Untitled 1

ආඩම්බරකාර (රිපබ්ලිකන්) තාත්තා දෝෂාභියෝගයක් අබියසද?

ට්‍රම්ප් විසින් එෆ්බීඅයි ලොක්කා ගෙදර යැවීම වනාහී ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වෙත එල්ල කළ තීරණාත්මකම පරීක්ෂාවයි. මෙම ආයතන මේ අත්තනෝමතික යැයි පෙනෙන සහ අත්තනෝමතික ද විය හැකි මෙම සිද්ධියට ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද? එම ප්‍රතිචාරයන් විසින් මේ ව්‍යවස්ථා අර්බුදය සංවරණ හා තුලන ක්‍රමයට විසඳාගන්නේ කෙසේද යන්න තීරණය කරනු ඇත.

ඉහත ඡේදයේ අවසන් පේළියේ යම්කිසි හුරුපුරුදු බවක් ඔබට හැඟී ගියාද? නැවත කියවන්න. ව්‍යවස්ථා අර්බුදයක් ඇති මොහොතක සංවරණ හා තුලන න්‍යාය...? පැහැදිලිවම ඔව්. මේ ලංකාවේ ද සින්දුව නොවේද? කෙසේ නමුත් ඉහත පේළිය අප උපුටා ගන්නේ ෆොරින් පොලිසි (Foreign Policy) සඟරාවෙනි.

සංවරණ හා තුලන න්‍යාය හෙවත් ''චෙක් ඇන්ඞ් බැලන්ස් න්‍යාය'' යනු දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටවල බලය බෙදීමක් සහිත ආයතන එකිනෙකින් ස්වාධීනව, නමුත් එකිනෙකාගේ අධීක්ෂණය යටතේ පාලනය වෙමින් ක්‍රියාත්මක වීමයි. මෙම ආයතන ත්‍රිත්වය වන්නේ ව්‍යවස්ථාදායකය,  විධායක සහ අධිකරණයයි. මේ අනුව දැන් විසඳා ගත යුතුව තිබෙන පැනය ඇමරිකාවේ විධායක ජනපති නැටූ පිස්සුවට ව්‍යස්ථාදායකය සහ අධිකරණය කෙසේ ප්‍රතිචාර දක්වාවිද යන්නයි. වෙනත් වචනවලින් කියන්නේ නම් කොංග්‍රසය සහ අධිකරණ අමාත්‍යාංශය ට්‍රම්ප් ට විරුද්ධව කුමන ''ඇක්ෂන්'' එකක් ගනීවිද යන්නයි. මේ මොහොතේ ඔවුන් ට්‍රම්ප්ට එරෙහිව නැගිටීවිද නැතිනම් ඔවුනුත් විධායකයේ එසේත් නැතිනම් ධවල මන්දිරයේ පීඩනයට හසු වේවිද..? වෙනත් වචනවලින් කියන්නේ නම් ඇමරිකාවත් මෙයට වසර දෙකු තුනකට පෙර,  එනම් ''පෙර රජ සමයේ'' පැවති ලංකාව වගේම වේවිද?

