1150 x 80 px

"බොනවද පිරිත් පැන් නැත්තන් පොවන්ඩද - යනවද නිවන් නැත්තන් තොපි යවන්ඩද"

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන් වූ ජනතාව හමුවට ගොස් දැඩි ලෙස විරෝධය පළ කළ අයගේ පවා හිස අතගා සැනසූ පුවතක් ඊයේ සමහර මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

මේ අතරම, පොලිස් නිලධාරීන්ට භාවනා උණක් බෝ කිරීමේ නීතියක් පැනවූ හෙතෙම භාවනා නොකර විදුලි සෝපානය (lift) ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය ඉටු කිරීමේ වරදට සුළු සේවකයෙකුට පහර දීමේ පුවතක්ද ලංකා නිවුස් වෙබ් විසින් වාර්තා කොට තිබේ. මේ අතරම, එකී සිද්ධියට අදාළ තොරතුරුවල වරදක් වේ නම් ඊට එරෙහිව අධිකරණයට වුව යා හැකි බවටද ඔවුන් වගකීම්සහගතව ප්‍රකාශ කර සිටී. මෙහි පුදුමයක් නැත. මේ අප බලාපොරාත්තු වූ පූජිත්ය. එකම නොගැලපීම පූජිත්ට මහින්ද රෙජීමය යටතේ පොලිස්පති වීමට නොහැකි වීම පමණි.

පොලිස් භාවනා පිස්සුවේ ප්‍රගතිය පරීක්ෂා කර බැලීම සඳහා ගිය පොලිස්පතිවරයා එම්. සමරකෝන් බණ්ඩා නමැති සුළු සේවකයෙකු තමන්ගේ අණ පරිදි භාවනා නොකර රාජකාරී ඉටු කිරීම මත බෙල්ලෙන් අල්ලා පහර දී ඇති අතර ඉන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති ලුඩොවයික් නමැති නිලධාරියෙකුටද "තෝ මොකද බොල භාවනා කරන්නේ නැත්තේ" යි විමසමින් අසභ්‍ය වචනයෙන් තර්ජනය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, අදාළ නිලධාරියා තමන් කතෝලික නිසා භාවනා කළ යුත්තේ ඇයිදැයි විමසූ විට "තෝ මොන ආගමේ උනත් මට කමක් නෑ බල්ලෝ, මං කියන විදියට භාවනා කරපිය" යනුවෙන් පොලිස්පතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.


මේ පිළිඉඳව කෙනෙකු මා සමග ප්‍රකාශ කර සිටියේ භාවනා වැඩසටහනට වසා දමන මූලස්ථාන ගේට්ටුව නැවත අරිනු ලබන්නේ පෙ. ව. 9.00 ට පමණ බවත්, නිලධාරීන්ගේ කෙටි නිවාඩු ඇතුළු නිවාඩු වරප්‍රසාද පවා එමගින් උල්ලංඝනය වන බවත්ය. මීට අමතරව, භාවනා කිරීම නිවැරදිව සිදු වනවාද යන්න පරීක්ෂා කිරීම සඳහා වෙනම උප පොලිස් පරීක්ෂකවරුන් කිහිප දෙනෙකු පත්කර ඇති බවද අසන්නට ලැබේ. මෙය රාජ්‍ය සේවකයන්ට බලපාන ආයතන සංග්‍රහය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සම්මත කොට ඇති මානව අයිතිවාසිකම්ද උල්ලංඝනය කිරීමකි. මේ සිද්ධියට අදාළව කතා කළ යුතු පැති කිහිපයක් ඇත.


