Untitled 1

දහම යටපත් කොට ධාතු විකිණීම - එස්. රණතුංග

 

බුදුන් වහන්සේගේ ශරීරයේ නොයෙක් අස්ථි කොටස් ‘සර්වඥ ධාතු‘ නමින් හඳුන්වමින් ඒවායේ නොයෙක් විසිතුරු නිදාන කථා මවමින් දිවයිනේ නොයෙක් බෞද්ධ පන්සල්වල ප්‍රදර්ශනය කෙරේ. මේවා බැලීමට ජනතාව දිගු පෝලිම්වල පැය ගණන් සාධුකාර දෙමින් රැඳී සිටිති.

 

විහාරස්ථානවල තැන්පත් කර තිබූ ධාතු
බෞද්ධ සැදැහැවතුන් විහාරස්ථානයට පැමිණි දාගැබ, විහාරය හා බෝධිය වන්දනා කළ ඉක්බිතිව එකී මංජුසාව සහිත කරඬුව තැන්පත් කර තිබූ අල්මාරියට වන්දනා කිරීම පුරුද්දක් කරගෙන තිබුනි. ඒ හැර ධාතු කරඬුව දක්නට ලැබුනේ දානයක් සඳහා ගිහි නිවසකට භික්ෂුන් වැඩම කරගෙන යන අවස්ථාවේදී කරඬුවද එම නිවසට ගෘහපතියාගේ හිස මතින් රැගෙන යන අවස්ථාවේදීය. කිසි දිනක එම කරඬුව විවෘත කොට ප්‍රදර්ශනය කිරීමක් නොකරන ලදී.

ආගමද අධිවාණිජකරණයට ලක්වූ වර්තමාන ලංකාවේ රූපවාහිනී නාලිකා විසින්, පන්සලේ අභ්‍යන්තරයේ තැන්පත් කර තිබූ ධාතු නොයෙක් නිදාන කතා මවමින් සිය නාලිකා ප්‍රවර්ධනය කර ගැනීමට යොදා ගන්නා තුරුම ධාතු යනු තවත් අප්‍රසිද්ධියේ තැන්පත් කර තිබූ ආගමික සංකේතයක් පමණක් විය. දැනට බෞද්ධාගම අදහන රටවල් රාශියකත් ප්‍රධාන වශයෙන්ම ලංකාවේත් මේ තරම් බහුලව ප්‍රදර්ශනය කෙරෙන සහ අප්‍රසිද්ධියේ දහස් සංඛ්‍යාත විහාරස්ථාන වලත් තැන්පත් කර තැබීමට තරම් අස්ථි කොටස් සංඛ්‍යාවක් භාරතයේ කුසිනාරා නුවරදී මීට වර්ෂ දෙදෙහස් හයසියයකට පමණ පෙර සඳුන් සෑයක් මත දැවී ගිය ප්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍යයකු වූ ගෞතම බුදුන් වහන්සේගේ සිරුරේ තිබුනේද යන්න, ප්‍රශ්න කරන ගිහියෙක් හෝ පැවිද්දෙක් දක්නට නොලැබේ.

මොහොතකට මෙතරම් ධාතු ප්‍රමාණයක් කොහෙන් ලැබුවේද යන තර්කය පසෙක තබා එම සියලුම ධාතු කොටස් උන්වහන්සේගේමයැයි උපකල්පනය කළත් එකී ධාතු වන්දනාව බුදුන්වහන්සේගේ සැබෑ දහමට එකඟදැයි මඳක් විමසීම වටී.
බුදුන් සොයා යෑම
තමන්ගේ ශරීර කොටස් හෝ පිළිම හෙවත් තමන්ගේ අනුරූ, උපභෝග, පරිභෝග වස්තු ආදී සංකේත වලට පුද පූජා කිරීම වන්දනා කිරීම හෝ ඒවායින් පිහිට පැතීම හෝ කිසිදිනක අනුමත කළ ශාස්තෘවරයෙක් නොවේ බුදුන් වහන්සේ. ජීවමානව සිටි තමන් වහන්සේට හෝ අභිවන්දනය කිරීමට සිය ශ්‍රාවකයන්ට උන්වහන්ගේ ඉඩ දුන්නේ නැත. උන්වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කොට සිය විමුක්තිය උදා කරගැනීම මිස ශාස්තෘවරයා අභිවන්දනය කිරීම හෝ පිහිට පතා වැඳවැටීම එවකට සිටි බුද්ධිමත් ශ්‍රාවක පිරිසේ පිළිවෙතද නොවීය. ධාතු-පිළිම-වෘක්ෂ ආදී කිසිම සංකේත වන්දනාවක් මූලික බුදුදහම තුළ අනුමත නොවුන බව මෙන්ම එබඳු සම්ප්‍රදායයක් හෝ නොපැවති බවත්ය. බුදුන් සොයා යා යුත්තේ අන්ධ භක්තිය උලුප්පා දක්වන ධාතු-පිළිම-බෝගස්-චෛත්‍ය වැනි සංකේත වලට පුද පූජා පැවැත්වීම තුළ නොව බුදුන්වහන්සේගේ සැබෑ ධර්මය තුළ බව පැහැදිලි කළ යුතුය.

