Untitled 1

ළං වෙලා වැඩියි නම් වෙන්වීම අත ළඟයි !
සබඳතාවකට තර්ජනයක් වන තරමට එකිනෙකාට සමීප වූ අවස්ථා ගැන ඔබට ජීවිත අත්දැකීමක් තිබේද? එය වේදනාකාරී ය. නමුත් එය පුද්ගලික අවකාශය සාහසික ලෙස සීමාකිරීමේ ආනිශංසය පල දීමකි.
දුටු සැණින් පෙමින් බැඳුණු සහ එසේ පෙමින් බැඳී එය විවාහයෙන් අවසන් කරගත් යුවළ පිළිබඳ මයිකල් ගුරියන් නමැති පර්යේෂකයා විසි වසරක් තිස්සේ අධ්‍යයනය කළේය. එහිදී ඔහු සොයාගත් කරුණු අපූරු ය.
 
ගැහැනු සහ පිරිමි ආදරයෙන් බැඳුණු විට ඔවුන්ගේ මොළයන් ද ආදරයෙන් බැඳෙන්නට පටන් ගනියි. එවිට ඔවුන්ගේ සංවේදනයන් හරහා දැනෙන රසායනික සංඥාවන් හෙවත් හෝමෝන මට්ටම් ද ඉහළ යයි. ඒ නිසා එකිනෙකාව සමීපයට පැමිණෙන විට දැනෙන තරමට ඔවුන්ගේ සංවේනය දියුණු තියුණු වෙයි. එකිනෙකාගේ සුවඳ දැනුණු විට, ඔවුන්ගේ දෙනෙත් හමුවූ විට දෙසිත් එක සිතකින් බැඳීම ඉතා පහසුවෙන් සිදුවන තත්වයක් උදා වෙයි. මේ තත්වයේදී ඉහළ යන ඔක්සිටොසින් මට්ටම් විසින් ඔවුන් තුළ පවතින එකිනෙකට නොගැළපෙන ගතිගුණ එකිනෙකාට වැටහී යන්නේ නැත. සරල ව කියන්නේ නම් පෙනෙන්නේ නැත. නොරුස්සන ගති ගුණ හඳුනාගැනීම මෙහිදී ඔක්සිටොසින් විසින් වළක්වාලයි. නමුත් මේ ‘ආදරයේ උපරිම අවස්ථාව’ යම් මොහොතක නිමා වෙයි. එයින් පසු ආරම්භ වන්නේ සම්බන්ධතාවයක ජීව විද්‍යාත්මක ආරම්භයයි.
 
හදිස්සි වී විවාහ වී නිවීසැනසිල්ලේ පසුතැවෙන්නන් 
 
මේ අදියරේදී සිරුරේ හෝමෝන මට්ටම් හෝ රසායනික මට්ටම් නැවත සමනය වන්නට පටන් ගනියි. එනම් යථා තත්වයට පත්වන්නට පටන්ගනියි. මොළයේ රසායනිකයන් බිඳී යන්නට පටන් ගනියි. මිනිස් මොළයේ සිතීමට අදාළ කොටස හෙවත් මස්තිෂ්ක බාහිකය, තමන් ආදරය කරන පුද්ගලයා සර්ව සම්පූර්ණ කෙනෙක් නොවන බව තේරුම් ගන්නට පටන් ගනියි. එවිට ඔවුහු එකිනෙකා පිළිබඳ කෝප වන්නට පටන් ගනිති. ඇතැම්විට නොරිස්සීමට පටන් ගනිති. ඇතැම්විට එකිනෙකා වෙත බිය වීමට ද පටන් ගනිති. ප්‍රේමයේ පළමු අදියරේදීම විවාහ වූයේ නම් තමන් ඉක්මන් වූවා වැඩියැයි සිතන්නට පටන් ගනිති. හදිස්සි වී විවාහ වී නිවීසැනසිල්ලේ පසුතැවෙන්නන් වශයෙන් අප හඳුන්වන්නේ මොවුන් ව ය.
 
ක්‍රමයෙන් මෙම තත්වය වර්ධනය විය හැකිය. උදාහරණයක් වශයෙන් අනෙකා සමග කතා බස් නොකර රූපවාහිනිය නරඹන්නේ නම්, ඒ මන්දැයි අනෙකාට ප්‍රශ්නයක් මතුවන්නට පුලුවන. තම සිතිවිලි නොපවසා තමන්ගේම ලෝකයක ඔහු හෝ ඇය සැරිසරනවා යැයි තරහයන්නට පුලුවන. තමන් තමන්ටම වැරැද්දක්කරගත් බව දැනෙන්නට පුළුවන. 
 
