Untitled 1

ජාතිවාදයේ නූතන රූපක හඳුනා ගැනීම

 

කෝනාර මුදියන්සෙලාගේ පොඩිඅප්පුහාමි රාජරත්න හෙවත් කේ. එම්. පී. රාජරත්න නැමැති දේශපාලඥයෙකු කලකට ඉහතදී අපට සිටියේය. 1952 මහ මැතිවරණයෙන් ඔහු පරාජය විය. අනතුරුව ඒ මැතිවරණයට අදාළ වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් නොකිරීම ගැන වරදකරු කරනු ලැබ රුපියල් 100 ක දඩයකට යටත් කළ ඔහුට වසර තුනක් යන තෙක් කිසි මැතිවරණයකට ඉදිරිපත් වීම අධිකරණයෙන් තහනම් කෙරුණි. කෙසේ වෙතත්, 1956 මැතිවරණයට එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණ යටතේ වැලිමඩ ආසනයෙන් ඉදිරිපත්ව ඔහු ජය ගත්තේය. මෙය, කලින් අධිකරණ නියෝගය කඩ කරමින් ලද ජයග්‍රහණයක් නිසා ඔහුට මේ ආසනයත් අධිකරණය මගින් අහිමි කරනු ලැබීය.

නිදහසින් පසු ලංකා දේශපාලනයේ අමු සිංහල ජාතිවාදයේ විවෘත ප්‍රකාශකයා වුණේ කේ. එම්. පී. රාජරත්නයි. බණ්ඩාරනායක ආණ්ඩුව ‘සිංහල පමණයි’ පනත ගෙනා අවස්ථාවේ ඊට විරෝධය පාමින් ගෝල්පේස් පිටියේ පැවති දෙමළ සත්‍යග්‍රහයට පහර දී ඊට සහභාගී වූ උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්නෙකු වූ නාගනාදන් සහ නවරත්නම්ව උස්සා බේරේ වැවට වීසි කිරීමට තරම් රාජරත්නගේ මැරයෝ එදා සාහසික වූහ. කෙසේ වෙතත් රාජරත්ත වඩාත් කුප්‍රකට වුණේ, ‘දෙමළෙකුගේ හමෙන් කරපු සෙරප්පු කුට්ටුමක් කකුලේ දාගන්න කල් තමන්ට නින්ද යන්නේ නැති’ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග ය.

ඕනෑම භාණ්ඩයක් මෙන් ජාතිවාදයත් ප්‍රාථමික අදියරක සිට ‘දියුණු’ අදියරකට පත්වීමේදී, එහි පවතින දළ, ගොරෝසු නිමාව වෙනුවට, ඊට වඩා භයංකාර මුත්, ඊට වඩා මටසිළුටු සහ විද්වත් ඔපයක් අත්කර ගනී. කේ. එම්. පී. රාජරත්න මෙන්, ඉන් පසු බිහි වූ කිසි සිංහල ජාතිවාදයෙකු දෙමළෙකුගේ හමින් සෙරප්පුවක් හදා කකුලේ දා ගැනීමේ ආසාවක් ගැන ප්‍රසිද්ධියේ නොකීහ. උදාහරණයක් වශයෙන්, ගුණදාස අමරසේකර හෝ නලින් ද සිල්වා වැන්නෙකුගෙන් එවැනි අදහසක් කිසි දවසක පිට නොවෙනු ඇත. මන්ද යත්, රාජරත්නට වඩා ‘ශිෂ්ට’ ආකාරයකින් රාජරත්නගේ රාජකාරිය සමාජගත කිරීමේ ‘විදග්ධ’ භාවය ඔවුන්ට ඇති බැවිනි. මෙය මා හඳුන්වන්නේ ජාතිවාදයේ දෙවැනි අදියර වශයෙනි. රාජරත්නගේ පළමු අදියරට සාපේක්ෂව මෙම අදියරේ බාහිර මුහුණුවර ‘මානුෂිකයි’. එහෙත් ඒ දෙක අතර පැහැදිළි සමානත්වයක් තිබේ. එනම්, ඒ දෙකම, එකක් අමු ජාතිවාදයක් වශයෙන් ද, අනික ‘වැඩිහිටි’ ජාතිවාදයක් වශයෙන් ද ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට කෙනෙකුට තවමත් හැකි වීමයි.

