Untitled 1

රටේ ඉතා ඉක්මනින් කළ යුතු දෙයක් - ඉයන් ලිංතොට

දියුණු රටවල් වල මෙන් ලෝක පිලිගැනීමක් ඇති ගුවන් යානා හෝ මෝටර් රථ නිශ්පාදනය කිරීමට අපට නොහැකිවන්නට පුළුවන්. තේ සහ ඇඟළුම් හැරුණු විට චීනය වැනි නිශ්පාදන පිරිවැය අඩු රටවල් කරන අපනයනයන් අපට නිශ්පාදනය කිරීමට හැකියාක් නැත. අපට තවම තෙල් සොයා ගැනීමට නොහැකිවී ඇත.

එහෙත් සිසුන් විශාල ප්‍රමාණයකට තාක්ෂණික විෂයයන් කියා දීමට හැකි උගතුන් අපට ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ සියළු දෙනාට අධ්‍යාපනය ලබා ගැනීමට ක්‍රමයක්, අදාල ගොඩනැඟිලි, සුදුසුකම් වලට සහතිකයක් ලබා දීමට බලය ඇති විශ්ව විද්‍යාල වැනි ආයතන පමණි. මේ සඳහා කළ යුත්තේ උසස් අධ්‍යාපන නියාමන කොමිසමක් හරහා විශාල පිළිගත් පෞද්ගලික ආයතන වලින් ආයෝජනය ලබා ගෙන එක දිස්ත්‍රික්කයකට අවම වශයෙන් එකක් හෝ වන සේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකිරීමයි. කාලයක් යනවිට මාලදිවයින වැනි ලඟ පාත රටවල සිසුන්ටත් උසස් අධ්‍යාපනය සපයන කේන්ද්‍රස්ථානයක් බවට මේ රට පත්වනු ඇත. අළුතින් බිහිවන විශ්ව විද්‍යාල වලට ජාත්‍යන්තර පිළිගැනීම් ලැබීමෙන් අන් රටවල් වල අයද අධ්‍යාපනය සඳහා පැමිණීමෙන් අද අධ්‍යාපනය දීමට අපෙන් මුදල් ලබා ගන්නා චීනය, බංග්ලාදේශය , බෙලරුස් මෙන් අපද අන් රටවලින් මුදල් සොයා ගන්නා රටක් බවට පත්වනු ඇත

පෞද්ගලික විශ්ව විද්‍යාල රටේ ඇති කරමින් උසස් පෙළ සමත්වන ලක්ෂ දෙකකට අධික සිසුන් ප්‍රමාණයෙන් ලක්ෂයක්වත් උසස් අධ්‍යාපනයට යොමුකිරීමේ පළමු පියවර විය යුත්තේ බොහෝ රටවල් ක්‍රියාත්මක කරන සිසු ණය ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කිරීමයි. දෙවන පියවර විය යුත්තේ විද්වතුන් විසින් සකස් කර අනුමත කරන ලද විශ්ව විද්‍යාලයක තිබිය යුතු අවම පහසුකම්, අධ්‍යයන කාර්‍ය මණ්ඩල, පර්යේශණ සඳහා පහසුකම් ආදිය පිළිබඳව නීති පද්ධතියක් හඳුන්වා දීමයි. තෙවන පියවර විය යුත්තේ එම ආයතන නියාමනය සඳහා ඒ පිළිබඳව පළපුරුදු නිර්දේශපාලනික පුද්ගලයන්ගෙන් සමන්විත නියාමන කොමිසමක් පිහිටවීමයි. අවසන් වශයෙන් එම නීති පද්ධති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටවීමට විශාල ලෙස මුදල් ආයෝජනය කල හැකි රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු සහ ජෝන් කීල්ස්, හේමාස් වැනි විශාල ලැයිස්තුගත සමාගම් වලට ආරාධනා කිරීමයි.

