1150 x 80 px

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (7) - ගාමිණී වියන්ගොඩ

සයිටම් විද්‍යායතනය ආශ්‍රයෙන් අද මතු වී ඇති ප්‍රශ්නවල විවිධ පැති ගැන සාකච්ඡා කිරීමේදී ප්‍රධාන ප්‍රශ්න දෙකක් මූලික වශයෙන් අප ඉදිරියේ නැවත නැවතත් මතු විය. එකක් වන්නේ, උසස් පෙළ සමත් ශිෂ්‍යයන්ගෙන් අති විශාල ප්‍රතිශතයකගේ උසස් අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කිරීමට රාජ්‍යය දක්වා ඇති අසමත් භාවයයි. 2015 වසර උදාහරණයට ගතහොත්, අපොස සමත් සිසුන්ගෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගෙන ඇත්තේ සියයට 18 ක් පමණි. එනම්, උසස් පෙළ සමත් සිසුන්ගෙන් සියයට 82 කට ඔවුන්ගේ විශ්ව විද්‍යාල වරම් අහිමි කරනු ලැබ ඇති බවයි. තවත් විදිහකින් කිවහොත්, සියයට 18 ක් වන ශිෂ්‍ය ප්‍රජාවකගේ “නිදහස් අධ්‍යාපනය” සහතික කරන අතරේ තවත් සියයට 82 ක ශිෂ්‍ය ප්‍රජාවකගේ “අධ්‍යාපනයේ නිදහස” අප උදුරාගෙන ඇති බවයි. ඊට අවුරුදු 10 කට කලින්, එනම් 2006 දී විශ්ව විද්‍යාල වරම් අහිමි කරනු ලැබූ උසස් පෙළ සමත් ශිෂ්‍ය ප්‍රතිශතය සියයට 86 ක් විය. අවුරුදු 10 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ පවා ප්‍රමාණවත් මට්ටමකින් ප්‍රශ්නයට පිළියම් සෙවීමට අපට හැකි වී නැත.

වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ගත් විට, 2011 දී අපොස සමත් සිසුන්ගෙන් රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගෙන ඇත්තේ සියයට 34.68 ක් පමණි. එනම් එම ධාරාවෙන් සමත් සිසුන්ගෙන් සියයට 65.32 කගේ වෛද්‍ය විද්‍යා උසස් අධ්‍යාපනය උදුරා ගනු ලැබ ඇති බවයි. හෙවත්, වෛද්‍ය අධ්‍යාපනය ලබන සියයට 34.68 ක ශිෂ්‍ය ප්‍රජාවකගේ “නිදහස් අධ්‍යාපනය” සුරක්ෂිත කරන අතරේ, සියයට 65.32 කගේ “අධ්‍යාපනයේ නිදහස” උදුරාගනු ලැබ ඇති බවයි. ඉහත ඡේදයේ විස්තර කළ පරිදි, සමස්තයක් වශයෙන් විශ්ව විද්‍යාල පද්ධතියෙන් බැහැර කරනු ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතය අවම කර ගැනීමේ ඉතා සුළු ප්‍රගතියක් පෙන්නුම් කොට තිබුණද, වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් අපට දැක ගත හැකි වන්නේ එහි අනෙක් පැත්තයි. 2014 වන විට උසස් පෙළ සමත් සිසුන්ගෙන් රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගෙන ඇත්තේ සියයට 26.97 ක් පමණි. එනම්, එම ධාරාවෙන් සමත් සිසුන්ගෙන් සියයට 73.03 කගේ වෛද්‍ය විද්‍යා උසස් අධ්‍යාපනය අප උදුරාගෙන ඇති බව හෙවත් 2011 වසරට සාපේක්ෂව සළකන කල අප තවත් පල්ලම් බැස ඇති බවයි.
    
දෙවැනි ප්‍රශ්නය වන්නේ, රටට අවශ්‍ය කරන තරමේ වෛද්‍යවරුන්ගේ බරපතල හිඟයක් පියවා ගැනීමට එක දිගටම අප දක්වා ඇති අසමත් භාවයයි. දැනට අපට සිටින්නේ 17,000 ක් පමණ වන වෛද්‍යවරුන් සංඛ්‍යාවකි. රජයේ වෛද්‍ය පීඨවලින් වසරකට පිටවන්නේ වෛද්‍යවරුන් 1250 ක් පමණි. ඒ අනුව, අපේ ජනතාවගෙන් 1000 ක් දෙනා සඳහා සිටින්නේ වෛද්‍යවරුන් 0.55 ක් පමණි. ඒ අතින් අප සිටින්නේ ලෝකයේ රටවල් 200 ක් අතුරින් 127 වැනි ස්ථානයේ ය. දකුණු ආසියාවේ රටවල් අට අතුරින් ගත්තොත්, බංග්ලාදේශය (0.26) නේපාලය (0.21), ඇෆ්ගනිස්තානය (0.19) සහ භූතානය අපට වඩා පහළින් සිටී. එහෙත් මාලදිවයින (0.92) පාකිස්ථානය (0.74) සහ ඉන්දියාව (0.6) සිටින්නේ අපට වඩා ඉදිරියෙනි. විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ගත් විට අපේ තත්වය මීටත් වඩා බරපතලයි. එහිදී ජනගහනයෙන් 1000 කට සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් 0.04 ක් පමණි.

