1150 x 80 px

ආර්ථික පිළිවෙත් පිළිබඳ නොසැලෙන සම්මුතියක් අවශ්‍යයි  ! - නිමල් සඳරත්න

ලැබුවා වූ අලුත් අවුරුද්ද, එක්සත් සභාග ආණ්ඩුව අනුගමනය කළ යුතුව ඇති ආර්ථික පිළිවෙත් පිළිබඳ නොසැලෙන එකඟතාවකට එළැඹීමට සුදුසු මොහොතකි.

එකඟත්වයෙන් යුත් ආර්ථික වැඩපිළිවෙලක් සඳහා වන පැහැදිළි කැපවීමක ඇති අඩුව සහ සාර්ථක අන්දමින් එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාවේ යෙදවීමට ඇති නොහැකියාව, වර්තමාන සභාග ආණ්ඩුවේ කැපී පෙනෙන ලක්ෂණයකි. එනිසා සභාග ආණ්ඩුවේ ඉදිරි වසර කිහිපය සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කොට ඇති ‘ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රය’ පිළිබඳ යෝජනාව අත්‍යාවශ්‍ය වැදගත්කමක් දරයි. ආකූල ආර්ථික ප්‍රතිපත්ති සහ අකාර්යක්ෂම ක්‍රියාවට නැංවීම් නිසා රටේ ආර්ථික ස්ථායී භාවයට සහ ආර්ථික වර්ධනයට බාධා පැමිණීම, සිරිසේන-වික්‍රමසිංහ පාලනය තුළ බොහෝ විට දක්නට ලැබේ. වර්තමානයේ ආර්ථිකය අර්බුදයකට ගොස් ඇති තත්වයට හේතුභූත වී ඇති කරුණු අතර, ප්‍රතිපත්තිමය නොගැලපීම් සහ ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීමේ අසමත් භාවය කැපී පෙනෙයි. ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ ආර්ථික වැඩපිළිවෙලක් පිළිබද එකඟත්වයක් ඇති කර ගැනීම සහ එසේ එකඟ වන ආර්ථික ප්‍රතිපත්ති කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම තීරණාත්මක වන නිශ්චිත මොහොතකට අප පැමිණ ඇති බව අගමැතිවරයා සහ ප්‍රධාන පෙළේ ඇමතිවරුන් වටහාගෙන තිබේ.

 

ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රය

මේ සන්දර්භය තුළ, ඉදිරි වසර කිහිපය සඳහා වන ‘ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයක්’ අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුව ඇතැයි අපේක්ෂා කෙරේ. මේ ‘න්‍යාය පත්‍රය’ පදනම් වනු ඇත්තේ, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, හාර්වඞ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ‘ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ කේන්ද්‍රය’ සහ පෞද්ගලික අංශය සමග කෙරෙන සාකච්ඡා මත ය. රටේ ආර්ථික අර්බුදය විසඳාලන, ඊළඟ වසර වන විට දේශීය ණය සංරචකය කළමනාකරණය කර ගැනීමේ සහ 2017-2018 යන වසරවලට නියමිත විදේශීය ණය කන්දරාව ගෙවීමේ ක්‍රමයක් නිශ්චය කරගන්නා ආර්ථික උපාය මාර්ගයක් පිළිබඳ එකඟත්වයක් ඇති කර ගත යුතුව තිබේ. එවැනි උපාය මාර්ගයක අත්‍යාවශ්‍ය සංරචකයන් වන්නේ, රාජ්‍ය ආදායම් ශක්තිමත්ව ස්ථාපනය කර ගැනීමත්, විදේශ ආයෝජන ඇද ගැනීමට සමත් ප්‍රතිපත්ති සකසා ගැනීමත් ය.