ට්‍රම්ප් විසින් එෆ්බීඅයි ප්‍රධානියා ව ගෙදර යවන්නේ එම ආයතනය ඔහු සහ ජනපතිවරණ ප්‍රචාරක සමයේ රුසියාව අතර පැවති යම් සබඳතාවක් තිබේදැයි සොයන්නට එම ආයතනය විමර්ශන ආරම්භ කර සිටියදී ය. මේ නිසා ඇතැම් විචාරකයෝ මේ සිද්ධිය වෝටර්ගේට් සිද්ධියට ද සමාන කරති. එදා 1972 ජූනි 17 වැනිදා වොෂින්ටනයේ වෝටර්ගේට් කාර්යාල සංකීර්ණයේ පිහිටා තිබූ ඩිමොක්‍රටික් ජාතික කමිටු මූලස්ථානයට සිදුකළ කඩාවැදීමක් සම්බන්ධයෙන් රිචඞ් නික්සන්ගේ පරිපාලනය සම්බන්ධ බවට සැක පළ විය. ඇමරිකානු කොංග්‍රසය මේ සිද්ධිය සහ නික්සන් පරිපාලනය අතර සම්බන්ධයක් තිබේදැයි ඉන්තේරුවටම සොයාගැනීමට පරීක්ෂණයක් ආරම්භ කළේය. එෆ්බීඅයි පරීක්ෂණවලින් ඒ බවට කරුණු හෙළිවෙමින් තිබියදී එනම් මෙම විමර්ශනය අතරතුර 1973 වසරේදී ජනපති රිචඞ් නික්සන් එම විමර්ශනයට සම්බන්ධ එක් නිලධාරියෙක් හිතුමතේට අස්කර ගෙදර යැව්වේය. අවසානයේ එයින් ඇති වූ මහා ව්‍යවස්ථා අර්බුදයට නික්සන් ට මුහුණ දී ගන්නට බැරි විය. සෙනෙට් වෝටර්ගේට් කමිටුව විසින් ජනපති කාර්ය මණ්ඩලයේ අයගෙන් පවා සාක්ෂි කැඳවිණි. නික්සන්ගේ ජනපති කාර්යාලයේ සිදුවන සංවාද පටිගත කරන ටේප් සිස්ටම් එකක් තිබුණි. නමුත් නික්සන් එක හෙළා කියා සිටියේ මේ හඬපට ලබාදෙන්නට බැරි බව ය. ගැටලුව අධිකරණයට ගියේය. අවසානයේ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය එකහෙළා කියා සිටියේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන ආණ්ඩුවේ විමර්ශකයන් වෙත එම හඬපට ලබාදීම සඳහා ජනපති නික්සන් බැඳී සිටින බව ය. බඩු සම්භ විය! ජනපති නික්සන් එම සිද්ධියට සම්බන්ධ වූවන් රකින්නට කතා කරන අන්දමත් එම පරීක්ෂණ නොමග යැවීම සඳහා ෆෙඩරල් නිලධාරීන්ට බලපෑම් කරන ආකාරයත් එහි මනාව සටහන් වී තිබිණි. ඉතින් කොංග්‍රසයෙන් දෝෂාභියෝගයට ලක්කරන්ට සහ සෙනෙට් සභාව විසින් වරදකරුවෙක් කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී නික්සන් ඉල්ලා අස්වුණේය. එනම් නික්සන් ද ගෙදර ගියේය.

මේ වෝටර්ගේට් කතාන්දරය සිතේ තබාගෙන අද දිනයේ ඇමරිකාව මුහුණ දී ඇති සිව් වැදෑරුම් ප්‍රශ්න මොනවාදැයි දැන් විමසා බලමු.

1. කොංග්‍රසයේ සිටින රිපබ්ලිකානුවන් ට්‍රම්ප් ට එරෙහිව නැගී සිටිමින් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටීවිද?

ට්‍රම්ප් ඇමරිකාවේ සිටින ආඩම්බරකාර (රිපබ්ලිකන්) තාත්තා ය. දැනට දින සීයකට පෙර සියලු රිපබ්ලිකානුවනගේ පරම පැතුම වුණේ ඔහු ය. කිසිදු විවාදයක් නැතිව ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දැනටමත් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව හෙළා දැක ඇත. නමුත් කොංග්‍රසයේ සිටින රිපබ්ලිකන් සාමාජිකයන් තමන්ගේ නායකයා පිස්සෙක් බව පිළිගන්නට දැනවත් ලැහැස්තිද? ඔවුන් දැනට පළ කර තිබෙන්නේ ම ිශ්‍ර ප්‍රතිචාරයන් ය. බහුතරය කලබල වී ඇති සෙයක් පෙනුණ ද ට්‍රම්ප්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය හා රුසියාව අතර තිබෙන පටලැවිල්ල සෙවීම සඳහා ස්වාධීන කොමිසමක් හෝ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට බහුතරය තවම කැමති නැත.

නමුත් ට්‍රම්ප් සහ ඔහගේ පිරිස, රුසියාව සමග මුදල් විශෝධන හෙවත් කලු සල්ලි ගනුදෙනුවක පැටලී සිටියේදැයි සොයා බලා වාර්තා කරන ලෙසට සෙනෙට් සභාව විසින් මහාභාණ්ඩාගාරයට දැනුම් දී ඇත. මේ අතර ඔබාමාගේ පළමු  ජනපති සටනේදී ජනප්‍රිය රිපබ්ලිකන් අපේක්ෂකයෙකු වූ සහ ඇරිසෝනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් නියෝජිත  ජෝන් මැකේන් පවසා තිබෙන්නේ තමන් එෆ්බීඅයි ලොක්කා සේවයෙන් පහකළ බව අසා මහත් සේ බලාපොරොත්තු කඩ කරගත් බවයි. නෙබ්රස්කාවේ රිපබ්ලිකන් නියෝජිත බෙන් සාසේ කීවේ මේ අස්කිරීම මහත් ගැටලුකාරී බව ය. ඇරිසෝනා රිපබ්ලිකන් නියෝජිත ජෙෆ් ෆ්ලේක් මෙසේ කීවේය. ''මම පැය ගාණක් ගත කළා මේ අස්කිරීම සාධාරණීකරණය කරන්න පුලුවන් හේතුවක් හොයාගන්න. ඒත් මට බැරිවුණා.!''