ඉහත විස්තරය සාරාංශගත කළ විට, එක පැත්තකින් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේ “අධ්‍යාපනයේ අයිතිය” සුරක්ෂිත කිරීම සඳහාත්, අනිත් පැත්තෙන් වෛද්‍යවරුන්ගේ හිඟය පියවා ගැනීම සඳහාත් පිළිතුරක් සොයා ගත යුතුව තිබේ. ‘එට්කා’ වැනි ගිවිසුමක් හරහා ඉන්දියානු වෛද්‍යවරුන් ලංකාවට එතැයි බියක් අපේ වෛද්‍ය සංගමය තුළ තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම ගිවිසුමට විරෝධය දක්වන එක හේතුවක් එයයි. එසේ නම් කළ යුතුව ඇත්තේ ලංකාවෙන්ම වෛද්‍යවරුන් නිෂ්පාදනය කර ගැනීමයි. ඒ සඳහා ඇති එකම මග වන්නේ, අර කී ශිෂ්‍යයන්ගේ අයිතිය සුරක්ෂිත කිරීම හෙවත් අපොස උසස් පෙළ සමත් වෛද්‍ය අංශයේ උපරිම ශිෂ්‍ය සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනය ලබා දීමට පියවර ගැනීමයි.

 (“සල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?” යනුවෙන් මෝඩ ප්‍රශ්නයක් මොන්ටිසෝරි සමාජවාදියෝ තලුමරති. සල්ලි තියෙන එකා තුන් වේල කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ යනුවෙන් අපට ප්‍රශ්න කළ හැකිය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත යුතු බවට සැකයක් නැත. එහෙත් ඊට පිළිතුරු සොයා ගන්නා තෙක් සල්ලි තියෙන එකා නොකා නොබී සිටිය යුතු යැයි කියන කිසි සමාජවාදියෙක් සිටිත්ද?)
 
“අධ්‍යාපනයේ අයිතිය” රජයෙන් ඉටු කළ යුතු යැයි කියන පරමාදර්ශී ඉල්ලීමක එල්ලී සිටීමට බැරි කමක් නැත. එහෙත් එම ඉල්ලීම, නොකෙරෙන වෙදකමකට කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයමින් සිටීම හෙවත් ඉබ්බාගෙන් පිහාටු පැතීමක් වැනි ය. ප්‍රගතීශීලීන් සහ සමාජවාදීන් වශයෙන් පෙනී සිටීම සඳහා පමණක් එම ඉල්ලීමේ එල්ලී සිටීමට හැකියාව ඇතත් එය අපේ ප්‍රශ්නයට පිළිතුරක් සපයන්නේ නැත. එනිසා, “අධ්‍යාපනයේ අයිතිය” ලබා දීම සඳහා අනිවාර්යයෙන්ම පෞද්ගලික ආයෝජනය යොදා ගත යුතුව තිබේ.  

එහිදී මතු වන ප්‍රශ්නය වන්නේ, එසේ පෞද්ගලික ආයෝජනය යොදා ගැනීම හරහා ඇති කෙරෙන විසඳුම තුළ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයට මුහුණදීමයි. ගාල කඩාගෙන ගියොත්, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් වුවත් පෞද්ගලික ආයෝජනය අනර්ථකාරී විය හැකි බවට සැකයක් නැත. එය පෞද්ගලික ආයෝජනය සම්බන්ධයෙන් පමණක් නොව රාජ්‍ය ආයෝජනය සම්බන්ධයෙන් ද එක සේ බලපැවැත්වෙයි. එසේ තිබියදී, වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන පෞද්ගලික ආයෝජනයට කොන්දේසි විරහිතව විරෝධය පෑම මුග්ධ ය. අද වෛද්‍ය අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය පරම්පරාවෙන් සියයට 90 ටත් වැඩි පිරිසක් එම තත්වයට පැමිණ ඇත්තේ, පාසල් අධ්‍යාපනයට අමතරව පෞද්ගලික පංතිවල උදව්වෙන් බව මෙහිදී සිහියට ගත යුතුය. වෛද්‍ය අධ්‍යාපනය සඳහා තෝරා ගැනීමට, අපොස උසස් පෙළ දක්වා පෞද්ගලික අධ්‍යාපනය හොඳ නම්, එතැනින් පසු විශ්ව විද්‍යාල වෛද්‍ය අධ්‍යාපනික මට්ටම සඳහා පෞද්ගලික අධ්‍යාපනය නුසුදුසු වීමට හේතුවක් නැත. එබැවින් ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් වශයෙන් අප ඉදිරියේ ඇත්තේ, පෞද්ගලික ආයෝජනය වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොදා ගන්නේද නැද්ද යන්න නොව, එසේ යොදා ගන්නා පෞද්ගලික ආයෝජනය තුළ නිසි ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීමට කොතෙක් දුරට අප සමත් වන්නේද යන්නයි.