මෙහි පළමුවන පියවර ලෙස සිසු ණය ක්‍රමය ඇති කිරීම සිදුකල යුත්තේ ඕනෑම ආර්ථික මට්ටමක සිටින අයෙකුට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට එමඟින් අවස්ථාව සලසා දීමයි. සයිටම් වැනි දේශීය ආයතන වැසී ගියත් එමඟින් පොහොසත් පවුල් වල දරුවන්ට හානියක් නොවේ. ඒ ඔවුන්ට රටේ විදේශ විනිමය ලබාගෙන විදේශ විශ්ව විද්‍යාල වලට යා හැකි නිසාය. දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිවීමෙන් එතරම් පොහොසත් නැති එහෙත් රජයේ, බැංකු වල සහ පෞද්ගලික අංශයේ ඉහල තනතුරු දරන අයගේ දරුවන්ට එතරම් මුදලක් වියදම් නොකර උසස් අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවේ. SAITM සහ SLIIT වැනි විද්‍යාල නිසා විදේශ වලට ගලායන රටේ මුදල් යම් ප්‍රමාණයක් හෝ රට තුල ඉතිරිවේ. එකම අඩුව එවන් වියදමක් කරගත නොහැකි පවුල වල දරුවන්ට අත්වන ඉරණමයි. කොතරම් බුද්ධිමත් දරුවෙක් වුවත් නොමිලේ අධ්‍යාපනය දිය හැකි රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් විය නොහැකි වුවහොත් උසස් අධ්‍යාපනය ලැබීමට යොමුවීම අසීරුය. එම නිසා සිසු ණය ක්‍රමය ඉක්මනින් හඳුන්වා දීම නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසුව ඒ සඳහා වන විශාලතම වාසිය වනු ඇත.

දැනටමත් රටේ ඇති ජාත්‍යන්තර පාසැල් වල ඉගෙනුම ලබන අයට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි නිසා එම සිසුන්ට මෙරට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නැත්නම් විදේශ විශ්ව විද්‍යාල වලට යෑම හැර වෙන විකල්පයක් නොමැත. සති අන්ත පුවත්පත් බලන්නෙකුට ලෝකයේ කොතරම් උසස් අධ්‍යාපන ආයතන ප්‍රාමාණයක් මේ රටේ සිසුන් ඇදගැනීමට දැන්වීම් පල කරනවාදැයි වටහා ගත හැකිය. ඒ මේ රටේ පවතින පෞද්ගලික විශ්ව විද්‍යාල නොමැති කම ඔවුන්ට ඉතා හොඳ ව්‍යාපාරයක් වී ඇති නිසාය. අප තේරුම් ගත යුතු කරුණ වන්නේ එක සිසුවෙකු විදේශ විශ්ව විද්‍යාලයකට වසරකදී ගෙවිය යුතු මුදල මද පෙරදිග වහල් සේවයේ යෙදෙන සේවිකාවන් දස දෙනෙකු උපයන විදේශ විනිමය ප්‍රමාණයට සමාන බවයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට තෝරගන්නා අයෝජක ආයතන වලට අධිවේගී මාර්ගවලින් පිටවීම් වලට කිට්ටුවෙන් හෝ අධිවේගී මාර්ග නැති පළාත්වල ප්‍රවාහන මධ්‍යස්ථාන වලට කීටුවෙන් ඇති රජයේ ඉඩම් අක්කර 25-50 ක් පමණ දේර්ඝ කාලීන බදු ගිවිසුම් යටතේ ලබා දිය යුතුය. එමෙන්ම ඒවා සඳහා අඩු බදු අනුපාතයක් අය කිරීමෙන් අයෝජකයින් දිරිමත් කල හැක.

සිසු ණය ක්‍රමය සඳහා මම යෝජනා කරන්නේ බිලියන් 500 පමණ තැන්පතු ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකුව ජාතික ඉතිරිකිරීමේ සහ නිපුණතා සංවර්ධන බැංකුව ලෙස වෙනස් කරන ලෙසයි. එමඟින් රජයේ මුදල් ප්‍රමාණයක් අයෝජනය කිරීමට අවශ්‍ය නොවී ඉතා ඉක්මනින් සිසු ණය ක්‍රමය හඳුන්වා දිය හැකිය. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ක්‍රියාත්මක වන සිසුණය ක්‍රමය ඒ ආකාරයෙන්ම මෙරටට හඳුන්වා දිය හැක. තවද ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති සැලකිය යුතු පොලියක් ගෙවිය යුතු සිසු ණය ක්‍රමය වෙනුවට ඉතිරිකිරීම් සඳහා ගෙවන පොලියට සුළු අතිරික්තයක් සමඟ දැරිය හැකි පොලී අනුපාතයකට එවන්නක් හඳුන්වා දීම කළ යුතුය. එහෙත් එක්තරා කාලයකට පසුවත් ණය නොගෙවන අය සඳහා දඬුවම් පොලී අනුපාත ඇතිකිරීම වැරදි නැත. රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පෞද්ගලික අංශයේ අර්ථසාධක අරමුදල සඳහා 10% පමණ ප්‍රමාණයක් සේවකයාගෙන්ද 15% ක පමණ ප්‍රමාණයක් සේව්‍යාගෙන්ද දායක වේ. සේවකයාගේ සිසු ණය ප්‍රමාණය ගෙවා අවසන් වන තෙක් එම දායක මුදල් සිසුණය බැංකුවට යොමුකිරීම මඟින් සේවකයාගේ මාස් පතා අතට ලැබෙන මුදල අඩු නොවී සිසුණය ගෙවී යා හැකි ක්‍රමයක් සැකසේ. මේ සියල්ල ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ක්‍රමය මෙහි ඇති කිරීමෙන් සිදුවේ.

