Untitled 1

නිමවූ යුද්ධය සහ නිමක් නැති ශෝකයක සිටින මනිඅම්මා

 

 

කුමන අරමුණකට කුමන ජනකොටසක් වෙනුවෙන් සටන් කිරීමට ගියද එම ජතාවගේ රුහිරු පොලව පුරා ගලා යන්නේ නම් එම යුද්ධයෙන් මිනිසුන්ට ඉතිරි වන දෙයක් නැත. යුද්ධය අභිමානයක් වීරත්වයක් ලෙස සැලකුවද හුදු එහි ඇත්තේ බියගුළුකම පමණි. ඉන් ඉතිරිවන්නේ දුක්බර මතකයන්ම පමණක් වේ. එසේනම් මිනිසුන් යුද වදින්නේ කුමක් දිනා ගැනීමටද ?

තිස්වසරකට වැඩි කලක් ඇදී ගිය යුද ගැටුම් නිසා අපේ රටේ ජනතාවගේ අනාගතය විනාශ විය. ඔවුන්ගේ දේපල, දරුවන්, සහෝදර සහෝදරියන්, මවුපියන් සියල්ලම බොහෝ දෙනෙකුට අහිමිවිය. නමුත් යුද්ධය නිමා වී වසර ගණනාවක් ගෙවී ගියත් යුද්ධය හේතුවෙන් නැතිවී ගීය ඔවුන්ගේ ලබැඳියන්ගේ මතකයන් තවමත් ඔවුන් තුල පවතී. ඒ වෙනුවෙන් ඔවුන්ගේ හදවත් තුල ඇවිලෙන සෙනෙහසේ ගිනිදලු මකාලන්නේ කෙසේද ?

යුද්ධය උතුරේ සහ දකුණේ සෑම ජන කොටසකටම විවිධ අයුරින් බලපෑ දෙයකි. කුරිරු යුද්ධය නිසා බොහෝවිට පීඩාවට පත්වූයේ යුද්ධය පිළිකුල් කල පිරිසක් වීම ශෝකජනකය. අම්පාරේ ජීවත්වන මනිඅම්මාගේ කතාවද එවන් එකකි.

හැමදාම පාන්දර අවිදි වන මනිඅම්මා මුලින්ම අතට ගන්නේ අතුරුදන්වූ තම පුතාගේ ඡායාරුපය ඇති ඔහුගේ හැදුනම්පතයි. ජීවිතයේ සැඳෑ සමය දරුවන්ගේ රැකවරණය තුළ ගෙවිය යුතු වයසක කාන්තාවක වන මනිඅම්මාටත් ඇයගේ ස්වාමියාටත් ඒ සඳහා වාසනාව උදා නොකළේ කුරිරු යුද්ධයයි.

යුද සමයේ තම දුවගේ ස්වාමියා අතුරුදන් වීමෙන් පසුව ඇයගේ දරුවන් දෙදෙනා රැක බලා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ වයෝවෘද්ධ මනිඅම්මාට සහ ඇයගේ ස්වාමියට වේ.

'මගේ දුවගේ ස්වාමියාත් අතුරුදහන් වුනා. පස්සේ ඇය පිටරට ගියා. නමුත් අද වෙනකන් ඇයගෙන් තොරතුරක් නෑ. දැන් ඇගේ දරුදෙනත් බලා ගන්නෙත් අපි. ඔක්කොම කරන්න වෙන්නේ මහත්තයා කරන රස්සාවෙන්.'

දරු සෙනෙහට ජාති බේද අවශ්‍ය නැත. හැම අම්මා කෙනෙකුගේම හතවතේ තම දරුවන් පිළිබඳ මතකය පවතී. ඇයගේ පුතා ඇගේ දෑස ඉදිරිපිට මිය ගිය අයෙකු නොවේ. සැබවින්ම අතුරුදන්ව සිටී. ඇය තවමත් බලා සිටින්නේ පුතා ගෙදර එනකම්ය.

'යුද්ධය අවසන් වීම ගැන අපි සතුටු වෙනවා. නමුත් අපේ පුතා අතුරුදන් වීමේ දුක තවමත් අපේ හදවතින් මැකිලා නෑ.'

'මගේ පුතා අතුරුදන් වෙලා අවුරුදු කීපයක් වෙනවා. යුද්ධය තිබුනේ එල්ටීටීඊය සහ රජය අතර. නමුත් අපට අපේ දරුවෝ ආරක්ෂා කර ගන්න බැරි වුනා. මගේ පුතා අතුරුදන් වූ දා පටන් මට මගේ ජීවිතයේ බාගයක් අහිමි වුනා.'

'මම හිටපු වත්තේ මගේ පුතා වගේ තරුණයින් 15 ක් අතුරුදන් වුනා. ඒ දරුවන්ගේ දෙමාපියන් සියලු දෙනා එකතුවෙලා අතුරුදන් වූ දරුවන් හෙවුවා. පොලිසියට, මානව හිමිකම් කොමිසමට ගියා, බන්ධනාගාරවල හෙවුවා, නමුත් පුතා හිටියේ නෑ.'

මිනිසුන්ගේ රුධිරයෙන් පොළව තෙත්කළ සාපලත් යුද්ධය අවසන්. නමුත් මිනිසුන්ගේ මතකයන් තුළ සිටින, යුධයෙන් නැතිවී ගිය තමන්ගේ මිනිසුන්ගේ මතකය ඔවුන්තුළ තවමත් එලෙසෙම පවතී.

තවමත් මනිඅම්මා මග බලා සිටින්නේ තම පුතා ගෙදර එන තෙක්ය. යුද්ධය මිනිසුන්ට ඉතිරි කළ දායාදය එපමණකි.

(විශේෂ ස්තුතිය හර්ස්ටෝරිස් ව්‍යාපෘතියට - Herstories project)

හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Top