Untitled 1

මුල්ලිවයික්කාල්: සමරම් ද ? නොකරම් ද ? - එම්. එස්. එම්. අයුබ්

දෙමළ මාධ්‍යයෙන් සහ අනෙක් ජාතික භාෂා මාධ්‍යය දෙකෙන් වාර්තා කිරීම සඳහා තෝරා ගන්නා ප‍්‍රශ්න අතරේ විටෙක විශාල වෙනසක් තිබේ. මෙය කැපී පෙනෙන්නේ දෙමළ ජනතාවගේ අයිතීන් පිළිබඳ ප‍්‍රශ්නවලදීය. ඔවුන්ගේ උද්ඝෝෂණ ආදියට දෙමළ මාධ්‍යයෙන්, විශේෂයෙන් දෙමළ පුවත්පත්වලින් පුළුල් ප‍්‍රචාරයක් දෙන අතර සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍ය ඒවා මුළුමණින් නොතකා හරී.

මාස ගණන් එක දිගට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සහ ඒවාට සම්බන්ධ කණ්ඩායම් ගෙන යනු ලබන උද්ඝෝෂණ ගැන සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍ය අංශ වගේ වගක් නැතිව සිටීම පුදුමාකාරය. මුලතිව් දිස්ත‍්‍රික්කයේ කෙප්පාපිලව් පෙදෙසේ ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන සිටි ඉඩම් ආපසු දෙන ලෙස ඉල්ලා දෙමසක කාලයක් තිස්සේ ගෙන යන ලද සාර්ථක උපවාසය ඊට මනා නිදසුනකි. හමුදාව සහ නාවුක හමුදාව විසින් අල්ලාගෙන සිටින තවත් ඉඩම් ආපසු ඉල්ලා කෙරෙන උද්ඝෝෂණ තවමත් තිබේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ රුදුරු පනත යටතේ රඳවාගෙන සිටින රැඳවියන් නිදහස් කරන්නැයි ඉල්ලා මාස ගණනක් තිස්සේ කෙරෙන උද්ඝෝෂණද, කිසිම චෝදනාවක් නැතිව අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සේ රඳවාගෙන සිටින තවත් පුද්ගලයන් පිළිබඳව සහ යුද්ධය අවසානයේ ආරක්ෂක අංශ වෙත භාර වීමෙන් පසුව අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව කෙරෙන උද්ඝෝෂණ ද උතුරේ හැම තැනම දක්නට ලැබේ.

යුද්ධය අවසාන කාලයේ අතුරුදහන් වූ දහස් ගණනක් වන තමන්ගේ ආදරණීයයන්ගේ ඉරණම ගැන උතුරේ ජනතාව බලධාරීන්ව දැනුවත් කිරීම සඳහා තවත් අරගලයක් දියත් කොට තිබේ. ඔවුන්ගෙන් සමහරෙකු අතුරුදහන් වී ඇත්තේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව හෝ ආරක්ෂක අංශ වෙත භාරවීමෙන් පසුව බවට ඔවුහු චෝදනා කරති. එබැවින් එම පුද්ගලයන්ව ඔවුන් හඳුන්වන්නේ, ‘අතුරුදහන් කැරැවූ අයවළුන්’ වශයෙනි. මේ ප‍්‍රශ්න පිළිබඳ උද්ඝෝෂණ ව්‍යාපාර උතුරේ නිතර ඇති වෙයි.

දෙමළ මාධ්‍ය, විශේෂයෙන් දෙමළ පුවත්පත් මේවාට අදාළ ප‍්‍රවෘත්ති, විශේෂාංශ ලිපි සහ පින්තූර ආදිය සමහර විට මුල් පිටු පුවත් වශයෙන් පවා වාර්තා කරයි. එසේ තිබියදී, සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍ය, විශේෂයෙන් ආණ්ඩුවේ මාධ්‍ය ආයතන ඒවා ගැන නිහඬව සිටීම, විශේෂයෙන් ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ආණ්ඩුව විසින්ම විශේෂ ආයතන පවා පිහිටුවා ඇති අවස්ථාවක, තේරුම් ගැනීම අපහසු ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේ පිහිටුවා ඇති ‘ජාතික ඒකාග්‍රතාව සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය’ සහ නීතිඥ මනෝරී මුත්තෙට්ටුවගම යටතේ පිහිටුවා ඇති ‘සංහිඳියා කාර්ය සාධක බලකාය’ එවැනි ආයතනයි.