සිසු ණය ක්‍රමය ක්‍රියාත්මක විය යුත්තේ එක්තරා මට්ටමකට වඩා අඩු ආදායමක් ලබන පවුල් වලටය. එසේ නොමැතිනම් පොහොස්ටහ් පවුල් වල අයත් එමඟින් අයුතු වාසියක් ලබා ගනු ඇත. ඒ සඳහා මසකට රුපියල් ලක්ෂයකට අඩු පවුලේ ආදායමක් හෝ රුපියල් මිලියන විස්සකට අඩු ශුද්ධ වත්කමක් ඇති පවුල වල දරුවන්ට පමණක් මෙම පහසුකම ලබා දීම සුදුසුය. ඊට වඩා අදායම් හෝ වත්කම් ඇතිඅයට උසස් පෙළ සහ තෝරාගැනීමේ පරීක්ෂණ හරහා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුලුවීමට තෝරා ගත්තත් ඔවුන්ට මාසික හෝ වාර ගාස්තු ගෙවීම ඔවුන් විසින්ම කල යුතු විය යුතුය.

වසර කිහිපයක් යනවිට වෛද්‍ය , ඉංජිනේරු වැනි පහසුවෙන් රැකියා ලබා ගත හැකි ක්ශෙත්‍ර වලට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන අයටද මෙම සිසුණය ක්‍රමය හා සබැඳි ගාස්තු අයකිරීමක් කළ යුතුය. එවිට සුළු පිරිසකගේ උසස් අධ්‍යාපනය සඳහා දුප්පත් පෝසත් හැමෝගෙන්ම එකතුවන බදු මුදල් යොදාගෙන සිදු කිරීම නවතා දැමිය හැක. මෙමඟින් රජයෙ වියදම වසරකට බිලියන් 20-30 ප්‍රමාණයකින් අඩුවනු ඇත.

ඉහත යෝජනා කර ඇති උසස් අධ්‍යායපන නියාමන කොමිසමට මෙම ක්‍රමය යටතේ ඇතිවන පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යන කටයුතු සඳහා අය කල හැකි ගාස්තු නියාමනය කිරීමේ බලයක්ද තිබිය යුතුය. එසේ නැතිනම් සිසුන් විසින් කවදා හෝ ගෙවිය යුතු ණය මුදල් වලින් එන මුදලින් විශාල ලාභ ලබා ගැනීමට ඔවුන් පෙලඹෙනු ඇහ. මේ සඳහා අනුගමනය කළ හැකි ක්‍රමයක් ඉන්දියාවේ තාක්ෂණ සහ වෛද්‍ය අධ්‍යාපන ආයතන වල ගාස්තු නියාමනයට යොදා ගනී. ලංකාවේත් කිරි පිටි වැනි අත්‍යාවශ්‍ය ආහාර වර්ග සඳහා මිළ ගණන් පාලනය සඳහා එම මිලවල් රජයෙන් කළින් අනුමත කළ යුතු ක්‍රමයක් ක්‍රියාත්මක වේ. තවද මෙම පෞද්ගලික විදුහල් වල පාලනය අයෝජකයින්, අධ්‍යාපන ක්ශේත්‍රයේ විද්වතුන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ගෙන් සමන්විත සෙනේට් සභා මඟින් සිදු විය යුතුය. එවිට ආයෝජකයින්ට අධ්‍යාපන මට්ටම් වෙනස් කිරීම, සිසුන් තෝරාගැනීම්, විභාග සහ උපාධි ප්‍රාදානයේදී අදාල නීති වලට පිටින් ක්‍රියා කිරීමට අයෝජකයින්ට නොහැකි වනු ඇත.