ඇත්ත වශයෙන්ම, ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය සයිටම් විශ්ව විද්‍යාලයට පමණක් අදාළ වන ප්‍රශ්නයක් නොවේ. එය, රජරට විශ්ව විද්‍යාලය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලය වැනි රජයේ වෛද්‍ය පීඨවලට සේම, කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ද එක සේ අදාළ වන්නේය. නිකං ලැබෙන අශ්වයාගේ දත් තියෙනවා ද යන්න ප්‍රශ්නයක් නොවේ. රජයේ විශ්ව විද්‍යාලයක ලැබෙන අධ්‍යාපනයේ ප්‍රමිතිය උසස් කර ගැනීම සඳහා අධ්‍යාපනයට කෙලින්ම අදාළ ශිෂ්‍ය ප්‍රජාවෙන් මොන විදිහක හෝ තෙරපුමක් නොඑන්නේ, නිකං ලැබෙන අශ්වයාගේ දත් ගැන සොයා බැලීමේ සිරිතක් නැති හෙයිනි. අනිත් අතට, නේරංජනා ගඟට උඩින් පනින්නේ නම්, ඌ කන්ථක අශ්වයාම විය යුතු ද නැත. එබැවින් එම අශ්වයා ‘සයිටම්’ නමින් හැඳින්වීම එම අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාට ප්‍රශ්නයක් නොවේ. රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා තමන්ට නොමිලේ ලැබෙන නිසා එම අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඇස් වසාගෙන සිටියාට, ලක්ෂ සීයක් පමණ වියදම් කරන සයිටම් ශිෂ්‍යයා තමන්ගේ අධ්‍යාපනය ගැන ඇස් කන් පියාගෙන සිටින්නේ නැත. මන්ද යත්, ලක්ෂ සීයක් යනු සෙල්ලමක් නොවන බැවිනි. එබැවින්, ප්‍රමිතිය පිළිබඳව අදාළ සෘජු පාර්ශ්වයේම මැදිහත් වීමක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකදී අපට දැක ගත හැකිය.

එපමණක් නොව, ලංකාවට පැමිණෙන විදේශ විශ්ව විද්‍යාල 270 ක පමණ වෛද්‍ය උපාධිධාරීන්ටත් මේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය අදාළ වෙයි. මේ විදේශ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිසි සොයා බැලීමක් කර ඇති බවට සාක්ෂි නැත. කෙසේ වෙතත්, ඒ වෙනුවට එම ශිෂ්‍යයන් සඳහා ලංකාවේදී වෙනම විභාගයක් පැවැත්වීම සිදු කෙරේ. යම් හෙයකින් ඔවුන් අධ්‍යාපනය ලැබූ විදේශ වෛද්‍ය පීඨවල යම් දෝෂයක් ඇතොත් එය, ලංකාවේ පැවැත්වෙන විශේෂ විභාගයක් හරහා පරීක්ෂාවට ලක් කළ හැකි බවට විශ්වාස කෙරේ. එසේ නම්, සයිටම් විශ්ව විද්‍යාලයෙන් සමත් වන ශිෂ්‍යයන්ටත් එවැනි විභාගයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කරන්නේ මොන පදනමක් යටතේ ද?

මේ දක්වා සයිටම් විරෝධීන් ඉදිරිපත් කළ සෑම චෝදනාවක් සඳහාම වන ප්‍රතිකර්මයක් මෑතකදී ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ යෝජනා මාලාව තුළ තිබේ. ‘තනි ධනපතියෙකු’ පිළිබඳ ඇති මාත්සර්යයට පිළිතුරක් වශයෙන් සයිටම් ආයතනයේ ‘ධනපති අයිතිය’ පුළුල් කළ යුතු බවටත්, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත යුතු බවටත් යෝජනා කොට තිබේ. සායනික සහ වෝහාරික අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ ඇති ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් රජයේ රෝහල් කිහිපයක නියමිත කාලයක් තිස්සේ ලබන පුහුණුවක් යෝජනා කොට තිබේ. අවසාන වශයෙන්, සයිටම් ආයතනයෙන් එම්.බී.බී.එස්. උපාධිය ලබා පිටවන සෑම ශිෂ්‍යයෙකුම රජය මගින් පවත්වන තවත් විශේෂ විභාගයකින් සමත් විය යුතු බවටත් එකඟත්වය පළවී තිබේ.

ඉතිං දැන් ඇති ප්‍රශ්නය කුමක්ද? “මස් රාත්තලම” අවශ්‍ය වීමයි. සමහර ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නොහැක. හේතුව, ප්‍රශ්නය ඉදිරිපත් කරන්නාට වැදගත් වන්නේ ප්‍රශ්නයම මිස පිළිතුරක් නොවන බැවිනි. ඔහු යැපෙන්නේ ප්‍රශ්නයෙනි. තුවාලයට ආදරය කරන්නේ හිඟන්නන් ය. වෛද්‍යවරුන් කළ යුත්තේ තුවාලය සුව කිරීමට පේ වීමයි.

- රාවය-

සබැදි සටහන්

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (6)

Top