බාධක

ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ එකඟතාවකට පැමිණීමේ දුෂ්කරතාවන්ගෙන් එකක් වන්නේ, රටේ ආර්ථික තත්වයේ බරපතල කම පිළිබඳවත්, රට මුහුණදී සිටින තීරණාත්මක අර්බුද පිළිබඳවත්, සියයකට අධික ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් නොදැන සිටීමයි. රාජ්‍ය ආදායම් සහ මූල්‍ය ප්‍රතිපත්ති තුළ ඇති විය යුතු වෙනස්කම්වල අවශ්‍යතාව ගැන සහ ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඇති තීරණාත්මක වැදගත්කම ඔවුන්ට නොවැටහේ. ඒ වෙනුවට ඔවුන් සහාය දක්වන්නේ ඡන්ද කොට්ඨාශයේ ජනප්‍රියත්වයට හේතුවන ආර්ථික ප්‍රතිපත්තිවලටයි. රටේ ආර්ථික ප්‍රශ්න විසඳනවා වෙනුවට එවැනි ජනප්‍රිය ප්‍රතිපත්තිවලින් කෙරී ඇත්තේ ඒවා තවත් උග්‍ර කිරීමයි. රටේ ප්‍රතිපත්ති සම්පාදනයේදී තීරණාත්මක මෙතෙක් තීරණාත්මක වී ඇත්තේ, මෙවැනි මැති ඇමතිවරුන්ගේ යල්පීනූ දෘෂ්ටිවාද සහ ප්‍රායෝගික නොවන අදහස් උදහස් ය.

ප්‍රතිපත්තිවල නොපෑහීම

ප්‍රබල ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් පිළිබඳව එකඟත්වයක් නැති කමින්, පැහැදිළිවම, දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධනය අවදානමට ලක්ව තිබේ. වැනෙන සුළු ආර්ථික ප්‍රතිපත්තියක් නිසා රටක ආර්ථිකයක් තව තවත් අර්බුදයට ඇද වැටිය හැකිය. ප්‍රතිපත්තිවල නොපෑහීම සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ වැනෙනසුළු ගතිය නිසා සිදුව ඇත්තේ, ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වීමයි. පසුගිය වසර දෙක තිස්සේම පෙන්නුම් කොට ඇත්තේ, ප්‍රතිපත්තිවල වැනෙන සුළු භාවයකි. ප්‍රකාශයට පත්කෙරෙන ප්‍රතිපත්ති එක්කෝ ඉල්ලා අස්කර ගනී. නැත්නම් ක්‍රියාවට නොනංවා සිටී. ඒ සියල්ලෙන් පෙනී ගියේ ආර්ථික වැඩපිළිවෙලවල් ක්‍රියාවට නැංවීමේ අසමත් භාවයයි.

සෘජු විදේශ ආයෝජන

වෙළඳ ශේෂයේ හිඟය වළක්වා ගැනීම සඳහා කර්මාන්ත අපනයන අංශයේ සෘජු විදේශ ආයෝජන අත්‍යාවශ්‍ය වන බව කවුරුත් පිළිගනිති. එසේ අපනයන ප්‍රවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සෘජු විදේශ ආයෝජන ඇද ගැනීමට අප අපොහොසත්ව ඇත්තේ අපේ ප්‍රතිපත්තිවල අස්ථාවර භාවය නිසා ය. 2015 මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඇත්ත වශයෙන්ම විදේශ ආයෝජන ප්‍රමාණය පහළ ගොස් ඇත. සෘජු විදේශ ආයෝජන රට තුළට ආකර්ශනය කර ගැනීමෙහිලා වඩාත් තීරණාත්මක වන්නේ, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ආණ්ඩුව තුළ පැහැදිළි එකඟත්වයක් පැවතීම සහ එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවෙන බවට සහතිකයක් තිබීම ය. විදේශ ආයෝජකයන් තුළ විශ්වාසය ජනනය කළ හැක්කේ එමගිනි. එහෙත් ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳ විශ්වාසයක් ජනනය නොකරන දේශපාලන පරිසරයක් තුළ විදේශ ආයෝජකයන් රටට එන්නේ නැත. මේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ඇතැම් වැදගත් ප්‍රතිපත්ති එක දිගට ගෙන යාමට නොහැකි වුණේ සහ ප්‍රකාශයට පත්කළ ප්‍රතිපත්ති පවා පසුව වෙනස් කිරීමට සිදුවුණේ හෝ ක්‍රියාවට නැංවීමට නොහැකි වුණේ, ජනප්‍රිය දේශපාලනයට කඬේ යාම නිසා ය.