නමුත් මේ ව්‍යාකූල තත්වය සබඳතාවන්හි සාමාන්‍ය අවධියකි. එය, මිනිස් සම්බන්ධතාවන්හි උද්වේගය නැතිවී  යාම පිළිබඳ හුදු සංඥාවක් නොවේ. මෙහිදී සබඳතාවය රැක ගැනීමට නම් විවෘතව මේ තත්වය සහකරු/සහකාරිය සමග කතා බස් කළ යුතුය.
 
සබඳතාවය බිඳී යාමේ අදියර
 
එසේ නොවන විට සබඳතාවය බිඳී යාමේ ඊළඟ අදියර ඇරඹෙයි. ඔවුන් එකිනෙකා ගැන සිතින් මවාගෙන සිටි ප්‍රතිරූප බිඳී යන්නට පටන් ගැනේ. ඉන්පසු දෙදෙනා බල අරගලයක් අරඹති.මිනිස් මොළයේ සිදුවන මෙම අදෘෂ්‍යමාන රසායනික බිඳවැටීම්වලට ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ පෙර සිතින් මවාගෙන සිටි චරිතය සහ දැන් සිටින චරිතය සැසඳීමෙනි. මේ සැසඳීම තුළ ඔවුහු තව තවත් ව්‍යාකූල වෙති. මෙහිදී ස්ත්‍රී අනන්‍යතාවය සහිත මොළය සහ පුරුෂ අනන්‍යතාවය සහිත මොළය ක්‍රියාකරන ආකාරය එකිනෙකින් වෙනස් ය. මේ කාලපරිච්ඡේදය අතිශය වේදනාකාරීය. තමන් වෙන් විය යුතු යැයි දෙදෙනාම සිතති. බල අරගලය දිගින් දිගටම අචේතනිකව හෝ ක්‍රියාත්මක වේ නම් තත්වය බරපතළ වනු ඇත.'
 
නිදහස ඉව කිරීම
 
මේ වන විට මුලින් පැවති දැඩි ආදරණීය හැඟීම් ක්ෂය වී ඇති හෙයින් පිරිමි අනන්‍යතාවය සහිත මොළයට ස්වාධීන වීමේ උවමනාව ඇති වේ. ස්ත්‍රී අනන්‍යතාවය සහිත මොළය වැඩි වැඩියෙන් මිතුරු ඇසුර සොයන්නට පටන් ගනියි. ඇයට උවමනාව තිබෙන්නේ ඔහුගෙන් බාහිරව ජීවිතය නැවත අරඹන්නටය. සැනසිල්ල සොයායන්නට ය. මේ වන විට ස්ත්‍රී-පුරුෂ අනන්‍යතා බන්ධනය තුළ දෙදෙනාම සිය නිදහස ඉව කරමින් සිටිති.
 
සමීප ලෙස දුරස්ව සිටීම
 
මේ තත්වය වළක්වාගෙන සම්බන්ධතාවයක ආයුෂ රැකගන්නේ කෙසේද? එයට විසඳාුම ලෙස මේ පර්යේෂකයා හඳුන්වා දෙන්නේ ‘සමීප ලෙස දුරස්ව සිටීම’යි. මෙහිදී බල අරගලය නිමා වෙයි. සමීප ලෙස දුරස්ව සිටින්නට පටන් ගත්විට වර්ධනය වන්නේ පරිණත ආදරයකි. තමන් එකිනෙකාට වෙනස් බවත්, එකිනෙකාට සමීප වීම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයක් නොවන බවත් ඔවුහු කෙමෙන් වටහා ගනිති. සබඳතාවන් රැක ගැනීමට හැමවිටම සමීප වී සිටිය යුතු නොවේ. ක්‍රමයෙන් ඔවුහු එකිනෙකාගේ හොඳම යහලුවා හෝ යෙහෙළිය බවට පත්වෙති. 
 
සොබාදහමට ඉඩ දෙන්න 
 
ගැහැනු සහ පිරිමි, සොබාදහම විසින් මවා තිබෙන්නේ එකිනෙකා වෙනුවෙන්ම නොවේ. රසානියක වෙනස්වීම් සඳහා හේතු සෙවීමට යාම නිෂ්පල දෙයකි. එයට එරෙහි වනු වෙනුවට ඒ වෙනස්කම්වලට ඉඩ දෙන්න.. දිගුකාලීන ආදරයක් වෙත ඔබව ගෙන යාමට සොබාදහමට ඉඩ දෙන්න. 
 
සොබාදහම හැමවිටම මිනිසාට වඩා බුද්ධිමත් ය.
 
- රීඩර්ස් ඩයිජස්ට් ඇසුරෙනි
Top