1150 x 80 px

මීතොටමුල්ල කුණු බම්බලපිටියට ගෙන්වමු! - රමිඳු පෙරේරා

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද පුපුරා ගොස් තිබේ. දැනට වාර්තා වන පරිදි අට දෙනෙක් ඉන් මිය ගොස් ඇති අතර තවත් පනස් ගණනක ආගිය තැන් සොයාගැනීමට නොහැකි වී තිබේ. මිය ගිය අය අතර පාසල් සිසුහු ද වෙති. මෙම පුපුරා යාම නිසා නිවාස සියයකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී තිබෙන බවට ද වාර්තා වේ. මේ කෙටි සටහන 'මීතොටමුල්ල' හා 'නාගරිකකරණ සංවර්ධනය' ගැනය.


මීතොටමුල්ල කුණු කන්ද ගැන ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ ඇදි ඇදී එන්නකි. මෙම අසාමාන්‍ය තරම් විශාල කුණු කන්ද නිසා අවට ප්‍රදේශවාසීහු අනේක විධ ආපදා හා සෞඛ්‍ය ගැටලුවලට ලක්වූ අතර ඔවුන් ජීවත් වූයේ මනුශ්‍ය ජීවිතයකට නුසුදුසු ගර්හා සහගත වටපිටාවකය. මෙම තත්වයට එරෙහිව ප්‍රදේශවාසී ජනයා වසර ගණනක් තිස්සේ අරගල කලහ.ඔවුහු විවිධ ආකාරවලට ස්වකීය විරෝධය පල කලහ. පැමිණිලි කිරීම්, නඩු දැමීම්වල සිට වීදි උද්ඝෝෂණ දක්වා බොහෝ දෑ ඔවුහු අත් හදා බැලූහ. ඉන් ඇතැම් උද්ඝෝෂණවලට රජය ප්‍රතිචාර දැක්වූයේ පහර දීම මගිනි. රාජපක්ෂ පාලන කාලයේ මෙන්ම රනිල්-මෛත්‍රී පාලන යුගයේ දීද එම ජනයාගේ උද්ඝෝෂණ රජය විසින් භාර ගනු ලැබුවේ කදුලු ගෑස් පහර දී විසුරුවා හැරීම මාර්ගයෙනි. තරමක නාටකීය උදාහරණයකින් කියන්නේ නම් සයිටම් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය රැකීමට රජය දක්වන උනන්දුවෙන් අංශුවකුදු මීතොටමුල්ල ජනයාගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් වෙන් වූයේ නැත.

රජය විසින් 'නොතකා හල', කිසිම අවස්ථාවක 'ප්‍රධාන දහරාවේ' ප්‍රශ්නයක් නොවූ මීතොටමුල්ල කුණු කන්ද දැන් පුවතක් බවට පත්වී තිබෙනුයේ මිනිස් ජීවිත ගණනාවක් බිලි ගනිමිනි.

මීතොටමුල්ල කුණු කන්ද යනු ධනේශ්වර නාගරිකකරණයේ අශ්ලීල පැතිකඩ පිලිබද සංකේතයකි. නාගරිකකරණය සමකාලීන ධනවාදී සංවර්ධන පැරඩයිමයේ ප්‍රධාන අංගයකි. වෙලදපොල මගින් පාලනය වෙන නාගරිකත්වය හැකි තාක් දුරට ප්‍රසාරණය කිරීම මෙම පැරඩයිමය තුල 'සංවර්ධනය' වර නැගෙන ප්‍රධාන ආකාරයකි. නාගරික සංවර්ධනය මාර්ගයෙන් ආයෝජන ඇද ගැනීම හා එමගින් ආර්ථික වර්ධනයක් ඇති කරගැනීම පසුගිය කාලය පුරාවට ලංකාවේ ආණ්ඩු අනුදත් ආර්ථික උපාය මාර්ගයක් විය. මෙය වත්මන් ආණ්ඩුව විසින් ද අනුගමනය කරන වැඩපිලිවෙලයි. මේ වැඩපිලිවෙලේ ස්වභාවය යමෙක්ට වටහා ගැනීමට අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට පසුගිය අය වැයේ දී රජය මෙගා පොලිස් ව්‍යාපෘතියට වෙන් කල වියදම ගම්බද ප්‍රදේශවල කෘෂි හා ධීවර කටයුතු සදහා කල වියදම සමග සසදා බැලිය හැක. විශාල නගර ඇති කිරීම හා එම නගර මූලික කොටගත් 'සංවර්ධනයක්' උත්තේජනය කිරීමට ඒ අනුව මෙම ආකෘතිය තුල ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

මේ සමකාලීන නාගරිකකරණයේ ස්වභාවය කුමක්ද? එහි පැති කිහිපයකි. පලමුව, එය උග්‍ර පරිභෝජනවාදය මත පදනම් වූවකි. වෙලදපොල වර්ධනය වන්නේ මිනිසුන් හැකි තාක් පරිභෝජනය කිරීම මතය. සමකාලීන නාගරිකකරණය මිනිසුන් අධික පරිභෝජනය වෙත පොලඹවනු ලබයි. කොළඹ නගර හා අනු නගර පුරා ඉදිවෙන ෂොපිං කම්ප්ලෙක්ස්, ෆාස්ට් ෆුඩ් සෙන්ටර්ස් හා ඒවාවල දිලිසෙන දැන්වීම් පුවරු නැවත නැවත අපට හඩගා කියන්නේ හැකි තාක් පරිභෝජනය කරන ලෙසයි. කා බී සතුටු වන ලෙසයි. පුලුවන් තරම් භාණ්ඩ මිල දී ගන්නා ලෙසයි. මෙන්න මේ අධි පරිභෝජනවාදී සංස්කෘතිය විසින් නොනවතින පාරිභෝජන උමතුවක් වෙතට ජනයා ඇද දමනු ලැබ තිබේ.

