Untitled 1

මීතොටමුල්ලේ මැරුණාද? මැරුවාද?

මීතොටමුල්ල කුණු කන්දත් ඛේදවාචකයකින් කෙළවර විය.සටහන තබන මොහොත වන විට කුණු කන්දට යටවීමෙන් 30 දෙනෙකු මිය ගොස් හමාරය.නැත.

ඝාතනය වී හමාරය.මේ අතරම අතුරුදහන් වුවන් පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉලක්කම් ඉදිරිපත් කළද ප්‍රදේශවාසීන් පවසන අන්දමට එම පිරිස නිශ්චිත වශයෙන් කිව නොහැක.ගමේ ග්‍රාම සේවක නිවසද මේ ඛේදවාචකයට ගොදුරු වුයෙන් තවමත් එම දත්ත නිවැරදිව තහවුරු කර ගැනීමට හැකි වී නැත.දැන් පවත්නා තත්ත්වය අනුව නම් මීතොටමුල්ලේ ජීවත් වූවන් පිළිබඳ තොරතුරු සහිත ලියකියවිලි තිබී ඇත්තේ ගමේ ග්‍රාමසේවක සතුව පමණි.අතුරුදහන් වූවන් පිළිබඳ නිශ්චිතව පැවසිය නොහැකි බවට ප්‍රදේශවාසීන් පොළොවේ පස් කමින් කියා සිටියදීත් ඇමති සාගල බොහොම අපුරුවට අතුරුදහන්ව ඇත්තේ 6 දෙනෙකු බව මාධ්‍යයටද පැවසීය.මෙවන් තත්ත්වයන් පිළිබඳ අප පුදුම විය යුතු නැත.විනාශයන් වෙන්නට ඉඩ හැර මහප්‍රාණ කතා කීමට මේ රටේ පාලකයන් රුසියන් බව අමුතුවෙන් පහදා ගත යුතු නොවේ.

මේ කුණු කන්දට එරෙහි විරෝධතා උත්සන්න වන්නේ 2011 පටන්ය.මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය එදා පටන් පසුගිය 14 වැනිදා දක්වාම සටන් කළේ අද කුණු කන්දට යටවී සිටින මිනිසුන්ගේ ජීවිත වෙනුවෙනි.එදා පටන් ඔවුන් සොයා ආවේ කුණු කන්දට විසදුම් නොව නැගී එන විරෝධතා මර්දනය කිරීමට උපක්‍රමය.කීර්තිරත්නලා ,බෝපගේලා ඔළු පලා ගත්තේ මේ ඛේදවාචකය පිළිබඳ ඔවුන් කල් තියා දැන සිටි හෙයිනි.එහෙත් පාලකයන්ගේ අල්ලේ නැටවෙන නීතියත්,බලයත් විසින් අද සංහාරයක් සිදුව අවසන්ය.දැන් පපුවට ගසා ගෙන වැරැද්ද අපි භාර ගන්නවා කීවාට පලක් නැත.එකිනෙකාට ඇගිලි දිගුකරගෙන පලක් නැත.කුණු කන්ද දෙසට වී වෙන්ව ගිය ප්‍රියයන්ගේ සොවින් තැවෙන ඒ හිත් සනසන්නට ඔවුන්ට හැකියාවක් නැත.මේ, දැන දැනම සිදුවූ විපතකි.කිසිලෙසකින්වත් ස්වභාවික විපතක් නොවෙයි.මෙය ඝාතනයක් වන්නේ එහෙයිනි.අනතුර ගැන දැන සිටි බොහෝ දෙනෙක් මේ පිළිබඳ අනතුරු අඟවා තිබුණත් ඊට විසදුම් දියයුතු දේශපාලකයන් හෙවත් ජනතා නියෝජිතයන් සිටියේ ගංජා ගැසුවන් සේය.අනතුර දැන දැනම ඊට විසදුම් දෙනවා වෙනුවට තව තවත් මේ කුණු කන්දෙන් සල්ලි ගරන අකාරය ගැන ගණන් බැලීම පමණක්ම සිදුව ඇත.

"කෝ හිරුණිකා,කෝ මරික්කාර්,කෝ සුද්දා(කොළොන්නාව නගර සභාවේ හිටපු සභාපති පද්ම උදයශාන්ත).මුන්ට මොකද වුණේ.මොනවද මුන් කළේ.අපේ මිනිස්සු,දරුවෝ මරාගත්තා.අතදරුවෝ පවා මේ කුණු කන්දට යට වුණා."

