Untitled 1

පරිසර ඇමතිතුමනි, කුණු නිසා කුණු වන පරිසරය හා ජීවිත පසෙක ලා කප්පම්කරුවන් රකිනවාද ?

වසර අටක් තිස්සේ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ව සටන් කල දයාබර සටන් සගයන් මියගොස්ය . තවකෙකුගේ කිසිදු ඥාතියෙකු හෝ නොමැත. ඔවුන් කුණු කන්දට යටවී ගොස්ය . දැනට මියගිය සංඛ්‍යාව තිහකට ආසන්නය. අතුරුදහන්වූවන් සමග මියගිය ප්‍රමාණය පනස් හතකට ආසන්නය . සියල්ල අහිමි කල පසු මිනි ගනන් කිරීමෙන් ඵලක් නැත. මළ මිනියකට ලක්ෂයක් ලංසුව තබා ආණ්ඩුව මෙම මනුෂ්‍ය ඝාතනයෙන් ගැලවීමට උත්සහ කරමින් ඇත. මෙය ස්භාවික ව්‍යසනයක් නොව මනුෂ්‍ය ඝාතනයකි. එහි වගකීම සමස්ථ කොළඔ ජනතාවත් මෙරට ආණ්ඩු හා මෙයින් කප්පම් ගත් දේශපාලකයන් බාරගත යුතුය .

මෙවන් කූණු කදු පුපුරා යාමට හැකියාවක් ඇත්තේ වර්ෂා කාලයේ ජලය කුණු කදු මතට අධික ලෙස එක්වීමෙන් ඇතිවන නායයෑමේ ස්භාවයන් නිසා හෝ මීතේන් වායුව (CH4) එක්වී කුණු කදු ඇතුලත සිදුවන කුඩා පිපිරීමි නිසා ඇතිවන නායයාමේ තත්වයන් හෝ නිසා විය හැකිය . දෙදහස් පහ වර්ෂයේ ජාවා හී එකසිය හතලිස් තුනකට ජීවිත අහිමි කරමින් එහි වීශාල කුණු කන්ද නායගියේ මීතෙන් වායුව සමග ඇති වූ පුපුරා යාම් නිසාය. එමෙන් ම 2017.03.12 වන දින ඉතියෝපියාවේ අද්දීස් අබාබ් හී (ADDHIS ABBAB) කුණු කන්ද පුපුරා ගොස් 120 කට වැඩි පිරිසක් මියගියේ මිතොටමුල්ලේ කුණු කන්ද පුපුරා නායගිය විලසින්මය . නමුත් මේවා උදාහරණ ලෙසවත් ගෙන ජන ජීවිත ආරක්ෂා කිරීමට මෙරට පාලකයන්ට වුවමනාවක් නැත.

1989 කාලයේ සිට මීතොටමුල්ලට කුණු ගෙනවිත් දැමිමට එවකට මුල්ලේරියාව , කොළොන්නාව, කොටිකාවත්ත පළාත් පාලන ආයතන පටන් ගත් අතර එසේ කුණු දැමිම ආරමිභ කළේ කැළණි ගංගා නිමිනයේ ජල ගැලීම පාලනය කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල් යායකටයි. මෙලෙස ආරමිභ වූ කුණු දැමිම 2009 වසරේ මහා පරිමාණ ලෙස සිදු කරන්නට පටන් ගත්තේ බ්ලුමැන්ඩල් හි කුණු දැමිම තහනම් වූ පසුවය . ඒ එවකට අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් කරන ලද නියෝගයකට නතු වෙමිනි. මුලින් මීතොටමුල්ල ප්‍රදේශයේ අක්කර දෙකකින් ආරම්භ වූ කුණු දැමිම වසරින් වසර ගෙවි ගොස් 2015 වන විට අක්කර දහනවයක් පුරා පැතිර ගිය මීටර් තුන් සියයකට වඩා උස දැවැන්ත කුණු කන්දක් බවට පත්විය. මෙම ප්‍රදේශයේ කුණුදැමිමට අවසර තිබුනේ කොළඔ නගර සභාවට පමණි . නමුත් සෑම දිනකම රණාල, බියගම, කඩුවෙල ප්රදේශ වල පුද්ගලික ආයතනවල වීෂ සහිත අපද්‍රව්‍ය මෙම කුණු ගෙඩට බාහැර කරණ ලදී . ඒ රවින්ද්‍ර උදයශාන්ත ඇතුළු කප්පම් කරුවන්ට එක් ලොරියකින් දිනකට රුපියල් හාරදහසක පමණ මුදලක් කප්පමි වශයෙන් ලබා දීමෙනි.