මේ දිනවල දෙමළ දේශපාලන කවවල සහ දෙමළ මාධ්‍යයේ වැඩියෙන් කතාබහ කෙරෙන මුල්ලිවයික්කා සැමරුම් ගැන කතිකාවට මාධ්‍ය ක්ෂේත‍්‍රයේ මෙම චර්යාව සුදුසු පසුබිමක් සපයයි. වාර්ෂිකව මැයි 18 වැනිදාට යෙදෙන මේ අවස්ථාව යුද්ධයේ අවසාන අදියරේදී දහස් සංඛ්‍යාත මියගියවුන් වෙනුවෙන් කෙරෙන ප‍්‍රණාම සැළකුමක් වශයෙන් සැළකේ. කෙසේ වෙතත්, එය වනාහි 18 වැනිදා නන්දිකාදල් කලපුවේදී හමුදාව අතින් ජීවිතක්ෂයට පත් කෙරුණු වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ව සැමරීමක් බවට චෝදනාවක් තිබේ.

උතුරු පළාත් සභාවේ අන්තවාදී දෙමළ නායකයන් යැයි සැළකෙන, ප‍්‍රභාකරන්ගේ මස්සිනා කෙනෙකු වන එම්.කේ. සිවාජිලිංගම් වැනි පිරිස් විසින් රාජපක්ෂ පාලන කාලයේදී වැඩි හාහෝවක් නැතිව මේ සැමරුම් කරගෙන ගියේය. ප‍්‍රභාකරන් සහ ඔහුගේ අනුගාමිකයන් සිහිපත් කොට ඉටිපන්දම් කිහිපයක් දල්වන අතලොස්සක් දෙනා  එදා එම සැමරුම්වල සිටියහ. කෙසේ වෙතත්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ පාලනය යටතේ ඇති වී තිබෙන වඩාත් නිදහස් වාතාවරණය තුළ මෙම සැමරුම් වඩාත් ප‍්‍රසිද්ධියේ මාධ්‍ය ආවරණයන්ද සහිතව සිදු කෙරේ. ගිය වසරේ මුල්ලිවයික්කාල් සැමරුමට උතුරේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයෝ ද සහභාගී වූහ.

ජනතා විමුක්ති පෙරමුණ 1971 සහ 1989-90 කාලයේ මරුමුවට පත්වූ සහෝදර සහෝදරියන් හැම වසරකම උත්කර්ෂවත්ව සමරයි. එක සැමරුමක් නොවැම්බර් 13 වැනිදාය. ඒ, රෝහණ විජේවීර හමුදාව අතින් ජීවිතක්ෂයට පත්වූ දවසයි. දෙමළ නායකයෝද තමන්ගේ සගයන් වසරකට දෙවරක් සමරති. එක දිනයක් වන්නේ එල්.ටී.ටී.ඊ. ‘මාවීරර් දිනය’ හෙවත් ‘මහ විරු දිනයයි’. ඒ නොවැම්බර් 27 වැනිදාය. අනිත් දිනය වන්නේ ප‍්‍රභාකරන් ඝාතනයට වූ මැයි 18 වැනිදාය. කෙසේ වෙතත්, බලධාරීන්ගේ උදහසට ලක්වෙතැයි සිතා, තමන්ගේ මෙම සැමරුම් තම නායකයා හෝ ඔහුගේ සගයන් වෙනුවෙන් යැයි කෙලින් පිළිගැනීමට දෙමළ නායකත්වය මැළි කරයි.

විශේෂත්වය වන්නේ නැගෙනහිර පළාතේ මෙවැනි සැමරුම් නැතිවීමයි. සමහර විට ඊට හේතු වෙනවා ඇත්තේ, 2007 දී එම ප‍්‍රදේශය ආරක්ෂක අංශ විසින් එල්.ටී.ටී.ඊ, ග‍්‍රහණයෙන් මුදා ගනු ලැබීමේදී උතුරේ මෙන් මහා ඝාතනයක් එම පළාතේ සිදු නොවූ නිසා විය හැකිය. එල්.ටී.ටී.ඊ. සංවිධානය එදා තමන් අල්ලාගෙන සිටි නැගෙනහිර පෙදෙස්වලින් ඉවත් වෙද්දී එම පෙදෙස්වල ජීවත් වූ ජනතාව තමන් සමග බලහත්කාරයෙන් රැගෙන ගියේ නැත. එහෙත් වන්නියේ දී සිදුවුණේ වෙනස් දෙයකි. එහිදී මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුමාතලන් නැමැති ඉතා
කුඩා මුහුදුකර සීමාවකදී අඩු වශයෙන් සාමාන්‍ය දෙමළ වැසියන් දෙලක්ෂයක්වත් එල්.ටී.ටී.ඊ. සංවිධානය තමන් සමග සමග කොටු කර ගත්හ.

කරුණු කෙසේ වෙතත්, දෙමළ ජනතාවගෙන් බහුතරයක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට ගරු කරන බවත්, එයින් සමහරෙකු ඊට ඉහළින්ම බුහුමන් කරන බවත් පැහැදිළිය. ඒ, තමන් වෙනුවෙන් වෙනම ඊලාම් රාජ්‍යයක් සඳහා ඔවුන් දිවි දුන් බවට වන හැඟීම නිසාය. එහෙත් එම සංවිධානය විසින් ඔවුන්ව මිනිස් පලිහක් වශයෙන් පාවිච්චි කිරීම සහ එහි ප‍්‍රතිවිපාකයක් වශයෙන්, නැගෙනහිර පළාතේ ජනතාවට වෙනස්ව, දහස් ගණනින් තමන්ට මියයාමට සිදුවීම යන කාරණයත් මේ උතුරේ ජනතාවට අමතක වී තිබීම අවාසනාවන්තය.