වර්තමාන ආගමික ව්‍යවහාරය තුළ බුදුදහම යටපත්වී ඇදහිලි, වන්දනා ක්‍රම, පුද පූජා හා පිහිට පැතීම්, ජන ජීවිතය ආක්‍රමණය කිරීම.
සියලු මිථ්‍යා ඇදහිලි මෙන්ම නිරර්ථක ආගමික අභිචාර විමසීමට ලක්කොට තේරුම් ගැනීමට අසමත්ව සිටින අපි මෙම 21 වන සියවසේදී පවා එම අවිද්‍යාත්මක විශ්වාසය හා ඇදහිලි විද්‍යාත්මකව විමර්ශනයකට භාජනය නොකොට ඒවා ඉදිරියේ නිරුත්තරව සිටිමු. මෙම කාර්යයේදී පෙරමුණ ගතයුතුව සිටින භික්ෂු සංස්ථාව සිය ශාස්තෘවරයාගේ දහම නිවරදිව තෝරා බේරාගෙන සිය අනුගාමිකයනට පහදා දීමේ සිය උතුම් කාර්ය භාරය පසෙකට ලා ඔවුක්ගේ අන්ධ භක්තියත් මෝඩ ශ්‍රද්ධාවත් තව තවත් වැඩිකර ලීමේ උත්සාහයක නිරතවී සිටිති. දානමාන වලට අමතරව නොයෙක් පුද පූජා හා වන්දනා පිළිබඳව ව්‍යාජ වර්ණනා ආනිශංස දෙසමින් අනුගාමිකයනට එලොව සැප පෙන්වා තමන්ගේ මෙලොව සුඛ විහරණයට මං සලසා ගනිති. විහාරස්ථාන වලට නිතිපතා පැමිණෙන බෞද්ධ බැතිමතුන්ට සිය ශාස්තෘවරයාගේ දහම ජීවිතයට යොදාගන්නා හැටි පැහැදිලි කර දීමක් කෙසේවත් සිදු වන්නේ නැත.

අවිද්‍යාව පැතිරවීමට රාජ්‍ය සහ මාධ්‍ය අනුග්‍රහය
බුදුන් පිරිනිවී සියවස් තුනක් පමණ ගතවූ කාලයේ පටන්ම එම දහම නොයෙකුත් ලෞකික අවශ්‍යතා සඳහා විකෘති කිරීමේ කාර්යය ඇතැම් භික්ෂූන් හා රජුන් අතින් සිදුවීම ලංකා ඉතිහාසය පුරාම දක්නට ලැබෙන්නකි. අද එහි මස්තක ප්‍රාප්තියට ළඟා වෙමින් පවතී. වෙනසකට අත්තේ භික්ෂුන් හා රජුන් හෙවත් පාලකයන්ද සමග මාධ්‍ය සාධකයද සංධාන ගතවී පැවතීමයි. නොයෙක් ආගමික උත්සව, ධාතු පූජා, බෝධි පූජා ආදිය ඇතුළත් විසිතුරු පින්කම් මාලා පැවැත්වීම නිර්මල බුද්ධ ධර්මයේ කොටසක් වන සේ ඒත්තු ගැන්වෙන ආකාරයේ වැඩසටහන් සුලබ කොට තිබේ. සිය ලෞකික සුඛ විහරණයට හා ජනතාව මත ආධිපත්‍යය පැතිරවීම සඳහා බොහෝ නායක යතිවරුන්ද, ඡන්ද පදනම වැඩිකර ගැනීම සඳහා දේශපාලනඥයන්ද මෙම වැඩසටහන් සඳහා පූර්ණ අනුග්‍රහය දක්වමින් සිටී. ආගමික පූජා වස්තූන් හා සංකේත වන්දනාව වෙත බැතිමතුන් එක්රැස් වන්නේ ඒවායේ ඇතැයි ඔවුන් විසින් අදහන කිසියම් අදෘෂ්‍යමාන බලවේග වලින් තමන්ගේ ලෞකික ප්‍රශ්න සඳහා විසඳුම් ලැබේ යයි යටිසිතේ පැළපදියම්ව පවතින පාරම්පරික විශ්වාසයන් නිසාය. එම විශ්වාසයන් නිසාම තාවකාලික හෝ සහනයක් ලැබෙන බවට අදහන්නෝද වෙති. අවිද්‍යාව යනු නොදැනීමට වඩා වැරදියට වටහා ගැනීම බව මෙහිදී පෙන්වා දිය යුතුය. විද්‍යාත්මකව මෙම කරුණු වටහා ගැනීමට යත්න නොදරන්නෝ මෝඩ ශ්‍රද්ධාවෙන් යුතුව මිථ්‍යාවන් වැළඳගනිති. ඇතැම් කපටි භික්ෂුන්, දේශපාලකයන් සහ මාධ්‍ය කරුවන් විසින් ගසා කනු ලබන්නේ ජනතාවගේ මෙම මෝඩ ශ්‍රද්ධාවයි.

වඩාත් අවධාරණයෙන් කිව යුත්තේ බුදුන් වහන්ගේගේ ඉගැන්වීම් වලින් හා දර්ශනයෙන් වර්තමාන ජන ජීවිතයට අදාළ කොටගත හැකි අගනා උපදේශයන් හා ආදර්ශයන් සහිත ජීවන මාර්ගයක් ගොඩනගා ගැනීමට උපකාර විය හැකි භික්ෂු සමාජයකුත්, ඒ සඳහා අනුබල දෙන මාධ්‍ය සංස්කෘතියකුත් ගොඩනගා ගැනීමට රටේ පාලකයනට බල කෙරෙන බුද්ධිමත් පුරවැසි සමාජයක් බිහිකරගත යුතු බවය.

- සභාපති - ශ්‍රී ලංකා හේතුවාදී සංගමය - කොළඹ

Top