සොයා ගැනෙනා ප්‍රාණය නිරුද්ධ සිරුරක් සිරුරක් ගානේ මීතොටමුල්ලම දෙදුරුම්කන්නේ වාවාගත නොහැකි වේදනාවෙන් විලාප දෙන හඩිනි.සහසුද්දෙන්ම වළක්වා ගත හැකිව තිබූ මේ ඛේදවාචකය අද බොහොමයකගේ ජිවිත කණපිට පෙරළා අවසන්ය.මෙකී ජීවිත වලට වගකියනු වෙනුවට තාමත් තුවක්කු කට මානාගෙන සිටින්නේ විපතට පත්වූ ජනතාව දෙසටය.

"සාගලයි,මරික්කාරුයි තමයි මුලින්ම ආවේ.මිනිස්සු කෑ ගැහුවා,හූ කිව්වා.තවත් අපිට මුන්ගෙන් වැඩක් නැහැ.මුන් තමයි අපේ මිනිස්සු මරාගත්තේ.මරික්කාර්ට අපි එන්න දුන්නේ නැහැ.සාගල ආවේ මිනිස්සුන්ට තුවක්කුව පෙන්නලා.එයාගේ ආරක්ෂකයෝ මිනිස්සුන්ගේ ඇගේ ගෑවී නොගෑවී යන ගානට තුවක්කු මානගෙන ඉස්සරහට ආවේ.අපි කෑ ගැහුවා වෙඩි තියපල්ලා කියලා.නැතිවෙන්න දෙයක් අපිට නැහැ.එදා කුණු කන්ද අයින් කරගනිල්ලා කියලා අපි උද්ඝෝෂණ කරද්දීත් මුන් අපිට ගැහුවා.අදත් මුන් අපිට තුවක්කු දික් කරගෙන ඉන්නවා.උන්ගේ කුණු වලට අපේ අහිංසකයෝ යට වුණේ.ගිහින් දා ගනිල්ලා කොළඹ හතේ උඹලගේ ගෙවල්වලට කුණු.වරෙල්ලා ජන්දේ ඉල්ලගෙන උඹලට මොකද වෙන්නේ කියල බලාගන්න පුළුවන්."

මෙවන් අහිමි කරවීම් මිනිසුන්ට දරාගත නොහැක.වසර ගණනාවක් කුණු කන්දෙන් පීඩා විඳිමින් ඊටම යටවී මියැදෙන්නට සිදුවීම තරම් ඛේදවාචකයක් තවත් වේද?

දේපල හානිය සඳහා උපරිමය ලක්ෂ 25කට යටත්ව ,මිය ගිය පුද්ගලයෙකුට ලක්ෂයක වන්දියක් දීමට දැන් ආණ්ඩුව සුදානම් වෙමින් හිඳියි.මේ හැමදාම සිදු වූ නාටකයමය.මේ රටේ ජනතාවාදී නායකයන්ගේ හැටි එහෙමය.එදත් එහෙමය.අදත් එහෙමය. වරදකරුවන් නිදැල්ලේය.මීතොටමුල්ලට අනුව නම් ඝාතකයන් නිදැල්ලේය.

අනෙක් වැදගත් කාරණය මේ රටේ මාධ්‍ය භාවිතාවය.බොහෝවිට එය සිදු වන්නේද දේශපාලන වුවමනා එපාකම් මත වන හෙයින් මාධ්‍යයටද රටේ තත්ත්වය ඇඟට දැනෙන්නට දෙයක් වියයුතුමය.මීතොටමුල්ලේදී ජනතාවගෙන් මාධ්‍යයට එල්ල වූ චෝදනාවද සුළු පටු නැත.

"දැන් මේ විපත පත්තරේ ගියා කියලා මොනවද ලැබෙන්නේ.අපිත් එක්ක මේ සටනේ හිටියේ කීයෙන් කී දෙනාද.දැන් නම් හැමෝම දුවගෙන එනවා.එත් අපේ දරුවන්ට පණ එන්නේ නැහැනේ."

මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසුව වුවත් කොළඹ කුණු ප්‍රශ්නයට විසඳුමක් සොයා ගෙන නැත.දැන් හෝ මනා ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලකට යා යුතුය.එහෙත් අදටත් සිතමින් හිදින්නේ ඊළඟට කුණු ගොඩ ගසන්නේ කොහාටද යන්නය.දැන්වත් නෝට්ටු ඉදිරියේ මනුස්සකම් යටපත් වීම ගැන කවුරු කවුරුත් තමතමන්ගේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු නොවේද?

ආශිකා බ්‍රාහ්මණ
ජායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

 

 

Top