කෙසේ වෙතත් මේ මොහොතේදීත් රිපබ්ලිකන් බහුතරය ගලේ පැහැරූ බළලුන් මෙනි. ගඳ වසාගන්නට මොනවා කරන්නදැයි නොදැන ළතවෙති. කුහකයන් යැයි ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ට බැණ වදිති. සෙනෙට් සභාවේ බහුතර නායක මිට් මැකොනෙල් පවා තවමත් කියන්නේ ට්‍රම්ප්ගේ තීරණය නිවැරදි බව ය. දැනට කොංග්‍රසය විසින් ද්විත්ව පරීක්ෂණයක් පවත්වන බැවින් ඒ ගැන තවත් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි ද ඔහු කියන්නේය.

2. FBI සහ අධිකරණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරයිද නැතිනම් ඇනගනීවිද?

ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවය සහ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පැවැත්වීමට සමත් වේවිද යන්න විමසා බැලිය යුතු දෙවන වැදගත් ප්‍රශ්නයයි. වාර්තා වන ආකාරයට ෆෙඩරල් ඔත්තු සේවා ලොක්කාව අස් කර තිබෙන්නේ රුසියාව ගැන පරීක්ෂණය ඉදිරියට කරගෙන යාම සඳහා වැඩිපුර සම්පත් සහ පුද්ගලයන් ඉල්ලා සිටීමෙන් දින කිහිපයකට පසු ය. එසේ නම් දැන් ප්‍රශ්නය වන්නේ ට්‍රම්ප් පත්කරන්නට යන ඊළඟ කෙනාට මේ සම්පත් ලැබේවිද සහ එසේ ලැබුණත් ඔහු අපක්ෂපාතී ලෙස කටයුතු කරන්නට සමත් වේවිද යන්නයි. නව ෆෙඩරල් ඔත්තු සේවා අධ්‍යක්ෂවරයා ඒ සම්පත්” විමර්ශන දුර්වල කිරීම සඳහා යොදානොගනීවි යැයි කාට කිව හැකිද?

මේ තත්වයම ඇමරිකානු අධිකරණයේ සේවය කරන සිවිල් සේවකයන්ට සහ අභිචෝදකයන්ට ද අදාළ වේ. ධවල මන්දිරයෙන් එල්ල වන පීඩන නොතකා සිය රාජකාරිය නිදහසේ කරන්නට ඔවුන්ට හැකි වේවිද? ට්‍රම්පා දැනටමත් කියා තිබෙන්නේ මෙවැනි පරීක්ෂණයක් කාලය හා මුදල් නාස්තියක් කියා ය.!! ඇමරිකානු රහස් ඔත්තු සේවය රුසියානු හුටපටය ගැන අනාවරණය කරගත් කරුණු ඔහු විසින් නැවත නැවතත් හෙළා දැක තිබෙන්නේ ෆේක් නිව්ස්...ෆේක් නිව්ස් යැයි මර හඬ තළමිනි. බිය හෝ බලපෑම් නොමැතිව මෙවැනි විමර්ශනයක් කරන්නේ නම් ඒ සඳහා කැල්සියම් බහුල පිටකොඳු අත්‍යාවශ්‍ය වේ. නික්සන්ගේ සමයේ එවැනි පිටකොඳු තිබුණේය. අවසානයේ නික්සන් ගෙදර ගියේ එනිසා ය.     

3. ෆෙඩරල් රහස් ඔත්තු සේවය (FBI) මෙහෙයවන්නේ කවුද?

කොම ීගෙන් පසු නිසි පත්වීමක් සිදුකරන තෙක් FBI ලොක්කා වශයෙන් වැඩ බලනු ඇත්තේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වන ඇන්ඩෘ මැකබේ ය. නමුත් මේ නීති සාධන ආයතනයට ධවල මන්දිරයේ අතපෙවීම කොතරම්දැයි ඉඟිකරමින්දෝ ධවල මන්දිරය දැනටමත් කියා තිබෙන්නේ ෆෙරඩල් රහස් ඔත්තු සේවයේ නිත්‍ය අධ්‍යක්ෂක ධුරයට පත් කරන කෙනා සම්බන්ධයෙන් තමන් ළඟ වෙනත් සැලසුම් තිබෙන බව ය.