මෙහිදී මතු කල යුතු කරුණ නම් සිත හිරි වට්ටන අති මහත් විසාල කුණු කදු පහල වන්නේ මෙලෙස නුවරු කා බී විනෝද වෙන කොලඹ නගරය තුලම යන්නය. කුණු කසල කදු ඇති වීම යනු හරියටම ඉහත කී දිදුලන පරිභෝජනයේ පිලිකුල් සහගත නිවුන් සොහොයුරාය. එම පාරිභෝගික සංස්කෘතිය අමතක කොට කුණු කන්දට නහය වසා ගැනීම වැල්ලේ ඔලුව ගසා ගැනීමකි.

දෙවනුව, මේ නාගරිකකරණය ප්‍රභූවාදීය. එනම් නාගරික ජීවිතය සංවිධානය වී තිබෙන්නේ සුන්දර නාගරික ජීවිතයක් ගත කල හැකි 'වාසනාවන්තයින්' හා අප්‍රසන්න නාගරික ජීවිතයක් ගත කල යුතු 'කාලකණ්ණින්' ලෙස නගරය කොටස් දෙකකට බෙදමිනි. වාසනාව තීන්දු වන්නේ අත තිබෙන මිල මුදල් මතය. ඒ අනුව පොහොසතුන් හා මධ්‍යම පංතිකයින් සදහා කොලඹ නගරය තුල 'රෙසිඩෙන්ෂල්' කලාප තිබේ. මේ මනහර කලාප තුල කුණු නැත. ඒ කුණු පිලිවෙලට හා ලස්සනට බැහැර ගෙන යනු ලැබේ. එම නිසා අත මුදල් ගැවසේ නම් ශෝභමාන පැත්තක නිස්කලංක නාගරික ජීවිතයක් ගත කිරීමේ වරම ඔබට තිබේ.

එවැනි ශෝභමාන ජීවිතයක් ගත කිරීමට භාග්‍යය නොමැති අවාසනාවන්තයින් සමන්විත වන්නේ නාගරික පහල ස්ථරවලිනි. නාගරික වැඩ කරන කොටස්වලින්, පහල මැද පංතික ස්ථරවලින්, පැල්පත් හා මුඩුක්කුවාසින්ගෙන්ය. මොවුන්ගේ නාගරික ජීවිතය රෙසිඩෙන්ෂල් නාගරිකයින්ගේ තරම් ලස්සන නැත. මට්ටක්කුලියට, ඔබේසේකරපුරට, මෝදරට හෝ මීතොටමුල්ලට බලපාන්නේ තුංමුල්ලට හෝ බම්බලපිටියට අදාල වන යතාර්ථය නොවේ. කැලි කසල සම්බන්ධ කරුණට එන්නේ නම්, පසුව කී රෙසිඩෙන්ෂල් කලාප ද ඇතුලු සියලු පැතිවල කුණු බැහැර කිරීමට තෝරා ගැනෙන්නේ ද සාපේක්ෂ පහල පාන්තික ස්ථර ජීවත්වන පැතිය. මීතොටමුල්ල කුණු කන්ද යනුවෙන් යමක් මිස කොල්ලුපිටිය කුණු කන්ද යනුවෙන් යමක් ඇති නොවන්නේ ඒ නිසාය. රෙසිඩෙන්ෂල් නාගරිකයින්ගේ ලෝකය තුල මීතොටමුල්ල යනුවෙන් යථාර්තයක් නොපවතින්නේ ද ඒ නිසාය.

කොටින්ම කිවහොත්, පරිභෝජනවාදී නාගරික ජීවිතය විසින් නිපදවන කැලි කසල සමග ජීවත් විය යුත්තේ නාගරික නිර්ප්‍රභූහුය. ඉදිරි කාලය තුල මෙගොපොලිස් ඇතුලු අති විශාල නාගරිකකරණ රැල්ලක් ඇති වීමට නියමිත අතර එය විසින් මීතොටමුල්ල වැනි තවත් කුණු කදු නිර්මාණය කිරීම මෙන්ම එලෙස නිර්මාණය කෙරෙන කුණු සමාජය තුල හඩක් නැගීමට බලයක් නැති පහල පාන්තික ජනාවාස අවට ස්ථානගත වීම ද බලාපොරොත්තු විය යුත්තකි.

ධනේශ්වර නාගරික සංවර්ධනය ගැන ජනප්‍රිය කතිකාව විසින් වසං කරනු ලබන්නේ එම සංවර්ධනය සමග ගැට ගැසී තිබෙන මෙන්න මේ අශ්ලීල අනෙක් අර්ධයයි. මේ අඩ ගැන කතා නොකොට නාගරිකකරණය ගැන 'සමස්ත කතාව' කතා කල නොහැකිය. දැන් එලැඹ තිබෙන්නේ එම සමස්ත කතාව තීරණාත්මක ලෙස මතු කල යුතුව තිබෙන මොහොතකි.

Top