Untitled 1

ඇවිදින මරණය හෙවත් සොම්බී

 

ජී 20 සමුළුව ට සමගාමිව, වඩාත් නිවැරදිව කියන්නේ නම් ජර්මනියේදී ජී විස්ස ආරම්භ වීමට පෙරාතුව මංමාවත් දිගේ මළ මිනිසුන් ඇවිද ගිය බව අප කීවා ඔබට මතකද? එය හුදෙක් විරෝධතාවක් පමණක් වුවත් සැබවින්ම මේ ලෝකයේ මළ මිනිසුන් එසේ සැබවින්ම ඇවිදගිය බවට සාක්ෂි තිබේ. මෙළොවට අයත් නැති ඒ මිනිසුන්ව හඳුන්වන නම වූයේ ‘සොම්බීවරුන්’ යන්නයි. වූඩූ හෙවත් ‘ජීවමාන මරණය’ යනුවෙන් හැඳින්වූයේ ද මේ අයම ය.

සොම්බීලා මේ ලෝකයේ ඇවිද ගිය බවට පිළිගත හැකි ප්‍රථම සාක්ෂිය ලැබුණේ හයිටි දේශයෙනි. ඒ 1918 වසරයි. හයිටි දේශයේ පිහිටා තිබූ ‘හැස්කෝ’ නමැති හයිඩ්-ඇමරිකානු සීනි සමාගම වාර්තාගත ලාභයක් ඒ වසරේ පෙන්වා තිබුණේය. ආයතනය තවත් දියුණු කිරීම සඳහා අමතර සේවකයන් පිරිසක් බඳවාගැනීමට පාලනාධිකාරිය තීරණය කළේය. ඒ අනුව නව දෙනෙක් අලුතෙන් බඳවා ගැනිණි. ඔවුන් කම්කරුවන් බව කියැවිණි. ඔවුන් හැමදෙනාම පාහේ සැරසී සිටියේ ඉරුණු ඇඳුම්වලිනි. ඔවුන්ගේ මුහුණු මැළවිලා ය. සේවයට වාර්තා කිරීම සඳහා එක පෙළට සිටගෙන සිටියහ. මේ කම්කරුන්ගේ නඩත්තු කටයුතු භාරගෙන තිබුණේ ටයි ජෝසප් නමැති ගම්මුලාදෑනියා සහ ඔහුගේ බිරිඳ වූ කොන්ස්ටන්ටන්ස් විසිනි. මේ කම්කරුවන් පැමිණ තිබෙන්නේ හයිටි දේශසීමාවට ආසන්නයේ පිහිටි ඉතාම කඳුකර ගැමි ප්‍රදේශයකින් යැයි ටයි ජෝසප් පාලනාධිකාරියට දැනුම් දුන්නේය. ඔවුන් ඉතාම දුප්පත් ය. ඒ මදිවාට අතිශයින්ම නූගත් ය. ඔවුන්ට හයිටි බස තබා තමන් ට හිමි ප්‍රාදේශීය බස පවා කතා කරගැනීමට හැකියාවක් තිබුණේ නැත. ඒ සා නොදියුණු ය.

මොවුන් සමාජශීලී වීමට අකමැති නිසා ටයි ජෝසප්ගේ මතය වූයේ ඔවුන්ව සෙසු කම්කරුවන්ගෙන් වෙන් කර තැබිය යුතු බවයි. තනි කණ්ඩායමක් ලෙස මොවුන්ට විශේෂ බරවැඩවල නිරත විය හැකි යැයි කළමනාකරු වශයෙන් ටයි ජෝසප් සපථ කළේය.
ඒ අනුව මේ නව දෙනාගේ කණ්ඩායමට ලබාදුන්නේ උක් වත්තේ තිබුණු කරන්නට අසීරුම බර වැඩ සහිත කලාපයයි. ඔවුන් වදනක්වත් බිණුයේ නැත. ටයි ජෝසප් කියා තිබුණේ නව දෙනාගේම වැටුප තමන් අතට ලබාදෙන ලෙසයි. ඔහු විසින් එය නවයට බෙදා එකිනෙකා අතර ගැටළුවක් නැතිව බෙදාහරිනු ඇත.