යුද්ධය අවසන් කාලයේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු බෙහෙවින් විවාදාපන්නය. එය එකිනෙකාගේ අදහස් උදහස් සහ නැමියාවන් අනුව, 7000 සිට 500,000 දක්වා විහිදෙයි. ආණ්ඩුවේ ඇස්තමේන්තුවලට අනුව එම ප‍්‍රමාණය 7000 කි. 2011 දී කරන ලද ජන සංගණනයක් අනුව එය සනාථ කෙරේ. අනිත් අතට, හිටපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් පත්කරන ලද දරුස්මාන් කොමිටි වාර්තාව අනුව එම ප‍්‍රමාණය 40,000 ක් පමණ වෙයි. 2013 පැවති උතුරු පළාත් සභා මැතිවරණ සමයේ දෙමළ ජාතික සන්ධානය කී පරිදි එම සංඛ්‍යාව 150,000 ක් වන අතර තමිල්නාඩු දෙමළ නායකයන්ට අනුව එය 500,000 කි.

මේ පිරිසත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය අතින් මරුමුවට පත් පිරිසත් සැමරීම, යුද්ධය අවසන්වීමෙන් වසර අටකට පසුව අද පවා විවාදාත්මක මාතෘකාවක් වී තිබීම අවාසනාවකි. උතුරේ ජනතාව මියගිය දෙමළ ජාතිකයන්ව පමණක් සමරණ අතර දකුණේ ජනතාව මියගිය සන්නද්ධ හමුදා සාමාජිකයන්ව පමණක් සමරති. හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ තම වාර්තාවෙන් මේ සඳහා නිසි විසඳුමක් ඉදිරිපත් කොට තිබේ. එනම්, උතුරේ මෙන්ම දකුණේ ද මියගිය සියල්ලන් වෙනුවෙන් පොදු සැමරුම් දිනයක් යොදා ගන්නා ලෙසයි.

එම වාර්තාවේ අවසාන ඡේද දෙකේ මෙසේ සඳහන් වෙයි:

‘මෙවැනි ගැටුමක් ඇති වීම වළක්වා ගැනීමට සෑම පාර්ශ්වකම සමස්ත නායකත්වය අසාර්ථක වීම කරණ කොටගෙන ගැටුමේ වින්දිතයන් බවට පත්වූ සියලූ අහිංසකයන්ගෙන් සමාව ඉල්ලා සෑම පාර්ශ්වකයම නායකත්වය එකාවන්ව පොදු ප‍්‍රකාශයක් නිකුත් කළ යුතුව තිබේ. ආගමික නායකත්වය සහ සිවිල් සමාජය ඒ සඳහා උරදිය යුතු අතර සමස්ත සංහිඳියා ක‍්‍රියාවලිය කෙරෙහිම ඒ මගින් ඇති කැරැවිය හැකි සාධනීය බලපෑම අවධාරණය කළ යුතුය.’
 
‘ජාතික දිනයේ දී වෙනම සැමරුම් අංගයක් මේ සඳහා යොදාගත යුතු බවටත්, ඒ ඛේදනීය ගැටුමේ වින්දිතයන් බවට පත් වු සියල්ලන් කෙරෙහි සහෝදරත්වය සහ සහකම්පනය පළ කරමින්, එවැනි ලේ හැලීමක් නැවත ඇති නොවන සේ වගබලා ගන්නා බවටත් පොදු ප‍්‍රතිඥාවක් නිකුත් කළ යුතුව තිබේ. එවැනි අවස්ථාවක ඉහළම දේශපාලනික මට්ටමකින් කෙරෙන එවන් ගාම්භීර සැමරුමක්, සමස්තයක් වශයෙන් සංහිඳියා ක‍්‍රියාවලිය කෙරෙහි අත්‍යාවශ්‍ය ප‍්‍රවේශයක් සපයනු ඇතැයි, මේ කොමිසම වෙත ලැබී ඇති ජනතා අදහස් දැක්වීම් මත පදනම්ව, අපට කිව හැකිය.’

2017 මැයි 12 වැනි දා ‘ඩෙිල් මිරර්’ පුවත්පතේ පළවූ, එම්.එස්.එම්. අයුබ් ලියූ, ‘Mullivaikkal Day: To Commemorate or Not To’ නැමැති මේ සමග අමුණා ඇති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

මැයි දින ප්‍රතිචාර සහ අපේ බුද්ධිමතුන්ගේ වගකීම - ෂ්‍යාමන් ජයසිංහ

Top