පොලිස් පොඩ්ඩන් ගත යුතු පාඩම...
සාමාන්‍යයෙන් ලංකාවේ ඕනෑම පොලීසියක් වෙත යන සාමාන්‍ය පුරවැසියෙකුට අවම වශයෙන් තමන්ගේ පුරවැසිභාවයේ අභිමානයවත් රැකගෙන අදාළ අවශ්‍යතාවය ඉටු කරගෙන එළියට යාමට නොහැකි බව පොදු කාරණයකි. විශේෂයෙන්ම, මතුපිටින් 'සාමාන්‍ය' ලෙස හැඟෙන ඇඳුමින්, හැසිරීමෙන් සහ කතාබහෙන් යුතු පුද්ගලයන්ට පොලීසියේ අති බහුතර නිලධාරීන් කතා කරන ආකාරය ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. "තමුසෙ" යන්න මේ නූගත් කාකිකාරයන්ට ඉතා හුරු ආමන්ත්‍රණ පදයකි. පැමිණිල්ලක් සටහන් කිරීමට පොලීසියට යන බොහෝ අවස්ථාවල කාබන් පෑනක්ද රැගෙන යාමට සිදු වීමද සුලභ සිද්ධියකි. යම් හෙයකින් කිසියම් ලියවිල්ලක ඡායා පිටපතක් ලබා ගැනීමට අවශ්‍ය නම් ළඟම ඇති කොමියුනිකේෂන් එකට ගොස් ඒ කාර්යය කරගෙන එන ලෙසද ඇතැම් පොලීසිවලින් අණ ලැබේ. මේ පොලීසියේ ගෝත්‍රිකභාවය සඳහා ඉදිරිපත් කළ හැකි සාක්ෂි සම්භාරයෙන් අතළොස්සක් පමණි. මින් පෙරද ශ්‍රී ලංකාවේ පොලීසිය ම්ලේච්ඡත්වයෙන් ශිෂ්ටාචාරය කරා ඇදගෙන ඒමේ වැදගත්කම ගැන මගේ ලිපියක කරුණු මතු කර ඇත. පොලිස්පතිගේ අණ පරිදි භාවනා කරන පොලිස් කූඩු ඇතුළේ මිනිසුන්ගේ අතපය කැඩෙන, හුස්ම හිර වෙන සිද්ධිද එමටය. අප අසා ඇති පරිදි භාවනා කිරීමේ වටිනාකම ගැන දේශනා කළ බුදුන්වහන්සේවත් එය නීතියක් බවට පත් කළේ නැත. පූජිත්ගේ නොදැනුම්වත්කම ඉස්මතු වන්නේ මෙතැනය.

මේ සිද්ධියෙන් සමස්ථ පොලිස් සේවයේම මහජනතාව සමග ඍජුව ගනුදෙනු කරන නිලධාරීන් උගත යුතු වැදගත්ම පාඩම නම් පාලකයන් ඉදිරියේ දෙකට නැමෙන, බොරු ආගමිකත්වයක් මවා පෙන්වන මානසික රෝගීන් පොලීසියේ ඉහළ පුටුවල අරක්ගෙන සිටින තාක්කල් තමන් සිවිල් වැසියන්ට දක්වන සැලකිල්ලම ඔවුන් තමන් කෙරෙහිද දක්වනු නොඅනුමාන බවයි. අඩුම තරමින් මේ සිද්ධියෙන් පසුවත් මිනිසුන්ට ඔවුන්ගේ අභිමානය රැකෙන පරිදි කතා කරන්නටවත් ඉගෙන ගන්නවා නම් ඉතා වටියි.

පිස්සන්ට ගිය රටක්...
දේශපාලනය විකාරයක් වූ පසුබිමක එහි අතකොලු යාන්ත්‍රණ වන පොලීසිය වැනි ආයතන අනපේක්ෂිත ලෙස පිස්සු නැටීම සාමාන්‍ය සිරිතක් බව පූජිත්ගේ විකාර භූමිකාව පුන පුනා සනාථ කරයි. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම වේදිකාවල නිතර නිතර අවධාරණය කළේ මහින්ද රෙජීමයේ නීති විරෝධී සහ අත්තනෝමතික හැසිරීම වුවද ඒ තත්ත්වයෙන් ඔබ්බට ගොස් සැබෑ යහපාලනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය දේශපාලනික විභවය රැක ගැනීමට ඔවුහු අසමත් වූහ. පූජිත් වැනි හිස් ශරීර තුළින් අප අද දකින්නේ එහි ප්‍රතිඵල බව කිව යුතුය. අපට අවශ්‍ය වන්නේ උදෑසන රාජකාරී ඇරඹීමට ප්‍රථම අම්මාට වැඳ, දළදා මාළිගාවට මල් වට්ටියක් පූජා කරන උපාසක මහතුරුන්ට වඩා ශිෂ්ටාචාරය දිගේ ඉදිරියට යාමට උපකාරී වන සවිඥානික නිලධාරී පැළැන්තියක් බව මම මීට පෙරද අවධාරණය කර ඇත්තෙමි. මේ ආණ්ඩුව බලයට පත් වී ඉතාම කෙටි කාලයක් ඇතුළත ඊට සහාය දුන් පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රකාමී බලාපොරොත්තු බිඳ දැමීමට පටන් ගැනීමේ අතුරු ප්‍රතිඵල අද අපි දකිමින් සිටිමු.