පළමු දිනය අවසානයේ වැඩභාර කළමනාකාරවරයා අතිශය පුදුමයට පත්විය. මිනිසුන් සමූහයකට එක දිනකදී කපා නිම කළ නොහැකි තරම් විශාල උක්වත්තක් සම්පූර්ණයෙන්ම ඔවුන් විසින් කපා නිම කර තිබිණි. ඔවුන් දිනපතාම විවේකයකින් තොරව වැඩ කරමින් සිටියේ දිවා ආහාරය සඳහා පවා නතර නොවෙමිනි. ගිනිගහන මද්දහන ගැන පවා ඔවුන්ට තැකීමක් තිබුණේ නැත. දිනය අවසානයේ මිලට් පොරිවලින් තැනූ සරල ආහාරයක් පමණක් ඔවුන්ට සෑහිණි. අධික වෙහෙස හෝ ගිනියම් සූර්යතාපය හෝ ඔවුන්ට ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිවම දැකගත හැකි විය.

ඉරිදා දිනයේ ටයි ජෝසප් නගරයට ගියේ සිය බිරිඳට අවශ්‍ය කළමනා කිහිපයක් මිලදී ගැනීම සඳහා ය. තමන් වැඩපොළේ නොසිටි එම කාලය තුළ එම කම්කරුවන් නව දෙනා සිය බිරිඳගේ භාරය යටතට පත් කරන්නටත් ඔහු අමතක කළේ නැත. එදින වඩමුරය අවසන් කර ඔවුන් පැමිණි පසු කොන්ස්ටන් ඔවුන්ව යාබද ගමක තිබූ උත්සවයක් නැරඹීමට කැඳවාගෙන ගියේය. නමුත් එහිදී පවා මේ නව දෙනා හැඟීම් විරහිත අජීවී අයවලුන් සේ අරමුණකින් තොරව සිටගෙන සිටින ආකාරය දැකගන්නට ලැබිණි. උත්සවය රස විඳිනා බව හඟවන එක් සලකුණක් පවා ඔවුන් කෙරෙන් විද්‍යාමාන නොවිණි. අවසානයේ ඔවුන්ට කරන සැලකීමක් ලෙසින් කොන්ස්ටන්ස්, ලුණු දැමූ කජු සහ දුඹුරු සීනිවලින් තැනූ විස්කෝතු වර්ගයක් ගෙනැවිත් දුන්නාය.

කම්කරුවන් එයට දැක්වූ ප්‍රතිචාරය නාට්‍යමය එකක් විය. ලුණු සහිත විස්කෝතු රැගෙන විකන්නට පටන් ගත් කල ඔවුහු අදිසි බලවේගයක් ක්‍රියාත්මක වූ කලෙක මෙන් මහ හඬින් වැළපෙන්නට පටන් ගත්හ. ඔවුන්ට මද වේලාවකින් වැටහී ගියේ තමන් මිය ගිය අය බවයි, දිපතිමත් හිරුගෙන් ආලෝකමත් වු මෙදියතට තමන් අයිති නැති බවයි. තමන්ට හිමි ස්ථානය ඔවුන්ගේ ගම්බද සොහොන්කොත් තුළ තිබූ දැඩි අන්ධකාරය බවයි. මෙවිට ඔවුහු උමතුවෙන් මෙන්” කඳුවැටි අතරින් දිව යමින් තමන් අයිති ගම්මානය වෙත ආපසු දුවන්නට පටන් ගත්හ.
ගම්මානයේ මිනිසුන් මොවුන්ව ඉතා සාදරයෙන් පිළිගත්හ. ඊළඟ නිමේෂයේ භීතියෙන් ඇළලී ගියහ. ඔවු්න වටහාගත්තේ උක් වැවිලි සමාගමේ රැකියාව සඳහා තම ගම්නානයෙන් ගොස් ඇත්තේ තමන් මෙයට මාස ගණනකට පෙර භූමදාන කළ ගම්වැසියන් නව දෙනෙක් බවයි!!

මේ අමුත්තන් නව දෙනා හැමවිටම මුහුණ ලා සිටියේ තමන්ව මිහිදන් කළ එම සොහොන් කොත් දෙසට ය.එනම් ගම්මානයේ සොහොන් බිම වෙතට ය. කඩිනමින් එම සොහොන් පිටිය වෙතට දිව ගිය ඔවුහු තමන්ට අයිති සොහොන් ගැබ් සොයාගත්හ. උමතුවෙන් මෙන් ගොඩැලි මත තිබූ තණපත් සහ බොරළු කැට අතින් සූරා දමමින් ඉවත් කළහ. ඉන්පසු වළ පාදාගෙන එතුළට පැන්නහ.නැවතත් සදාකාලික නින්දට වැටුණහ.

ඔවුන් නම් සොම්බීවරුන් ය. එනම්, ජීවමාන මරණයන් ය.