නැතිවම බැරි පොදු එකඟත්වය

ඊළඟ වසර කිහිපය සඳහා පොදු එකඟතාව සහිත ආර්ථික න්‍යාය පත්‍රයක් අවශ්‍ය කෙරේ. එවැනි පොදු ආර්ථික වැඩපිළිවෙලකට එකඟ වීම සඳහා ආණ්ඩුවක් වශයෙන් දැඩි පියවර ගත යුතුව ඇති අතර, එසේ එකඟ වූ වැඩපිළිවෙලවල් කඩිනමින් සහ කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීමටත් පියවර ගත යුතුව තිබේ. ගත වු වසර දෙකම ගත වුණේ, ආර්ථික තාර්කිකත්වයක් කරා පියවර තැබීමට නොව, ආර්ථික ජනප්‍රියත්වයක් කරා හඹා යාමටයි.

එකිනෙකින් වෙනස් දේශපාලනික දෘෂ්ටිවාද සහ ආර්ථික ප්‍රතිපත්ති සහිත පක්ෂ දෙකක් එක්ව ආණ්ඩුවක් පිහිටුවාගෙන ඇති තත්වයක් තුළ, ප්‍රතිපත්ති පිළිබඳ එකඟත්වයක් ඇති කර ගැනීම පහසු නොවන බව ඇත්ත. ඒ නිසා, ප්‍රශ්න දෙස ප්‍රායෝගිකව බැලීමේ හැකියාවත්, දෙපාර්ශ්වයම තම තමන්ගේ දැක්ම සම්බන්ධයෙන් යම් මැද තැනකට පැමිණීමත් අවශ්‍ය කෙරේ. එකඟත්වයකින් යුත් ආර්ථික ප්‍රතිපත්තියකින් තොරව, හුදෙක් පක්ෂ දෙකක් එක්ව ආණ්ඩුවක් පිහිටුවාගෙන ඇතැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කී පමණින් ඇති වන සුගතියක් නැත.

ප්‍රයෝජ්‍යතාවාදය

ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දෙපාර්ශ්වයේ සම්මුතියක් පදනම් විය යුත්තේ, සංවර්ධන ප්‍රයෝජ්‍යතාවාදය මත ය. එහිදී, පවතින ආර්ථික හිරවීමේ ස්වභාවය හඳුනා ගැනීම සහ අත්‍යාවශ්‍ය ආර්ථික ක්‍රියාමාර්ග හඳුනා ගැනීම මත මිස, දේශපාලනික ජනප්‍රියත්වයක් ලැබිය හැකි සටන් පාඨ මත පිහිටා කටයුතු නොකළ යුතුය. ගෙවුම් ශේෂයේ සහ විදේශ සංචිතයේ අර්බුදය විසඳා ගැනීම, වෙළඳ ශේෂය අවම කර ගැනීම, අයවැය හිඟය කළමනාකරණය කර ගැනීම, විදේශ ආයෝජන ඇද ගැනීම සහ වර්ධනයට උත්තේජනයක් සපයන ප්‍රායෝගික එළැඹුමක අවශ්‍යතාව එවැනි සංවාදයක මූලිකත්වය ගත යුතුය.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම

එකඟතාවක් ඇති කරගත යුතු වඩාත් දුෂ්කර කාරණාවන්ගෙන් එකක් හෝ සමහර විට වඩාත් දුෂ්කරම කාරණාව වන්නේ, මහ භාණ්ඩාගාරයට මහ බරක් වී ඇති, ආර්ථික සංවර්ධනයට කඩඇණයක් වී ඇති, රාජ්‍ය ව්‍යවසාය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙවැනි රාජ්‍ය ව්‍යවසායන් විකුණා දැමීමට දෘෂ්ටිවාදීමය විරෝධයක් දැක්වීම හේතුවෙන් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම ඉතා දුෂ්කර වී තිබේ. ඒ තත්වය තුළ, බොහෝ දෙනා ආර්ථික සහ මූල්‍ය යථාර්ථයන් සැළකිල්ලට ගන්නේ නැත. පාඩු ලබන ඇතැම් ආයතන විකුණා දැමීම, තවත් ආයතන නිවැරදිව කළමණාකරණය කර ගැනීම සහ තවත් ආයතන පෞද්ගලීකරණය නොකිරීම වැනි එකඟතාවකට මෙහිදී පැමිණිය හැකිය.