තුන්වැනි අදියර හෙවත් අද අප ගත කරන අදියර ඊට සපුරා වෙනස් ය. අද සිංහල ජාතිවාදය කෙනෙකුට පහසුවෙන් හඳුනාගත නොහැකි තරමේ රූප විපරිණාමයකට ලක්ව ඇත. (දෙමළ ජාතිවාදයත් මෙවැනිම විපරිණාමයකට පත්ව තිබෙනවා විය හැකිය. ඒ ගැන කෙනෙකු වෙනම සොයා බැලිය යුතුව ඇත). වර්තමානයේ ජාතිවාදී භාවිතය තුළ ‘සිංහල’ යන වචනය පවා පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධය හෝ ‘රණ විරුවන්’ ආරක්ෂා කර ගැනීමේ සටන් පෙරමුණු වැනි නූතන ප්‍රපංචයන් ආදේශ කළ හැකිය. මේ නව මාදිලියේ ආරම්භය සනිටුහන් කෙළේ යුද්ධය ඔස්සේ ය. යුද්ධයේ ජයග්‍රහණයට ඒකාධිකාරී අයිතියක් තිබුණි. රටවල් දෙකක් අතර ඇති වන යුද්ධයකින් ජයගන්නා පාර්ශ්වයට හිමි වන ඒකාධිකාරී අයිතිය තනිකර බැර වන්නේ එම රටේ නාමයටයි. ඉන්දියාව සහ පකිස්තානය අතර යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය, ඉන්දීය ජයග්‍රහණයක් වූවා සේ ය. එහෙත් වාර්ගිකත්වය හෝ ආගමට යාව හටගන්නා සිවිල් යුද්ධයක ජයග්‍රහණයේ ඒකාධිකාරී අයිතිය පැවරෙන්නේ රටකට නොව, සුවිශේෂී වාර්ගිකත්වයකට හෝ ආගමිකත්වයකටයි. අප කොතෙක් දස අතේ දිව්රා නැතැයි කීවත්, අප 2009 දී ලැබූ හමුදාමය ජයග්‍රහණය සිංහලයාගේ ජයග්‍රහණයක් වශයෙන්, සිංහලයා විසින් මෙන්ම දෙමළ ජාතිකයා විසිනුත් සළකනු ලබන බව අපට ප්‍රතික්ෂේප කළ නොහැක. මෙය, ත්‍රස්තවාදය පරදා ප්‍රජාතන්ත්‍රවාදය ලද ජයග්‍රහණයක් වශයෙන් අනේකවිධ ආකාරයෙන් වර නැගුණත්, ඇත්තෙන්ම අපේ සන්තානයේ එය නිධන්ගත වන්නේ, වාර්ගික ජය-පරාජයක් වශයෙනි. මෙය වැළැක්විය හැකි දෙයක් නොවේ. කෙසේ වෙතත්, ඒ ජයග්‍රහණයේ අයිතිය මත පදනම්ව, දිසානතීන් දෙකක් ඔස්සේ ගමන් කිරීමේ හැකියාව අපට තිබේ. එකක් වන්නේ, ලැබුවා වූ හමුදාමය ජයග්‍රහණය, වාර්ගික ප්‍රහර්ෂත්වයෙන් ඔදවැඩුණු ස්වෝත්තමවාදී අරුතකින් සමාජගත කර ගැනීමයි. දෙවැනි දිසානතිය වන්නේ, යුද්ධය තුළ නොවැළැක්විය හැකි ආකාරයෙන් ඉස්මත්තට පැමිණි එකී මහෝත්තමවාදයට යළි යුද්ධයක් කරා යොමු වීමට ඉඩ නොතබමින් දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා එය සමනය කිරීමයි. අප කතා කරන ප්‍රස්තුතය ජාතිවාදය වන නිසා මා මෙහිදී අවධානය යොමු කරන්නේ පළමු දිසානතිය ගැන පමණි.

ප්‍රංශ ජාතිවාදය හෝ ජරමානු ජාතිවාදය යැයි කියන විට එයින් පැහැදිළිව අදහස් කෙරෙන්නේ, ප්‍රංශ භාෂාව වහරන ජාතිය සහ ජරමානු භාෂාව වහරන ජාතිය ඔස්සේ සකසා ගත් චින්තන පද්ධතියකි. ඊට, ක්‍රිස්තියානි ආගමක් හෝ ඒ රටවල්වල ‘රණවිරුවෙකු’ හෝ වෙනත් ආගමික ආයතනයක් හෝ සම්බන්ධ වන්නේ නැත. එහෙත් ලංකාවේ සිංහල ජාතිවාදය යැයි කියන විට එය හුදෙක් සිංහල භාෂාව වහරන ජාතිය නැමැති ප්‍රපංචය ඔස්සේ ස්ථානගත කරනවා වෙනුවට, ඊට වඩා සාර්ථක සහ කාර්යක්ෂම වෙනත් මාවත්, එනම් බෞද්ධ භික්ෂුව සහ ‘රණවිරුවා’ යන ලේබල් ඔස්සේ සමාජගත කිරීමේ හැකියාව ලැබී තිබේ. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳ චෝදනා ලත් හමුදා නිලධාරීන් අධිකරණය ඉදිරියට පැමිණවීම ‘රණවිරු දඩයමක්’ වශයෙන් අරුත් ගන්වන විට, ඒ පසුපස ඇත්තේ, හුදෙක් යුද්ධය ජයගත් සෙබළුන් කෙරෙහි ඇති ගෞරවය වෙනුවෙන් කෘතඥ වීමක් නොව, සිංහලයා සහ සිංහලයාගේ දේශය රැක ගත් ඕනෑම කෙනෙකු වෙනුවෙන්, එම පුද්ගලයා අපරාධකරුවෙකු වුව, පෙනී සිටිය යුතුය යන වාර්ගික හැඟීමකි.

