේ පටු අවශ්‍යතා සමග තමන්ගේ දේශපාලනික අවශ්‍යතා සමපාත වීම හේතුවෙන් ඔවුන් සමග ‘සහෝදරත්වයෙන්’ සටනට බැස සිටින වාමවාදීහූ රාජ්‍යය පිළිබඳ එක් අතිමූලික මාක්ස්වාදී නියාමයක් අමතක කරති. රාජ්‍යයකට පැවරෙන සමාජ කළමණාකරන භූමිකාවේ පරිමාණය සහ පරිමාව ඉක්මවන තරමට සාපේක්ෂව, මර්දනකාරීව හැසිරීමේ අවකාශය රාජ්‍ය යන්ත්‍රයට සැපයෙන බව එම නියාමයයි. ඉතා දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, 71 කැරැල්ලෙන් පසුවත්, 87-90 භීෂණයෙන් පසුව සහ උතුරු-නැගෙනහිර යුද්ධයෙන් පසුවත් ලංකා රාජ්‍යය මර්දන යන්ත්‍රයක් වශයෙන් ගව් ගානක් ඉදිරියට පැන්නේය. රාජ්‍යයකට එරෙහිව නැගී සිටීමේ සුජාත අයිතිය පොදු ජනතාවගෙන් පැහැර ගැනීම සඳහා වන පටු තර්කයක් තුළට මේ සිදුවීම් ලඝු නොකළ යුතු බව පිළිගන්නා අතරේම, ඒ සෑම සිදුවීමක් විසින්ම අවසානයේ බිම් මට්ටමින් තහවුරු කරන ලද්දේ, වෙන කුමක් නැතත්, ප්‍රචණ්ඩත්වය ඔස්සේ බලය අභ්‍යාස කිරීමේ එකම හිමිකරුවා රාජ්‍යය වන බව රටක් වශයෙන් මේ සමාජය අවසානයේදී පිළිගත් බවයි. දකුණේ මිස උතුරේ ‘රණ විරුවන්’ නැත්තේ එබැවිනි. දකුණේදී පවා, අහිංසක තරුණයන් පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන ඝාතනය කළ අපරාධකරුවනුත් ‘රණවිරුවන්’ වන්නේ එබැවිනි. (උතෝපියානු කොමියුනිස්ට් සමාජයක් හෝ එම කොමියුනිස්ට් සමාජයක් තුළ රාජ්‍යය යන ආයතනය දිය වී යාමක් ගැන මේ ලියුම්කරු පිළිනොගත්තත්, යම් දවසක රාජ්‍යය අහෝසි වී යාමේ ඉෂ්ටාර්ථයක් කොමියුනිස්ට් දර්ශනය තුළට එන්නේ නිකංම නොවන බව කිව යුතුය). තුවක්කුවේ ඒකාධීකාරී අයිතියේ පරිමාණය සහ රාජ්‍යයකට පවරන සකල කළමනාවල පරිමාණය අතර ව්‍යුහාත්මක සම්බන්ධයක් ඇති බව වාමවාදීන්ට නොවැටහීම අවාසනාවකි.  

මේ දීර්ඝ ඡේදය ලිවීමට සිත් වුණේ, මාක්ස්වාදී ව්‍යාපාරයක් වශයෙන් සැළකෙන ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිතියක් වන ‘සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ දැන් නිකුත් කොට ඇති ප්‍රකාශයක් නිසා ය. අද වන විට ආණ්ඩුව පැත්තෙන් සයිටම් ප්‍රශ්නයට අදාළව ප්‍රධාන යෝජනා කිහිපයක් ඉදිරිපත් කොට තිබේ. එනම්, වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇතුළත් කර ගැනීමේ අවම සුදුසුකම් ප්‍රකාශයට පත්කිරීම, සයිටම් රෝහල රජයට පවරා ගැනීම, සයිටම් සිසුන්ට ඔවුන්ගේ ප්‍රජා වෛද්‍ය, අධිකරණ වෛද්‍ය සහ සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් කිහිපයක් ලබා දීම සහ වෛද්‍යවරයෙකු වශයෙන් සුදුසුකම් පැවරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පවත්වනු ලබන අවසාන විභාගයකිනුත් (එම්.බී.බී.එස්. උපාධියට අමතරව) මේ ශිෂ්‍යයන් සමත් වීම යන කරුණු ය. එම විසඳුම් යෝජනා ගැන අදහස් දක්වන ඉහත කී වෛද්‍ය සංගමය කියන්නේ මෙවැන්නකි: “අප සංගමය සටන ඇරැඹුවේ සයිටම් ආයතනය ප්‍රමිතිගත කිරීමට නොව, එම ආයතනය අහෝසි කිරීමේ අරමුණිනි. එම නිසා සයිටම් උපාධි කඩය ප්‍රමිතිගත කිරීමේ යෝජනා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව ප්‍රතික්ෂේප කරයි”.

මෙවැනි වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීමට තවත් කිසිවක් ඉතිරිව තිබේද? ඉහළ ප්‍රමිතියක් සහිත වෛද්‍ය අධ්‍යාපනයක් වුවත් සපයන්නේ රජයෙන් නොවෙයි නම් ඔවුන් ඊට විරුද්ධ වන බව මෙහි අදහසයි. දේශපාලනය, ආර්ථිකය සහ සමාජ කළමණාකරණය පිළිබඳ නොමේරූ ළදරු මතයක මේ කියන වෛද්‍යවරුන් සිටිනවා විය හැකිය. එහෙත්, ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂයකට අනුබද්ධ වෛද්‍ය සංගමයක් මෙවැනි ප්‍රකාශයක් කිරීම මගින්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයමත් ප්‍රශ්න කිරීමට ලක් කෙරෙන බව සිහිපත් කිරීම වටී. (ඉතිරිය ඉදිරියට)

 

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (3)

 

Top