රටට වැඩදායී සාර්ථක උසස් අධ්‍යාපන ක්‍රමයක් රටක් ක්‍රියාත්මක වීමට උසස් අධ්‍යාපනය සඳහා සිසුන් තෝරා ගැනීමේ ක්‍රමයත් විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. කට පාඩම් කිරීමෙන් ඉහල ලකුණු ලබා ගන්නා අය සහ දිස්ත්‍රික් පදනමෙන් ඇතුලත් කිරීම වෙනුවට ඉහත සඳහන් කල නියාමන කොමිසම යටතේ පිහිට විය යුතු ආයතනයකින් පවත්වන බුද්ධි පරීක්ෂණ ක්‍රමයකින් රටේ පිහිටුවන පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට සිසුන් බඳවා ගැනීම වඩා යෝග්‍යය. ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. වෛද්‍ය, නීති, ඉංජිනේරු, නීති ආදී ක්ශේත්‍ර වලට තෝරාගන්නේ ඒ වෘත්තීන් සඳහා සුදුස්සන් තෝරාගැනීමට පවත්වන බුද්ධි පරීක්ෂණ වලිනි. එම පරීක්ෂණ ක්‍රමය හඳුන්වා දීමෙන් පහසුකම් අඩු පළාත් වල අයටත් තමන්ගේ බුද්ධිය අනුව නගර වල අය හා කරට කර තරඟ කළ හැකිය. අද පහේ ශිෂ්‍යත්ව විභාග වලින් ගම්වල සිසුනුත් එල ලෙස සමත්වීමෙන් මෙම බුද්ධි පරීක්ෂණ වලට එම ප්‍රදේශ වල පවතින අධ්‍යාපන පහසුකම් වල බලපාම අඩු බවට සාක්ෂි සපයයි. සිසුන් 11 වසර සම්පූර්ණ කරන විටම මෙම විභාග වලට යොමු කිරීමෙන් උසස් පෙළ අවසන් වූ වහාම උසස් අධ්‍යාපනය සඳහා අදාල ආයතන වලට අනුයුක්ත කල හැක. ඒ සඳහා එම විශාග වලට මුහුණ දීමට පුහුණු කරන පාඨමාල 11 වසරේ විෂය නිර්දේශයට ඇතුලත් කළ යුතුය.

අද ලෝකයේ රැකියා සපයා ගත හැකි අංශ හඳුණාගෙන එම අංශ සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල වල සිසුණය හරහා අනාගත පරම්පරා පුහුණු කළ යුතුය. උදාහරණයකට හෙදියන්, වයසක අය බලා ගන්නන්, මෝටර් ඉංජිනේරු ශිල්පීන්, පුහුණුව ලත් නාවිකයන්, පුහුණු හෝටල් සේවකයන්, විදුලි කාර්මික ශිල්පීන්, විදුලි ඉංජිනේරු ශිල්පීන්, පරිගණක ශිල්පීන්, ගණකාධිකරණ ශිල්පීන්, පෙදරේරු ශිල්පීන්, වැනි අය අවුරුදු එකේ සිට හතර දක්වා ක්‍රියාත්මක වන සහතික/ඩිප්ලෝමා/උපාධි පාඨමාලා මඟින් විශාල වශයෙන් බිහි කල හැක. ලංගම, විදුලි බල මණ්ඩලය, රජයේ රෝහල්, පෞද්ගලික ඉදිකිරීමේ ආයතන ආදියෙහි පංතිකාමර පුහුණුවෙන් පසු ප්‍රායෝගික පුහුණුව ලබා දීමට හැකිවේ. විශාල සුදුසුකම් ලත් ශ්‍රම බලකායක් තිබෙන රටකට විදේශ අයෝජන ලබා ගැනීමට පහසුවේ. එමෙන්ම මැද පෙරදිගට ගෘහ සේවිකාවන් යවනු වෙනුවට පුහුණු ශිල්පීන් සහ උපාධිධාරීන් යැවීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබා ගත හැකි වනු ඇත. එමෙන්ම පාසැල් අධ්‍යාපනයෙන් පසු සිසුවෙකුට හැලී යා නොදී ඔහුට ඇතුලත් විය යුතු උසස් අධ්‍යාපන ආයතන වලට පාසැල් හරහාම යොමු කිරීමෙන් මඟ පෙන්වීමක් නොලැබෙන සමාජයේ පහල ස්ථර වල අයට උසස් අධ්‍යාපනය හරහා ද්‍රරිද්‍රතාවයෙන් එක පරම්පරාවක් තුල එලියට ආ හැකිවනු ඇත.

මේ ගැන තව දුරටත් කථා කර මින් නොසිට ආචාර්‍ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න වැනි උගත් දේශපාලකයින් කිහිප දෙනෙකුට මෙම ක්‍රමය සුළු කාළයක් තුල ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරිය හැක. මෙමඟින් කඩිනම් මහවැලි ව්‍යාපාරයෙන් රට ඇතිවූ දීර්ඝ කාලීන වාසි වලට වඩා වාසියක් අත්වනු ඇත. ජනසවිය, සමෘද්ධි වැනි දුප්පත් කම නැතිකිරීමේ ව්‍යාපාර වලට වඩා ඉකමනින් රටේ දුප්පතුන් ප්‍රමාණයේ අඩුවීමක් මෙමඟින් වනු ඇත. මෙම කටයුත්තට ජනාධිපති සහ අගමැති දෙදෙනාගෙම පොදු කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කිරීමෙන් එක පිලකට පමණක් මෙයින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇති ඉඩ මඟ හැරෙනු ඇත.

 

Top