ජාතියෙන් සිංහලයෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ මෙහිදී ‘පිටස්තරයෙකු’ කරනු ලැබීම කියාපාන්නේ කුමක්ද? පැහැරගෙන යනු ලැබීමට සහ අවසානයේ ඝාතනය කරනු ලැබීමට තරම් වන ‘අසිංහල’ ගතියක් මුල පටන්ම ප්‍රගීත් එක්නැලිගොඩට පවරනු ලැබ තිබුණු බවයි. ඒ වෙන කිසිවක් නිසා නොව, ඔහු සිංහලයා වෙනුවෙන් තිබිය යුතු සෑම අයිතියක්ම අනිත් ජාතීන් වෙනුවෙනුත් තිබිය යුතු යැයි කීම හේතු කොටගෙන ‘කොටියෙකු’ වශයෙන් අර්ථ ගැනුවුණු නිසා ය. ඉතා කෙටියෙන් කිවහොත්, සිංහලයා සහ රණවිරුවා යනු දෙදෙනෙකු වශයෙන් ගැනීමට නොහැකි වන තරමට ඒ දෙක අනන්‍යව ඇති බවයි. එසේ හෙයින්, අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලත් ‘රණවිරුවා’ රැක ගැනීමේ අරගලය යනු, සිංහලයා වෙනුවෙන් වෙනත් වේශයකින් පෙනී සිටීමේ අගනා අවකාශයක් හිමිකර ගැනීමකි. එදා, කේ. එම්. පී. රාජරත්නට නොතිබුණු ‘සමාජ සුජාත භාවයක්’ වර්තමාන සිංහල ජාතිවාදියා අත්පත් කර ගන්නේ එකී මාර්ගයෙනි. ජාතියට ආදරය කිරීම ජාතිවාදය නොවේ යැයි අතීතයේ කී අමු කතාව, ඊට වඩා ඒත්තු යන ආකාරයෙන්, එනම්, (නීතිය ඉදිරියේ අපරාධ චූදිතයෙකු වූ සිටින) ‘රණවිරුවා’ රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය නොවේ යැයි අද කෙනෙකුට තර්ක කළ හැකිය.

මීට කාලයකට ඉහතදී කරන ලදැයි කියන ළමා අපචාර සිදුවීමක් ගැන, ඕස්ටේ්‍රලියාවේ අගරදගුරුවරයෙකු මෙන්ම, වත්මන් වතිකානුවේ තුන් වැනි නායකයා හෙවත් වතිකානු භාණ්ඩාගාරය භාර කාදිනල්වරයා ද වන, ජෝර්ජ් පෙල් දැන් චෝදනා ලැබ සිටී. ඒ ගැන ඕස්ටේ්‍රලියානු පොලීසිය කරන ලද විමර්ශන ක්‍රියාවලියට මුහුණදීම සඳහා තමා ලබන සතියේ ඉතාලියේ සිට ඕස්ටේ්‍රලියාවට පැමිණෙන බව ඔහු කියා තිබේ. මේ චෝදනා නැගුණු අවස්ථාවේ, ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සේ මේ කාදිනල්වරයා නීතිය මගහරිමින් කැලේ පැන්නේ නැත. එසේම ඔහුගේ ශුද්ධෝත්තම ප්‍රධානියා වන පාප් වහන්සේ, අස්ගිරියේ සංඝ කාරක සභාව මෙන්, ඔහුගේ කල්ක්‍රියාව අනුමත කරමින් ඔහුව බේරා ගැනීමට ඉදිරිපත් වුණේ නැත. තවද, ඒ පිළිබඳ පැවැත්වෙන පොලිස් පරීක්ෂණ ‘හොරා-පොලිස් සෙල්ලමකට’ ලඝු කොට, ඔහුට නීතියෙන් රිංගා යාමට අපේ දේශපාලඥයන් මෙන් ඕස්ටේ්‍රලියානු දේශපාලඥයන් පියවර ගත්තේත් නැත. යම් අපරාධයක් සිදුව ඇත්නම්, ඒ අපරාධය සිදු කෙළේ, කලිසමක් හැඳගෙන ද, නැත්නම් ලෝගුවක් හැඳගෙන ද යන්න එම ලෝකයට ප්‍රශ්නයක් නොවුණි.

