Untitled 1

මහින්ද හා අරුන්දික සමග උදයංග  ගේ කොකා පෙන්වීම

“සියලුම සතුන් අතරින් උසස්ම සත්වයා මිනිසාය. එහෙත් නීතියක් නොමැතිවූ විට සියලුම සතුන් අතර පහත්ම සත්වයා වන්නේත් මිනිසාය”. මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ග්‍රීක මහා දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ය. ඒ තුළ ගම්‍ය වන එකම අර්ථය වන්නේ නීතියේ පාලනයෙන් තොර මිනිසා නොමිනිසෙකු වන බවය. දාර්ශනික වශයෙන් ගත් කල්හි ඇතැම් විට මෙම ප්‍රකාශය විවාදයට තුඩු දිය හැකිය. එහෙත් ප්‍රායෝගික තත්වයන් තුළ කල්පනා කිරීමේදී එය අතිශයින්ම නිවැරදි එකක් බව පැහැදිළිය. විශේෂයෙන්ම අද අප ජීවත්වන සමාජ යථාර්ථයට අනුව එය අතිශයින්ම නිවැරදි ප්‍රකාශයක් ලෙස සැලකිය හැකිය.

දැන් අප සළකා බැලිය යුත්තේ නීතිය යනු කුමක් ද යන්නයි. නීති යනු ස්වාධිපතිගේ ආඥාවයි. බැලූ බැල්මටම එය සරළ ලෙස තේරුම්ගැනීමට අපහසුවිය හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වාධිපත්‍යය පිහිටා ඇත්තේ මහජනතාව කෙරෙහිය. ඒ අනුව එක්තරා අන්දමකින් නීතිය යනු මහජනතාවගේ ආඥාව ලෙස ද සැළකිය හැකිය. නීතියේ උල්පත කවුරුන් විය හැකි වුවද නීතියේ පැවැත්ම අනිවාර්යෙන්ම රඳා පවතිනු ඇත්තේ නීතියේ ආධිපත්‍යය මතය. නීතියේ ආධිපත්‍යය තුළ පිළිගත් හා වැදගත් සිද්ධාන්තයක් වන්නේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වන බවත් ඒ අනුව රාජ්‍ය පාලකයා ද නීතියට යටත්විය යුතු බවය. නීතියට ඉහළින් කිසිවෙකුට කටයුතු කළ නොහැකි බව ඒ තුළින් අවධාරණය කෙරේ.

ඒ අනුව නීතිය ඉදිරියේ කෙනෙකුගේ වත්පොහොසත්කම්, බලය හෝ වෙනත් ඕනෑම තරාතිරමක් අදාළ විය නොහැකිය. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තනතුර භාරගැනීමෙන් පසු පාර්ලිමේන්තුව හරහා සම්මත කරගනු ලැබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව රටේ ජනාධිපතිවරයා ද නීතියේ පාලනයට නතු කරඇති පසුබිමක ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙකුට නීතිය අභිබවා හෝ නීතියට බැහැරින් කිසිවක් සිදුකළ නොහැකිය. ඒ තුළින් අවධාරණය කෙරෙන්නේ කිසිදු ජගතෙකුට නීතියට ඉහළින් සිටිය නොහැකිවනවා ක් මෙන්ම නීතියට අභියෝග කරන්නට හෝ සමච්චල් කරන්නට ද කිසිදු ජගතෙකුට ඉඩක් දියයුතු නැති වගය.
එහෙත් අද පවා ඇතැමුන් සිතා සිටින්නේ නීතිය යනු තමා ලෙසටය. ප්‍රසිද්ධියේම නීතියේ ආධිපත්‍යයට ඔච්චම් කරන්නට ඇතැමුන් කටයුතු කරන්නේ ද ඒ නිසා වියයුතුය. එහි ආසන්නතම සිදුවීමට සම්බන්ධ වී ඇත්තේ ද නීති පනවන ආයතන ලෙස සැලකෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වීමද විශේෂත්වයකි. එක් අයෙක් මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයෙකු වීම තුළ ද අනෙකා වර්තමාන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වීම තුළ ද ඔවුන් සිදුකර ඇති ක්‍රියාව සළකා බැලිය යුත්තේ ඉතාමත්ම බැරෑරුම් ලෙසට ය.
ඔවුන් සිදුකර ඇති වරද කුමක් ද? මේ රටේ නීතිය හමුවේ බරපතළ චෝදනා ගණනාවක් එල්ල වී ඇති ඒ මත අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයකට අදාළ චූදිතයෙක් වන එහෙත් නීතියට වැලි ගසමින් අධිකරණයට අභියෝග කරමින් සිටින වරෙන්තු කරුවෙකු සමග ප්‍රසිද්ධියේම පෙනීසිටීම ඔවුන් සිදුකර ඇති වරද ය. ඒ පිළිබඳ චෝදනා එල්ල වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් වෙතටය.