සැප්තැම්බර් 11 ප්‍රහාරය සමයේ ෆෙඩරල් බලකාය මෙහෙයවූ හිටපු නිව්යෝක් පොලිස් කොමසාරිස් රේ කෙලී” හිලරි ක්ලින්ටන්ගේ පුද්ගලික ඊ මේල් සර්වරය ගැන මුලින්ම කොම ීට දොස් කියූ අයෙක් වන හිටපු අභිචෝදක සහ රිපබ්ලිකන් මන්ත්‍රී ටේ්‍ර ගොව්ඩි ගේ නම් මේ වෙනුවෙන් නිතර කියැවෙනු ඇසේ. ටේ්‍ර යනු 2012 වසරේ ලිබියාවේ ඇමරිකානු කොන්සල් කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ විට ක්ලින්ටන්ගේ සම්බන්ධයක් එයට තිබේ යැයි මර හඬතැලූ සහ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වූ සහ අවසානයේ ඒ ගැන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්නට සමත් නොවූ අභිචෝදකයෙකි. කෙසේ නමුත් මේ කුමන නාමයෝජනාව ඉදිරිපත් වුවද සෙනෙට් සභා අනුමැතිය ඒ සඳහා දිනාගැනීම ද  සංකීර්ණ හා දුෂ්කර කටයුත්තක් වනු ඇත.   

1993 වසරෙන් පසු පාලකයා විසින් එළවා දැමුණු පළමු FBI ලොක්කා කොම ීය. එදා ජනපති බිල් ක්ලින්ටන් ෆෙඩරල් රහස් ඔත්තු සේවා ප්‍රධානී විලියම් සෙෂන්ස් ව එළවා දැමුවේ ආචාරධර්ම උල්ලංඝනයන් ගණනාවක් සිදුකළ බව සනාථ වූ නිසාය.

4. ෆ්ලින් කට්ටි පනීවිද?

කොමී ව අස්කරන්නේ රුසියාව හා ට්‍රම්ප් ගේ ජනාධිපරිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ සබඳතා පිළිබඳ පීඩනය උපරිමයක් දක්වා ඉහළ ගොස් තිබෙන අවස්ථාවකදී ය. සීඑන්එන් පුවත්සේවයට අනුව මේ වන විට ට්‍රම්ප්ගේ හිටපු ජාතික ව්‍යාපාර උපදේශක මයිකල් ෆ්ලින්ගේ සගයන්ට සිතාසි හෙවත් කැඳවීමේ නියෝග නිකුත් කිරීමක් සිදුකර තිබුණේ ව්‍යාපාර වාර්තා ඉල්ලා සිටිමිනි. මාසයකටත් අඩු කාලයදී ඔහුට අස්වන්නට සිදුවුණේ රුසියනු නිලධාරීන් සමග ට්‍රම්ප් වෙනුවෙන් කළ අල්ලාස සල්ලාප ගැන සත්‍ය කරුණු වසං කළ හෙයිනි. අධිකරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංච ි වීමකින් තොරව තුර්කි රජය සමග පවා ට්‍රම්ප් වෙනුවෙන් ඒජන්තකමක් කළ බව හෙළි වී තිබිණි. යම් හෙයකින් ෆ්ලින් මේ අවස්ථාවලදී ෆෙඩරල් රහස් ඔත්තු සේවයට බොරු කිව් බව හෙළිවුවහොත් අනිවාර්යයෙන්ම ඔහුට නඩුයාමට සහ ඉන්පසු හිරේ යාමට සිදුවෙයි. අනෙක් අතට මෙහිදී පැන නගින සාධාරණ සැකය” එසේනම් එෆ්බීඅයි ලොක්කාව ගෙදර යැව්වේ ෆ්ලින්ට විරුද්ධව ඔවුන් විමර්ශන පටන් ගන්නට පෙර ද? වෙනත් වචනවලින් කියනවා නම් ට්‍රම්පා විසින් ෆ්ලින්ව රැකගත යුතුම වී තිබෙන නිසාද?


දැන් කොමී කළ යුතුව තිබෙන්නේ කුමක්ද? ඇස් කොනෙන් පෙන්විය හැකි ගොබ්බ රටක මෙසේ වූවා නම් සාමාන්‍යයෙන් සිදුවන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමයි. එසේත් නැතිනම් මැයි රැළියකට මෙන් සෙනග ගෙන්වීමයි. නමුත් ඇමරිකාව තවමත් ඊට වඩා ඇඞ්වාන්ස ය. එනිසා කොමී ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා පවත්වා කොමියක් වන්නට යන එකක් නැත. නමුත් ඉදිරි සති කිහිපය තුළ ඇමරිකාවේ ධවල මන්දිරයට හෝ එරට ප්‍රජාතාන්ත්‍රික ආයතනවලට ගිගුරුම් සහිත වැසි සමග කුණාටු කාලගුණයක් අපේක්ෂා කරන්නට සිදුවන බව නම් පැහැදිලි ය.

-ක්‍රිෂාන්ති රාජපක්ෂ

Top