පොලිස්පති තනතුර දැරීමට මොහු තවදුරටත් සුදුසු නොවන බව අපට හිතෙන තරමටම පිස්සු වැටී ඇති පූජිත් දැන් කළ යුත්තේ ඥානසාර වැනි රස්තියාදු සාදුලා කිහිප දෙනෙකු ගෙන්වා මසකට වරක් හෝ දීප ව්‍යාප්ත පොලිස් බණ සේවාවක්ද පටන් ගැනීමය. "බොනවද පිරිත් පැන් නැත්තන් පොවන්ඩද - යනවද නිවන් නැත්තන් තොපි යවන්ඩද" යනුවෙන් සඳහන් වූ කවියක් මුහුණුපොතේ පළ වූ බවට මට මතකයක් ඇත. වෙනත් ආගම් අදහන අය පවා බලහත්කාරයෙන් භාවනා කරවා නිර්වානාවබෝධයට පැමිණවීම තම දෛනික රාජකාරියක් කරගත් පුද්ගලයෙකුට ඒ වැඩේට හරියන්නේම ඥානසාර වැනි ටිකක් 'සැර' චීවරධාරීන්ම බව අමුතුවෙන් කිව යුතු නැත. මේ විකාර මානසිකත්වයෙන් බැරි වෙලාවත් හෝ ගැලවීමට කලින් මේ ගැනත් ඔහු සිතා බැලීම යෙහෙකි!

පූජිත්ලා බිහි කරන පාසල් කල්ලිවාදය ගැනත්...
ජූජිත් ජයසුන්දර පොලිස්පති තනතුරට පත් වනු ඇති බව පෙනී ගිය මොහොතේ පටන්ම ඔහුගේ ධර්මරාජ පාසල් සගයන් විසින් සමාජ මාධ්‍ය ආශ්‍රිතව දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරන ලද බව අපට මතකය. ඒ සියල්ලෙහිම අරමුණ වූයේ "අපේ එකෙක් ලොකු තැනකට යාමේ" සතුට ප්‍රකාශ කිරීමයි. මා නම් එහි කිසිදු වරදක් දකින්නේ නැත. මානව ශිෂ්ටාචාරය පුරාවටම මේ මවාගත් "අපේකම" ඉදිරියට ගමන් කරමින් පවතියි. කෙසේ වෙතත්, මට එහි ගැටළුව ඉස්මතු වන්නේ එකී 'අපේකමට' වසන් වී පූජිත් දියසෙන් කුමාරයෙකුගේ තත්ත්වයට ඔසවා තැබීමට දායක වූ ඇතැම් සහෘදයන් ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, සුළු ජාතික අයිතිවාසිකම් ආදිය ගැනද කතා කරන අය වීම තුළයි. මීට පෙරද අවස්ථා කිහිපයකදීම මම "පූජිත් සමස්ථ ලංකාවේ ‍පොලිස්පති මිස ධර්මරාජයේ හෙඩ් ප්‍රිෆෙක්ට් නොවන බව" සඳහන් කර ඇති අතර බොහෝ දම්රද ආදි සිසුවන්ට එය 'ඇල්ලුවේ' නැත. කෙසේ වෙතත්, මා තවදුරටත් අවධාරණය කරන්නේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අප විසින්ම ඔසවා තබනු ලැබෙන පාර්ශ්වයක් විසින් මිනිස් අයිතිවාසිකම් කඩ වීමක් සිදු වෙනවා නම් අවම වශයෙන් ඒ බව ප්‍රසිද්ධියේ පිළිගැනීමට සහ පෙර ලෙසම සඳහන් කිරීමට තරම්වත් මිනිස්කමක් අපට තිබිය යුතු බවයි. එක අතකින් පූජිත්ලාගේ ඇහැ ඇරෙන්නටද එය හේතුවක් වනු නොඅනුමානය.

මේ නිසා, පූජිත් ධර්මරාජ ආදි සිසුවෙකු වීම නිසාමත්, ඔහු බාහිර සමාජයට මවා පෙන්වන ගනයේ බෞද්ධයෙකු වීම නිසාමත් ඔහුගේ ඇඟේ සුද තැවරූ අයටද මින් මත්තට හෝ සිතා බලන්නට පාඩම් රැසක් ඔහු කියා දෙමින් සිටියි.

-අශාන් වීරසිංහ- 

Top