කෙසේ වෙතත් දිනකට මීතොටමුල්ල කුණු කන්දට කුණු ටොන් එක්දහස් දෙසිය පණහකට වඩා වැඩි පරමාණයක් කොළඔ අවටින් ගෙනවිත් දමන ලදි. මෙහි දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් ලෙස ජනතාව වීශාල වශයෙන් රෝගාතුරව සිටි අතර භූගත ජලය දූෂණය වීමේ සිට නොයෙක් පාරිසරික ප්‍රශ්ණ මෙම ප්රදේශයේ පැන නගින්නට විය. එය හොදින් දැනුන මීතොටමුල්ල ජනතාව විවිධ පාර්ශවයන් දැනුවත් කිරීමි වලින් අනතුරුවව 2013 වසරේත් 2015 වසරේත් උද්ඝොෂණ වලට යොමුවූ අතර ඒවට සවන් දෙනවා වෙනුවට පැවති හා පවතින රජයන් කලේ තම ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සටන් කල ජනතාවට කුණු වලින් කොමිස් ගන්නා මැරයන් ලවා පහරදීමයි.

මිතොටමුල්ල, කුරුණියවත්ත, දහමිපුර, 101 වත්ත,වැල්ලමිපිටිය,පන්සල්හේන, නාගහවත්ත ඇතුළු ජනතාවට පහර දී රෝහල් ගත කිරිමෙන් නොනැවතී ඔවුන්ව ඝාතනය කිරීම ටඅවශ්‍ය වටපිටාව මේතාක් පැවතී රජයන් විසින් නිර්මාණය කරන ලදී . ජනතා විරෝධයන් මධ්‍යයේ කුණු කදු ගොඩගසමින් ඔවුන්ට සවන් නොදී මීතොටමුල්ල ජනතාව මරණයට තල්ලු කල බලධාරීන් මීතොටමුල්ලේ නතර නොවී ඒකල ප්‍රදේශයේ මෙම කුණු නැවත ගොඩ ගසන්නට උත්සහ දරමින් සීටී. කිරිදිවෙල, මුතුරාජවෙල, කරදියාන පමණක් නොව රට පුරාම ජනතාව කුණු කදු වලට බිලිදෙන තුරු පරිසර අමාත්‍යාංශය හෝ වග කිවයුතු උදවිය කුණු ප්‍රතිනිෂ්පාදන සදහා හෝ පොහොර නිෂ්පාදනය සදහා භාවිතා කරන්නට අදහසක් නැත. වෙනත් රටක නම් කුණු යනු මහඟු සම්පතකි. එය ආදයම් උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහඟු සම්පතකි. නමුත් අවාසනාවකට මෙරට බලධාරින් කුණු කදු ගොඩ ගසමින් එය පාතලයේ එක් ආදායම් මාර්ගයක් බවට පත්කර ඇත.

මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණු වලින් කප්පම් ගන්නා කප්පම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපද්‍රව්‍ය කළමණාකරනය කර ප්‍රතිනිෂ්පාදනයන් සදහා යොදා ගතහැකිය. එයට අවශ්‍ය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යාංශයේ ආරම්භ වී වළලා දැමූ 'පිළිසරු' ව්‍යාපෘතියට පණ දීමෙන් ලබා ගත හැකිය .
එසේ නොකර ජනතාවගේ ජීවිතයට ලක්ෂයකින් වන්දී දී ඔවුන් විසින් සිදු කලමෙම ඝාතන යටගැසීමට බැරිය . නමුත් ඉදිරියට හෝ මෙවන් දේ සිදුවීමට ඇති ඉඩකඩ අහුරා කුණුක ළමණාකරනය වෙනුවෙන් අවශ්‍ය පියවර දැන්වත් ගත යුතුය.

~ රවීන්ද්‍ර කාරියවසම්

Top