එහෙත් ලංකාවේ තත්වය කුමක්ද? උඩුවේ ධම්මාලෝක හිමියන් හොර අලියෙකු ළඟ තබාගෙන සිටීමේ වරදට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. එසේ සිටියදී, හිටපු අස්ගිරි මහ නායක හිමියන්ගේ ආදාහනයට සහභාගී වීම සඳහා ඔහුව නිදහස් කෙරුණි. මෙය, සාමාන්‍ය පුරවැසියෙකුට නැති නීතිමය වරප්‍රසාදයකි. ඒ, බෞද්ධ භික්ෂුවක් වීම නිසා ය. හින්දු පූජකවරයෙකු හෝ කතෝලික පූජකවරයෙකු නැත්නම් මුස්ලිම් ආගමික නායකයෙකු අරභයා අපේ නීතියෙන් එවැනි වරප්‍රසාදයක් හිමි නොවනු ඇත.
ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව, ගිහියෙකු නොකරන තරමේ සැහැසි ක්‍රියා කෙළේය. එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාම කී අයුරින්, ‘භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීම ලේසිපාසු කාරියක් නොවන’ නිසා ඔහුව අත්අඩංගුවට ගැනුණේ නැත.

ජාතිවාදයේ අනිත් වේශය එයයි. එසේ වන්නේ ලංකාවේ බුද්ධාගම, බුද්ධ ධර්මයට වඩා සිංහල ජාතිය සමග අනන්‍ය වීම නිසා ය. ක්‍රිස්තියානි ආගමට ජාතියක් නැත. ඉස්ලාම් ආගමට ජාතියක් නැත. හින්දු ආගමට ජාතියක් නැත. එහෙත් ලංකාවේ බුද්ධාගම යැපෙන්නේම ජාතිය මත ය. ඥානසාර භික්ෂුව වෙනුවෙන් පෙනී සිටින්නන් එසේ කරන්නේ ඔහු බුදුරදුන්ගේ ධර්මය අනුයන ශ්‍රමණයෙකු වන නිසා ද, නැතහොත් සිංහලයාගේ නියෝජිතයෙකු වන නිසා ද යන්න බරසාරව සැළකිල්ලට ගත යුතුව තිබේ. බුදුන් වහන්සේ වදාළ ධර්මයට මේ භික්ෂුව හත් ගව්වකින්වත් ළඟ නැත. එහෙත්, සිංහලයා සමග ඔහු අතිශය සමීප ය. ඉතිං ඔහුව භික්ෂුවක් වශයෙන් ගෙන අස්ගිරිය හෝ වෙනත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරනු ලබන්නේ, ඇත්ත වශයෙන්ම ඔහුගේ භික්ෂු භාවය නිසා නොව, ඔහුගේ සිංහල භාවය නිසා බව පැහැදිළි ය.

කේ. එම්. පී. රාජරත්න මෙන් ‘ජාතිය’ යන වචනය අමුවෙන් පාවිච්චියට නොගෙන, බුද්ධ ශාසනය, සංඝ සාසනය, චීවරය සහ රණවිරු වැනි සම්භාව්‍ය ප්‍රපංචයන් හරහා සුවිශේෂී ජාතියක් වෙනුවෙන් පෙනී සිටීමේ පශ්චාත්-නූතන තත්වයක් අද අප අත්කරගෙන තිබේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි අස්ගිරිය කියන විට එයින් අදහස් වන්නේ, එක පැත්තකින්, බුද්ධාගමේ ආරක්ෂාව සඳහා බුද්ධ ධර්මයටත් වඩා ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව අපූරු අවියක් වන්නේය යන්නයි. ඊටත් වඩා, සිංහලයාගේ රාජ්‍යයේ ඒකාධිකාරී අයිතිය, දෙමළාගෙන් සහ හම්බයාගෙන් ආරක්ෂා කර ගත හැකි මනා මෙවලමක් ඒ මගින් සැපයෙන්නේය යන්නයි.

ගාමිණී වියන්ගොඩ

Top