1150 x 80 px

මනෝ විකාරයෙන් දොඩවන ජනපතිගේ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂවරයාට මුහුණු පොතෙන් විරෝධය!

ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂවරයා වන සිරස රූපවාහිනියේ රථ වාහන ගැන වැඩසටහන් ඉදිරිපත් කළ මාධ්‍යවේදී සමීර ද සිල්වා මීතොටමුල්ල කුණු කන්ද නායේ යෑමේ ඛේදවාචකය පිළිබඳ බොහොම අපුරු සටහනක් සිය මුහුණු පොතේ කොටා තිබුණි.

ඔහුට අනුව මීතොටමුල්ලේ අනතුර සිදුවීමට පැය 12කට පෙර සංඥා මතුව තිබේ.එහෙත් ජනතාව අදනම් මැරෙනවාමයි කියා ජනෙල් වීදුරු කැඩුණු,බිත්ති පුපුරපු ඒ විතරක් නෙවෙයි ඇලවුණු බිත්ති සහිත නිවසේම දරුවන්ද සමඟ ඉද ඇත.සමීරට අනුව අපේ මිනිසුන්ගේ අවදානමට පෙර සුදානම හොඳටම මදිය.කුණු කන්ද හිසමතට කඩා වැටෙන තුරුම ඔහේ බලා ඉඳ ඇත.

 ගමේ සුද්ද සිංහල මතක්වෙන්නේ මෙවන් ගොබ්බ කතා දකින විටය.

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව බෝපගේලා,කිර්තිරත්නලා පෙරටු කරගත් අරගල නොදකින්නට ඇතැම් විට සමීර පසුගිය වසර කිහිපයේ මේ ග්‍රහලෝකයේ නොසිටින්නට ඇත.කුණු කන්දට එරෙහිව එදා මෙදා පාලකයන් සමඟ ගැටී ඔළු පලාගෙන,කඳුළු ගෑස් කාගෙන,හිරේ විලංගුවේ වැටීගෙන ඒ බිමේ ජනතාව කළ අරගලය සමීර නොදකින්නට ඇත."මතක තබා ගන්න.සමීර ද සිල්වා යනු රටේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් වන වග."

සමීර නොදන්නවා වුවාට මීතොටමුල්ලේ මිනිස්සු හුස්ම ගත්තේ කෙසේද යන්න අපි හොදින්ම දනිමු.කොළඹ මිනිසුන්ගේ පාප කදට යටවී කුණු හිරවී මියෙන තෙක්ම ඔවුන් ජිවත් වුයේද මැරී මැරීය.එය සමීරලාට මෙන්ම සමීරලාගේ නායකයන්ටද නොදැනුණු නිසා අද රටම මේ ඛේදවාචකය අභියස කම්පිත්වය.(සමාවෙන්න සමීරලා හැර)

ඔක්කොම කුණු බේරේ වැවට මෙන් හැමදාමත් මෙවන් සමාජ ප්‍රශ්න අභියස මැරී මැරී ඉපදුණේ අහිංසකයන්ය.සමීර නොදන්නවා වුවාට සමීරලා පවා නඩත්තු කළේ මේ මිනිසුන්ය.එහෙයින් මෙවන් ඛේදවාචක ඉදිරියේ පපු කැවුත්ත උණු වන්නේ නැත්නම්..............අවම වශයෙන් වෘත්තීය භාවිතාව වෙනුවෙන්වත්..............?

සමීර, මේ මිනිස්සු කුණු කන්ද අයින් කරගනිල්ලා කිව්වේ අද ඊයේ නොවෙයි.මේ විපත් ගැන ඔවුන් ජනතා නියෝජිතයන් වන පාලකයන්ට ඕනෑවටත් වඩා මතක් කර දී තිබේ.එහෙත් එදා මෙදා පාලකයන්ට මේ ඇත්ත ප්‍රශ්නය මඟ හරින්නට බොහොම අපූරු කතා තිබුණි.අදටත් වෙනසක් වී නැත.මේ මොහොතේ වෙහෙසෙන්නේත් ඇඟ බේරා ගෙන අතපිහදා ගැනීමටය.සමාවන්න මාධ්‍යවේදී ඔබගේ සියුමැළි හදට,මනසට එය නොවටහෙනවා ඇත.මීතොටමුල්ලේ මිනිසුන්ගේ අවදානමට පෙර සුදානම ගැන ඔබ පවසන්නේ එහෙයින් විය හැකිය.

අවාසනාවන්තම තත්ත්වය නම් සමීරගේ සියුමැළි මනසට මේ විපත ස්වභාවික විපතක් නොවන වගද වැටහී නැති එකය.අහෝ රටේ අනාගතය!

මීතොටමුල්ලේ ඛේදවාචකය පිළිබඳ අඛණ්ඩව නිවැරදි වාර්තාකරණයක නියැලුණු මාධ්‍යවේදී කසුන් පුස්සවෙලද සමීරගේ සටහන විවේචනය කරමින් මුහුණු පොතේ සටහනක් කර තිබුණි. මේ අතර සමීරගේ සටහනට මුහුණු පොතේ දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ නිසාම ඔහු එය ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

 

 

Top