Untitled 1

ඩෙංගු මදුරුවාගෙනුත් ගසා කෑවාද? - නීතිඥ අනුර හෑගොඩ

ලංකාවේ මදුරු කරදරය අපට මතක කාලයේ සිටම පවතී. අපේ තාත්තලා සීයලාටත්, කිත්තා කිරි කිත්තාටත් ඔවුන් මතක කාලයේ සිටම පවතින්නට ඇතිය. මැලේරියා සහ බරවා වසංගතයන් ගෙන් බොහෝ කලක් පීඩා විඳි ලාංකිකයන් ඒවායින් සිය ගණන් මියයනු අප අසා තිබුණේ නැත. එහෙත් ඩෙංගු වසංගතය ශ්‍රී ලංකාවට බලපා ඇති ආකාරය ඉතාමත් ඛේදජනකය.

අද පුවත් වලට අනුව පසුගිය මාස කීපයතුල දෙසීයකට වඩා රෝගීන් ඩෙංගු උණෙන් මියගොස් තිබේ. හැට දාහකට වඩා රෝහල් ගතව ඇත. පුද්ගලික රෝහල් වලද ඩෙංගු රෝගීන්ට ඉඩක් නැත. එක ආණ්ඩුවක් නොව සුද්දාගේ සිට සියළු ආණ්ඩු ලජ්ජා විය යුතුය. එම ආණ්ඩු කරවූ දේශපාලනඥයන් ලජ්ජා විය යුතුය.

ලක් දිවයින ඉරිදා සංග්‍රහයේ මාගේ තීරු ලිපියක් විය. එහි 2011 සැප්තැම්බර් 29 වන දින 'චේගුවේරා මහත්තයාගේ රට, බේතකට මදුරුවෙක් නැත, මදුරුවන්ට බේත් ද නැත' යනුවෙන් මා කියුබන් රටේ කළ සංචාරයක සටහනක් ලීවෙමි. කෙටින් කියතොත්, ශ්‍රී ලංකාවේ මෙන්ම දේශගුණයක් ඇති කියුබාවේ එක මදුරුවෙක් මැස්සෙක් නැති වීම පුදුමයකට කරුණක් විය. නිතිපතා මදුරුවන්ගෙන් පීඩා විඳින රටකට එය පෙන්වා දිය යුතු විය. එය ලියුවේ එම පදනමේය. කියුබාවේ මදුරු මර්ධනය සිදුවී ඇත්තේ යම් දිලීරයක් මඟින් බව පසුව දැනගතිමි.

ඊට වසර දෙක තුනකට පසුව ඉතා සහනදායී පුවතක් අසන්නට ලැබිණ. ඒ ලංකාවේ මදුරු මර්ධනයට කියුබාවෙන් ආධාර වශයෙන් දිලීරයක් සහ විශේෂඥ සහය ලැබෙන්නට යන වගයි. එම දිලීරය සමඟ විශේෂඥයන් ලංකාවට පැමිණි බව ද වාර්තා විය. එය එපමණයි. දිලීරයටත් ඔවුන්ටත් සිදුවූයේ කුමක් ද යන්න අදටත් දන්නේ නැත.

එය එසේ වන්නට කාරණා දෙක තුනක් අනුමාන කරමි. පළමු වැන්න අප හොඳින් අත් දකින පරිදි පිට රටින් එන ඕනෑම දෙයකින් කුට්ටියක් බාගන්නට සැරසෙන සමහර දේශපාලනඥයන් කීප දෙනාගෙන් අයෙක් මෙයට අත ගසා නොමිලයේ හෝ එය කරන්නට අවශ්‍යනම් කීයක් හෝ කියුබන් විශේසඥයින්ගෙන් ඉල්ලා සිටින්නට ඇත. දෙවැන්න එවැනි දේශපාලනඥයෙක් මදුරු කොයිල් ව්‍යාපාරිකයන් ගෙන් කුට්ටියක් ගෙන කියුබන් පිරිස හරවා යවන්නට ඇත. තුන්වැන්න නම් කියුබන් පිරිස ලංකාවට පැමිණි විගස මදුරුවන් කා මිය යන්නට ඇති බවය.

කොහේ හෝ ලොකු වැරැද්දක් සිදුවී ඇත.

ලබන සතියේ ලංකාවට යාමට ඇත. එනිසා ලහි ලහියේ අන්තිම කැමති පත්‍රය ලියමින් සිටිමි. මට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ කියුමක් මතක් වේ. "නොගියොත් එන්ට බැරිය. නාවොත් යන්ට බැරිය". එත් ලංකාවට ගියොත් එන්ට බැරිවේදැයි දෙගිඩියාවෙන් පසුවෙමි.

Top