රාජ්‍ය ආදායම් සවිමත් කර ගැනීම

රාජ්‍ය ආදායම් ස්ථායී කර ගැනීම අත්‍යාවශ්‍ය ය. මේ ආණ්ඩුව පත්වීමෙන් පසු අත්කර ගත් එක් යහපත් කාර්යයක් වන්නේ, 2016 අයවැය හිඟය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 4 ක් දක්වා අඩු කර ගැනීමට හැකි වීමයි. එසේ කරගත හැකි වුණේ රජයේ ආදායම් වැඩි කර ගැනීමෙනි. මෙය සැළකිය යුතු සාර්ථකත්වයකි. මේ ආකාරයටම රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමටත්, රාජ්‍ය වියදම් පාලනය කර ගැනීමටත් එක දිගටම කටයුතු කළ යුතුව තිබේ. එසේ වුවහොත්, 2020 වන විට, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 3.5 ක් දක්වා අඩු කර ගත හැකි වනු ඇත. රටේ ආර්ථික නස්පැත්ති ගණනාවක මූලය වී ඇත්තේ අතීතයේ පැවති විශාල අයවැය පරතරයන් ය.

ඉදිරි මග

ආර්ථිකය පැත්තෙන් ගත් විට, නිදහසෙන් පසු ගත වූ කාලයෙන් වැඩි හරියක් අප වැය කොට ඇත්තේ, ලාබ ජනප්‍රියත්වය තකා වැඩ කිරීමට මිස අත්‍යාවශ්‍ය ආර්ථික අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට නොවේ. දැන් ඒ මාර්ගයෙන් ඉවත් විය යුතුව තිබේ. වර්තමාන ආර්ථික අර්බුදය විසඳාගත හැක්කේත්, ආර්ථිකයේ නොන්ඩිය හරිගස්සා ගත හැක්කේත් එසේ කිරීමෙන් පමණි. එක පැත්තකින් රට පත්ව ඇති ආර්ථික අවදානමේ තරම අවබෝධ කර නොගැනීමත්, තවත් පැත්තකින් ඊට පිළියම් යෙදීමේ ක්‍රම වටහාගෙන නොතිබීමත් තිබේ. ඒ මදිවාට, පාර්ලිමේන්තුවේ සිටින වැඩි දෙනාගේ දෘෂ්ටිවාදීමය පක්ෂපාතීත්වයන් සහ අගතීන්ද, ජනප්‍රිය දේශපාලනය කෙරෙහි දක්වන නැමියාවද හරහට සිටී. එසේ වෙතත්, වර්තමාන අර්බුදයේ ස්වභාවය පැහැදිළි කර දීම සහ දීර්ඝ කාලීන වශයෙන් රටේ ආර්ථිකයට වැඩදායී වන ප්‍රායෝගික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ ඇති වැදගත්කම සභාග සාමාජිකයන්ට කියා දීම සහ ඒත්තු ගැන්වීම දේශපාලන නායකත්වයේ වගකීමකි. ඉදිරි වසර දෙකක කාලය තුළ, රජය කෙරෙහි විශ්වාසය උද්දීපනය කරලීමටත්, දේශීය සහ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කරනු පිණිසත්, එවැනි එකඟතාවයෙන් යුක්ත ආර්ථික ප්‍රතිපත්තියක් කෙරෙහි තමන් කැප වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කළ යුතුව තිබේ.

2017 අප්‍රේල් 17 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ The New Year Must Herald Firm Consensus on Economic Policies නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

හෝඩියේ සිට අවසානය දක්වා නිදහස් අධ්‍යාපනය ලද වෛද්‍යවරුන්ට පඩි ගෙවන්නේ රජයේ රෝහල්වල පූර්ණකාලීන සේවයේ යෙදීමටයි - කුසල් පෙරේරා

Top