Untitled 1

ජීව අවි වලින් ලෝක ප්‍රජාවෙන් මි.30 ක් වනසන්නට ත්‍රස්තවාදීන්ට පුලුවන් -  බිල් ගේට්ස්

ජෛව ත්‍රස්තවාදීන්ට ඉතා සුලු වේලාවකින් ඉතා ලෙහෙසියෙන්ම මිලියන 30 ක් දෙනාගේ ජීවිත වනසා දැමීමේ හැකියාව ඇතැයි මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ප්‍රකාශ කරයි.

ඔහු තවදුරටත් කියා සිටින්නේ මාරක බැක්ටීරියා සහ මාරක වෛරස් වැනි ජෛව විෂබීජ පතුරුවා හැරීම මගින් මෙසේ කළ හැකි වීමේ අවදානම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි. මේ කරුණු සවිස්තරාත්මකව ඔහු විසින් අවධාරණය කළේ ''රුසී'' නමැති කෙටි නමින් හඳුන්වන ලන්ඩනයේ රාජකීය එක්සත් සේවා ආයතනයේ පැවැත්වූ දේශනයකදී ය.

''ජෛව ත්‍රස්තවාදය වසංගතයකටත් වඩා විශාල තර්ජනයක්'' යැයි එහිදී බිල් ගේට්ස් පැවසීය. ''... ජීව විද්‍යාව විශාල වශයෙන් දියුණු වීම තුළ ත්‍රස්තවාදීන්ට වසූරිය වැනි අතිශය මාරක සහ මිනිසා තුළ කිසිදු ප්‍රතිශක්තියක් හෝ මිනිසා විසින් ඖෂධයක් සොයාගෙන නොමැති විෂබීජයක් පවා නැවත නිපදවීමේ හැකියාව ලැබෙනවා...'' යැයි ද ඔහු එහිදී තවදුරටත් පවසා සිටියේය.

''මෙවැනි අවියකින් කළ හැකි හානිය සමහරවිට න්‍යෂ්ටික අවියකින් කළ හැකි හානියටත් වඩා විශාලයි. මේ අනුව විශාලතම අවදානම ඇතිවිය හැක්කේ ස්වභාවික ව්‍යසනයක් ලෙසින් දිස්විය හැකි හෝ හිතාමතාම නිර්මාණය කළ මෙවැනි ජෛව ත්‍රස්තවාදී ආසාදනයකින් වන්නට පුලුවන්. මෙවැනි ඛේදවාචකයකින් වසරක් ඇතුළත මිලියන 30 ක් දෙනා මරණයට පත්කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා ලෝකය මේ ගැන කල්පනා කිරීම අවශ්‍යයි.'' යැයි ඔහු පැවසුවේය.

වසර 1919 දී ලොව පුරා මිලියන 100 ක් දෙනා මරණයට පත් කළ ස්පාඤ්ඤ උණ වසංගතය, බිල් ගේට්ස් මේ පවසන්නේ හුදු සුරංගනා කතාවක් නොවන බවට ජීවමාන සාක්ෂි සපයයි. සිකා වෛරස් වසංගතය සහ එබෝලා වෛරස් වසංගතය මේ වන විට විසිඑක්වන සියවසේ මාරක විපත් ඇති කළ හැකි අවස්ථා වශයෙන් හඳුනාගෙන තිබේ.

මේ අතර වසූරිය වෛරස් රෝගය පිළිබඳ සැලකුවහොත්, 18 වන සියවසේ අගභාගයේදී යුරෝපය පුරා පැතිරී ගිය වසූරිය වසංගතයෙන් ලක්ෂ 4 ක් දෙනාද, 20 වන සියවසේ පැතිර ගිය වසූරිය වසංගතයෙන් ලොව පුරා මිලියන 300-500 ත් අතර පිරිසක්ද මියගිය බවට වාර්තා ඇත. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව 1967 වසරේ පමණක් ලෝක ජනගහනයෙන් මිලියන 15කට වසූරිය වැළඳුණු අතර එයින් මිලියන 2 ක් දෙනා ජීවිතක්ෂයට පත්වූහ.

බයෝටෙරරිසම් හෙවත් ජෛව ත්‍රස්තවාදය නූතන ලෝකය මුහුණ දෙන අති දැවැන්තම සහ භයානකම අනාගත තර්ජනය බවට සැක කෙරේ. බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් විසින් පවත්වාගෙන යනු ලබන ''බිල් සහ මෙලින්ඩා ගේට්ස් පුණ්‍ය පදනම'' විසින් මේ වන විට මෙවැනි ජෛව ත්‍රස්තවාදී උවදුරු මර්දනය කිරීම පිණිස අවශ්‍ය පර්යේෂණ කටයුතු සඳහා අරමුදල් සම්පාදනය  කිරීමේ යෙදී සිටියි.

Top