ඔවුන් දෙදෙනාම මේ ආකාරයට සබඳතා පවත්වා ඇති වරෙන්තුකරුවා වන්නේ අන් කිසිවෙක් නොව රාජපක්ෂ පාලන සමයේදී රුසියාවේ හා යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන ලද උදයංග වීරතුංග ය. උදයංග වීරතුංගට එරෙහිව මතුවී ඇති චෝදනාවන් ද සරල ලෙස බැහැර කළහැකි ඒවා නොවේ. ඉන් එකක් ත්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ චෝදනාවක් වේ. අනෙක මූල්‍ය අපරාධ පිළිබඳ චෝදනාවකි. අදාළ චෝදනා පිළිබඳව සළකා බලා ඇති අධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසිය හරහා ද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ඔහු ඒ වනවිටත් රටින් බැහැර වී අධිකරණය මඟ හරිමින් සිටි බැවින්ය. ඒ සමග තවත් අධිකරණයකින් උදයංග වීරතුංගගේ මෙරට බැංකු ගිණුම් 16 ක් තහනම් කර ඇති අතර ඒ තුළ තැන්පත්ව ඇති රුපියල් මිලියන 225 ක මුදල ද ගනුදෙනු කළනොහැකි ආකාරයට අත්හිටුවා තිබේ.

ඒ අනුව සැලකීමේදී උදයංග වීරතුංගට අදාළව මේ රටේ නීතිය හමුවේ ගොනුවී ඇති චෝදනා මෙන්ම ඊට අදාළව අධිකරණය විසින් ගෙන ඇති පියවරයන් ද සැලකිය යුත්තේ බැරෑරුම් ලෙසටය. එවැනි පසුබිමක තම නිවැරදි භාවය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් ඇත්නම් උදයංග වීරතුංග කළයුතුව ඇත්තේ අධිකරණය හමුවට පැමිණ ඒ බව තහවුරු කිරීමය. එහෙත් ඔහු දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටිනවා පමණක් නොව චේතනාන්විතව සිදුකරන එම ක්‍රියාව හරහා අධිකරණයට බලවත් අපහාසයක් ද කරමින් සිටියි. ඒ තුළ ඔහු නියතවශයෙන්ම අභියෝග කරන්නේ නීතියේ ආධිපත්‍යයට ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා උදයංග වීරතුංග මහතා සමග ප්‍රසිද්ධියේම ගනුදෙනු කරන්නේ ඒ අතරතුර ය. එය එසේ සිදුවී ඇත්තේ පසුගිය දා වෙන් වෙන්ව ඔවුන් දෙදෙනා සිදුකළ ජපාන සංචාරය අතරතුරදීය. ඒ අනුව ඔවුන් දෙදෙනා සිදුකර ඇති එම ක්‍රියාව ද අතිශයින්ම බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතුව තිබේ. රටක අධිකරණය මග හරිමින් සිටින, ජාත්‍යන්තර පොලිසිය හරහා ද වරෙන්තු නිකුත් කර ඇති අපරාධ චෝදනා එල්ල වූවෙක් සමග රටක නීති සම්පාදනය කරන ආයතනයේ සාමාජිකයින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ පෙනී සිටීම සැළකිය යුත්තේ බරපතළ වරදක් ලෙසය. අධිකරණයට ද කළ බරපතල අපහාසයක් ලෙසටය. මෙහිදී නැවතත් සිහිපත් වන්නේ ඇරිස්ටෝටල් ගේ පෙර කී කියමනයි. “සියලුම සතුන් අතරින් උසස්ම සතා මිනිසාය. එහෙත් නීතියක් නොමැතිවූ විට සියලුම සතුන් අතර පහත්ම සතා වන්නේත් මිනිසාය”.

සුනිල් ජයසේකර

Top