මේ සොම්බීවරුන්ගේ සොහොන් බිම පිහිටා තිබෙන්නේ හයිටි දේශයේය. වූඩූ නමැති මැජික් ක්‍රමයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන්නේ ද හයිටි දේශයයි. ඔබ වූඩූ මැජික් ගැන අසා තිබෙනවාද? වූඩු නමැති සුවඳ විලවුන් වර්ගය ගැන මිස වූඩූ මැජික් ගැන අසා නැතිනම් ඔබ මේ කතාව අග දක්වාම කියවිය යුතුමය.

වූඩූ මැජික් සන්දර්ශනය පවත්වනු ලබන්නේ හයිටි රාජ්‍යයේ මැජික් ශිල්පීන් විසිනි. ඔවුහු තමන්ව මන්ත්‍රකරුවන් ලෙස හඳුන්වා ගනිති. වුඩූ යන්නෙන් ඔවුන් අදහස් කරන දෙය මෙසේ ය. යම් අයෙකු මියගොස් යම් කාලයක් තුළ ඔවුන්ගේ මළසිරුරු යළිත් ජීවිතය වෙත කැඳවාගෙන ආ හැකිය. නමුත් ඒ තාවකාලිකව ය.

මළගිය ආත්මයන්,සිත් රහිත සොම්බීවරුන් බවට පත්කිරීම මේ මන්ත්‍රකරුවන්ගේ රාජකාරියයි.

දැන් අපි, කියමින් සිටි කතාව වෙත ආපසු යමු. තමන්ගේ ද සහභාගිත්වයෙන් යුතුව භූමදාන කළ ගම්වැසියන්, මාස ගණනක් ඇතුළත මිනී වළවල්වලින් නැගිට මානසික ශුන්‍යබවින් යුතුව නැවත සැරිසරා ඇති බව දැනගත් විට ඒ ගම්වැසියෝ මහත් භීතියටත් සන්ත්‍රාසයටත් පත්වූහ. තමන් ආදරය කළ මියගිය ඥාතීන් සොම්බීවරුන් බවට පත්ව ඇවිදගොස් ඇති බව විශ්වාස කිරීම ඔවුන්ට දරාගත නොහැකි විය. ඒ අනුව ඔවුහු තීරණයකට එළඹුණහ. එනම් සිය ඥාතීන් මිය ගිය පසු ඔවුන් කිසියම් බලවේගයක් හේතුවෙන් සොහොන් වළවලින් නැගිට ඇවිද යාම වැළැක්වීම සඳහා මාස කිහිපයක් යන තෙක් ඔවුන්ගේ සොහොන් කොත් මුර කළ යුතුය. අද ද හයිටි වැසියෝ මේ නිසා අඩුම වශයෙන් සති කිහිපයක්වත් යන තෙක් සිය ඥාතීන්ගේ සොහොන් කොත් තනි කරන්නේ නැත.

මියයන ඥාතීන් සොම්බීවරුන් බවට පත්වීම වැළැක්වීම සඳහා මළ සිරුරුවලට විෂ වර්ග එන්නත් කිරීම ද ඔවුන් විසින් ආරම්භ කරන ලදී. ඔවුන් සැබවින්ම මියගිය බව තහවුරු කිරීම සඳහා මළසිරුරේ හිසට වෙඩි තැබීම ද ආරම්භ විය.

මේ වූඩු හෙවත් සොම්බීවරුන්ගේ අතීත කතාව මෙසේ වන හෙයින් එය මිත්‍යාවක් ද නැතිනම් සත්‍යයක් දැයි සනාථ කර ගැනීම කෙරෙහි ලොව පුරා විද්‍යාඥයන් විසින්ද විවිධ අවස්ථාවලදී වෙහෙස වී තිබේ. හාවඩ් සරසවියේ විද්‍යාඥයෙකු වන ආචාර්ය ඊ. ඩේවි ඩේවිස් එසේ හයිටි දූපත් කරා ගොස් දිගු කාලයක් සොම්බීවරුන් පිළිබඳ පර්යේෂණ කළ අයෙකි. ඇවිදින මරණ හෙවත් සොම්බීලා හයිටි රාජ්‍යයේ සැබවින්ම සැරිසරා ඇති බවට බොහෝ සාදක ආචාර්ය ඩේඩි ඩේවිස් එක්රැස් කර ගත්තේය. ඒ මළ මිනිසුන් ඒ වන විට නැවතත් සිය සොහොන් ගැබ් කරා පැමිණ නිදහසේ නිදාගන්නේ යැයි තමන් සිතන බව ඔහු තම වාර්තාවන් හි ලියා තැබීය.
එසේම ඔහු මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ද කළේය. එය මෙසේ ය. “ මරණයට පත්වූ සොම්බීවරුන් මුල් වතාවේ මියගොස් තිබුණේ යම්කිසි වස වර්ගයක් ශරීරගතවීම නිසයි. කෙසේ නමුත් මේ විෂ වර්ගයේ මාත්‍රාව අඩු මට්ටමක පැවති බව මගේ විශ්වාසයයි. වස වර්ගය ශරීරගත වූ සැණින් ඔවුන් සායනික මරණයකට පත්වන්නට ඇත2 මෙමගින් ඔවුන්ගේ ශරීරවල විවිධ රසායනික වෙනස්කම් ඇතිවන්නට ඉඩ තිබේ. ඔවුන් සිය මිනීවළවල්වලින් නැගිට්ටේ ඒ නිසා විය හැකියි”

මෙම වස වර්ග ලබාගෙන තිබුණේ බියුගෝ මැරිනස් නමැති ගෙම්බාගේ සමෙන් සහ පෆර් ෆිෂ් නමැති මත්ස්‍යයාගේ සමෙන් බව ද ඔහු සඳහන් කළේය.

කෙතරම් ශක්තිමත් තර්කයන් සහ පරිකල්පනයන් ඉදිරිපත් කළ ද නවීන විද්‍යාවට හසු නොවන තවත් බොහෝ දේවල් මේ ලෝකය තුළ තිබේ. සායනික ලෙස මරණයට පත් වූ සොම්බීවරුන්ට දින ගණනක් තිස්සේ අයෝමය කාය ශක්තියකින් වැඩ කළ හැකි වූයේ කෙසේද? තමන් මිය ගිය අය බව ඔවුන්ට හදිසියේම අවබෝධ වූයේ කෙසේද? ලුණු සහ ඉඟුරු වලින් ඔවුන්ගේ රසායනික තුළ හදිසි වෙනස්කම් ඇතිවුණේ කෙසේද? සාමාන්‍ය මිනිසෙකුට පවා කළ නොහැකි තරමේ අධිමානුෂික අසාමාන්‍ය ශක්තියක් ඔවුන්ගේ ශරීරවලට හදිසියේ ලැබුණේ කෙසේද?

මෙබඳු ඇවිදින මළ මිනී සැබෑ ලෝකයේ ඡායාරූප ශිල්පීන්ගේ කාච සටහන්වලට පවා විටින් විට හසු වී තිබේ. තවද සොම්බීවරුන් ව මුහුණට මුණගැසුණු අය ද මේ ලෝකයේ වෙත්. එවන් අයෙක් තම අත්දැකීම විස්තර කරන්නේ මෙසේ ය. “ඒක හරියට හදවතට පහරක් එල්ල කළාම ඇතිවන ආකාරයේ හැඟීමක්ඔ. හුගේ ඇස් හරියට මළ මිනියක අජීවී ඇස් වගේමයි. අන්ධ නැහැ. නමුත් ඒ ඇස්වල කිසිම දීප්තියක් නැහැ. කිසිම දෙයක් ඒ ඇස්වලින් පේන්නෙ නැතිව ඇති. හැඟීම් විරහිත බවක් විතරක් නෙවෙයි” තවත් කල් ජීවත් වෙන්නට බැරි බවකුත් ඒ ඇස්වල ලියැවිලා තිබුණා.”

විසඳිය යුතු තවත් ප්‍රශ්න එමට ය. සොම්බීවරුන් තමන්ගේ සොහොන් ගැබ් හරියටම සොයාගත්තේ කොහොමද? හදිසියේ ඔවුන්ට ගම්මානයේ සුසාන භූමිය පිහිටි දිශාව මතකයට නැගුණේ කෙසේද? ඔවුන් ගමන් මග සොයාගෙත්තේ කොහොමද? අවසානයේ තමන්ගේ වළ සොයාගෙන එතුළටම වැටී මියගියේ කෙසේද?

ජනප්‍රිය සංස්කෘතිය තුළ ලිවින් ඩෙඩ් කතාමාලාව, චිත්‍රපට, ටෙලි නාටක මෙන්ම වත්මනෙහි අප දකින මළ මිනිසුන්ගේ උද්ඝෝෂණ පවා ඇතිවීමට හේතුව හයිටි දේශයේ මෙම සොම්බී පුරාවෘත්තයයි. සැබෑ සොම්බීවරුන් ඡායාරූපවලට පවා හසු වී ඇති හෙයින් මෙය හුදෙක් පුරාවෘත්තයක් යැයි පැවසීමට ද නොහැකිය. කෙසේ නමුත් මේ ලෝකයේ පවතින සමහර දේවල්, හේතු සොයන්නට යාම නිසාම තව තවත් පැටලිලි සහගත වේ.

- අමාලි ජයවීර

Top